කාම්බෝජයෙහි මගේ ජීවිතය හා මරණය අතර දිගු ගමන
වැතනා ම්යස් පැවසූ පරිදි
එය 1974 වූ අතර, මම කාම්බෝජයෙහි ක’මේර් රූෂ්ට විරුද්ධව සටන් කරමින් සිටියා. මම කාම්බෝජයෙහි හමුදා නිලධාරියෙකුව සිටියා. එක සටනකදී අපි ක’මේර් රූෂ් සෙබළෙකුව අල්ලගත්තා. පෝල් පෝගේ අනාගත සැලසුම් පිළිබඳව ඔහු මට පැවසූ දෙයින් මගේ ජීවිතය වෙනස් වූ අතර, වචනානුසාරයෙන් මෙන්ම ආත්මිකව මාව දිගු ගමනක ගෙනියන්න පටන්ගත්තා.a
නමුත් මගේ ත්‍රාසජනක දිගු ගමන පටන්ගත් තැනට ඔබව ගෙන යන්න මට ඉඩහරින්න. මම ඉපදුණේ 1945දී ප’නොම් පෙන්හිදීයි; එය පිහිටා තිබෙන්නේ ක’මේර් භාෂාවෙන් කාම්පුචියා (කාම්බෝජය) වශයෙන් ප්‍රසිද්ධ ස්ථානයකයි. පස්සේ කාලෙකදී මගේ අම්මා රහස් පොලිසියේ වැදගත් තනතුරක් දැරුවා. ඇය එම රටේ පාලකයා වූ නෝර්රඩම් සිහනූක් කුමාරයා සඳහා විශේෂ ඒජන්තවරියක්ව සිටියා. ඇය මා සමඟ තනි වී සිටි නිසාත්, ඇයට කාර්යබහුල කාලසටහනක් තිබුණ නිසාත් මාව දැනුවත් කිරීමට බෞද්ධ පන්සලක මාව නතර කළ යුතු බව ඇයට හැඟුණා.
මගේ බෞද්ධ පසුබිම
ප්‍රධාන බෞද්ධ භික්ෂුව එක්ක ජීවත් වෙන්න මම යද්දී මට වයස අවුරුදු අටයි. ඒ අවුරුද්දේ ඉඳලා 1969 වන තුරු මම මගේ කාලය පන්සල හා නිවස අතර බෙදුවා. මම සේවය කළේ ඒ කාලයෙහි කාම්බෝජයෙහි උසස්ම බෞද්ධ අධිකාරයා වූ චූන් නැට් යටතෙයි. ටික කාලෙකට, මම ඔහුගේ ලේකම් හැටියට වැඩ කළ අතර “පිටක තුන” (ටිපිටක හෝ සංස්කෘත ත්‍රිපිටක) නම් වූ බෞද්ධ ශුද්ධ පොත, පරණ ඉන්දියානු භාෂාවකින් කාම්බෝජ භාෂාවට පරිවර්තනයේදී ඔහුට සහාය දුන්නා.
මාව 1964දී භික්ෂුවෙකු හැටියට පත් කළ අතර 1969 වන තුරු එසේ සේවය කළා. ලෝකයෙහි මේ තරම් දුක් වේදනා තිබෙන්නේ ඇයි සහ එය පටන්ගත්තේ කොහොමද වැනි බොහෝ ප්‍රශ්න මේ කාලය තුළදී තිබුණා. ජනයා තම දෙවිවරුන්ව සතුටු කරන්න බොහෝ ක්‍රමවලින් උත්සාහ කරන නමුත් ඔවුන්ගේ දෙවිවරුන්ට ඔවුන්ගේ ගැටලු විසඳිය හැක්කේ කෙසේද කියන එක ඔවුන් දැනගෙන හිටියේ නැති බව මම දැක්කා. සෑහීම ගෙන දෙන පිළිතුරක් බෞද්ධ ලියවිලිවල සොයාගන්න මටවත්, වෙනත් භික්ෂූන්ටවත් බැරි වුණා. මම කොයිතරම් කලකිරීමකට පත් වුණාද කියනවා නම් පන්සලෙන් ඉවත් වීමට තීරණය කරලා භික්ෂු තනතුරෙන් ඉවත් වුණා.
