යෙහෝවා අපේ මාර්ගය සමතලා කළා
මම ඉපදුණේ 1924, සූග්හි ස්විස් කොටසේ පිහිටි චාම් නගරයට ළඟපාතකයි. මගේ දෙමාපියන්ට දරුවෝ 13දෙනෙක්—පිරිමි ළමයි 10ක් සහ ගැහැනු ළමයි 3දෙනෙක් හිටියා. පිරිමි ළමයෙක් වූ මා වැඩිමලායි. පිරිමි ළමයි දෙන්නෙක් ඔවුන්ගේ ඉතා කුඩා කාලේදීම මියගියා. දැඩි පරිහානියක් තිබුණ කාලෙකදී ගොවිපොළක වැඩුණ ඉතිරි අපි සියලුදෙනාටම තද කතෝලික භක්තික ඇති දැඩි වීමක් ලැබුණා.
තාත්තා අවංක, කරුණාවන්ත කෙනෙක් වුණත්, ඔහුට තදින් කේන්ති යන ගතියක් තිබුණා. සමහර අවස්ථාවලදී, අම්මා ඇගේ ඊර්ෂ්‍යාව නිසා අසාධාරණ විදිහට ඔහුට නින්දා කළ අවස්ථාවල ඔහු ඇයට පහර දෙන්න පවා පෙලඹුණා. ඔහුගේ විශ්වාසවන්තකම ගැන සැක කරන්න ඇයට කිසිම හේතුවක් නොතිබුණත්, ඔහු අපේ අසල්වැසි ස්ත්‍රීන් සමඟ කතා බහ කරද්දී ඇයට ඉවසාගෙන ඉන්න බැරි වුණා. මේ තත්වය මාව සෑහෙන කලකිරීමකට පත් කළා.
අම්මා මිථ්‍යා විශ්වාසයන්වල එල්බගෙන හිටියා. ඈ සුළු සිද්ධීන් පවා දක්වන්නේ “ශුද්ධගිනිස්ථානයේ ප්‍රාණවලින්” පැමිණෙන ලකුණක් හැටියටයි. මම ඔහේ ඕන දෙයක් එලෙස විශ්වාස කිරීම පිළිකුල් කළා. නමුත් පූජකයෝ ඇගේ බොරු ආගමික සිතුවිලිවලට අනුබල දුන්න තොරතුරු කියවමින් ඇගේ මිථ්‍යා විශ්වාසයන් තවත් වැඩි කරමින් හිටියා.
මට ප්‍රශ්න තිබුණා
මගේ බාල කාලයේ පටන්, දෙවි ගැන සහ මිනිසාගේ ඉරණම ගැන ප්‍රශ්න මගේ මනසේ පිරී තිබුණා. තර්කානුකූල නිගමනවලට එළඹෙන්න මම වෑයම් කළත්, පටහැනි දේවල් බොහෝමයක් තිබුණා! මම සාන්තුවරයන්, ප්‍රාතිහාර්යයන් සහ තවත් එවැනි දේ ගැන කතෝලික ප්‍රකාශන කියෙව්වා. කොහොමනමුත්, මේවායින් ලැබුණු තොරතුරු මාව සෑහීමට පත් කළේ නෑ. මට දැනුණේ හරියට මම අඳුරේ අතපත ගාමින් ඉන්නවා වගෙයි.
මට තිබුණ ප්‍රශ්න ගැන කල්පනා කරමින් ඉන්න එපා කියලා අපේ පූජකයා අවවාද කළා. හැම දෙයක්ම අවබෝධ කරගැනීමට වුවමනා වීම උඩඟුකමේ ලකුණක් බවත්, දෙවි උඩඟු අයට විරුද්ධ වෙන බවත් ඔහු පැවසුවා. තමන්ගේ පව් පාපෝච්චාරණය නොකර මියගිය ඕනෑම කෙනෙක් දැවෙන නිරයක සදහටම පිච්චෙනවා කියන ඉගැන්වීම විශේෂයෙන්ම මට දැඩි පිළිකුලක් වුණා. පොළොවේ මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් සදහටම පිච්චෙමින් ඉන්න යන බව එයින් අදහස් වුණ නිසා, මම හුඟක් වෙලාවට මෙහෙම කල්පනා කළා, ‘දෙවිගේ ප්‍රේමය සමඟ මෙය එකඟ වෙන්න පුළුවන් කොහොමද?’
