ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g98 2/8 24-26 පි.
  • කඳු ගෝරිල්ලන් බලන්න යෑම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කඳු ගෝරිල්ලන් බලන්න යෑම
  • 1998 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • උන්ව අතගාන තරමට ළං වෙලා!
  • දුටු සැණින් හද ගැහෙන රුව
    2012 පිබිදෙව්!
  • ගැබොන් සත්ව රාජධානියක්
    2008 පිබිදෙව්!
  • ගෝරිල්ලා පැටවෙකුගේ දුක්බර කඳුළු
    2008 පිබිදෙව්!
  • පටුන
    2012 පිබිදෙව්!
තව තොරතුරු
1998 පිබිදෙව්!
g98 2/8 24-26 පි.

කඳු ගෝරිල්ලන් බලන්න යෑම

ටැන්සානියාවේ පිබිදෙව්! වාර්තාකරු විසින්

රුවන්ඩාවේ සහ කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ දේශ සීමාවල පිහිටි ගිනි කඳු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙන්නේ උන්ගෙන් 320දෙනෙක් පමණයි. උගන්ඩාවේ පිහිටි ඇතුළට යා නොහැකි වනාන්තරවල තවත් 300ක් වාසය කරනවා. උන් තමයි කඳු ගෝරිල්ලන් කියන්නේ; ලෝකයේ ඉතාමත් දරුණු ලෙස අවදානමට ලක් වී සිටින ක්ෂීරපායි සතුන් අතර මේ සතුන්ද සිටිනවා!

මේ සතුන්ට අත් වන ඉරණම සම්බන්ධයෙන් මහජනයාගේ සැලකිල්ල පුබුදුවාලීම සඳහා අමෙරිකානු සත්ව විද්‍යාඥ ඩයෑන් ෆොසී විශාල වැඩකොටසක් ඉටු කළා. ෆොසී, කඳු ගෝරිල්ලන් ගැන අධ්‍යයනය කිරීම සඳහා 1960 ගණන්වල අගභාගයේදී අප්‍රිකාවට පැමිණියා. නීති විරෝධි ලෙස දඩයම් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ කාලයේදී උන් වේගයෙන් අතුරුදහන් වෙමින් සිටියා. මේ ධෛර්යවත් විද්‍යාඥවරිය, වෙරුංග කඳුකරයේ හුදකලාව ජීවත් වෙමින් එහි වාසය කළ ගෝරිල්ලන් සමඟ ඉක්මනින්ම මිත්‍ර වුණා. ෆොසී තමා සොයාගත් දේවල් සඟරාවල හා ග’රිල්ලාස් ඉන් ද මිස්ට් (මීදුම් අතර වාසය කරන ගෝරිල්ලන්) නමැති පොතේ පළ කළා. කාලයක් ගතවීමත් සමඟම, ඇගේ මේ ලොම්වලින් වැසුණු මිතුරන්ව ආරක්ෂා කරගැනීමේ අධිෂ්ඨානය තව තවත් ශක්තිමත් කරගෙන, ඇය දඩයම්කරුවන්ට එරෙහිව සටනක් දියත් කළා. කෙසේවෙතත්, තමා විසින්ම පටන්ගත් මේ සටනේ ඈ ගොදුරක් වූ අතර, 1985දී නාඳුනන මිනිමරුවෙකු විසින් ඇයව ඝාතනය කළා.

මේ සාමකාමී සතුන්ව දැකබලා ගැනීම සඳහා අප තුළ මහත් ආශාවක් ඇති වූ නිසා, ගෝරිල්ලන්ගේ වාසභූමිය වෙත අනතුරුදායක ගමනක යෙදීමට 1993දී මාගේ බිරිඳත් මාත් තීරණය කළා. අපේ ත්‍රාසජනක අද්දැකීම නැවත වතාවක් අද්දකින්න කරුණාකර අපට ඉඩ දෙන්න.

එය ආරම්භ වෙන්නේ, මීටර් 3,700ක් උස විසොකෙ ගිනි කන්දේ පාමුල සිට රුවන්ඩාවේ වොල්කේනෝස් ජාතික උද්‍යානයේ සීමාව දක්වා පැයක කාලයක් කන්ද නැඟීම සඳහා අපේ මඟ පෙන්වන්නන් අපිත් එක්ක ගමන් කිරීමත් සමඟයි. ගෝරිල්ලන් අවට සිටින විට අපි හැසිරිය යුතු ආකාරය ගැන, අපි කෙටි විවේකයක් ගන්න අතරතුරේදී අපේ මඟ පෙන්වන්නන් අපිට පැහැදිලි කරයි. මේ විශේෂ සතුන් කණ්ඩායම බලන්න යෑමට අවසර දෙන්නේ දවසකට නරඹන්නන් අටදෙනෙකුට විතරයි කියා අපට පවසයි. මෙයින් උන් රෝගවලට ගොදුරු වීමේ අවදානම අඩු කරන අතර, උන්ගේ චර්යාවලට සිදු වන බාධාවන්ද වැළකෙයි.