අන්තිමට, 1971දී, මම කාම්බෝජ හමුදාවට බැඳුණා. මාව 1971දී විතර වියට්නාමයට යවනු ලැබූ අතර මගේ අධ්‍යාපනික පසුබිම නිසා මාව දෙවන ලුතිනන්ගේ නිලයට උසස් කළා; විශේෂ බලකායන් සඳහා පැවරුමකුත් ලැබුණා. කොමියුනිස්ට් ක’මේර් රූෂ් හා වියට්කෝන්ග් බලකායන්ට විරුද්ධව අපි සටන් කළා.
යුද්ධය හා කාම්බෝජයෙහි වෙනස් වීම්
මම යුද්ධයෙහි ඇප කැප වූ පළපුරුදු සේවකයෙක් බවට පත් වුණා. හැම දවසකම වගේ මට මරණ දකින්න ලැබුණා. මම පෞද්ගලිකව සටන් 157ක නියැලුණා. එක කාලෙකදී, ක’මේර් රූෂ්වරුන් මාසයකට වැඩි කාලයක් අපව වනාන්තරය මැද්දේ වටලා සිටියා. මිනිස්සු 700කට වඩා මියගියා. අපි 15දෙනෙකුගේ විතර ජීවිත බේරුණා—මම ඔවුන්ගෙන් කෙනෙක් වූ අතර මට තුවාල වී තිබුණා. නමුත් මගේ පණ රැකුණා.
තවත් අවස්ථාවක, 1974දී, අපි ක’මේර් රූෂ් සෙබළෙකුව අල්ලගත්තා. මම ඔහුගෙන් ප්‍රශ්න කරද්දී, ඔහු පැවසුවේ, හමුදාවේ සිටින්නන් ඇතුළු කලින් රජයේ සියලුම නිලධාරීන්ව සහමුලින්ම විනාශ කර දැමීමට පෝල් පෝ සැලසුම් කර තිබෙන බවයි. සියල්ල අත්හැර පලායන්න කියා ඔහු මට පැවසුවා. ඔහු මෙසේ පැවසුවා: “ඔබේ නම දිගටම වෙනස් කරන්න. ඔබ කවුද කියන වග කිසි කෙනෙක්ට දැනගන්න ඉඩ තියන්න එපා. මෝඩ, නූගත් කෙනෙක් විදිහට හැසිරෙන්න. ඔබේ කලින් ජීවිතය ගැන කිසි කෙනෙකුට කියන්න එපා.” ඔහුගේ නිවසට යන්න මම ඔහුව නිදහස් කර හැරියට පස්සේ, ඒ අවවාදය මගේ මනසේ කාවැදුණා.
අපි සටන් කරන්නේ අපේ රට වෙනුවෙන් කියා සෙබළුන් වූ අපට පවසා තිබුණත්, අපි කාම්බෝජීය මිනිසුන්ව මරමින් සිටියා. ක’මේර් රූෂ්, එනම් භේද උපදවන කොමියුනිස්ට් බලයක් වූ ක’මේර් රූෂ් අපේම මිනිස්සුන්ගෙන් සෑදුණ එකක්. ඇරත්, කාම්බෝජයේ මිලියන නවයක ජනාවාසීන්ගෙන් වැඩිහරියක් ක’මේර් ජාතිකයන් වුණත්, ඔවුන්ගෙන් වැඩිදෙනෙක් ක’මේර් රූෂ් පක්ෂයට අයිති නැහැ. ඒකෙ කිසිම තේරුමක් නැහැයි කියලයි මට හැඟුණේ. තුවක්කු තිබුණේ නැති, යුද්ධ කිරීමට කිසි උනන්දුවක් නොතිබුණ අහිංසක ගොවියන්වයි අපි මැරුවේ.