කතෝලික පිළිවෙතක් වන පාපෝච්චාරණය ගැනත් මම ප්‍රශ්න කළා. අපවිත්‍ර සිතුවිලි බරපතළ පාපයක් නිසා, පූජකයෙකුට එය පොපෝච්චාරණය කිරීමට අවශ්‍යයි කියලා කතෝලික පාසැලේදී අපිට පැවසුවහම මම භය වුණා. මම මෙහෙම කල්පනා කළා, ‘හැම දෙයක්ම පාපෝච්චාරණය කරන්න මට මතක තිබුණද? නැත්නම් මගේ පාපෝච්චාරණය අවලංගු වී, මගේ පාපවලට කමාව නොලැබෙන විදිහට මට යම් දෙයක් අමතක වුණාද?’ මේ අනුව දෙවිගේ දයාව හා සමාව දීමට ඔහුගේ කැමැත්ත ගැන මගේ හෘදයේ සැකයේ බීජ හටගත්තා.
මාව වෙහෙසට පත් කළ අසහනකාරි සිතුවිලි සමඟ මම අවුරුදු තුන හතරක්ම සටන් කළා. දෙවි කෙරෙහි තිබෙන ඇදහිල්ල සම්පූර්ණයෙන්ම අත්හැර දාන්න මම කල්පනා කළා. නමුත් එවිට මම මෙහෙම හිතන්න වුණා, ‘මම අත් නොහැර හිටියොත්, මට හරි මාර්ගය දැනගන්න ලැබෙන බව ස්ථිරයි.’ කල් යත්ම, මම දෙවිගේ පැවැත්ම කෙරෙහි විශ්වාසය වර්ධනය කරගත් නමුත්, මගේ ආගමික විශ්වාසයන් ගැන අස්ථිරත්වයකින් පිරී සිටියා.
මම කලින් බොරු විශ්වාසවලින් මුළා වී සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන්, “මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි” කියලා යේසුස් ක්‍රිස්තුස් ප්‍රේරිත පේතෘස්ට පැවසූ විට ඔහුගේ මනසේ තිබුණේ රෝමානු කතෝලික පල්ලිය කියලයි මම විශ්වාස කළේ. (මතෙව් 16:18) අන්තිමේදී පල්ලියේ හොඳ අංග ලක්ෂණයන් ජයගනු ඇතැයි මම විශ්වාස කරන්න පටන්ගත්ත අතර, ඒ දෘෂ්ටිය ඉටු කරගැනීමේ පරමාර්ථය ඇතුව පල්ලිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න මට ඕනෙ වුණා.
විවාහය සහ පවුල
පවුලේ වැඩිමලා වශයෙන්, මා එක්කම බාල සහෝදරයාට මගේ තැන ගන්න පුළුවන් වෙන තුරු මම මගේ තාත්තා එක්ක ගොවිපොළේ වැඩ කළා. ඊට පස්සේ මම කතෝලික කෘෂිකර්ම පාසැලකට ගියා; එහිදී මම උසස් උපාධියක් ලබාගත්තා. ඉන්පසු, මම විවාහ කලත්‍රයෙක් සොයන්න පටන්ගත්තා.
මගේ සහෝදරියෙක් මාර්ගයෙන් මට මාරියව දැනහඳුනා ගන්න පුළුවන් වුණා. සදාකාල ජීවනය ලබාගන්න එක්ව වෑයම් කළ හැකි ස්වාමිපුරුෂයෙක් ලැබෙන්න කියා ඇය යාච්ඤා කර තිබූ බව මම දැනගත්තා. අපි අපේ විවාහ ප්‍රකාශයේ මෙසේ ලිව්වා: “ප්‍රේමයෙන් බැඳුණු අප සන්තෝෂය සොයන්නේ අපේ නෙත් දෙවි කෙරෙහි යොමු කරගෙනයි. අපේ මාර්ගය ජීවනයයි; අපේ ඉලක්කය දිව්‍ය සැපතයි.” අපි 1958 ජූනි 26වෙනිදා, සුරිච් කිට්ටුව පිහිටි ෆාර් කන්‍යාරාමයේදී විවාහ වුණා.
