විසිවන සියවසේ වසංගත
බොහෝදෙනෙකු අනාවැකි දෙසුවත්, 14වන සියවසේ යුරෝපයේ කළු මරණය ලෝකාන්තිමයට මඟ පෑදුවේ නැහැ. නමුත් අපේ කාලය ගැන කිව හැක්කේ කුමක්ද? අපේ කාලයේ ඇති ජනපද රෝග සහ රෝග, අප ජීවත් වන්නේ බයිබලය හඳුන්වන “අන්තිම දවස්වල” බවට අදහස් දක්වනවාද?—2 තිමෝති 3:1.
‘නිසැකවම නැහැ’ කියා ඔබ සිතන්න ඉඩ තිබෙනවා. වෛද්‍ය සහ විද්‍යාත්මක දියුණුව, මිනිස් ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා රෝග තේරුම්ගන්න සහ ඒ සමඟ සටන් කරන්න අපට උපකාර කිරීම සඳහා බොහෝ දේ කර තිබෙනවා. වෛද්‍ය විද්‍යාඥයන් විශාල ප්‍රමාණයකින් ප්‍රතිජීවක සහ එන්නත්—එමෙන්ම රෝග සහ ඒවායේ හේතුකාරක වන විෂබීජවලට එරෙහිව ප්‍රබල අවි පවා වැඩිදියුණු කර තිබෙනවා. රෝහල් සත්කාර පමණක් නොව පිරිසිදු ජලය, සනීපාරක්ෂාව සහ කෑම පිසීම ආදියේ වැඩිදියුණුව පවා මෙම බෝවන රෝගවලට එරෙහිව සටන් කරන්න රුකුල් දී තිබෙනවා.
දශක කිහිපයකට පෙර, මෙම පොරබැදීම අවසන් වීයයි බොහෝදෙනෙකු සිතුවා. වසූරිය මුලිනුපුටා දැමූ අතර, වෙනත් රෝග මුලිනුපුටා දැමීම ඉලක්ක වී තිබුණා. සිරුරේ අහිතකර තත්වයන් අසංඛ්‍යාත ප්‍රමාණයක් බෙහෙත් මගින් ඵලදායි ලෙස මැඩපවත්වනු ලැබුවා. වෛද්‍ය වෘත්තිකයන් අනාගතය සුභදායි වේයයි බලා සිටියා. බෝවන රෝග පරදන්නත්, එය ජයෙන් ජය ලබන්නත්, වෛද්‍ය විද්‍යාව ජය ලබන්නත් යනවා කියා සිතුවා.
නමුත් එය ජය ලැබුවේ නැහැ. වර්ෂ 1996දී පමණක් මිලියන 50කට වැඩි ජන පිරිසක් මරා දමමින්, බෝවන රෝග මරණ කාරකය ලෙස අදදින ලෝකයේ ඉදිරියෙන්ම සිටිනවා. අනාගතය සඳහා වර්ධනය වෙමින් පවතින සැලකිල්ල අතීතයේ සුභවාදයේ තැන ගෙන තිබෙනවා. ජගත් සෞඛ්‍ය සංවිධානය (ජසෞසං) මගින් සකස් කළ, 1996 ද වර්ල්ඩ් හෙල්ත් රිපෝට් (1996 ජගත් සෞඛ්‍ය වාර්තාව) මෙසේ අනතුරු අඟවනවා: “මිනිස් සෞඛ්‍ය වැඩිදියුණු කිරීම සඳහා මෑත දශකවලදී අත් කරගත් ප්‍රගතියෙන් වැඩි ප්‍රමාණයක් දැන් අවදානමේ. අප සිටින්නේ බෝවන රෝග පිළිබඳ සමස්ත ලෝක අර්බුදයක අද්දරයි. කිසිම රටක් නිරුපද්‍රිත නැහැ.”
