ඔටුනු කොක්කු වර්ණවත් කරමල් නැට්ටුවෝ
කෙන්යාවේ පිබිදෙව්! වාර්තාකරු විසින්
ඔටුනු කොකා ලොව සිටින අලංකාරතම කුරුල්ලන්ගෙන් එකෙකි. ඌ උඩඟු ලීලාවක් දරන, සියුම් වර්ණයෙන් යුතු පිරිපුන් හැඩයකින්ද හෙබි කුරුල්ලෙකි. විහිදූ පියාපත් මීටරයකට වඩා දිගු වන අතර, සියුමැළිය; වෙනත් ජාතීන්ට අයත් කොක්කුන්ගේ අංගයක් වන දිගු බෙල්ලක්ද ඌට හිමියි.
ගැහැනු පිරිමි ඔටුනු කොක්කු දෙවර්ගයම එක වගෙයි. කිරි සුදු පැහැති පියාපත් පිහාටු, කුරුල්ලාගේ ඇඟ දෙපසින්ම දිවෙයි; එය ආකර්ෂණීය තද පැහැති පිහාටුවලින් වට වී ඇති අතර, ඒවා පෙඳය දෙසට ළඟා වත්ම රන්වන් පැහැයක් ගනියි. අනිත් පියාපත් පිහාටු දීප්තිමත් රතට හුරු දුඹුරු පැහැයකි.
ඔටුනු කොකාගේ මුහුණ දැකීම පවා මහත් ආස්වාදයකි. කම්මුල් පෙදෙස ඇත්දළ පැහැයක් ගන්නා අතර, එය හිස මුදුනේ සහ උගුරු පෙදෙසේ ඇති තද පැහැති මෘදු පිහාටුවලින් වට වී තිබෙනවා. ඇස් අලංකාර ලා-නිල් පාටකි. කොකා උගේ බෙල්ල සිරස් අතට දිගහැරි විට උගුරු පෙදෙසේ ඇති කළු පිහාටු අතරින් දිග, දීප්තිමත් රතු පැහැති තැල්ලක් හරියට මාලයක් අග පළඳින තද රතු පාට පෙන්ඩනයක් හා සමානව එල්ලා වැටී තිබෙනු දක්නට ලැබෙයි. සියල්ලෙන්ම වඩාත්ම චිත්තාකර්ෂණීය දෙය නම්, දර්ශනීය වූ තේජවත් පිහාටු එනම්, මහිමාන්විත ලෙස සමබරව සැකසුණු, හිසේ ඇති ඔටුන්නක් බඳු රන්වන් පැහැති පිහාටුයි. මේ දීප්තිමත්, සිහින් පිහාටු හිරු කිරණ වදිද්දී රන්වන් පැහැයෙන් දිලිසෙයි. මේ සියලුම චමත්කාරජනක, සම සේ බෙදී ගිය වෙනස් වන පාට, කළු පැහැති දිගු තේජවත් කකුල් දෙකට ඉහළින් පිහිටා තිබෙයි.
ඔටුනු කොකාගේ හොරණෑ නාදය අප්‍රිකාවේ අමතක නොවන නාදයන්ගෙන් එකකි: ඕ-වාං! ඕ-වාං! ඕ-වාං! මේ ඝෝෂා නාදය දුර ඈත ප්‍රදේශවල සිට පවා ඇසිය හැකියි. බොහෝවිට, කොක්කු ජෝඩුවක් තමන් ලගින ගස්වලට යන එන විට කෑ ගසමින් යයි. අවුරුද්දේ සමහර කාලවලදී, ඔටුනු කොක්කු 30දෙනෙක් පමණ එකට රැස්වී එකිනෙකට ප්‍රතිවිරුද්ධ ශබ්දයන්ගේ කන්කලු නාදයක් නිපදවයි.
මාපිය සුරැකුම
පෙනෙන විදිහට, ඔටුනු කොක්කු ජීවිත කාලය පුරාම පැටවුන් බිහි කරයි. නැඟෙනහිර අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවලදී උන්ව දැකගත හැකි අතර, විශේෂයෙන්ම මඩ සහ ගොහොරු ප්‍රදේශවල උන් කැදලි සාදා පැටවුන් ඇති දැඩි කරයි. කැදැල්ල තණකොළ සහ බටගස්වලින් සකස් කර ඇති අතර, එය විශාල කේතුවක හැඩයකි; මෙය කොළට හුරු නිල් පැහැති, ප්‍රමාණයෙන් විශාල බිත්තර දෙකක් හෝ තුනක් දැමීමට ගැහැනු සතාට මැස්සක් සාදා දෙයි. ගැහැනු සහ පිරිමි දෙදෙනාම මාරුවෙන් මාරුවට බිත්තර රකින අතර, මාසයක් තුළදී, පැටවුන් මෙළොව එළිය දකියි. සිහින් පිහාටු ඇති තම වර්ගයා කවා පොවා බලාකියා ගන්නත්, පිහාටු ඉදී නැති පැටවුන් එඩිතරව රැකබලා ගන්නත් දෙමාපියන් එකා සේ වැඩ කරයි.