යුද්ධයෙන් පසුව පැමිණෙන හැම අවස්ථාවක්ම හද දෙදරවන අද්දැකීමක්. ස්වාමිපුරුෂයා හෝ පියා ආපහු ඇවිත් ඉන්නවාද කියා දැනගැනීමට ආශාවෙන් බලා ඉන්න භාර්යාවන් සහ දරුවන් එහි ඇවිත් ඉන්නවා. ඔවුන්ගේ පවුලේ සාමාජිකයාව මරා දාලා කියලා ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට කියන්න මට සිද්ධ වුණා. මේ සියල්ලේදී, බෞද්ධ ධර්මය පිළිබඳ මගේ තේරුම්ගැනීම මට කිසි සහනයක් ලබා දුන්නේ නැහැ.
කාම්බෝජයෙහි දේවල් වෙනස් වුණ ආකාරය මම දැන් ආපහු කල්පනා කරලා බලනවා. එක්දාස් නවසිය හැත්තෑවට කලින් තරමක් දුරට සාමය හා සුරක්ෂිතභාවය තිබුණා. වැඩිදෙනෙකු සතුව තුවක්කුවක් තිබුණේ නැහැ; ඔබට බලපත්‍රයක් තිබෙනවා නම් මිසක නැත්නම් එය තහනම්ව තිබුණා. මංකොල්ලකෑම හෝ සොරකම තිබුණේ ඉතා ස්වල්ප වශයෙන්. පෝල් පෝ සහ ඔහුගේ බලකායන් කැරලිගසමින් සිවිල් යුද්ධය පටන්ගත්තාට පස්සේ හැම දෙයක්ම වෙනස් වුණා. බැලූ බැලූ අත තුවක්කු තිබුණා. වෙඩි තියන්න සහ මරන්න උගන්වමින්, අවුරුදු 12හේ 13නේ බාලයන්ව පවා හමුදා සේවයට පුහුණු කරනු ලැබුවා. තමන්ගේම දෙමාපියන්ව මරාදැමීමට පෝල් පෝගේ මිනිස්සු සමහර දරුවන්ව හරවාගත්තා. සොල්දාදුවන් දරුවන්ට මෙසේ කියන්න යෙදුණා, “ඔබ ඔබේ රටට ප්‍රේම කරනවා නම්, ඔබේ සතුරන්ට වෛර කරන්න ඔබට සිද්ධ වෙනවා. ඔබේ දෙමාපියන් රජය වෙනුවෙන් වැඩ කරනවා නම්, ඔවුන් අපේ සතුරන්; ඒ නිසා ඔබ ඔවුන්ව මරන්න ඕනෙ—එහෙම නැත්නම් ඔබට මැරෙන්න සිද්ධ වෙයි.”
පෝල් පෝ සහ තුරන් කිරීම
වර්ෂ 1975දී, පෝල් පෝ යුද්ධය දිනූ අතර කාම්බෝජය කොමියුනිස්ට් දේශයක් බවට පත් වුණා. ශිෂ්‍යයන්, ගුරුවරුන්, රජයේ නිලධාරීන් යන සියලුදෙනාව හා අධ්‍යාපනය ලබා සිටි වෙනත් ඕනෑම කෙනෙක්ව තුරන් කිරීමට පෝල් පෝ පටන්ගත්තා. ඔබ කණ්ණාඩි දාගෙන හිටියා නම්, ඔබව ගණන්ගැනෙන්නේ උගත් කෙනෙකු හැටියට නිසා ඔබව මරණයට පත් කළ හැකියි. පෝල් පෝගේ පාලන තන්ත්රය වැඩිදෙනෙකුට පුරවරවලින්, නගරවලින් ඉවත් වීමට බල කර, ගම්බද පළාත්වල ගොවියන් හැටියට වැඩ කරන්න යැව්වා. හැම කෙනාම එකම මෝස්තරයක් ඇඳිය යුතුව තිබුණා. අපට දවසකට පැය 15ක් වැඩ කරන්න සිද්ධ වුණා; ප්‍රමාණවත් ආහාර, බේත් හේත්, ඇඳුම් පැළඳුම් තිබුණේ නැහැ; පැය 2ක් හෝ 3ක් විතරයි නිදාගන්න ලැබුණේ. ප්‍රමාද වැඩි වෙන්න ඉස්සෙල්ලා මගේ මව්බිම හැර යන්න මම තීරණය කළා.
