වසංගත අන්තිමයේ ලකුණක්ද?
අපගේ දවසේ වසංගත ලෝකාන්තිමය ළඟ බවට ඉඟි දෙනවාද? එම ප්‍රශ්නයට උත්තර දෙන්න කලින්, “ලෝකාන්තිමය” යන කියමනෙන් අදහස් කරන්නේ කුමක්ද කියා අපි සලකා බලමු.
ලෝකාන්තිමය කීමෙන් අදහස් කරන්නේ, පොළොව සහ ඒ මත සිටින සියලුම ජීවීන්ව දෙවි විනාශ කිරීම බව බොහෝ ජනයා විශ්වාස කරනවා. කෙසේවෙතත්, දෙවිගේ වචනය පවසන්නේ, ඔහු “වාසය පිණිස [පොළොව] සෑදුවා” කියායි. (යෙසායා 45:18) තම ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව වසන්න ආශාවෙන් සිටින සෞඛ්‍ය සම්පන්න, ප්‍රීතිමත් ජනයාගෙන් මෙම ග්‍රහ ලෝකය පිරවීමයි දෙවිගේ අරමුණ. ඉතින්, ලෝකාන්තිමය කීමෙන් පොළොවේ සහ එහි සියලුම වැසියන්ගේ අන්තිමයක් අදහස් කරන්නේ නැහැ. ඒ වෙනුවට, ඉන් අදහස් කරන්නේ වර්තමාන පිළිවෙළේ සහ දෙවිගේ කැමැත්ත කිරීම ප්‍රතික්ෂේප කරන අයගේ අන්තිමයක්.
ප්‍රේරිත පේතෘස් මෙය පෙන්වූයේ මෙසේ ලියමින්: “[නෝවාගේ දවසේදී] ලෝකය ජලගැල්මට යටවී විනාශ” විය. නෝවාගේ කාලයේදී ලෝකය විනාශ වෙද්දී වැනසුණේ දුෂ්ටයන්. පොළොවත් ධර්මිෂ්ඨ නෝවා සහ ඔහුගේ පවුලත් විනාශ නොවී ඉතිරි වුණා. පේතෘස් ඊළඟට පවසන්නාක් මෙන්, දෙවි අනාගතයේදී ‘අභක්තිකයන්ට විනාශය’ ගෙන ඒමෙන් නැවතත් ඒ දේම කරන්න යනවා.—2 පේතෘස් 3:6, 7.
වෙනත් බයිබල් පාඨ මෙම අදහසට බොහෝවිට අනුබල දෙනවා. උදාහරණයක් හැටියට, හිතෝපදේශ 2:21, 22 මෙසේ කියනවා: “අවංක අයවල් දේශයෙහි වාසයකරන්නෝය. නිර්දෝෂ අයවල්ද එහි නැවතී සිටින්නෝය. නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය, ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය.”—ගීතාවලිය 37:9-11ත් බලන්න.
වසංගත සහ ලෝකාන්තිමය
නමුත් මෙය සිදු වන්න යන්නේ කවදාද? යේසුස්ගේ ගෝලයන් හතරදෙනෙකු ඔහුට මෙම ප්රශ්නය ඉදිරිපත් කළා. ඔවුන් මෙසේ ඇසුවා: “ඔබගේ පැමිණසිටීමටත්, දේවල පිළිවෙළේ නිමාවටත් [හෝ, සමහර බයිබල් පරිවර්තන පවසන අන්දමට, “ලෝකාන්තිමයට”] ලකුණ කුමක් වනු ඇද්ද?” යේසුස් මෙසේ පිළිතුරු දුන්නා: “ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැඟිටිනවා ඇත. එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟවීම්ද පොළෝකම්පාද සිදු වෙනවා ඇත.” (මතෙව් 24:3, 7, NW) ලූක් 21:10, 11, NWහි සඳහන් සමාන්තර වාර්තාවේ යේසුස් මෙසේ එකතු කළා: ‘එක් තැනක් පාසා තවත් තැනක වසංගත සහ භයංකර පෙනීම්ද අහසින් මහත් ලකුණුද වන්නේය.’
