බයිබලයේ දෘෂ්ටිකෝණය
භූතයන් සැබෑද?
දහහත්වන සහ 18වන සියවස්වලදී, යක්දෙස්සියන්ට විරුද්ධව වියරු වැටුණු පීඩාවේ ව්‍යාපාරයක් යුරෝපය හාත්පස ශීඝ්‍රයෙන් පැතිරුණා. වැරදිකාරියන්යයි චෝදනා ලැබූ යක්දෙස්සියන් බොහෝදෙනෙකුට දරුණු වදවේදනා අද්දකින්න සිදු වුණා. බොරු චෝදනා ලැබූ සමහරු වද විඳීමට කෙළවරක් ගෙන ඒමේ අටියෙන් යකුන් බැඳීම වෙනුවෙන් සමාව අයැද සිටියා. දූසමාන ආරංචි සහ සැක හේතුවෙන් නොදන්නා සංඛ්‍යාවක්ව විනාශයට පත් කළා.
යම් ආකාරයක භූත ඇදහීමක් වූ යකුන් බැඳීමට විරුද්ධ එම ක්‍රියා ශුද්ධ ලියවිලි මත පදනම් වී ඇති බවට පිටතින් පෙනුණත්, නිසැකවම ඒවා උන්මත්තක වූවා. යක්දෙස්සියන්ට හෝ වෙනත් ආකාරයක ආත්ම බන්ධනකාරයන්ට වද දෙන්න හෝ ඔවුන්ව මරන්න ක්‍රිස්තියානීන්ට වගකීම පවරා නැහැ. (රෝම 12:19) අදදින පැතිර පවතින ආකල්පය කුමක්ද?
විවේකී ආකල්පයක්
එවන් ආත්ම බන්ධන ක්‍රියා අදදින ක්‍රිස්තියානි ලෝකයේ බොහෝ ජනයා බරපතළ ලෙස සලකන්නේ නැහැ. කුතුහලය හේතුවෙන්, සමහරුන් ජ්‍යොතිඃ ශාස්ත්‍රය, විජ්ජා, පේන කීම සහ යකුන් බැඳීම වැනි ගුප්ත ක්‍රියාවන්හි පිටාතරයෙන් යෙදී සිටීමට ඉඩ ඇති අතර, එම ගුප්ත ක්‍රියා භූත ඇදහීම ලෙස සලකන්නේ නැහැ. සමහර අවස්ථාවල, විනෝදකාමීන්, ක්‍රීඩා තරු සහ දේශපාලනඥයන් මේ ගුප්ත ක්‍රියාවන් සමඟ තමන්ගේ සම්බන්ධය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිනවා. සමහර පොත් සහ චිත්‍රපට, යක්දෙස්සියන් සහ මන්ත්‍රකාරයන්ව, “ආකර්ෂණීය, ඔවුන්ගේ ස්වභාවය ඉක්මවූ ක්‍රියාවන් මගින් කාටවත් හානි නොකරන යාන්තම් අසාමාන්‍ය පුද්ගලයන්” ලෙස ගෙනහැර දක්වනවායයි එක් විශ්වකෝෂයක් පවසනවා. දරුවන්ව විනෝද කරවන්න සහ දැනුවත් කරවන්න නිර්මාණය කර ඇති දේවල් ගුප්ත තේමාවන්ට අනුබල දෙනවා විය හැකියි.
භූත ඇදහීම සඳහා එවන් විවේකී සහ සාමාන්‍ය ආකල්පයක්, භූතයන්ගේ පැවැත්ම විශ්වාස නොකිරීම සඳහා මඟ පෑදිය හැකියි. භූතයන් පවතින බවත්, අපට හානි කරන්න ක්‍රියාශීලී ලෙස උත්සාහ කරමින් සිටින බවත් ඔබ විශ්වාස කරනවාද? කෙසේවෙතත්, ඔවුන් කිසිදා භූතයන් සමඟ සම්බන්ධකම් පවත්වා හෝ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයට සාක්ෂි අද්දැක නැති බව අදදින බොහෝ ජනයා කියා සිටිනවා. භූතයන් සැබෑද?
