ඔබේ සෞඛ්‍යය සුරැකීමට ක්‍රම හයක්
නයිජීරියාවේ පිබිදෙව්! වාර්තාකරු විසින්
ජගත් සෞඛ්‍ය සංවිධානයට (ජසෞසං) අනුව, සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ ජීවත් වන ජනතාවගෙන් සියයට 25කට පමණ ආරක්ෂිත ජලය ලබාගැනීමට මාර්ගයක් නැහැ. සියයට 66කට වැඩි ප්‍රමාණයකට—අඩුම තරමින් බිලියන 2.5ක ජනතාවකට—සෞඛ්‍යාරක්ෂාව හිඟයි. ප්‍රතිඵල වශයෙන් බොහෝදෙනෙකුට හිමි වන්නේ රෝග හා මරණයයි.
එවැනි අවස්ථාවලදී, සනීපාරක්ෂාවක් පවත්වාගැනීම අභියෝගයක්. එහෙත්, ඔබ පෞද්ගලික සනීපාරක්ෂාව ජීවිත ක්‍රියාමාර්ගයක් කරගන්නවා නම්, ඔබ බොහෝ රෝගවලට එරෙහිව ඔබවම සුරකිනු ඇත. ඔබේ ශරීරයට ඇතුල් වී, රෝගී තත්වයක් ඇති කළ හැකි විෂබීජවලින් ඔබවත්, ඔබේ පවුලත් සුරැකීමට ඔබට ගත හැකි පියවර හයක් මෙන්න.
1. අසූචි ඇල්ලූ පසුව සහ ආහාර සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙර සබන් හා වතුරෙන් ඔබේ අත් සෝදන්න.
ඔබේ පවුලේ හැම කෙනෙකුටම තමන්ගේ අත් සෝදාගත හැකි වන පරිදි සබන් සහ වතුර හැමවිටම තිබෙන බවට සහතික වීම, රෝගීභාවය වළක්වාගැනීමට වැදගත් මාර්ගයක්. සබන් හා වතුර අත්වලින් විෂබීජ ඉවත් කරයි—එහෙම නැත්නම් ඒ විෂබීජ ආහාරවලට හෝ කටට ඇතුල් විය හැකියි. බාල දරුවන් නිතර ඔවුන්ගේ ඇඟිලි කටේ දාගන්න නිසා, බොහෝ වර ඔවුන්ගේ අත් සේදීම වැදගත්; විශේෂයෙන්ම ඔවුන්ට ආහාර දීමට පෙර එසේ කිරීම වැදගත්.
වැසිකිළියට ගියායින් පසුව, ඔබ ආහාර සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙර සහ මළ පහ කළ ළදරුවෙකුගේ හෝ දරුවෙකුගේ පස්සා ප්‍රදේශය පිරිසිදු කළාට පසුව සබන් ගා ඔබේ අත් සේදීම විශේෂයෙන්ම වැදගත්.
2. වැසිකිළියක් පාවිච්චි කරන්න.
විෂබීජ පැතිර යෑම වැළැක්වීම සඳහා, අසූචි හොඳින් ඉවත් කර දැමීම වැදගත්. අසනීපවලින් වැඩි හරියක්, විශේෂයෙන්ම පාචනය ඇති වන්නේ මිනිස් අසූචිවල විෂබීජවලිනුයි. මේ විෂබීජ බොන වතුරට හෝ ආහාරවලට, අත්වලට, එහෙමත් නැත්නම් ආහාර පිළියෙළ කිරීම හෝ බෙදීම සඳහා පාවිච්චි කරන භාජනවලට සහ එහි මතුපිටවල්වලට ඇතුල් විය හැකියි. එසේ සිදු වන විට, විෂබීජ ගිලී ජනයා ලෙඩ විය හැකියි.
මෙය වළක්වාගැනීමට උපකාරයක් වශයෙන් වැසිකිළියක් පාවිච්චි කරන්න. නිවෙස් සහ ජලාශ්රවලින් සත්ව අසූචි ඈත් කර තැබිය යුතුයි. ළදරුවන්ගේ සහ කුඩා දරුවන්ගේ අසූචි වැඩිහිටියන්ගේ අසූචිවලට වඩා වැඩියෙන් අනතුරුදායක බව දැනගන්න ලැබීමෙන් ඔබ පුදුමයට පත් විය හැකියි. එනිසා බාලයන්ට පවා වැසිකිළියක් පාවිච්චි කිරීමට ඉගැන්විය යුතුයි. දරුවන් වෙනත් තැනක මළ පහ කළොත්, ඔවුන්ගේ අසූචි වහාම ඉවත් කර, වැසිකිළියට දැමීම හෝ වළලා දැමීම කළ යුතුයි.
වැසිකිළි පිරිසිදුව හා ආවරණය කර තැබිය යුතුයි.
3. පිරිසිදු වතුර පාවිච්චි කරන්න.
පිරිසිදු නළ ජලය බහුල ප්‍රමාණයක් ඇති පවුල්, එසේ නොමැති අයට වඩා බොහෝවිට ලෙඩ වෙන්නේ අඩුවෙන්. නළ ජලය නැති අයට, ළිං ආවරණය කර තැබීමෙන් හා බොන්න, නාන්න හෝ සෝදන්න පාවිච්චි කරන වතුරෙන් අපවිත්‍ර වතුර ඈත් කර තැබීමෙන් තමන්ගේ සෞඛ්‍යය සුරැකිය හැකියි. සත්වයන්ව නිවසෙන් පිටත මෙන්ම බොන වතුරෙන් ඈත් කර තැබීමත් වැදගත්.