පරණ රෝග වඩා මාරාන්තික වෙයි
සැලකිල්ලට ලක් කළ යුතු කාරණයක් වන්නේ, ජය ගත්තායයි වරක් සිතූ හොඳින් හඳුනන රෝග, වඩා මාරක සහ සුව කිරීමට වඩා දුෂ්කර ස්වරූපයකින් හිස එසවීමයි. උදාහරණයක් වන්නේ, දියුණු වූ ලෝකය සම්පූර්ණයෙන්ම වාගේ යටත් කරගත්තායයි වරක් සැලකූ ක්ෂය රෝගයයි. නමුත් ක්ෂය රෝගය නැති වී ගියේ නැහැ; දැන් එය වසරකට මිලියන තුනක පමණ ජනකායක් මරණයට පත් කරනවා. රෝග පාලනය සඳහා සැලසුම් පෙරට වඩා දියුණු කරන්නේ නැත්නම්, 1990 ගණන්වලදී මිනිසුන් මිලියන 90කට රෝගය වර්ධනය වේයයි අපේක්ෂා කරනවා. බොහෝ රටවල බෙහෙත්වලට ඔරොත්තු දෙන ක්ෂය රෝගය පැතිරෙනවා.
යළි ඉස්මතු වන තවත් රෝගයක් නම් මැලේරියාවයි. වසර 40කට කලින්, මැලේරියාව ඉක්මනින් මුලිනුපුටා දැමීම පිළිබඳව වෛද්‍යවරුන්ට අපේක්ෂා තිබුණා. අදදින රෝගය සෑම වසරකදීම මිනිසුන් මිලියන දෙකක් මරා දමනවා. මැලේරියාව ලෝක ජනගහනයෙන් 40%කට තර්ජන එල්ල කරමින් රටවල් 90කට වඩා වැඩි ප්‍රමාණයක පිටින් නොව එම ප්‍රදේශයෙන්ම බෝවීම ආරම්භ කර තිබෙනවා හෝ සැමවිටම පැවතී තිබෙනවා. මැලේරියා පරපෝෂිතයන්ව ගෙනයන මදුරුවන් කෘමිනාශකවලට ඔරොත්තු දෙන අතර, පරපෝෂිතයන්ද බෙහෙත්වලට හොඳින් ඔරොත්තු දෙන්න පටන්ගෙන ඇති නිසා, සුව කළ නොහැකි මැලේරියා පෙළපතක් ඉක්මනින් ඇති වේයයි වෛද්‍යවරුන් භියෙන් වෙළී සිටිනවා.
රෝගය සහ දිළිඳුකම
ඒවාට විරුද්ධව සටන් කරන්න පලදායි ආයුධ තිබියදීත්, වෙනත් රෝග අනුකම්පා විරහිත ලෙස මිනිසුන්ව මරා දමනවා. උදාහරණයකට කෂේරුක මෙනින්ජිප්‍රදාහය සලකා බලන්න. මෙනින්ජිප්‍රදාහය වළක්වන්න එන්නත් ඇති අතර, එය සුව කිරීමට බෙහෙත් තිබෙනවා. වර්ෂ 1996 මුල් අවදියේදී අප්‍රිකාවේ අර්ධ-සහරා ප්‍රදේශයෙන් මෙහි ප්‍රහාරයක් ආරම්භ වුණා. ඒ ගැන ඔබට සුළු වශයෙන් ආරංචි වන්න ඇති; එහෙත් එය මිනිසුන් 15,000කට වඩා මරා දැමූ අතර, ඉන් වැඩි හරියක් දිළිඳු මිනිසුන්; එයිනුත් වැඩි හරියක් ළමුන්.
නිව්මෝනියාව ඇතුළු අව ශ්වසන ආසාදන සෑම වසරකම මිනිසුන් මිලියන හතරක් මරා දමන අතර, ඉන් වැඩි හරියක් ළමුන්. ළමුන් මිලියනයක් සරම්ප මගින් සහ තවත් 3,55,000ක් කක්කල් කැස්ස මගින් වසරකදී මරණයට පත් වෙනවා. වැඩි මිලක් නොවන එන්නත් මගින් මෙම මරණ බොහෝමයක් වළක්වාගන්න තිබුණා.