“අපි කැලෑවට ඇතුල් වුණාට පස්සේ, හුඟක් හෙමින් කතා කළ යුතුයි” කියා එක් මඟ පෙන්වන්නෙක් අපට මතක් කරයි. කඳු ගෝරිල්ලන්ට අමතරව රන් පැහැති වඳුරන්, කුඩා කුරංගයන්, බුෂ්බක් වර්ගයේ මුවන්, අලින් හා මී හරක් පවා මේ කැලෑවේ ඉන්න නිසා වෙනත් සතුන්ව හා කුරුල්ලන්වද දැකබලා ගන්න එය අපිට උපකාරවත් වේවි.

උද්‍යානයේ කහඹිලියා වැනි පැළෑටි වර්ග තිබෙන බවත් කුහුඹු වර්ග සිටින බවත් මීදුමෙන් වැසුණු මඩ සහිත ලඳු කැලෑ අතරින් අපට ඇවිදින්න සිදු විය හැකි බවත් අපට දැනුම් දෙයි. මාගේ බිරිඳ හා මා එකිනෙකා දෙස බලයි. ඒ සඳහා අපි සූදානම් නැහැ! ඒ වුණත්, වැස්සේ ගමන් කරද්දී අවශ්‍ය කරන ආම්පන්න හා උස් සපත්තු අපට ලබා දීමෙන් මිත්‍රශීලී මඟ පෙන්වන්නන් අපට උපකාර කරයි.

මේ ගෝරිල්ලන් ඉතා පහසුවෙන්ම මිනිසුන්ගේ රෝගවලට ගොදුරු වන නිසා උන්ව ආරක්ෂා කරගැනීම සඳහා, අසනීප වී සිටින නැත්නම් තමාට බෝවෙන රෝගයක් තියෙන්න පුළුවන් කියා දන්න ඕනෑම කෙනෙකුට මෙතනින් නවතින්න පුළුවන් කියා මඟ පෙන්වන්නා කියයි. “ඔබ ගෝරිල්ලන් සමඟ සිටිද්දී, ඔබට කහින්න හෝ කිඹුහුමක් අරින්න සිදු වුණොත්, කරුණාකර සතුන් ළඟින් ඈත් වෙලා ඔබේ නහය හා කට වහගන්න” කියා මඟ පෙන්වන්නන්ගෙන් එක් අයෙක් පවසයි. “මතක තියාගන්න! අපි උන්ගේ හිමෙන් වැසුණු වාසභූමියේ අමුත්තන්.”

උන්ව අතගාන තරමට ළං වෙලා!

කන්ද නැඟීම එන්න එන්නම අමාරුයි. අපි මීටර් 3,000ක උසකට ළඟා වෙයි. වායුගෝලය තුනී නිසා හුස්ම ගැනීම අමාරුයි; ඒ වගේම ගමන් කරන මාර්ගය පටුයි. ඒත්, ඝනට වැඩුණු පාසි, මීවන හා ඕකිඩ්වලින් බර වූ පොළොවට සමාන්තරව විහිදුණු අතුවලින් යුත් හජිනී ගසේ අලංකාරය දැකීමෙන් අපට වින්දනයක් ලබන්න පුළුවන්. එය මේ වනාන්තරයට පාරාදීසයක් බඳු පෙනුමක් ලබා දෙයි.

ගෝරිල්ලන් අලුත් ආහාර සොයමින් හැම තිස්සෙම තැනින් තැනට ගමන් කළත්, දැන් අපේ මඟ පෙන්වන්නන් කලින් දවසේදී උන්ව දැක්ක තැන සොයන්න පටන්ගනියි. “අර බලන්න!” එක් කෙනෙක් කෑ ගසයි. ළපටි ගස්වැල්වලින් ඝනකමට සාදා තිබෙන්නේ, පස්සා පැත්ත රිදී පැහැය ගත් ගෝරිල්ලාගේ යහනාව නැත්නම් කැදැල්ලයි.

