අපරාධ-තොර ලොවක් ළඟදීම එනවා!
අදදින තිබෙන ලෝක තත්වය දෙස අප බලන විට, නරක දේ කිරීමට ඇති බලපෑමෙන් වැළකී සිටින එක හුඟක් දුෂ්කර බව පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම, අපි සියලුදෙනාම ඉපද සිටින්නේ නරක දේවල් කිරීමට නැඹුරුවාවක් ඇතුව අසම්පූර්ණවයි. (1 රාජාවලිය 8:46; යෝබ් 14:4; ගීතාවලිය 51:5) තවද යක්ෂයා වන සාතන්ව ස්වර්ගයෙන් පහ කර තිබෙන නිසා, වෙන කවදාටත් වඩා කරදර ඇති කිරීමට ඔහු වඩාත් වැඩි වෑයම් දරනවා.—එළිදරව් 12:7-12.
ප්‍රතිඵල ඉතා භයානකයි. උදාහරණයක් වශයෙන්, ස්කොට්ලන්තයේ දරුවන් 4,000ක් පිළිබඳව කළ සමීක්ෂණයකින්, වයස 11 සහ 15 අතර සිටින තුනෙන් දෙකක් දැනටමත් අපරාධ කර තිබෙන බව හෙළි වුණා. බ්‍රිතාන්‍ය පුරා කරන ලද සමීක්ෂණයකින්, සෑම තුන්වන නහඹරයාම පාහේ සාප්පුවලින් සොරකම් කිරීම වරදක් ලෙස ගණන් ගන්නේ නැති බව පෙන්නුම් කළා. එමෙන්ම මාරු සල්ලි හැටියට තමන්ට වැඩි මුදලක් ලැබුණොත් තමන් එය තබාගන්නා බවට අඩක් පිළිගත්තා.
ලෝකාසියෝනෙ ඒ ල්වෝමෝ ලාඩ්රෝ (ප්‍රස්තාව හා සොරකම) නම් ඉතාලි පොත, ජනයා සොරකම් කරන්නේ ඇයි කියන එක සම්බන්ධයෙන් තීක්ෂ්ණ බුද්ධියක් ලබා දෙනවා. සොරුන්ට “ආත්මදමනයේ පහත් මට්ටමක් තිබෙන” අතර ඔවුන් ‘පිනවීම අතපසු කිරීමට නොහැකි’ අය බව පොත පවසනවා. සොරුන්ගෙන් වැඩිදෙනෙක් එහි නිපුණත්වයක් ලැබූ අය නොව නමුත් “අවස්ථාවලින් ආත්මාර්ථකාමීව ප්‍රයෝජන ගැනීමට කැමැත්තක් දක්වන අවස්ථාවාදීන්” බවත් පොත තවදුරටත් පවසනවා.
බොහෝදෙනා “නීති කඩ කිරීමෙන් වළකින්නේ” ඇයි කියා පොත නිරීක්ෂණය කිරීමත් උනන්දුව ඇති කරවන්නක්. හේතුව ඔවුන් “භය වෙන්නේ නීතියෙන් දඬුවම් දෙයි යන භය” නිසා නොව, “නමුත් ඔවුන්ව එසේ කිරීමෙන් වළක්වන්නේ ඔවුන්ට සදාචාර සාරධර්ම තිබෙන නිසා” යයි එය නිගමනය කිරීමයි. එවැනි සුදුසු සදාචාර සාරධර්ම ඉගෙනීමට ජනයාට හැක්කේ කොතැනින්ද?
අවශ්‍ය කරන අධ්‍යාපනය
හොඳයි, අදහස් හුවමාරු කිරීමේ බොහෝ මාධ්‍යයන්ගෙන් ඉගෙනගත් දේ සලකා බලන්න. උදාහරණයක් වශයෙන්, චිත්‍රපට හා රූපවාහිනිය මගින් සාමාන්‍යයෙන් ඉදිරිපත් කරනු ලබන පණිවිඩය වන්නේ ප්රචණ්ඩත්වය, කාමමිථ්‍යාචාරය හා නොමනා හැසිරීම පිළිගත හැකි බවයි. එසේනම්, ජනයාගේ ආත්ම-දමනය ඉතා පහත් මට්ටමක තිබීම පුදුමයක් නොවෙයි. අනික් අතට, බයිබලය, මෙසේ නැණවත්ව උගන්වනවා: “කෝපවීමට ප්‍රමාද වෙන්නා බලවන්තයෙකුට වඩා උතුම් වන අතර තම ආත්මය දමනය කරගන්නා නුවරක් අල්ලාගන්නාට වඩා උතුම්ය.”—හිතෝපදේශ 16:32, NW.