සෑම දවසකදීම, ළමුන් අටදහසක් පමණ පාචන විජලනයෙන් මියයනවා. මේ සෑම මරණයක්ම වාගේ හොඳ සනීපාරක්ෂාවෙන් හෝ පිරිසිදු පානීය ජලයෙන් හෝ මුඛයෙන් ලබාගන්නා විජලන ද්‍රාවණ මගින් වළක්වාගන්න තිබුණා.
මෙම මරණ බොහොමයක් සිදු වන්නේ, දිළිඳුකම ගහන සංවර්ධනය වෙමින් පවතින ලෝකයෙයි. මිනිසුන් මිලියන 800කට පමණ—එනම් ලෝක ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට—වෛද්‍ය සත්කාර ලබාගන්න හැකියාවක් නැහැ. වර්ෂ 1995 ජගත් සෞඛ්‍ය වාර්තාව මෙසේ සඳහන් කළා: “සමස්ත ලෝක දුර්-සෞඛ්‍යයේ සහ දුක් විඳීමේ ප්‍රබලතම හේතුකාරකයා සහ ලෝකයේ විශාලතම මිනිමරුවාව ලැයිස්තුගත කර ඇත්තේ, හරියටම ජාත්‍යන්තර රෝග වර්ගීකරණය ගැන සඳහන් කළාට පසුවයි. එයට දී ඇති සංකේතය Z59.5—එනම් අන්ත දුගීභාවයයි.”
අලුතෙන් හඳුනාගත් රෝග
කෙසේවෙතත්, අනිත් රෝග අලුතෙන් පැමිණි ඒවායි; ඒවා හඳුනාගත්තේ මෑතකදීයි. ජසෞසං මෑතකදී මෙසේ සඳහන් කළා: “පසුගිය 20 වසර තුළදී, මිනිසුන් මිලියන සියගණනකගේ සෞඛ්‍යයට තර්ජනය කරන්න අඩුම තරමින් අලුත් රෝග 30ක්වත් මතු වී තිබෙනවා. මෙම රෝග බොහොමයකට ප්‍රතිකාර නැති අතර, සුවය හෝ එන්නත් කිරීම සහ ඒවා මැඩපැවැත්වීමට ඇති හැකියාව හෝ පාලනය කිරීම සීමා සහිතයි.”
උදාහරණයක් හැටියට, HIV සහ ඒඩ්ස් ගැන සලකන්න. වසර 15කට හෝ ඊට කලින් දැන නොසිටි මෙය, දැන් සෑම මහාද්වීපයකටම පීඩා කරනවා. වර්තමානයේ, HIV වැඩිහිටියන් මිලියන 20කට පමණ ආසාදනය වී ඇති අතර, මිලියන 4.5කට වැඩිදෙනෙකුට ඒඩ්ස් වැළඳී තිබෙනවා. නයින්ටීන් නයින්ටි සික්ස් හියුමන් ඩිවෙලප්මන්ට් රිපෝට්ට (1996 මානව සංවර්ධන වාර්තාව) අනුව, දැන් උතුරු අමෙරිකාවේ සහ යුරෝපයේ වයස අවුරුදු 45ට අඩු වැඩිහිටියන්ගේ ප්‍රමුඛපෙළේ මරණකාරකය ඒඩ්ස්. ලෝක ව්‍යාප්තව සෑම දිනකම මිනිසුන් 6,000ක් පමණ ආසාදනය වෙනවා—එනම් සෑම තත්පර 15කටම එක් අයෙකු බැගින්. ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ නඟින බව වර්තමාන දත්ත අලළා අනාගතය ගැන කළ අදහස් දැක්වීම් සඳහන් කරනවා. එක්තරා එ.ජ. නියෝජිතයෙකුට අනුව, ඒඩ්ස් මගින් අවුරුදු 25කින් ආයු කාලය පහත දමන නිසා වසර 2010 වන විට, එය අප්‍රිකානු සහ ආසියානු ජාතීන්ගේ ආයු අපේක්ෂාවට ඉතා තදින් බලපාන්න යනවා.
