යුද්ධය යොවුන් අස්වැන්නක් නෙළාගනියි
ළමා කාලය සන්තෝෂවත් අවදියක් කියා සිතනවා. ආදරයෙන් රැකබලා ගනිමින් රැකවරණය සලසනු ලබන අවදියක්. බොළඳ අවදියක්. බාලයන්ගෙන් බලාපොරොත්තු වන්නේ සෙල්ලම් කිරීම, ඉගෙනගැනීම හා වගකීම් ඉසිලිය හැකි වැඩිහිටියන් බවට පත්වීම සඳහා ඔවුන්ට උපකාරවත් වන ගුණාංග වර්ධනය කරගැනීම යනාදි දේවල නිරත වීමයි. දරුවන්ව මරා දැමීම කාගෙන්වත් බලාපොරොත්තු වෙන දෙයක් නොවෙයි; ඒ වගේම සහතික වශයෙන්ම ඔවුන් මිනීමරන්නන් බවට පත්වීම කවුරුවත් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන දෙයක් නොවෙයි. කොහොම වුණත්, යුද්ධ පවතින කාලවලදී, නොසිතන බොහෝ දේවල් සිදු වෙනවා.
ලෝකයේ සෑම තැනකම වගේ සටන් පැතිරී තිබීමත්, එමගින් ළමුන්ව මෙන්ම ළමා කාලයද වනසා දමමින් යොවුන් අස්වැන්නක් නෙළාගැනීමත් කනගාටුවට කරුණක්. වර්ෂ 1993දී, රටවල් 42ක විශාල සටන් පාලනය කළ නොහැකි මට්ටමකින් පැවතුණු අතර, දේශපාලනික සාහසිකකම් රටවල් 37ක ඇවිළෙමින් තිබුණා. මේ රටවල් 79න් සෑම එකකම දරුවන් ජීවත් වෙමින් සිටියා.
අද සිටින තරුණයන් බොහෝදෙනෙක් සාමය ගැන කවදාවත් අසා නැහැ. වර්ෂ 1995 අවසානය වන විට, ඇන්ගෝලාවේ වසර 30කට වැඩි කාලයක් පුරාද, ඇෆ්ගනිස්තානයේ වසර 17ක් පුරාද, ශ්‍රී ලංකාවේ වසර 11ක් පුරාද, සෝමාලියාවේ වසර 7ක් පුරාද සටන් ඇවිළෙමින් තිබුණා. සෑම තැනකම සිටින දේශපාලනඥයන් “සාම වැඩ පිළිවෙළවල්” ගැන විශ්වාසයකින් යුක්තව කතා කළත්, යුද්ධයේ ගිනිදැල් දිගටම මිනිස් ජීවිත දවාලමින් තිබෙනවා.
යුද්ධය සැමවිටම දරුවන්ට හානිකර වී තිබුණත්, මෑතක සිට සටන් ක්‍රමවල වෙනස්කම් සිදුවීමේ ප්‍රතිඵලය වී තිබෙන්නේ, දරුවන් ඇතුළු සාමාන්‍ය වැසියන් වැඩි වැඩියෙන් ඒවාට ගොදුරු වීමයි. දහඅටවන හා දහනවවන සියවස්වල පැවති සටන්වලදී හා මේ සියවසේ මුල් භාගයේ පැවති සටන්වලදී, ඒවාට ගොදුරු වූවන්ගෙන් අඩක්ම සාමාන්‍ය වැසියන් වුණා. වර්ෂ 1939 සිට 1945 දක්වා පැවති දෙවන ලෝක මහා යුද්ධයේදී, යුද්ධයෙන් මියගිය අයගෙන් තුනෙන් දෙකක්ම සාමාන්‍ය වැසියන් වුණා; යම් ප්‍රමාණයකට එයට හේතුව වුණේ නගරවලට නොනවත්වා බෝම්බ හෙළීමයි.
එක්දහස් නවසිය අසූ ගණන්වල අවසානය වන විට, යුද්ධයට ගොදුරු වූ සාමාන්‍ය වැසියන්ගේ ගණන සියයට 90කට ආසන්න ප්‍රමාණයක් දක්වා වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා. මෙයට එක් හේතුවක් වන්නේ, යුද්ධ වඩ වඩා සංකීර්ණ වීමයි. යුද හමුදාවන් තවදුරටත් මුහුණට මුහුණලා සටන් කරන්නේ නැහැ; එසේ කරන්නේ යුධ බිමේදී පමණයි. අද සිදු වන සටන්වලින් බොහොමයක් සිදු වන්නේ රටවල් අභ්‍යන්තරයේ මිස රටවල් අතර නොවෙයි. ඒ විතරක් නොවෙයි, ගම්මානවල හෝ නගරවල සටන් සිදු වෙන අතර, ම්ලේච්ඡ ක්‍රියාවලින් හා සැකයෙන් වට වී තිබෙන ඒ ස්ථානවලදී සතුරා හා අසල සිටින අහිංසකයන් අතර වෙනස ඝාතකයන් හඳුනාගන්නේ නැති තරම්.
ළමුන්ට සිදු වන හානිය වචනවලින් විස්තර කරන්න බැරි තරම් විශාලයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ වාර්තාවන්ට අනුව, පසුගිය අවුරුදු දහය ඇතුළත පමණක් යුද්ධ මගින් ළමුන් මිලියන දෙකක් ඝාතනය කර තිබෙන අතර, මිලියන හතරේ සිටි පහ දක්වා තවත් ළමුන් පිරිසක්ව අබ්බගාතයන් බවට පත් කර තිබෙනවා. යුද්ධය ළමුන් මිලියනයකට වඩා අනාථයන් බවට පත් කර තිබෙන අතර, තවත් මිලියන 12කට උන් හිටි තැන් අහිමි කර තිබෙනවා. යුද්ධය නිසා ළමුන් මිලියන දහයක් පමණ මානසික කම්පනයට පත් වී තිබෙනවා.
සටන් පිළිබඳ තොරතුරු ඇතුළත් පොත් පත්වලින් පුස්තකාල පිරී තිබෙනවා. සටන් කරන ආකාරය හා ඊට හේතු මේවායේ සාකච්ඡා කෙරෙනවා; අවි ආයුධ හා යොදාගනු ලබන සටන් ක්‍රම ගැන මේවායේ විස්තර කෙරෙනවා; ඒවා, සටන් මෙහෙයවන ජෙනරාල්වරුන්ව ගෞරවයෙන් සමරනවා. චිත්‍රපට මගින් හැඟීම් උද්දීපනය කිරීම කැපීපෙනෙන්න සලස්වමින්, යුද්ධයේ වේදනාවන් අවම කර දක්වනවා. එවන් පොත් පත් හා චිත්‍රපටවල යුද්ධයට ගොදුරු වන අහිංසකයන් ගැන කිසිවක් නොකියන තරම්. ළමුන්ව සෙබළුන් හැටියට අනිසි ලෙස යොදාගෙන තිබෙන ආකාරය ගැනත්, ගොදුරු වන්නන් අතුරින් ඔවුන් වඩාත් පහසුවෙන්ම ගොදුරු වී තිබෙන ආකාරය ගැනත්, අද සිටින ළමුන්ට ඇත්තෙන්ම දීප්තිමත් අනාගතයක් භුක්ති විඳින්න පුළුවන් කියා අපි කියා සිටින්න හේතු ගැනත් මතු ලිපිවල සලකා බැලෙනවා.