ඒ ක’මේර් රූෂ් සෙබළාගේ අවවාදය මට මතක තිබුණා. හැම ඡායාරූපයක්ම, හැම ලියකියවිල්ලක්ම, ඒ වගේම මාව අහු කරගන්න පුළුවන් ඕනෑම දෙයක් මම විසි කරලා දැමුවා. වළක් කපලා මගේ ලියකියවිලි සමහරක් වළලලා දැමුවා. ඊට පස්සේ මම තායිලන්තය බලා බටහිර දෙසට පිටත් වුණා. ඒක අනතුරුදායක එකක් වුණා. මාර්ග බාධකවලින් වැළකෙන්නත්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල වේලාව තුළදී ක’මේර් රූෂ් සෙබළුන්ට විතරක් නිල අවසර ඇතුව ගමන් කරන්න අවසර තිබුණ නිසා ඇත්තෙන්ම පරෙස්සම් වෙන්නත් මට සිද්ධ වුණා.
මම එක ප්‍රදේශයකට ගිහින් ටික කාලෙකට යාළුවෙක් එක්ක නතර වුණා. එවිට ක’මේර් රූෂ්, සියලුදෙනාවම එම ස්ථානයෙන් වෙනත් ස්ථානයකට මාරු කළා. ගුරුවරුන්ව හා දොස්තරවරුන්ව මරා දමන්න ඔවුන් පටන්ගත්තා. මමයි තව යාළුවෝ තුන්දෙනෙකුයි බේරුණා. අපි කැලෑවේ හැංගිලා අපිට ගස්වලින් හොයාගන්න පුළුවන් වුණ මොනවහරි පලතුරක් කෑවා. අන්තිමේදී, මම මගේ යාළුවෙක් විසුව බැටම්බැන්ඥ පළාතේ කුඩා ගම්මානයකට ආවා. බේරිලා යන විදිහ ගැන මට උපදෙස් දුන්න මුල් සෙබළාවත් මට එහිදී මුණගැසීමෙන් මාව පුදුමයට පත් වුණා! මම ඔහුව යන්න හැරිය නිසා, ඔහු මාව මාස තුනකට වළක හංගලා තිබ්බා. මට කෑම දාන්න, හැබැයි වළ ඇතුලට එබෙන්න එපා කියා ඔහු ළමයෙකුට උපදෙස් දුන්නා.
කාලය ගෙවී යත්ම, මට බේරෙන්න පුළුවන් වූ අතර, මම වගේම තායි දේශ සීමාව වෙත පලායමින් සිටි මගේ අම්මාවත්, මගේ පුංචි අම්මාවත්, මගේ නංගිවත් මට සොයාගන්න පුළුවන් වුණා. එය මට දුක්මුසු අවස්ථාවක් වුණා. මගේ අම්මා හිටියේ ලෙඩින්; අන්තිමේදී ඇය රෝගයයි කෑම හිඟයයි නිසා සරණාගත කඳවුරක මියගියා. කෙසේවුවත්, මගේ ජීවිතයට එක ආලෝක ධාරාවක් හා බලාපොරොත්තුවක් ඇතුල් වුණා. මට සෝෆි ඌම්ව මුණගැසුණ අතර ඇය මගේ බිරිඳ වුණා. මගේ පුංචි අම්මයි, නංගියි එක්ක අපි තායි දේශ සීමාව හරහා එක්සත් ජාතීන්ගේ සරණාගත කඳවුරකට බේරිලා ගියා. අපේ පවුල කාම්බෝජයෙහි සිවිල් යුද්ධයේදී සෑහෙන්න දුක් වින්දා. මගේ මල්ලි සහ මගේ බාල නෑනා ඇතුළු පවුලේ සාමාජිකයන් 18දෙනෙක්ව අපට නැති වුණා.