අද්විතීය වන්නේ ඒඩ්ස් පමණද? එසේ නොවේ නම්, මේ හා සමාන හෝ මීට වඩා දරුණු සංහාරයක් ඇති කළ හැකි වෙනත් ජනපද රෝග මතු විය හැකිද? ජසෞසං මෙසේ පිළිතුරු දෙනවා: “කිසිම සැකයකින් තොරව, හෙට දවසේ ඒඩ්ස් වීමට ඉඩ කඩ ඇති තවමත් හඳුනාගෙන නැති රෝග අඳුරේ රැක සිටිනවා.”
විෂබීජවලට හිතකර සාධක
අනාගත ජනපද රෝග සම්බන්ධයෙන් ප්‍රවීණයන් කරදර වන්නේ මන්ද? එක් හේතුවක් නම් නාගරික සංවර්ධනයයි. වසර 100කට පෙර, නගරවල ජීවත්ව ඇත්තේ ලෝක ජනගහනයෙන් 15%කට ආසන්න ප්‍රමාණයක් පමණයි. කෙසේවෙතත්, අනාවැකි තක්සේරු කරන්නේ, වසර 2010 වන විට, ලෝකයේ ජනගහනයෙන් අඩකට වැඩිය නාගරික ප්‍රදේශවල ජීවත් වන්න යන බවයි; ඒ විශේෂයෙන්ම ඌන සංවර්ධිත රටවල විශාල නගරවලයි.
ජනයා ගහන ප්‍රදේශවල බෝවන රෝගකාරක වැජඹෙනවා. නගරයකට හොඳ නිවාස සහ කැළි කසළ ඉවත් කිරීම මෙන්ම ජල සැපයුම් සඳහා ප්‍රමාණවත් ක්‍රම මෙන්ම හොඳ සෞඛ්‍ය සත්කාර තිබෙනවා නම්, ජනපද රෝග ඇතිවීමේ අවදානම අඩු වෙනවා. නමුත් වේගයෙන් වැඩි වන්නාවූ නගර තිබෙන්නේ දිළිඳු රටවලයි. සමහර නගරවල මිනිසුන් 750කට හෝ ඊට වැඩිදෙනෙකුට ඇත්තේ එක වැසිකිළියක් පමණයි. බොහෝ නාගරික ප්‍රදේශවල හොඳ නිවාස සහ පිරිසිදු ජලය මෙන්ම වෛද්‍ය පහසුකම් හිඟයි. ඒවායේ සියදහස් ගණන් ජනයා අපවිත්‍ර තත්වයන් යටතේ තදබද වී ජීවත් වීම, රෝග පැතිරීමට ඇති හැකියාව මහත් සේ වැඩි කර තිබෙනවා.
අනාගතයේදී ජනපද රෝග, දිළිඳුකමින් පීඩිත විශාල සහ ජනයා පිරී ඉතිරී ගිය නගරවලට පමණක් සීමා වන්න යනවා කියා මින් අදහස් කරනවාද? ආකයිව්ස් ඔෆ් ඉන්ටර්නල් මෙඩිසින් (අභ්‍යන්තර වෛද්‍ය විද්‍යාවේ ලිපි තැන්පතුව) නමැති ජර්නලය මෙසේ පිළිතුරු දෙනවා: “අන්ත දුගී කණ්ඩායම්, ආර්ථික අපේක්ෂාභංගත්වය සහ ඔවුන්ගේ තත්වයන්, ඉතිරි මිනිස්වර්ගයාගේ තාක්ෂණය යටපත් කරන බෝවන රෝග ඇති කරන ප්‍රබල සරු බිමක් සපයන බව අප ඇත්තෙන්ම තේරුම්ගත යුතුයි.”
එක ප්‍රදේශයකට රෝග සීමා කිරීම පහසු නැහැ. ජනයා විශාල වශයෙන් තැනින් තැනට ගමන් කරමින් සිටිනවා. සෑම දවසකදීම මිලියනයක් පමණ ජනයා ජාත්‍යන්තර දේශ සීමා පසු කර යනවා. සෑම සතියකම මිලියනයක් පමණ ජනයා ධනවත් සහ දිළිඳු රටවල් හරහා ගමන් කරනවා. මිනිසුන් ගමන් කරද්දී මාරාන්තික විෂබීජත් ඔවුන් සමඟ ගමන් කරනවා. ද ජර්නල් ඔෆ් දි අමෙරිකන් මෙඩිකල් අසෝසිඒෂන් (අමෙරිකානු වෛද්‍ය සංගමයේ ජර්නලය) මෙසේ නිරීක්ෂණය කරනවා: “බොහෝ රටවල්, විශේෂයෙන්ම ජාත්‍යන්තර ගමනාගමනයේ ප්‍රධාන කේන්ද්‍ර ලෙස කටයුතු කරන රටවල් දැන් රෝග පැතිර යෑමක් පිළිබඳව සලකා බැලිය යුතුයි.”