“ඌට කියන්නේ, යුමුගොමේ කියලයි” කියා මඟ පෙන්වන්නා පැහැදිලි කරයි. “පිරිමි සතාට අවුරුදු 14ක් විතර වෙද්දී උගේ පස්සා පැත්ත සුදුවට හුරු රිදී පැහැයක් ගන්නවා. ඊට පස්සේ, ඌව රංචුවේ නායකයා හැටියට සලකනවා. සියලුම ගැහැනු සතුන් එක්ක සංසර්ගයේ යෙදෙන්නේ, පස්සා පැත්ත රිදී පැහැය ගත් මේ ගෝරිල්ලා විතරයි. එහෙම කරන්න උත්සාහ කරන කුඩා උන්ව එළවා දමනවා! කොහොමවුණත්, පස්සා පැත්ත රිදී පැහැය ගත් ගෝරිල්ලා එක්ක තරඟ කරල, ඌව මරා දාන්න තව එකෙකුට පුළුවන් වුණොත්, ඌ ඌගෙන් පැවතෙන හැම එකෙක්වම මරා දානවා. ඊට පස්සේ, ඌ නායකත්වය බාරගෙන, රංචුවේ ඉන්න ගැහැනු සතුන් එක්ක එකතු වෙලා ප්‍රජාවක් බිහි කරනවා.”

අපි මඟ පෙන්වන්නන් පසුපසින් ගමන් කරමින් අලංකාර උණ ගස් වනාන්තරයකට ඇතුල් වෙද්දි, අපේ කණ්ඩායමේ කෙනෙක් “ගෝරිල්ලන්ට කොච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන්ද?” කියා අසයි.

“අවුරුදු 40ක් විතර” කියා සෙමින් උත්තර දෙයි.

ගොරෝසු හඬකින් ගොරවන ශබ්දය ඇසෙද්දී, “ෂ්!ෂ්!” කියමින් කවුදෝ කෙනෙක් කොඳුරයි. “ඒ මොකෙක්ද? ගෝරිල්ලෙක්ද?” නැහැ, මඟ පෙන්වන්නන්ගෙන් කෙනෙක් මොනවද වෙන්නෙ කියල බලන්න ගෝරිල්ලෙක් වගේ ගොරවයි. අපි හුඟාක් ළං වෙලා ඉන්න ඕනෙ!

ඔව් ඇත්තෙන්ම, උන්ගෙන් 30දෙනෙක් විතර අපි ළඟ සිට මීටර් 5ක් දුරකිනුයි ඉන්නේ! බිම ඇනතියාගෙන නිහඬ වෙන්න කියා අපට කියයි. “උන් දෙසට මොනාහරි විසි කරනවා කියල උන් හිතන්න පුළුවන් හින්දා උන් ඉන්න පැත්තට ඇඟිල්ල දික් කරන්න එපා” කියා එක් මඟ පෙන්වන්නෙක් ඕනෑකමින් ඉල්ලා සිටියි. “කරුණාකර හයියෙන් කෑගහන්න එපා. ඡායාරූප ගනිද්දී, සෙමින් පරෙස්සමින් යන්න, ආලෝකය පාවිච්චි කරන්න එපා.”

උන්ව අතගාන තරමට අපි උන්ට ළං වෙලා! ඒත් කවුරුහරි කෙනෙකුට අතගාන්න හිතෙන්න කලින් එක මඟ පෙන්වන්නෙක් මෙහෙම කියමින් කොඳුරයි: “උන්ව අතගාන්න එපා!” ඒක කිව්වා විතරයි කුඩා ගෝරිල්ලන් ජෝඩුවක් අපිව පරීක්ෂා කරල බලන්න අපි ළඟට එයි. මඟ පෙන්වන්නා කුඩා අත්තකින් සෙමින් උන්ට ගැසූ විට, කුතුහලයෙන් සිටින මේ පැටව්, කුඩා දරුවන් පොරබදිමින් බිම දිගේ පෙරළීගෙන යන්නාක් මෙන් බෑවුමෙන් පහළට පෙරළීගෙන යයි. සෙල්ලම දරුණු අතට හැරෙද්දී “අම්මා” මැදිහත් වෙයි.