මාරියට සහ මට තිබුණේ එක සමාන පසුබිම්. ඇය ආගමේ පරතරේටම ගිය පවුලක කෙනෙක් වූ අතර, ළමයි හත්දෙනෙක්ගෙන් වැඩිමලාව සිටියා. ඔවුන් සියල්ලන්ම ගොවිපොළේ වැඩකටයුතුවල යෙදෙමින්, පාසැල් වැඩ කරමින් සහ පල්ලියට යමින් කාර්යබහුලව සිටි නිසා සෙල්ලම් කරන්න තිබුණේ සුළු කාලයයි. අපේ විවාහයේ මුල් අවුරුදු පහසු ඒවා වුණේ නෑ. ආගමික කාරණා සම්බන්ධයෙන් මට තිබුණු ප්‍රශ්න රාශිය නිසා, තමා හරි තැනැත්තා එක්කද විවාහ වුණේ කියලා මාරිය කල්පනා කරන්න පටන්ගත්තා. පල්ලියේ ඉගැන්වීම් ගැන හෝ යුද්ධවලට, කුරුස යුද්ධවලට සහ අධර්ම මර්දනාධිකරණවලට එහි අනුබල දීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම ඇය ප්‍රතික්ෂේප කළා. කොහොමනමුත්, අපි දෙන්නා, අපේ විශ්වාසය දෙවි කෙරෙහි තැබූ අතර, අපි හැකි තරම් හොඳට ඔහුගේ කැමැත්ත කරන්න උත්සාහ කරමින් සිටින තාක් කල් ඔහු කවදාවත් අපිව හැර යන්නේ නැති බව ඒත්තුගත්තා.
වර්ෂ 1959දී අපි නැඟෙනහිර ස්විට්සර්ලන්තයේ හොම්බර්ග් කිට්ටුව ගොවිපොළක් බද්දට ගත්තා. අවුරුදු 31ක් පුරා මෙය අපේ නිවස වුණා. එක්දාස් නවසිය හැටේ මාර්තු 6වෙනිදා අපේ වැඩිමල් පුතා, යෝසෙෆ් ඉපදුණා. ඔහුට පස්සේ සහෝදරයන් හයදෙනෙකුත්, සහෝදරියකුත් ඉපදුණා. ඇය රේචල්. මාරිය, මුල්-බැසගත් ප්‍රතිපත්තිවලට විශ්වාසනීයව සිටින, සාධාරණ මෙන්ම අපක්ෂපාති මවක් බව ඔප්පු කළා. ඇය පවුලට සැබෑ ආශීර්වාදයක්ව සිටියා.
බයිබල් සත්‍යය සෙවීම
ටිකෙන් ටික, අපේ ආගමික නොදැනුවත්කම දරාගන්න එක එන්න එන්නම අමාරු වුණා. එක්දාස් නවසිය හැටගණන්වල අගභාගයේදී, අපි කතෝලික ජනයාගේ උසස් පාසැලේ දේශනවලට සහභාගි වෙන්න පටන්ගත් නමුත්, අපි ආපහු ගෙදර එන්නේ වෙන කවරදාටත් වඩා ව්‍යාකූල වෙලයි. ශුද්ධ ලියවිලිමය සාක්ෂිවලින් තොරව, කථිකයන් තමන්ගේම මතයන් විස්තර කළා. වර්ෂ 1970 මුල් භාගයේදී, මම යේසුගේ මෙම වචන ගැන කල්පනා කළා: “ඔබ මාගේ නාමයෙන් පියාගෙන් යමක් ඉල්ලුවොත්, ඔහු එය ඔබට දෙන්නේය. . . . ඉල්ලන්න, එවිට ඔබට ලැබෙන්නේය.”—යොහන් 16:23, 24, Dy.
දෙවිගේ වචනයෙන් ලැබුණ ඉහත සහතිකය, නොකඩවා යාච්ඤා කිරීමට මට සැලැස්සුවා: “පියාණෙනි, කතෝලික පල්ලිය සැබෑ ආගම නම්, කරුණාකර නොවරදින විදිහකට ඒක මට පෙන්වන්න. නමුත් එය වැරදි නම්, මට පැහැදිලිවම පෙන්නුම් කර දෙන්න; එතකොට මම ඒක හැමදෙනාටම කියන්නම්.” යේසු කන්ද උඩ දේශනාවේදී දුන් උපදෙසට අනුව “නොකඩවාම ඉල්ලමින්” මම යළි යළිත් කන්නලව් කළා.—මතෙව් 7:7, 8, NW.