වසංගත පමණක් අන්තිමය ළඟ බව පෙන්වනවා කියා යේසුස් කීවේ නැති බව සැලකිල්ලට ගන්න. ඒ වෙනුවට, ඔහු මහත් යුද්ධ, භූමිකම්පා සහ ආහාර හිඟයත් ලැයිස්තුගත කළා. මතෙව් 24 සහ 25හි, මාර්ක් 13හි සහ ලූක් 21හි සොයාගත හැකි ඔහුගේ සවිස්තර අනාවැකියේ, සිදුවීමට තිබෙන්නාවූ තවත් බොහෝ දේවල් ගැන යේසුස් පුරෝකථනය කළා. පොළොව මත දුෂ්ටකම කෙළවර කිරීම සඳහා දෙවි ක්‍රියාමාර්ගයක් ගන්න කලින්, මේ සියල්ලක්ම එකවර සිදු වන්න අවශ්‍ය වෙනවා. අප දැන් ජීවත් වන්නේ එම කාලපරිච්ඡේදයේ බවට ඇති සාක්ෂි ප්‍රබලයි.
පැමිණීමට ඇති පාරාදීසය
වසංගතවලින් හෝ දෙවිගේ අතින් මිනිස් සංහතියට සමූලඝාතනයක් අනාගතය විසින් ගෙනෙන්න යන්නේ නැහැ. මේ පොළොව පාරාදීසයක් බවට පරිවර්තනය කිරීමට දෙවි යෙහෝවා පොරොන්දු වෙනවා. (ලූක් 23:43) අනිත් දේවල් අතර, මිනිස්වර්ගයාට පීඩා කරන රෝගත් ඔහු ඉවත් කරන්න යනවා.
තම පියාගේ ගුණාංග සම්පූර්ණ ලෙස පිළිබිඹු කළ යේසුස් ක්‍රිස්තුස්ගේ දේවසේවය අප සලකා බලද්දී මේ ගැන අපට සහතිකයක් ලැබෙනවා. කොර, අබ්බාගාත, අන්ධ හෝ ගොළු අයව තම ස්වර්ගීය පියාගේ බලයෙන් යේසුස් සුව කළා. (මතෙව් 15:30, 31) ලාදුරු රෝගයෙන් පීඩා විඳි අයවත් ඔහු සුව කළා. (ලූක් 17:12-14) ලේ යෑමේ රෝගය තිබූ ස්ත්‍රියකව, වියළුණු අතක් ඇති මිනිසෙකුව සහ දිය උදර රෝගී මිනිසෙකුව ඔහු සුව කළා. (මාර්ක් 3:3-5; 5:25-29; ලූක් 14:2-4) ඔහු “මීමස්මර රෝගීහුද අංශභාග රෝගීහුද” යථා සෞඛ්‍යයට ගෙනාවා. (මතෙව් 4:24) අවස්ථා තුනකදී ඔහු මළවුන් පවා නැඟිට්ටෙව්වා!—ලූක් 7:11-15; 8:49-56; යොහන් 11:38-44.
මෙම ආශ්චර්යවත් සුව කිරීම් දෙවිගේ පොරොන්දු කෙරෙහි විශ්වසනීයත්වය ලබා දෙන අතර, ඔහුගේ අනාගත ජයග්‍රහණයත් සමඟම “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය.” (යෙසායා 33:24) යළි කිසිදාක වසංගත ජනයාගේ සෞඛ්‍යය සහ ජීවිතය සොරාගන්න යන්නේ නැහැ. ලෙඩ රෝග සම්පූර්ණයෙන්ම සහ සදාකාලයටම මුලිනුපුටා දැමීම සඳහා, අපේ ප්‍රේමනීය මැවුම්කරුවාට හැකියාව මෙන්ම ආශාව තිබීම ගැන අපට කොපමණ ස්තුතිපූර්වක වන්න පුළුවන්ද!—එළිදරව් 21:3, 4.
[9වන පිටුවේ පින්තූරය]
ලෙඩුන් සුව කරන්න දෙවි යේසුස්ට බලය දුන්නා
[10වන පිටුවේ පින්තූරය]
පැමිණෙන භූමික පාරාදීසයේදී යෙහෝවා ලෙඩ රෝග මුලිනුපුටා දමන්න යනවා