අදදින ප්‍රචාරයන් සලකා බලද්දී, බොහෝදෙනෙකුට “පිනවීම අතපසු කළ නොහැකි වීම” පුදුමයක් නොවිය යුතුයි. නිතරම ජනයාට අහන්න ලැබෙන්නේ මෙලෙසයි: “පසුව ගෙවන්න දැන් මිලට ගන්න.” “පහසුගන්න.” “ඔබ හොඳම දේ ලැබිය යුතුයි.” “ඔබේ සුභසිද්ධිය ගැන තකන්න.” ආත්ම-පිනවීම සාමාන්‍ය හා සුදුසු දෙයක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. නමුත් තමා කෙරෙහිම යොමු වී සිටීමේ එවැනි දෘෂ්ටියක්, “නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණත් බලන්න” යන බයිබල් ඉගැන්වීමට පටහැනියි.—පිලිප්පි 2:4.
වංක වැඩිදෙනෙක් අවස්ථාවාදීන් බවට ඔබ එකඟ නොවන්නෙහිද? අභාග්‍යයකට, තමන්ගේම වාසි ප්‍රයෝජන සඳහා තත්වයන් ආත්මාර්ථකාමී ලෙස හරවාගැනීමට කැමති ජනයාගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. යම් ක්‍රියාවක් සදාචාරමය ලෙස හරිද කියා ඔවුන් අහන්නේ නැහැ. ඔවුන්ගේ එකම අභිප්‍රාය, ‘මට අහු නොවී ඒක කරන්න පුළුවන් වෙයිද’ යන්න පමණයි.
අවශ්‍යව තිබෙන්නේ කුමක්ද? ඉහත සඳහන් කළ ලෙස, සදාචාර සාරධර්ම අවශ්‍යයි. මේවා ජනයාව, අපරාධ ක්‍රියා කිරීමෙන්, ජීවිතයේ ශුද්ධභාවය කෙලෙසීමෙන්, විවාහයේ පරිශුද්ධභාවය නොසලකාහැරීමෙන්, මනා හැසිරීමේ සීමාවලින් පිට පැනීමෙන් හා එහෙමත් නැත්නම් අන්‍යයන්ගේ අයිතිවාසිකම් බලෙන් පැහැරගැනීමෙන් වළක්වනවා. එවැනි සාරධර්ම ඉගෙනගන්නේ නැති අය, බයිබලය පවසන අන්දමට, “තේරුම්ගැනීමෙන් අඳුරුව” සිටිනවා. (එපීස 4:18) අපරාධ-තොර ලොවක් භුක්ති විඳීමෙන් අපව වළක්වන්නේ එවැනි අභක්තික අයගේ අපරාධ හැසිරීමයි.
නව ලොවක් එන ආකාරය
සැබවින්ම, බොහෝදෙනෙක් අවංක වීමට, තම සෙසු ජනයාට ගෞරවයෙන් හා කල්පනාවෙන් සැලකීමට හා නීති විරෝධී ක්‍රියාවලින් වැළකී සිටීමට තම උපරිමය කරනවා. නමුත් ලෝකයේ ඉන්න හැමදෙනෙක්ම මෙසේ කරයි කියා සිතන එක මෝඩකමක්. බොහෝදෙනෙක් එසේ නොවනු ඇති අතර, ධර්මිෂ්ඨ මිනිසෙකු වූ නෝවාගේ දවස්වල ජීවත් වූ වැඩිදෙනෙකු පවා හරි දේ කිරීමට කැමැත්තක් දැක්වුවේ නැහැ. ප්‍රචණ්ඩත්වයෙන් පිරි එම ලොවෙහි නෝවා හා ඔහුගේ පවුල විතරයි අභක්තික හැසිරීමෙන් වැළකී, දෙවිගේ අනුමැතිය දිනාගත්තේ. අභක්තිකයන්ව ලෝක ජලගැල්මෙන් තුරන් කිරීම මගින් අපේ මැවුම්කරු තාවකාලිකව අපරාධවලින් තොර ලොවක් පවතින්න සැලැස්සුවා.
ජලගැල්ම හා අභක්තිකයන්ගේ විනාශය ගැන බයිබල් වාර්තාව හුදෙක් ලස්සන කතන්දරයකට වඩා වැඩි දෙයක් බව මතක තබාගැනීම වැදගත්. යේසුස් ක්‍රිස්තුස් මෙසේ පැහැදිලි කළා: “තවද නෝවාගේ දවස්වලදී වූවාක්මෙන්ම මනුෂ්‍ය පුත්‍රයාගේ දවස්වලදීත් වන්නේය.” (ලූක් 17:26; 2 පේතෘස් 2:5; 3:5-7) ජලගැල්මට පෙර දෙවි ඒ ප්රචණ්ඩ ලොව විනාශ කළා වගේම මේ අපරාධ-පිරි ලොවත් ඔහු විනාශ කරාවි.