මාරිය එක්ක මං කළ සංවාදයන්—විශේෂයෙන්ම “සාන්තුවරයන්ට” නමස්කාර කිරීම, සිකුරාදා දිනවල මස් කෑම සහ තවත් එවැනි දේ සම්බන්ධයෙන් 1960 ගණන්වල සිදු වූ කතෝලික ඉගැන්වීම්වල වෙනස්කම් ගැන කළ සාකච්ඡා—අන්තිමේදී ඇයට සැක පහළ වීමට සැලැස්සුවා. වතාවක, 1970 වසන්තයේදී දේවමෙහෙයකට සහභාගි වෙද්දී, ඇය මෙසේ යාච්ඤා කළා: “දෙවියනි, සදා ජීවනයට මාර්ගය අපට පෙන්වන්න. හරි මාර්ගය මොකක්ද කියන එක ගැන අපි කිසි දෙයක් දැන් දන්නේ නෑ. මම ඕන දේකට යටත් වෙන්නම්; නමුත් අපේ මුළු පවුලටම හරි මාර්ගය පෙන්වන්න.” අපේ යාච්ඤාවලට සවන් දී ඇති බව අපි වටහාගන්නා තුරුම, ඇගේ යාච්ඤාව ගැන මමවත්, මගේ යාච්ඤාව ගැන ඇයවත් දැනගෙන හිටියේ නෑ.
බයිබල් සත්‍යය සොයාගැනීම
එක්දාස් නවසිය හැත්තෑවේ එක් ඉරිදා උදෑසනක අපි පල්ලි ගිහින් ගෙදර ආවට පස්සේ, දොරට තට්ටු කරන හඬක් ඇහුණා. දස-හැවිරිදි පුතෙකුත් සමඟ පැමිණි තැනැත්තෙක්, ඔහු යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් බව පැවසුවා. මම බයිබල් සාකච්ඡාවකට කැමති වුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන මම අහලා තිබුණ දේවල් නිසා, මම හිතුවා පහසුවෙන්ම මට ඔහු වැරදි බව ඔප්පු කරන්න පුළුවන් වෙයි කියලා; ඔවුන් හොඳින් තොරතුරු දැනගෙන ඉන්න බව මම විශ්වාස කළේ නෑ.
සෑහීමට පත් කරන ප්‍රතිඵල නොමැතිව අපේ සාකච්ඡාව පැය දෙකක් පැවතුණ අතර, ඊළඟ ඉරිදාත් ඒ වගේම වුණා. මම තුන්වෙනි සාකච්ඡාවට ආශාවෙන් බලා හිටියත්, සාක්ෂිකාරයා ආවෙ නෑ. ඔහුට වැටහෙන්න ඇති ඒකෙ ප්‍රයෝජනයක් නැහැයි කියලා කියා මාරිය පැවසුවා. සති දෙකකට පස්සේ ඔහු යළි ආ විට මම සතුටු වුණා. නිමේෂයකින්, මම මෙහෙම පැවසුවා: “අවුරුදු 35ක් පුරා නිරය ගැන මම කල්පනා කර කරයි හිටියේ. ප්‍රේමනීය දෙවිකෙනෙක් එවැනි කෲර ආකාරයකින් ජීවීන්ට වධ දෙනවා කියන එක නම් මට පිළිගන්න බෑ.”
“ඔයා හරි,” සාක්ෂිකාරයා පිළිතුරු දුන්නා. “නිරය පිච්චෙන ස්ථානයක් කියලා බයිබලය උගන්වන්නේ නෑ.” කතෝලික බයිබලයේ බොහෝවිට “නිරය” හැටියට පරිවර්තනය කරලා තියෙන ෂෙයෝල සහ හේදීසය සඳහා වූ හෙබ්‍රෙව් සහ ග්‍රීක් වචන යොමු දක්වන්නේ පොදු මිනීවළට බව ඔහු මට පෙන්නුවා. (උත්පත්ති 37:35, NW; යෝබ් 14:13; ක්‍රියා 2:31, NW) තවත්, මනුෂ්‍ය ප්‍රාණය මරණීය බවත්, පාපයට දඬුවම මරණය මිසක පිච්චීම නොවන බවත් ඔප්පු කරන ශුද්ධ ලියවිලි පද ඔහු කියෙව්වා. (එසකියෙල් 18:4; රෝම 6:23) මේ අවස්ථාවේ පටන්, මගේ මුළු ජීවිත කාලය පුරාම ආගමික බොරුවෙන් අන්ධ වෙලා ඉඳලා තියෙන බව මම පැහැදිලිවම දකින්න පටන්ගත්තා. පල්ලියේ අනිත් මූලධර්මයනුත් වැරදිද කියලා දැන් මම කල්පනා කරන්න පටන්ගත්තා.