එක්සත් ජනපදයේ අලුත් ජීවිතයක්
සරණාගත කඳවුරේදී අපේ පසුබිම සෝදිසි කර බැලුව අතර, අපව එක්සත් ජනපදයට යැවිය හැකිවීම සඳහා අප වෙනුවෙන් ඇපවන්නෙකු සෙවීමට එ.ජා. වෑයම් කළා. අවසානයේදී, සාර්ථක වුණා! අපි 1980දී මිනෙසෝටා, සාන්ත පෝල්වලට ආවා. මගේ අලුත් රටේ මගේ දියුණුවක් දකින්න නම් ඉංග්‍රීසි ඉගෙනගත යුතු බව මම දැනගෙන හිටියා. දිගු කාලයක් මා ඉගෙනගත යුතුව තිබුණත්, මගේ ඇපකාරයා මාව පාසැලට යැව්වේ මාස කීපයකට විතරයි. ඒ වෙනුවට, ඔහු මට හෝටලයක පිරිසිදු කරන්නෙක් හැටියට රැකියාවක් සොයා දුන්නා. නමුත් මගේ සීමිත ඉංග්‍රීසි දැනුම නිසා හාස්‍යජනක වැරදීම් සිදු වුණා. අයිතිකරු මට ඉණිමඟක් ගේන්න කිව්වහම මම ආපහු කුණු අරගෙන ආවා!
භියගන්වන බැහැදැකීමක්
වර්ෂ 1984දී, මම රෑ මුරයේ වැඩ කරමින් සිටි අතර දවල් කාලේදී නිදාගත්තා. ආසියානුවන් හා කළු ජාතිකයන් අතර සෑහෙන කලබලයක් තිබුණ ප්‍රදේශයකයි අපි ජීවත් වුණේ. අපරාධ සහ මත්ද්‍රව්‍ය පොදුවේ භාවිතා වුණා. එක උදෑසනක, කළු ජාතිකයෙක් දොර ළඟ ඉන්නවා කියලා කියන්න මගේ බිරිඳ මාව දහයට විතර කීද්දුවා. අපිව පැහැරගෙන යන්න ඔහු ඇවිත් කියා සිතුව නිසයි ඇය භයෙන් සිටියේ. මම දොරේ සිදුරකින් එබිලා බැලුවහම බ්‍රීෆ්කේස් එකක් අරගෙන, හොඳට ඇඳ පැළඳ සිටි කළු ජාතික කෙනෙක් හිටගෙන හිටි අතර ඔහු සමඟ සුදු ජාතිකයෙක්ද සිටියා. කිසි දෝෂයක් නැති බව මට පෙනුණා.
මම ඔහුගෙන් ඇහැව්වා මොනවද විකුණන්නේ කියලා. ඔහු මට මුරටැඹ හා පිබිදෙව්! පිටපත් පෙන්නුවා. මට කිසි දෙයක් තේරුණේ නැහැ. මාස කීපයකට ඉස්සෙල්ලා, රෙපරමාදු වෙළෙඳ සේවකයෙකුට රු. 9,900ක් ගෙවලා පොත් පහක් අරගෙන මම රැවටිලා තිබුණ නිසා ඒවා ප්‍රතික්ෂේප කරන්න මම වෑයම් කළා. කොහොමවුණත්, කළු ජාතික කෙනා මට සඟරාවල පින්තූරු පෙන්නුවා. පින්තූරු මොනතරම් ප්රසන්නද! ලස්සනද! ඒ වගේම ඒ කෙනා කට පුරා මිත්රශීලීව සිනා වුණා. එනිසා මම රු. 60ක් පරිත්‍යාග කර ඒවා ලබාගත්තා.
සති දෙකකට විතර පස්සේ, ඔහු ආපහු ඇවිල්ලා මා ළඟ කාම්බෝජීය බයිබලයක් තියෙනවාද කියලා ඇහැව්වා. අහම්බෙකට මෙන්, මට තේරුම්ගන්න බැරි වුණත්, මා ළඟ නසරීන් පල්ලියෙන් ලැබුණ එකක් තිබුණා. නමුත් වෙනස් ජාතීන් දෙකක මිනිසුන් දෙදෙනෙක් මගේ ගෙදරට ඇවිත් සිටීම මා සිතේ පෙලඹීමක් ඇති කළා. එවිට ඔහු මගෙන් මෙහෙම ඇහැව්වා, “ඔයාට ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනෙද?” ඇත්තෙන්ම මට ඕන වුණ නමුත් පාඩම්වලට ගෙවන්න මා ළඟ මුදල් තිබුණේ නැති බව මම පැහැදිලි කළා. බයිබලය මත පදනම් ප්රකාශනයක් පාවිච්චි කරමින් නොමිලේ උගන්වන්නම් කියලා ඔහු මට කිව්වා. ඔහු මොන ආගමක නියෝජිතයෙක්ද කියලා මම දැනගෙන හිටියේ නැති වුණත්, ‘ඇති යන්තම් මට ගෙවන්න වෙන්නේ නැහැ; ඉංග්‍රීසි කියවන්නයි, ලියන්නයි මම ඉගෙනගන්නම්’ කියලා මම හිතාගත්තා.