ඔටුනු කොකාගේ ප්‍රධාන ආහාර රටාව කෘමීන්ගෙන්, මැඩියන්ගෙන්, කුඩා සර්පයන්ගෙන් සහ ඇට වර්ගවලින් සමන්විතයි. උන්ගේ දිගු, සිහින් කකුල් සහ විශාල පාද ගසා, තණකොළ අතරේ සැඟවී සිට එළියට එන ඕනෑම කුඩා ජීවියෙකුව ඉක්මනින් ආහාරයක් බවට පත් කරගනියි.
කුරුලු මුද්‍රා නාට්‍යය
ඔටුනු කොක්කු උද්යෝගිමත් විනෝදකාමී නැට්ටුවෝ. උන්ගේ විශාල වර්ණවත් පියාපත් ගසමින්, තිරස් අතට අහසට නැඟ, පැරෂූටයකින් බසින්නාක් මෙන් සෙමින් සෙමින් පාවෙමින් නැවතත් පොළොවට බසියි. සාමකාමීව පැන පැන යමින්, දුවමින් උඩ පනිමින්, තම සහකරු වටා කරකැවෙමින්, විකටයෙක් මෙන් වේගයෙන් උන්ගේ හිස් උස් පහත් කරයි. විශාල පියාපත් දෙපැත්තට විහිදා කෙළින් සිටගෙන උන්ගේ වර්ණවත් පිහාටු ප්‍රදර්ශනය කරයි.
සමහර වෙලාවට ජෝඩුවක් උන්ගේ බෙලි දර්ශනීය ලෙස කරකවා, එකිනෙකාගේ ඇස් දිහා බලා හිඳියි. උන් හොටට හොට ළං කරගෙන, එළිමහන් ගායනයක් සේ විවිධ හඬවලින් පහත් ගම්භීර පදමාලාවකින් එකිනෙකාට කතා කරයි. නැවතත් කෙළින් සිටගෙන උන්ගේ විසිතුරු කුරුලු මුද්‍රා නාට්‍යය යළිත් රඟ දක්වයි.
ආරක්ෂා වීමට සටන
ඔටුනු කොකා මනුෂ්‍යයන්ට හිතවත්කමක් දක්වන අතර, පහසුවෙන් හීලෑ කරගත හැකියි. උන්ගේ ආනන්දජනක වර්ණය සහ හැඩය මෙන්ම උන්ගේ විනෝදකාමී නැටුම් ප්‍රදර්ශන හේතුවෙන්, සත්ව උද්‍යාන මෙන්ම පෞද්ගලික වතුවල සහ උයන්වල පවා උන් ජනප්‍රියයි. එවන් ඉල්ලුමක් අභියස උන් වඳවීම පුදුමයක් නෙවෙයි. තෙත් භූමි ප්‍රදේශ නැති වී යෑම, විල් සහ දියපාරවල් විෂ සහ කෘමිනාශකවලින් දූෂණය වීම, ඔටුනු කොකා මත තවදුරටත් පීඩන එල්ල කරනවා.
මෙම දර්ශනීය ඔටුනු කොකාගේ හඬ සහ දසුන යම් දිනක නැති වී ගියොත් එය කනගාටුදායක සිද්ධියක් වේවි. කෙසේවෙතත්, ඉතා ඉක්මනින් මුළු පොළොවම අලුත් කරන්න යනවා කියා බයිබලය පොරොන්දු වෙනවා. (2 පේතෘස් 3:13 සසඳන්න.) ඉන්පසු පොළොවේ සිටින සියලුම වැසියන්, දිව්‍ය සැදුම්කරු වන යෙහෝවා දෙවිගේ මැවීමේ නිපුණත්වයත් ඔහුගේ වර්ණවත් කරමල් නැට්ටුවනුත් නිසා සදාකාලයටම ආස්වාදයක් ලබන්න යනවා.