තවදුරටත් මුළා වෙලා ඉන්න මට ඕන වුණේ නෑ; ඒ නිසා මම කතෝලික බයිබල් අකාරාදියක් සහ පාප්වරුන්ගේ ඉතිහාසය ගැන වෙළුම්-පහක් මිල දී ගත්තා. මේ ප්‍රකාශනවලට මුද්‍රණය සඳහා අවසරය තිබුණා, එනම්, රෝමානු කතෝලික බිෂොප් අධිකාරීන් ඒවා මුද්‍රණය කිරීමට අනුමැතිය දී තිබුණා. පාප්වරුන්ගේ ඉතිහාසය කියවීමෙන්, ඔවුන්ගෙන් සමහරු ලෝකයේ දරුණුම අපරාධකරුවන් අතර සිට ඇති බව මට පැහැදිලි වුණා! ඒ වගේම බයිබල් අකාරාදිය සෝදිසි කිරීමෙන්, ත්‍රිත්වය, නිරාගින්න, ශුද්ධගිනිස්ථානය සහ පල්ලියේ උගන්වන වෙනත් බොහෝ ඉගැන්වීම් බයිබලය මත පදනම් වී නැති බව මම දැනගත්තා.
දැන් මම සාක්ෂිකරුවන් එක්ක බයිබල් පාඩමක් කරන්න සූදානම්. මුලින්ම, මාරිය ඉඳගත්තේ ආචාර සම්පන්න වෙන්න ඕන නිසයි; නමුත් වැඩි කල් නොගොස් ඈ ඉගෙනගත් දේවල් වැලඳගත්තා. මාස හතරකට පස්සේ මම කතෝලික පල්ලියෙන් අයින් වූ අතර, අපේ දරුවන් තවදුරටත් ආගමික පංතිවලට සහභාගි වෙන්නේ නැති බව පූජකයාට දැනුම් දුන්නා. ඊළඟ ඉරිදා, පූජකයා තම මීසමේ භක්තිකයන්ට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන අනතුරු ඇඟෙව්වා. බයිබලය පාවිච්චි කර මගේ විශ්වාසයන් වෙනුවෙන් කතා කරන්න මම ඉදිරිපත් වුණත්, එවැනි සාකච්ඡාවකට පූජකයා කැමති වුණේ නෑ.
ඊට පස්සේ අපි ඉක්මනින්ම වර්ධනය වුණා. අන්තිමේදී, 1970 දෙසැම්බර් 13වෙනිදා මගේ භාර්යාව සහ මම වතුර බව්තීස්මයෙන් යෙහෝවාට අපේ කැපවීම සංකේතවත් කළා. අවුරුද්දකට පස්සේ, ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය සම්බන්ධ ප්‍රශ්නය හේතුවෙන් මට මාස දෙකක් සිරේ ගත කරන්න සිද්ධ වුණා. (යෙසායා 2:4) ඒ කෙටි කාලයට වුණත්, දරුවන් අටදෙනා එක්ක මගේ භාර්යාව දාලා යන එක පහසු දෙයක් වුණේ නෑ. දරුවන් සිටියේ මාස 4 සිට අවුරුදු 12 දක්වා වයසකයි. ඊට අමතරව, අපිට ගොවිපොළක් සහ සත්වයන්ව රැකබලා ගන්නත් තිබුණා. නමුත් මම නැතත් යෙහෝවාගේ උපකාරයෙන් තත්වයට සාර්ථකව මූණ දෙන්න ඔවුන්ට හැකි වුණා.