පස්සා පැත්ත රිදී පැහැය ගත් ගෝරිල්ලා දුරක සිට අපි දෙස බලා ඉඳියි. හදිසියෙන්ම, ඌ අපි දෙසට ඇවිත්, අපි වාඩි වී සිටින තැන සිට මීටර් කිහිපයක් දුරින් වාඩි වෙයි. ඌ හරි විශාලයි, කිලෝග්‍රෑම් 200ක් විතර බර වෙන්න ඕනෙ! ඌ අපි ගැන සෝදිසියෙන් සිටියත්, වැඩි අවධානයක් දෙන්නේ කෑමටයි. ඇත්තෙන්ම, කන එක ගෝරිල්ලන්ගේ ප්‍රධාන වැඩක්! පස්සා පැත්ත රිදී පැහැය ගත් ගෝරිල්ලෙක් දවසකට කිලෝග්‍රෑම් 30ක බරකින් යුත් ආහාර ගන්නවා. ඒ වගේම කණ්ඩායමේ ඉන්න හැම සතෙක්ම උදේ ඉඳන් හවස් වෙන තෙක් කෑම සොයනවා. උන් සොයාගත් “රසවත්” කෑමකට උන් සටන් කරනවා සමහර අවස්ථාවලදී දකින්න පුළුවන්.

උන්ගේ ප්‍රියතම ආහාරය, දැවැන්ත සිනිෂියෝ ගසේ බඩයයි. උන් වල් සැල්දිරි, සමහර ගස්වල මුල් හා උණ ගස්වල රිකිලි කන්නත් හරි කැමතියි. සමහර අවස්ථාවලදී ගොකටු, කහඹිලියා, මණ්ඩා ශාක වර්ගවල කොළ සහ විවිධ මුල් හා වැල් ජාති සමඟ උණ ගස්වල රිකිලි මිශ්‍ර කරමින් උන් “සලාදයක්” පවා සදාගන්නවා. “ගෝරිල්ලන් කහඹිලියා ගස් කඩාගෙන ඒවා සුද්ද කරද්දී, ඒවායේ බූව ගෑවීමෙන් උන්ට වේදනාවක් ඇති වෙන්නේ නැත්තේ ඇයි?” කියා කෙනෙක් අසයි. මඟ පෙන්වන්නෙක් එය මේ විදිහට පැහැදිලි කරයි: “උන්ගේ අල්ලේ ඇතුල් පැත්තේ ඝන හම් තට්ටුවක් තියෙනවා.”

අපි මේ නිසල දර්ශනය දැකීමෙන් සතුටක් භුක්ති විඳිද්දී, හදිසියෙන්ම විශාල පිරිමි සතෙක් උගේ කකුල්වලින් සිටගෙන, මිට මොළවාගත් අත්වලින් උගේ පපුවට ගසාගනිමින් භයානක විදිහට මහ හයියෙන් කෑගසයි. ඌ අපේ මඟ පෙන්වන්නන්ගෙන් කෙනෙකු වෙත වේගයෙන් ඇවිත්, එකපාරටම ඔහු ඉදිරිපිට නතර වෙයි. ඌ රෞද්‍ර විදිහට මඟ පෙන්වන්නා දෙස ඇස් ලොකු කර බලයි! ඒත් අපේ මඟ පෙන්වන්නා බිය වී කලබල වෙන්නේ නැහැ. ඒ වෙනුවට, ඔහු ඇනතියාගෙන, ඌරෙක් වගේ ගොරවමින් සෙමින් සෙමින් පිටුපසට ඇදෙයි. පස්සා පැත්ත රිදී පැහැය ගත් ගෝරිල්ලාට තමාගේ ශක්තිය හා බලය අපිට පෙන්වන්න වුවමනාකමක් තිබූ බව පේනවා. ඇත්තෙන්ම, ඌට ඒක කරන්න පුළුවන් වුණා!

දැන් මඟ පෙන්වන්නන් ආපසු පිටත් වී යෑමට සූදානම් වෙන්න කියා සංඥාවක් දෙයි. “මීදුම අතර සිටින” ආගන්තුකයන් වගේ අපේ මේ අපූරු, සාමකාමී සත්වයන් සමඟ පැයකට ටිකක් වැඩි කාලයක් ගත කර තිබෙනවා. කෙටි වුණත්, අපි දැකබලාගත් දෙය වඩාත්ම අමතක නොවන අද්දැකීම්වලින් එකක් වී තිබෙනවා. අපට උපකාර කළ නොහැකි වුණත්, මිනිසා සහ සත්වයා එකිනෙකා අතර සාමයෙන් සැමදා වාසය කරන්න යන පැමිණෙන නව ලොව ගැන බයිබලයේ සඳහන් පොරොන්දුව ගැන සිතා බලන්න!—යෙසායා 11:6-9.

[26වන පිටුවේ සිතියම්]

(For fully formatted text, see publication)

කඳු ගෝරිල්ලන් නිදැල්ලේ හැසිරෙන ප්‍රදේශයක්

කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය

කීව් විල

උගන්ඩාව

රුවන්ඩාව

අප්‍රිකාව

විශාල කරන ලද ප්‍රදේශය

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න