අවිශ්වාසය උභතෝකෝටික ප්‍රශ්නයක් ඉදිරිපත් කරයි
බයිබලය විශ්වාස කරනවායයි කියා සිටින නමුත් භූතයන්ගේ පැවැත්ම සැක කරන අය උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙනවා. භූතයන් සැබෑවක් බව ඔවුන් විශ්වාස කරන්නේ නැත්නම්, බයිබලය කෙරෙහි තරමක අවිශ්වාසයක් ඔවුන් පිළිබිඹු කරමින් සිටිනවා. ඇයි? දෙවිගේ වචනය වන බයිබලය තුළ ඒ අධිස්වාභාවික බලයන් ඇති දුෂ්ටාත්ම මැවිලි පිළිබඳ සංකල්පය උගන්වනු ලබන නිසයි.
බුද්ධිමත් මැවිල්ලක් විසින් ඒවව රවටන්න සර්පයෙකුව පාවිච්චි කර, එමගින් දෙවිට විරුද්ධව කැරලිගසන්න ඇයට මඟ පෙන්වූ ආකාරය ගැන මුල් පොත වන උත්පත්ති සඳහන් කරනවා. (උත්පත්ති 3:1-5) බයිබලයේ අවසාන පොත වන එළිදරව්හි, “මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන්යයි කියන” “පුරාණ සර්පයා” ලෙස මේ දුෂ්ට කපටියාව හඳුන්වනවා. (එළිදරව් 12:9) වෙනත් දේවදූතයන්ව කැරලිගැසීමට හසු කරගැනීමෙහි සාතන් සාර්ථක වුණා. (යූද් 6) බයිබලයේ මේ පහත වැටුණු දේවදූතයන්ව භූතයන් ලෙස හඳුන්වනවා. ඔවුන් පොළොවට කිට්ටුව සිට ක්‍රියාත්මක වෙමින් සිටින අතර, දෙවිටත් ඔහුට සේවය කරන අයටත් විරුද්ධව මහත් කෝපයකින් පසු වෙනවා.—එළිදරව් 12:12.
මනුෂ්‍යවර්ගයාට බලපෑම් කරන්න, හානි කරන්න සහ ඔවුන් සමඟ අදහස් හුවමාරු කරන්න සාතන්ට සහ ඔහුගේ භූතයන්ට බලය තිබෙනවා. (ලූක් 8:27-33) අවුරුදු දහස් ගණනාවක් පුරා ඔවුන් මනුෂ්‍යවර්ගයාගේ ස්වභාවය ගැන අධ්‍යයනය කර තිබෙනවා. මනුෂ්‍යවර්ගයාගේ දුර්වලකම්වලින් ප්‍රයෝජන ගන්නේ කොහොමද කියා ඔවුන් දන්නවා. පුරුෂයන්, ස්ත්‍රීන් සහ ළමුන්ට ඔවුන් ආවේශ වූ හෝ සම්පූර්ණ පාලනය අතට ගත් සිද්ධීන් බයිබලයේ වාර්තා කරනවා. (මතෙව් 15:22; මාර්ක් 5:2) අන්ධභාවය වැනි රෝග හෝ ශාරීරික දුබලතා ඇති කරන්න ඔවුන්ට පුළුවන්. (යෝබ් 2:6, 7; මතෙව් 9:32, 33; 12:22; 17:14-18) ජනයාගේ මනස් අන්ධ කරන්නත් ඔවුන්ට පුළුවන්. (2 කොරින්ති 4:4) ‘යමෙකුව ගිලගැනීමට සොයන ගොරවන සිංහයෙකු මෙන්’ වූ ඔවුන්ගේ නායකයා වන සාතන් මෙන් භූතයන් නොකඩවාම ක්‍රියාශීලීව සිටිනවා. (1 පේතෘස් 5:8) භූතයන්ගේ පැවැත්ම ගැන සිද්ධීන් බොහොමයක් බයිබලයේ අඩංගු වෙනවා. ඔබ බයිබලය කෙරෙහි විශ්වාස කරනවා නම්, එවිට එම අදෘශ්‍යමාන දුෂ්ට මැවිලිවල සැබෑ බව ඔබ පිළිගන්නවා.