රාජ්‍ය කටයුතු මුල් තැනට දැමීම
අසනීප වුණොත් මිසක නැත්නම් අපේ පවුලේ එක් කෙනෙක්වත් සභා රැස්වීමක් අතපසු කළේ නෑ. ඒ වගේම එකම ලොකු සමුළුවක්වත් කවදාවත් අතපසු නොවන ආකාරයකින් අපි අපේ වැඩ සම්භාරය සංවිධානය කළා. වැඩි කල් නොගොස්, අපේ උඩුමහල් තලයේ කෙරෙන දරුවන්ගේ ක්‍රීඩා, ඔවුන් අපේ ක්‍රිස්තියානි රැස්වීම්වලදී නිරීක්ෂණය කළ දේවල් රඟ දැක්වීම වටා ගෙතුණා. උදාහරණයක් වශයෙන්, ඔවුන් එකිනෙකාට ශිෂ්‍ය කතා පවරන අතර ඉදිරිපත් කිරීම් පුහුණු වෙන්න වුණා. අපේ ආත්මික උපදෙස්වලට ඔවුන් සියල්ලන්ම ප්‍රතිචාරය දැක්වීම සතුටක්. වැඩිමලාගේ සිට බාලයා දක්වා—කිට්ටු අවධානයකින් සවන් දෙමින් සිටි අපේ දරුවන් අටදෙනාමත් එක්ක මගේ භාර්යාව හා මාව, චාරිකා එක්රැස්වීමකදී සම්මුඛ සාකච්ඡාවකට කැඳවූ අවස්ථාව මම මතකයට නඟන්නේ ඉමහත් ආශාවකින්.
“යෙහෝවාගේ හික්මවීමෙන්ද, මානසික ශික්ෂණයෙන්ද” අපේ දරුවන්ව ඇති දැඩි කිරීම අපේ ප්‍රධාන කාර්යය බවට පත් වුණා. (එපීස 6:4, NW) අපේ රූපවාහිනිය ඉවත් කරන්න අපි තීරණය කළ අතර, අපේ දරුවන්ට ඔවුන්ගේ අද්දැකීම්වලින් සහ උද්‍යෝගයෙන් ප්‍රයෝජන ලබාගත හැකිවීම සඳහා බොහෝවිට අපි ජ්වලිත සෙසු ක්‍රිස්තියානීන්ට ආරාධනා කළා. අනවශ්‍ය කතා සහ අන්‍යයන්ව විවේචනය කිරීමෙන් වැළකීමට අපි සාවධාන වුණා. යමෙක් වැරැද්දක් කළොත්, අපි කාරණය ගැන කතා කරලා, තත්වයන් සැහැල්ලු කරගන්න සැලකිලිමත් වුණා. යම් තත්වයක් සාධාරණ ලෙසත්, යුක්තිසහගත ලෙසත් කිරා මැන බැලීමට අපේ දරුවන්ට උපකාර කරන්න අපි වෑයම් කළා. අනිත් යෞවනයන් එක්ක සැසඳීම අපි පරෙස්සමින් වළක්වාගත්තා. තවත් දෙමාපියන් හැටියට අපි, දරුවන්ගේ ක්‍රියාවලට ලැබෙන ප්‍රතිඵල නොවැළැක්වීමේ හෝ ඔවුන්ගේ වැරදි වහලා ඔවුන්ව සුදනන් නොකිරීමේ වැදගත්කම තේරුම්ගත්තා.—හිතෝපදේශ 29:21, NW.
එහෙත්, අපේ දරුවන්ව ඇති දැඩි කිරීමේදී ගැටලු නොතිබුණා නොවෙයි. නිදසුනකට, එක් අවස්ථාවකදී, මුදල් නොගෙවා වෙළඳසැලකින් රසකැවිලි ගැනීමට පාසැල් මිත්‍රයන් ඔවුන්ව පොලඹවා තිබුණා. එවැන්නක් සිදු වී ඇති බව අපි දැනගත්තාම, ගිහින් ඒ සඳහා වෙළඳසැලට ගෙවන්නත්, සමාව ඉල්ලන්නත් අපි දරුවන්ට සැලැස්සුවා. ඔවුන්ට ඒක ලජ්ජාවක් වුණත් අවංකභාවය සම්බන්ධයෙන් ඔවුන් පාඩමක් ඉගෙනගත්තා.