ඉංග්‍රීසි සහ බයිබලය ඉගෙනීම
එය ඉබිගමනින් යන ක්‍රියාවලියක් වුණා. ඔහු මට බයිබලයේ මුල් පොත වූ උත්පත්ති පෙන්වනවා; එවිට මම කාම්බෝජ භාෂාවෙන් “ලෝ ක බැට්” කියලා පවසනවා. ඔහු “බයිබල්” කියන කොට මම “කෝම්පි” කියලා කියනවා. මගේ දියුණුවක් ඇති වෙමින් තිබූ අතර මම පෙලඹුණා. මම මගේ ඉංග්‍රීසි-කාම්බෝජ ශබ්දකෝෂය, මුරටැඹ සඟරාවක්, නව ලෝක පරිවර්තන බයිබලය (ඉංග්‍රීසියෙන්) සහ මගේ කාම්බෝජ බයිබලය වැඩට ගෙනගියා. මට විවේක තිබෙන වෙලාවේදී, මම ප්‍රකාශනවලින් බලලා, වචනයෙන් වචනයට ඉංග්‍රීසි පාඩම් කරලා, ඉගෙනගත්තා. සතිපතා පාඩම් සමඟ මේ ඉබිගමන, අවුරුදු තුනක් පුරා කෙරීගෙන ගියා. නමුත්, ඇති යන්තම්, මට ඉංග්‍රීසි කියවන්න පුළුවන් වුණා!
මගේ බිරිඳ ඒ වන විටත් බෞද්ධ පන්සල්වලට යමින් සිටි අතර, ඇය මුතුන්මිත්තන් සඳහා ආහාර එළියේ තැබුවා. ඇත්තෙන්ම, ප්‍රයෝජන ලැබුවේ මැස්සෝ විතරයි! හමුදාවේදී හා බෞද්ධ ධර්මය අදහන කාලයේදී ඇති කරගත්ත නරක පුරුදුවලට මම නොසෑහෙන්න ඇබ්බැහි වෙලා හිටියා. මම භික්ෂුවෙකුව සිටි කාලේදී, මිනිස්සු පූජා කරන්න දේවල් ගෙනා විට දුම්වැටිත් ගෙනාවා. භික්ෂුව දුම්පානය කළොත්, ඒක හරියට ඔවුන්ගේ මුතුන්මිත්තන් දුම්පානය කරනවා වගේ කියලා ඔවුන් විශ්වාස කළා. මේ විදිහට, මම නිකටින්වලට ඇබ්බැහි වූවෙක් බවට පත් වුණා. එතකොට, හමුදාවේදීත් මම අධික ලෙස මත්පැන් පානය කළ අතර සටන්වලට නිර්භීතකම ලබාගන්න අබිං ගත්තා. මේ නිසා, මම බයිබලය පාඩම් කරන්න ගත්තහම මට හුඟක් වෙනස්කම් කරන්න සිද්ධ වුණා. යාච්ඤාව ලොකු උපකාරයක් කියලා මම හොයාගත්තේ එතකොටයි. මාස කීපයකින්ම, මට මගේ නරක පුරුදුවලින් මිදෙන්න පුළුවන් වුණා. පවුලේ අනිත් අයට ඒක මොනතරම් සහනයක් වුණාද!