මේ අනුව, 20වන සියවසේ වෛද්‍ය දියුණුව නොතකා, වසංගත මිනිස් ජීවිතය නමැති අස්වැන්න දිගටම නෙළමින් සිටින අතර, නරකම දේ අනාගතයේ පැමිණීමට තිබෙනවා කියා බොහෝදෙනා භියෙන් සිටිනවා. නමුත් අනාගතය ගැන බයිබලය කියන්නේ කුමක්ද?
[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
වර්ෂ 1996දී පමණක් මිලියන 50කට වැඩි ප්‍රමාණයක් මරා දමමින්, මරණ කාරකය ලෙස බෝවන රෝග ලෝකයේ ඉදිරියෙන්ම සිටිනවා
[6වන පිටුවේ කොටුව]
ප්‍රතිජීවකවලට ඔරොත්තු දීම
බෝවන රෝග බොහෝමයකට ප්‍රතිජීවක ඔරොත්තු දෙන්නේ නැති නිසා සුව කිරීම දුෂ්කර වෙමින් තිබෙනවා. සිදු වන්නේ මෙයයි: බැක්ටීරියා පුද්ගලයෙකුට ආසාදනය වන විට, එය නොකඩවාම බෙදෙන අතර, ඒවායේ ජනිතයන්ට ඔවුන්ගේ ප්‍රවේණි ගතිලක්ෂණ යවනවා. සෑම අලුත් බැක්ටීරියාවෙක් නිපදවීමත් සමඟම, වෙනස් වීමේ අවස්ථාවක් තිබෙනවා—උත්පාදනය කිරීමේදී සිදු වන සුළු වරදක් අලුත් බැක්ටීරියාවට අලුත් ගතිලක්ෂණයක් ලබා දෙන්න යනවා. ප්‍රතිජීවකයකට ඔරොත්තු දීමට හැකි වන පිණිස බැක්ටීරියාවකගේ වෙනස් වීමක් සිදුවීමට තිබෙන හැකියාව බොහොම අඩුයි. බැක්ටීරියා බිලියන ගණනින් වැඩෙන අතර, පැයකදී ජනිතයන් පරම්පරා තුනක් සමහරවිට නිපදවනවා. මෙලෙස, විය නොහැකි දෙය සිදු වන අතර, ප්‍රතිජීවක මගින් මරාදැමීමට දුෂ්කර බැක්ටීරියාවක් විටින් විට ඉන්න යනවා.
ඉතින් ආසාදිත පුද්ගලයා ප්‍රතිජීවකයක් ගනිද්දී, ඔරොත්තු නොදෙන බැක්ටීරියා සහමුලින්ම විනාශ වී යන අතර, පුද්ගලයාට යම් සුවයක් දැනෙන්න ඉඩ තිබෙනවා. කෙසේවෙතත්, ඊට ඔරොත්තු දෙන බැක්ටීරියා බේරෙනවා. නමුත් දැන් ඔවුන් සෙසු විෂබීජ සමඟ පෝෂ්‍ය පදාර්ථ සහ බලප්‍රදේශය සඳහා තරඟ කළ යුතු නැහැ. ඔවුන් තමුන්ට රිසි සේ නිපදෙන්න නිදහස්. එක දවසකදී එක බැක්ටීරියාවකට, බැක්ටීරියා මිලියන 16කට වැඩි ප්‍රමාණයක් දක්වා බෙදී යෑමට හැකි නිසා පුද්ගලයා නැවතත් අසනීප වීමට වැඩි කාලයක් ගත වන්නේ නැහැ. කෙසේවෙතත්, දැන් බැක්ටීරියා මැරීමට යුතුව තිබූ බෙහෙත්වලට බැක්ටීරියා ඔරොත්තු දෙන නිසා, ඔහු හෝ ඇය බැක්ටීරියා පෙළපතකින් ආසාදනය වෙනවා. වෙනත් ප්‍රතිජීවකවලට ඔරොත්තු දීම සඳහා නැවත නැවත වෙනස් වීමටත් වෙනත් අයට ආසාදනය වෙන්නත් මෙම බැක්ටීරියාවන්ට හැකියි.