අපිත් එක්ක දේශනා වැඩයට හවුල් වෙන්න කියලා අපේ දරුවන්ට නිකම්ම බල කරනවා වෙනුවට, ඒ වැඩයට ප්‍රථම ස්ථානය දෙමින් අපි ආදර්ශයක් තැබුවා. රැස්වීම් සහ ක්ෂේත්‍ර සේවය, ගොවිපොළ සම්බන්ධයෙන් කරන්න තියෙන වැඩවලට ඉදිරියෙන් අපි තබන බව දරුවෝ දැක්කා. යෙහෝවාගේ මාර්ගයෙහි අපේ දරුවන් අටදෙනාව ඇති දැඩි කරන්න අපි දැරූ වෑයම්වලට ඇත්තෙන්ම ආශීර්වාද ලැබුණා.
අපේ වැඩිමල් පුත්, යෝසෙෆ් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් වන අතර, ඔහුගේ භාර්යාව සමඟ ස්විට්සර්ලන්තයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ අවුරුදු කීපයක් සේවය කළා. තෝමස් වැඩිමහල්ලෙක් වන අතර, ඔහු සහ ඔහුගේ භාර්යාව, පූර්ණ-කාලීන දේවසේවකයන්ව හඳුන්වන ලෙස පුරෝගාමීන්. බයිසිකල් ධාවන ශූරයෙක් වශයෙන් කළ තම වෘත්තිය අත්හැරිය ඩානිල් වැඩිමහල්ලෙක් වන අතර, ඔහු සහ ඔහුගේ භාර්යාව, වෙන සභාවක පුරෝගාමීන්. බෙනෝ සහ ඔහුගේ භාර්යාව, මධ්‍යම ස්විට්සර්ලන්තයේ ක්‍රියාශීලී දේවසේවකයන්. අපේ පස්වන පුතා, ක්‍රිස්ටිආන්, අපි සහභාගි වන සභාවේ වැඩිමහල්ලෙක් හැටියට සේවය කරනවා. ඔහු විවාහකයි; දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ෆ්‍රාන්ට්ස් පුරෝගාමියෙක් සහ බර්න්හි සභාවේ වැඩිමහල්ලෙක්; එක කාලයකදී ස්විට්සර්ලන්තයේ ශාඛා කාර්යාලයේ සේවය කළ උර්ස් විවාහ වී සිටින අතර පුරෝගාමියෙක් හැටියට සේවය කරමින් සිටිනවා. අපේ එකම දියණිය රේචල් සහ ඇගේ ස්වාමිපුරුෂයාත් අවුරුදු කීපයකට පුරෝගාමීන්ව සිටියා.
මගේ දරුවන්ගේ ආදර්ශය අනුගමනය කරමින් මමත් 1990 ජූනිවලදී බාහිර රැකියාවෙන් විශ්‍රාම ගෙන පුරෝගාමියෙක් බවට පත් වුණා. මගේ ජීවිතය හා මගේ පවුල දෙස හැරී බලද්දී, යෙහෝවා අපේ මාර්ගය සමතලා කර තිබෙන බවත්, “තවත් ඕනෙ නැති වන තෙක්ම” අපට ආශීර්වාද පිරිනමා ඇති බවත් මට ඇත්තෙන්ම කියන්න පුළුවන්.—මලාකී 3:10, NW.
මගේ දයාබර භාර්යාවගේ ප්‍රියතම බයිබල් පදය මෙයයි: ‘ඔබේ බර යෙහෝවා පිට තබන්න, ඔහු ඔබ උසුලන්නේය. ඔහු කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන්නේය.’ (ගීතාවලිය 55:22) ඒ වගේම මගේ එක මෙයයි: ‘යෙහෝවා කෙරෙහි ප්‍රීතිමත් වන්න; ඔහුද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ට කරන්නේය.’ (ගීතාවලිය 37:4) මේ ලස්සන ප්‍රකාශවල සත්‍යතාව අපි දෙන්නම අද්දැකලා තියෙනවා. අපේ ඉලක්කය අපේ දරුවන් සහ ඔවුන්ගේ පවුල් සමඟ සදහටම අපේ දෙවි යෙහෝවාට ප්‍රශංසා කිරීමයි.—පැවසුවේ යෝසෙෆ් හෙග්ලි විසින්.