මම 1989, මිනෙසෝටාවලදී සාක්ෂිකාරයෙකු හැටියට බව්තීස්ම වුණා. ඒ වෙන කොට කැලිෆෝනියාවේ, ලෝන්ග් බීච්හි කාම්බෝජ භාෂාව කතා කරන කණ්ඩායමක් සහ විශාල කාම්බෝජ ජනතාවක්ද ඉන්න බව මම දැනගත්තා. මගේ බිරිඳ හා මම ඒ ගැන සාකච්ඡා කළාට පස්සේ, අපි ලෝන්ග් බීච්වලට පදිංචියට යන්න තීරණය කළා. සියලුම වෙනස්කම් ඇති වුණේ ඒ මාරුවීමෙනුයි! ඉස්සෙල්ලම මගේ නංගි බව්තීස්ම වුණ අතර ඊළඟට මගේ පුංචි අම්මා (ඇයට දැන් වයස 85යි) සහ මගේ බිරිඳ බව්තීස්ම වුණා. ඉන්පසු මගේ දරුවන් තිදෙනා. අන්තිමේදී, මගේ නංගි, සභාවේ වැඩිමහල්ලෙක් හැටියට දැන් සේවය කරන සාක්ෂිකාරයෙකු හා විවාහ වුණා.
මෙහි එක්සත් ජනපදයේ, අපි බොහෝ පරීක්ෂාවන් විඳලා තියෙනවා. අපි දරුණු මුදල් ප්‍රශ්න හා යම් සෞඛ්‍ය ගැටලු අද්දැක තිබෙන නමුත්, බයිබල් ප්‍රතිපත්තිවලට කීකරු වීම මගින් අපි යෙහෝවා කෙරෙහි අපේ විශ්වාසය පවත්වාගෙන තිබෙනවා. ආත්මික ක්ෂේත්රයෙහි මගේ වෑයම්වලට ඔහු ආශීර්වාද කරලා තියෙනවා. මාව 1992දී, සභාවේ උපස්ථායක සේවකයෙකු හැටියට සේවය කරන්න පත් කළ අතර, 1995දී, මම මෙහි ලෝන්ග් බීච්හි වැඩිමහල්ලෙක් බවට පත් වුණා.
මේ වන විට, මම බෞද්ධ භික්ෂුවෙකුව හා ඉන්පසු කාම්බෝජයේ යුද්ධයෙන් දෙදරා ගිය සටන් ක්ෂේත්රවල නිලධාරියෙකුව හිටිය අවස්ථාවේදී පටන්ගත් දිගු ගමන අවසන් වෙලා තියෙන්නේ අපේ අලුත් නිවෙස්වල හා රටවල සාමය හා සන්තෝෂය පිරීමෙනුයි. ඒ වගේම යෙහෝවා දෙවි හා ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි අපට අලුත ලැබුණු ඇදහිල්ලක් තිබෙනවා. කාම්බෝජයේ මිනිස්සු තාමත් එකිනෙකාව මරාදාන බව දැනගන්න ලැබෙන එක මට වේදනාවක්. සියලු යුද්ධ නැති වී, සෑම කෙනෙක්ම තමාට මෙන් තම අසල්වාසීන්ට සැබවින්ම ප්‍රේම කරනු ඇති පොරොන්දු වූ නව ලෝකය පැමිණෙන තෙක් බලා සිටීමටත්, ඒ ගැන ප්‍රකාශ කිරීමටත් මගේ පවුලට හා මට හොඳ හේතු තිබෙනවා.—යෙසායා 2:2-4; මතෙව් 22:37-39; එළිදරව් 21:1-4.
[පාදසටහන]
a එවිට යුද්ධය දිනා, කාම්බෝජය අල්ලාගත් ක’මේර් රූෂ් හමුදාවේ කොමියුනිස්ට් නායකයාව සිටියේ පෝල් පෝය.
[16වන පිටුවේ සිතියම⁄පින්තූරය]
(For fully formatted text, see publication)
වියට්නාමය
ලාඕසය
තායිලන්තය
කාම්බෝජය
බැටම්බැන්ඥ
ප’නොම් පෙන්
බෞද්ධ භික්ෂුවෙකු වශයෙන් මම සිටිද්දී
[හිමිකම් විස්තර]
Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.
[18වන පිටුවේ පින්තූරය]
මගේ පවුල එක්ක රාජ්‍ය ශාලාවේදී