අභ්‍යන්තර වෛද්‍ය විද්‍යාවේ ලිපි තැන්පතුව නමැති ජර්නලයේ කතුවැකියක් මෙසේ සඳහන් කරනවා: “අපේ වර්තමාන චිකිත්සක උපකරණවලට ඔරොත්තු දෙන බැක්ටීරියා, වයිරස්, දිලීර සහ පරපෝෂිතයන්ගේ ශීඝ්‍ර වර්ධනය, විෂබීජ ලෝකයත් සමඟ මෙම සටනින් අප පරදීද නොව පරදින්න යන්නේ කවදාද කියා කෙනෙකුට හිතෙන්න සලස්වනවා.”—ඇල අකුරු අපගේය.
[7වන පිටුවේ කොටුව]
වර්ෂ 1976 සිට ඇති වූ සමහර බෝවන රෝග
රෝගය මුලින්ම ඇති
වර්ෂය වුණේ හෝ හඳුනාගත්තේ
හඳුනාගත්තේ රෝගයේ නම කොහේදිද?
1976 ලීජනරීස් රෝගය එක්සත් ජනපදය
1976 ක්‍රිප්ටෝස්පෝරිඩිඕසිස් එක්සත් ජනපදය
1976 ඉබෝල ලේ යෑමේ උණ සයරය
1977 හාන්ටාන් වයිරසය කොරියාව
1980 හෙපටයිටිස් ඩී (ඩෙල්ටා) ඉතාලිය
1980 මානව ටී-සෛල වසාපෝෂක වයිරසය 1 ජපානය
1981 ඒඩ්ස් එක්සත් ජනපදය
1982 E. කෝලි O157:H7 එක්සත් ජනපදය
1986 පිස්සු ගව රෝගය* එක්සත් රාජධානිය
1988 සැල්මොනෙල එන්ටරිටයිඩිස් PT4 එක්සත් රාජධානිය
1989 හෙපටයිටිස් සී එක්සත් ජනපදය
1991 වෙනිසුවේලා රක්තපාතික උණ වෙනිසුවේලාව
1992 වයිබ්‍රියෝ කොලරාව O139 ඉන්දියාව
1994 බ්‍රසීල රක්තපාතික උණ බ්‍රසීලය
1994 මානව සහ අශ්වීය මෝබිල්ලිවයිරසය ඕස්ට්‍රේලියාව
*සතුන්ට පමණයි.
[හිමිකම් විස්තර]
මූලාශ්‍රය: ජසෞසං
[8වන පිටුවේ කොටුව]
පැරණි රෝග හිස ඔසවයි
ක්ෂය රෝගය: මෙම දශකය තුළ ක්ෂය රෝගයෙන් ජනයා මිලියන 30කට වඩා මියයන බවට අපේක්ෂා කරනවා. අතීතයේදී කළ අකාර්යක්ෂම ප්‍රතිකාර නිසා ඖෂධ-විරෝධී ක්ෂය රෝගය දැන් සමස්ත ලෝක තර්ජනයක්. අතීතයේදී කිසිම කරදරයකින් තොරව බැක්ටීරියා විනාශ කළ බෙහෙත්, වර්තමානයේ සමහර බැක්ටීරියා වර්ගවලට ඔරොත්තු දෙන්නේ නැහැ.