රෝගවලින් ඔබව සුරැකිය හැකි තවත් ක්‍රමයක් තමයි, වතුර ගැනීමට හා එකතු කර තැබීමට පාවිච්චි කරන බාල්දි, කඹ සහ භාජන හැකි තරම් පිරිසිදුව තැබීම. උදාහරණයක් වශයෙන්, බාල්දියක් බිම තිබෙන්න හරිනවාට වඩා එල්ලා තැබීම වඩාත් සුදුසුයි.
නිවසේ තබා ඇති බොන වතුර පිරිසිදු, ආවරණය කළ භාජනයක තැබිය යුතුයි. පිරිසිදු ලොකු හැන්දකින් හෝ කෝප්පයකින් එම භාජනයෙන් වතුර ගත යුතුයි. බොන වතුරට අත් දාන්නවත්, වතුර එකතු කර තිබෙන භාජනයෙන්ම බොන්නවත් ජනයාට ඉඩ නොහරින්න.
4. ආරක්ෂිත නළ සැපයුමකින් පැමිණෙන්නේ නැත්නම් වතුර උතුරවන්න.
ආරක්ෂිතම බොන වතුර සාමාන්‍යයෙන් ලැබෙන්නේ නළ සැපයුමෙන්. වෙනත් මූලාශ්‍රවලින් ලැබෙන වතුර පිරිසිදු බව පෙනෙන්න තිබුණත්, එහි විෂබීජ අඩංගුව තිබීමට ඇති ඉඩ කඩ වැඩියි.
උතුරන වතුර විෂබීජ මරා දමනවා. එනිසා ඔබ පොකුණු, ඇළ දොළ හෝ ටැංකිවලින් වතුර ඇදගන්නවා නම්, වතුර උතුරවන්න; ඉන්පසු බීමට පෙර එය නිවෙන්න හැරීම ඥානවන්ත දෙයක්. විෂබීජවලට එරෙහිව සටන් කිරීමට ළදරුවන්ට හා බාල දරුවන්ට වැඩිහිටියන්ට වඩා අඩු ශක්තියක් ඇති බැවින්, විෂබීජවලින් තොර බොන වතුර විශේෂයෙන් ඔවුන්ට වැදගත්.
බොන වතුර උතුරවාගැනීමට හැකියාවක් නැත්නම්, ආවරණය කළ පැහැදිලිව පෙනෙන ප්ලාස්ටික් හෝ වීදුරු භාජනයක එය එකතු කර තබන්න. ඉන්පසු එහි වතුර පාවිච්චි කරන්න පෙර දවස් දෙකක් භාජනය හිරුඑළියට නිරාවරණය කර තබන්න.
5. ඔබේ ආහාර පිරිසිදුව තබන්න.
අමුවෙන් ආහාරයට ගත යුතු ආහාර හොඳින් පිරිසිදු කළ යුතුයි. අනිත් ආහාර, විශේෂයෙන්ම මස් සහ කුකුල්මස් හොඳින් පිසිය යුතුයි.
ආහාර පිස වැඩි වේලා යෑමට පෙර ආහාරයට ගැනීම හොඳම දෙයයි; ඒ ආකාරයෙන් එය නරක් වීමට කාලයක් තිබෙන්න යන්නේ නෑ. පිසින ලද ආහාර පැය පහකට වඩා වැඩි කාලයක් තබන්න ඔබට සිදු වෙනවා නම්, එය උණුසුම්ව හෝ ශීතකරණයේ තැබිය යුතුයි. එය ආහාරයට ගැනීමට පෙර, යළි ඔබ එය හොඳින් රත් කරගත යුතුයි.
අමු මස්වල සාමාන්‍යයෙන් විෂබීජ අඩංගු බැවින්, එය ඔබ පිස ඇති ආහාරවල වැදීමට ඉඩ නොහළ යුතුයි. අමු මස් සූදානම් කළාට පස්සේ, භාජන සහ කුස්සියේ එය වැදී ඇති ඕනෑම මතුපිටක් පිරිසිදු කළ යුතුයි.
ආහාර පිළියෙළ කරන්න යොදාගැනෙන මතුපිටවල් හැමවිටම පිරිසිදුව තැබිය යුතුයි. ආහාර ආවරණය කර, මැස්සන්, මීයන්, කොස්ඇට මීයන් සහ වෙනත් සත්වයන්ගෙන් ඈත් කර තැබිය යුතුයි.
6. ගෙදරදොරේ කුණු කසළ පුලුස්සා හෝ වළලා දමන්න.
විෂබීජ පතුරවන මැස්සන්, ආහාර කසළ මත බෝ කිරීමට කැමතියි. එනිසා ගෙදරදොරේ කුණු කසළ බිම විසි කර නොදැමිය යුතුයි. දිනපතා, එය වළලා, පුලුස්සා හෝ වෙනත් ආකාරයකින් ඉවත් කර දැමිය යුතුයි.
මේ මාර්ගෝපදේශයන් අනුගමනය කිරීමෙන්, පාචනය, කොලරාව, උණසන්නිපාතය, පණු රෝග, ආහාර විෂවීම සහ වෙනත් රෝග රැසකින් ඔබවත්, ඔබේ පවුලේ සාමාජිකයන්වත් රැකගැනීමට ඔබට උපකාර කළ හැකියි.
[හිමිකම් විස්තර]
මූලාශ්‍රය: ෆැක්ට්ස් ෆො ලයිෆ් (ජීවිතය සඳහා සත්‍යයන්), එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය සහ ජසෞසං එකතුව ප්‍රකාශිතයි.