කළු මරණය අවසානය නොවීය
වර්ෂ 1347 ඔක්තෝබර් මාසයේදී, පෙරදිගෙන් පැමිණි වෙළඳ නැව් සිසිලියේ මසිනා වරායට සේන්දු වුණා. හබල්කරුවන් සිටියේ අසාධ්‍යය වී මියැදෙමින්. ඔවුන්ගේ සිරුරුවල තද පැහැති ලේ සහ සැරව ගලන බිත්තර ප්‍රමාණයේ ඉදිමුම් තිබුණා. නැවියන් තදබල වේදනා විඳිමින්, මුල් රෝග ලක්ෂණ ඉස්මතු වී දින කිහිපයක් ඇතුළත මරුමුවට පත් වුණා.
නැවේ සිටි මීයන් පිට සිටි එවුන් ගොඩට කඩිමුඩියේ එක්කාසු වුණා. මිනිසුන්ට මාරාන්තික බැසිලස් ආසාදිත මැක්කන් ගෙන ගියේ මීයන් විසින්. මේ අනුව එම වකවානුව වන විට යුරෝපා ඉතිහාසයේ දරුණුතම වසංගතය වන මහමාරිය හෙවත් කළු මරණය ලෙස හැඳින්වූ ජනපද රෝගය පැතිරුණා.
මහමාරිය ස්වරූප දෙකක් ගත්තා. එක ස්වරූපයක් පැතිරුණේ ආසාදිත මැක්කෙක් සපාකෑම හේතුවෙන්, ආසාදනය රුධිර මාර්ගය හරහා පැතිරී ඉදිමුම් සහ අභ්‍යන්තර ලේ ගැලීම් ඇතිවීමෙන්. අනික, පෙණහැල්ල ආසාදනය වීමෙන්, එනම් කැස්සෙන් සහ කිවිසුම්වලින් පැතිරුණා. මෙම ස්වරූප දෙකම පැවති නිසා, රෝගය ඉක්මනින්ම සහ ඉතා දරුණු ලෙස පැතිරුණා. අවුරුදු තුනකින් එය යුරෝපා ජනගහනයෙන් හතරෙන් පංගුවක් සිඳ දැම්මා; සමහරවිට මිලියන 25ක ජනකායක් මිය ගියා.
රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරුණේ කෙසේද කියා එවකට සිටි කිසිවෙකු දැන සිටියේ නැහැ. බොහෝවිට භූමිකම්පාවක් හෝ ග්‍රහ ලෝකවල අසාමාන්‍ය පෙළ ගැසීමක් නිසා වාතය විෂ වී ඇතැයි සමහරුන් සිතුවා. ආසාදිත පුද්ගලයෙකු දෙස නිකම්ම බැල්මක් හෙළීමෙන්ම ජනයා අසනීප වෙනවා කියා වෙනත් අය සිතුවා. අදහස් උදහස් වෙනස් වුණත්, රෝගය පැහැදිලිවම ස්පර්ශය මගින් ප්‍රබල ලෙස බෝවන්නක් වුණා. එක් රෝගියෙකුට “මුළු ලෝකයටම බෝ කළ හැකියි” යන්න පෙනෙන්ට තිබුණු බව ප්‍රංශ වෛද්‍යවරයෙකු නිරීක්ෂණය කළා.
කිසි රෝග නිවාරණයක්වත් සුවයක්වත් ජනයා දැන සිටියේ නැහැ. අවසාන කාලපරිච්ඡේදයේදී වසංගත සිදු වන බවට පුරෝකථනය කළ ලූක් 21:11හි වාර්තා කර ඇති බයිබල් අනාවැකි බොහෝදෙනෙකු කල්පනා කර බලන්න වුණා. පල්ලිවලට සල්ලි දැමුවත්, මහමාරිය පාලනයෙන් තොරව නොකඩවාම පැතිරුණා. එවකට සිටි ඉතාලි ජාතිකයෙක් මෙසේ ලිව්වා: “පල්ලිවල සීනු නාද නොවූ අතර, තමාගේ පාඩුව කොපමණ වුණත් කිසිවෙකු හැඬුවේ නැත්තේ, සැමදෙනාම පාහේ මරණය අපේක්ෂා කළ නිසාවෙනි . . . ‘මේ ලෝකාන්තිමය’ කියා ජනයා පැවසූ අතර, එය විශ්වාස කළහ.”
කෙසේවෙතත්, එය අවසානය වුණේ නැහැ. දසසතරවන සියවසේ අවසානයත් සමඟම මහමාරිය නැවතුණා. ලෝකය දිගටම පැවතුණා.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Archive Photos