යේසුගේ ප්‍රේමනීය ප්‍රේරිත යොහන් ප්‍රකාශ කළ පරිදි, හොඳ අධිකාරිත්වයක් සම්බන්ධයෙන් අපිට මෙම සැබෑව තිබෙනවා: “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් [දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.” (1 යොහන් 2:17) මේ ලොවේ අවසානය නව ලොවකට මාර්ගය විවෘත කරනු ඇති අතර බයිබලය පවසන්නේ, ‘දෙවි මනුෂ්‍යවර්ගයා සමඟ වාසයකරන්නේය. ඔව්හු ඔහුගේ සෙනඟ වන්නෝය, දෙවිම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවි වන්නේය. ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය’ කියායි.—එළිදරව් 21:3, 4.
ඒ නව ලොව එනු ඇති ආකාරය සම්බන්ධයෙන් විස්තර කරමින් බයිබලය මෙහෙමත් පවසනවා: “නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය, ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය.” (හිතෝපදේශ 2:22) පොළොවේ අවංක අය පමණක් ඉතිරි වීමෙන්, මෙම බයිබල් අනාවැකිය ඉෂ්ට වනු ඇති: “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”—ගීතාවලිය 37:11.
දෙවිගේ නව ලොවෙහි, සත්වයන් පවා ප්රචණ්ඩ වන්න යන්නේ නැහැ. බයිබලය මෙසේ පුරෝකථනය කරනවා: “වෘකයා බැටළුපැටවා සමග වාසයකරන්නේය, දිවියාද එළුපැටවා සමග ලගින්නේය; වස්සාද තරුණ සිංහයාද තර සතාද එක්ව සිටින්නෝය; කුඩා දරුවෙක් උන් ගෙනයන්නේය. . . . මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.”—යෙසායා 11:6-9; 65:17; 2 පේතෘස් 3:13.
දෙවිගේ නව ලොව අතළඟයි
ශුභාරංචිය නම් එවැනි සාමකාමී තත්වයන් ළඟදීම පොළොව පුරා ඉටු වෙන බවයි. ඇයි අපිට මේ තරම්ම සහතික වෙන්න පුළුවන්? ලෝක අවසානය ආසන්නයේදී හටගනු ඇතැයි යේසු පුරෝකථනය කළ දේවල් හටගෙන තිබෙන නිසායි. වෙනත් දේවලට අමතරව, යේසු මෙසේ පුරෝකථනය කළා: “ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත.” ඔහු මෙයත් ඊට එකතු කළා: “අධර්මිෂ්ඨකම බෝවෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේය.”—මතෙව් 24:7, 12.
යේසුගේ ප්රේරිතයෙකුත් මෙසේ පුරෝකථනය කළා: “[මේ ලෝකයේ] අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගන්න. මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, . . . තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව, . . . [දෙවිට] වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව . . . සිටින්නෝය.” (2 තිමෝති 3:1-5) ස්ථිරයෙන්ම, අපි ජීවත් වන්නේ මේ ලොවෙහි ‘අන්තිම දවස්වලයි!’ එම නිසා, ළඟදීම, දෙවිගේ නව ලොව එහි තැන ගනීවි!
අපරාධ නැති ලොවක් ඇති විය හැකි බව මිලියන සංඛ්‍යාතදෙනෙක් බයිබලය පාඩම් කිරීමෙන් ඒත්තුගෙන ඇති අතර, අපේ මැවුම්කාර යෙහෝවාගේ මාර්ගවල උගන්වනු ලැබීමට එන්න යන ආරාධනයට අනුව ඔවුන් ක්‍රියා කරමින් සිටිනවා. (යෙසායා 2:3) ඔවුන්ට එකතු වෙන්න ඔබ කැමතිද? අපරාධ-තොර නව ලොවක ජීවිතය ලැබීමට වෑයම් දැරීමට ඔබ සූදානම්ද?
මුලින්ම කළ යුත්තේ කුමක්ද කියා යේසු පෙන්නුවා. ඔහු මෙසේ පැහැදිලි කළා: “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයයි: එනම් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත්, ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.” මෙලෙස, ඔබේ සදාකාල සුභසිද්ධිය රඳාපවතින්නේ ඔබ දේවවචනය පාඩම් කර, ඉගෙනගන්නා දේ අනුව ක්‍රියා කිරීම මතයි.—යොහන් 17:3, NW.
[8, 9 යන පිටුවේ පින්තූරය]
බයිබලය අපරාධ-තොර නව ලොවක් විස්තර කරන අතර අපට එය භුක්ති විඳිය හැකි ආකාරය පවසනවා