නපුරු රවටන්නෝ
නමුත්, ලෝකය තුළ නිරන්තර භයානක තත්වයක් ඇති කරන්නේ නැතුව, අද බලවත් භූතයන්ට පවතින්න පුළුවන් වන්නේ කොහොමද? ඔවුන්ගේ පැමිණසිටීම සහ ක්‍රියාවන් එතරම් ප්‍රත්‍යක්ෂ නැත්තේ ඇයි? බයිබලය මෙසේ පිළිතුරු දෙනවා: “සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනියි.” (2 කොරින්ති 11:14) යක්ෂයා රවටන්නෙක්. භූත ක්‍රියාකාරිත්වයන් බොහෝදුරට හානියක් නැති හෝ ප්‍රයෝජනවත් දෙයක් ලෙස පෙනී සිටිනවා. එමනිසා, එය හඳුනාගැනීම අසීරුයි.
බයිබල් කාලවලදී කළ සේම සාතන් සහ ඔහුගේ භූතයන් විවිධාකාරයෙන් ජනයාට දිගටම පීඩා කරමින් සිටිනවා. දැන් අව්‍යාජ ක්‍රිස්තියානීන් වන සමහර අය, යම් කාලයක ගුප්ත ක්‍රියාවල යෙදී සිටියා; භූතයන්ගේ භයානක ආක්‍රමණ සම්බන්ධයෙන් ඔවුන්ට සාක්ෂි දෙන්න පුළුවන්. අදදින, සමහරවිට පෙරට වඩා මහා පරිමාණයකින්, කෙළින්ම ගුප්ත ක්‍රියාවල යෙදීමට ජනයාව රැවටීම සඳහා භූතයන් ඔවුන්ගේ අධිමානුෂික බලයන් පාවිච්චි කරනවා. ඔවුන්ගේ බලය අවතක්සේරු නොකළ යුතුයි. කෙසේවෙතත්, භය කිරීමෙන් එසේ කරනවාට වඩා දෙවි වෙතින් ජනයාව ඈත් කිරීමට පොලඹවාගැනීම මගින් වඩා සාර්ථක වී තිබෙනවා. සාතන් සහ ඔහුගේ භූතයන් ‘මුළු [ජනාවාස පොළොවම, NW] රවටන’ බව බයිබලය පවසනවා. (එළිදරව් 12:9) ආත්මිකත්වය සූක්ෂ්ම, කපටි මාර්ගවලින් දුර්වල කර දැමීම ඔවුන්ගේ අභිලාෂයයි.
භූතයන් සැබවින්ම සිටිනවා. අදදින ජනයා අතර පෙනෙන්න තිබෙන ලේ සහ විනාශය සඳහා අතෘප්තිකර පිපාසය විස්තර කරන්නේ වෙන කොහොමද? සාමයෙන් සහ සන්තෝෂයෙන් ජීවත් වන්න මනුෂ්‍යවර්ගයාට ස්වභාවයෙන්ම ඕනෑ කරනවා. නමුත් භූතයන් නපුරට අනුබල දෙන අතර, මනුෂ්‍යවර්ගයාගේ මනසට බලපෑම් කර එය දූෂ්‍ය කර දමන්න ඔවුන්ට බලය තිබෙනවා.
ඒ කෙසේවෙතත්, යෙහෝවා සර්ව පරාක්‍රම දෙවි—භූතයන්ට වඩා ඉතාමත්ම බලවත්. “යක්ෂයාගේ උපායවලට” විරුද්ධව ඔහු ඔහුගේ ශක්තිය සහ ආරක්ෂාව සපයනවා. (එපීස 6:11-18) යෙහෝවා අපට මෙසේ පොරොන්දු වන නිසා භූතයන් ගැන අපට අනවශ්‍ය ලෙස භයවීමට අවශ්‍ය නැහැ: “[දෙවිට] යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.”—යාකොබ් 4:7.
[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Sipa Icono