මැලේරියාව: මෙම රෝගය වාර්ෂිකව මිලියන 500ක් දක්වා ජනයාව පීඩාවට පත් කරන අතර, මිලියන දෙකක් මරා දමනවා. බෙහෙත් අනිසි භාවිතය හෝ ඌනතාව නිසා පාලනය කිරීම අඩු වී තිබෙනවා. ප්‍රතිඵලයක් හැටියට, වරක් ඔවුන්ව මරා දැමූ බෙහෙත්වලට මැලේරියා පරපෝෂිතයන් ඔරොත්තු දෙමින් සිටිනවා. ගැටලුව සංකීර්ණ කරමින් මදුරුවන් කෘමිනාශකවලට ඔරොත්තු දෙනවා.
කොලරාව: කොලරාව වාර්ෂිකව 1,20,000ක් මරා දමන අතර, ජනපද රෝග වැඩියෙන් පැතිරී ඇති සහ බහුලව පවතින අප්‍රිකාවේ මෙය බොහෝ සෙයින් වැඩියි. දකුණු අමෙරිකාව දශක ගණනාවකට නොදැන සිටි කොලරාව 1991දී පෙරූවලට පහර දුන් අතර, එතැන් සිට මහාද්වීපය පුරාම පැතිරුණා.
ඩෙංගු: මදුරුවන් විසින් ගෙනයන මෙම වයිරසය සෑම වර්ෂයකම තක්සේරු කරන ලද මිනිසුන් මිලියන 20කට පීඩා කරනවා. ලතින් අමෙරිකාව සහ කැරිබියානු රටවල්, වසර 15ක කාලයකදී ලද දරුණුම ඩෙංගු ජනපද රෝගය 1995දී සිදු වූ අතර, අඩුම තරමින් රටවල් 14ක්වත් ඉන් පහර ලැබුවා. ඩෙංගු ජනපද රෝගය වැඩි වන්නේ, නගර වැඩිවීම, ඩෙංගුකාරක මදුරුවන් පැතිරීම සහ ආසාදිත ජනයා විශාල වශයෙන් සංචාරණය කිරීම නිසයි.
ඩිප්තීරියාව: වසර 50කට කලින් සිදු කළ අතිවිශාල ප්‍රතිශක්තිකරණ වැඩසටහන් මගින්, කාර්මික රටවල මෙම රෝගය අතිශයින්ම දුර්ලභ දෙයක් බවට පත් කළා. කෙසේවෙතත්, 1990 සිට ඩිප්තීරියා ජනපද රෝගය නැඟෙනහිර යුරෝපයේ සහ කලින් සෝවියට් රුසියාවේ රටවල් 15ක මහත් වේගයෙන් පැතිරී තිබෙනවා. රෝගය වැළඳුණු අයගෙන් හතරෙන් එකක් මියගියා. වර්ෂ 1995 මුල් භාගයේදී රෝගීන් 25,000ක් පමණ සංඛ්‍යාවක් ගැන වාර්තා වුණා.
මහමාරිය: වර්ෂ 1995දී, මහමාරිය රෝගීන් අඩුම තරමින් 1,400ක් ගැන ජගත් සෞඛ්‍ය සංවිධානයට (ජසෞසං) වාර්තා වුණා. දශක ගණනාවකට මහමාරියෙන් නිදහස්ව පැවති එක්සත් ජනපදයට සහ වෙනත් ස්ථානවලට රෝගය පැතුරුණා.
[හිමිකම් විස්තර]
මූලාශ්‍රය: ජසෞසං
[5වන පිටුවේ පින්තූරය]
සෞඛ්‍ය සත්කාරවල දියුණුවක් තිබියදීත්, බෝවන රෝග පැතිරීම නවත්වන්න වෛද්‍ය විද්‍යාවට නොහැකි වී තිබෙනවා
[හිමිකම් විස්තර]
WHO photo by J. Abcede
[7වන පිටුවේ පින්තූරය]
අපවිත්‍ර තත්වයන් යටතේ තදබද වී ජීවත් වන විට, රෝග පහසුවෙන් පැතිරෙනවා
[8වන පිටුවේ පින්තූරය]
සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ මිනිසුන් මිලියන 800කට පමණ සෞඛ්‍ය සත්කාර ලබාගැනීමට නොහැකියි