ඔබේ ජීවිතයේ ගුණය ඉහළ නංවාගැනීමට මාර්ග පහක්
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ පිබිදෙව්! වාර්තාකරු විසින්
උද්ධමනය, අසනීප, මන්දපෝෂණය, දුප්පත්කම යන ගැටලු දියුණු වෙමින් පවතින රටවල පුළුල්ව පැතිරී තිබෙනවා. එමෙන්ම අඩුම තරමින් මිනිස් දෘෂ්ටිකෝණයකින්වත් පේන තෙක් මානෙක ඉක්මන් විසඳුමක් නැහැ. ඔබ ජීවත් වන්නේ දියුණු වෙමින් පවතින රටක නම්, ඔබේ ජීවිතයේ ගුණය ඉහළ නංවාගැනීමට ඔබට කළ හැකි යම් දෙයක් තිබෙනවාද? ඔව්, තිබෙනවා! ඔබට උපකාරවත් හා ප්‍රායෝගික වෙයි කියා ඔබ සොයාගත හැකි යෝජනා පහක් මතු දැක්වෙනවා.
අංක 1: ගෙවත්ත වගා කරන්න
“තමාගේ බිම අස්වද්දන්නාට බොහෝසෙයින් කෑම ලැබේ” කියා බයිබලය හිතෝපදේශ 28:19හි පවසනවා. ඇත්තෙන්ම, කුඩා භූමි ප්‍රමාණයකින් ලබාගත හැකි අස්වැන්න කොතෙක්ද කියා දැනගැනීමෙන් ඔබ පුදුම වෙන්න පුළුවන්. වර්ග මීටර් 50 සිට 100 දක්වා ඉඩ ප්‍රමාණයකින් යුත් භූමියකින් හයදෙනෙකුගෙන් සමන්විත පවුලකට අවශ්‍ය තරම් එළවළු නිපදවාගන්න පුළුවන් කියා ල ෂාඩැං පොටාෂේ සූ ලේ ට්‍රොපික් (උෂ්ණ කලාපයේ එළවළු වත්ත) නමැති පොතේ කතුවරයා වන හෙංක් වායන්බ’ක් කියා සිටිනවා.
ඔබටම වගා කරගන්න පුළුවන් දේවල් මිල දී ගන්න මුදල් වැය කරන්නේ ඇයි? පස හා දේශගුණික තත්වයන්ට අනුව බණ්ඩක්කා, මිරිස්, නිවිති, පාස්ලි, සේර, ලූනු, මයියොක්කා, වට්ටක්කා, බතල, උක්, තක්කාලි, පිපිඤ්ඤ හා බඩ ඉරිඟු යනාදිය ඔබේ නිවසට යාබදව වගා කරගැනීමේ හැකියාව තිබෙන්න පුළුවන්. අඩුම තරමින් ඒ වගේ එළවළු වත්තකින් ඔබේ ආහාර වේලට අමතර යමක් එක් කරගත හැකියි; එමෙන්ම ඔබට අළෙවි කරගත හැකි වැඩිපුර අස්වැන්නක් පවා තිබෙන්න පුළුවන්.
ඔබට ප්‍රමාණවත් භූමි ප්‍රමාණයක් තිබෙනවා නම්, විවිධ වර්ගයේ පලතුරු ගස් වගා කිරීම ගැනත් සිතා බැලිය හැකියි. සමහර පලතුරු ගස්වලට පුළුවන් ඔබටත් ඔබේ පවුලේ අයටත් කෑමට ගත හැකි ප්‍රමාණයටත් වඩා නිපදවන්න. කොම්පෝස්ට් පොහොර සාදන ආකාරය ඉගෙනගැනීම—අජීවි ඓන්ද්‍රීය ද්‍රව්‍ය නැවත ප්‍රයෝජනයට ගෙන පොහොර හැටියට යොදාගැනීම—ඔබේ අස්වැන්න වැඩි කිරීමට උපකාරවත් වෙනවා. ආහාර මෙන්ම ඔබේ පවුලට අමතර ආදායමක් ලබා දෙනවාට වඩා තවත් දේවල් ගස්වලට කරන්න පුළුවන්. හොඳ තැනක සිටුවා තිබෙන ගස් සෙවණක්ද ලබා දෙනවා, වාතය පවිත්‍ර කරනවා, ඒ වගේම ඔබේ වටපිටාවට වඩාත් අලංකාර හා ප්‍රසන්න පෙනුමක් ලබා දෙනවා.
ඒ වුණත්, ගෙවතුවගාව ගැන ඔබට තිබෙන්නේ අල්ප දැනුමක් නම් කියන්න පුළුවන් මොනවාද? මේ කාරණය සම්බන්ධයෙන් අද්දැකීම් තිබෙන මිතුරන්, අසල්වැසියන් හෝ දන්නාහඳුනන අය ඔබට සිටිනවාද? එහෙමනම් ඔවුන්ගෙන් උපකාරය ලබාගැනීම හෝ උපදෙස් අසා දැනගැනීම හොඳ අදහසක් නොවේද? සමහරවිට ඔබට පුළුවන් ගෙවතුවගාව ගැන ලියා තිබෙන පොත් පත් මිල දී ගන්න, එහෙම නැත්නම් කාගෙන් හෝ ඉල්ලාගන්න.—“එළවළු වත්තක් වගා කර බලන්නේ නැත්තේ ඇයි?” යන මාතෘකාවෙන් 1974 මැයි 22, පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) සඟරාවේ පළ වූ ලිපිය බලන්න.
අංක 2: තොග වශයෙන් මිල දී ගන්න
පිටි, සහල් හා තෙල් වර්ග වගේ මූලික ද්‍රව්‍ය ඔබ මිල දී ගන්නේ සුළු ප්රමාණයන්ගෙන්ද? එහෙමනම්, ඔබේ අයවැයෙන් විශාල මුදලක් ඔබ නිකරුණේ වියදම් කරනවා වෙන්න පුළුවන්. ඒ වෙනුවට, කෙසේ හෝ පුළුවන් නම් පවුල් දෙකතුනක් හෝ ඊට වැඩි ගණනක් සමඟ වියදම බෙදාගනිමින් එවැනි ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් මිල දී ගන්න උත්සාහ කරන්න. අස්වනු නෙළන කාලයේදී සමහර පලතුරු හා එළවළු තොග වශයෙන් මිල දී ගැනීමෙන් ඔබේ මුදල් ඉතිරි කරගන්නත් පුළුවන්. සමහර අවස්ථාවලදී, ඔබට පුළුවන් තොග කඩවලින් දේවල් මිල දී ගන්න.
අංක 3: ආහාර නරක් නොවී කල් තබාගැනීමේ ක්‍රම ඉගෙනගන්න
නරක් වන ද්‍රව්‍ය ගබඩා කර තබාගන්නේ කොහොමද කියන ප්රශ්නය තොග වශයෙන් මිල දී ගැනීමෙන් මතු වෙනවා. ආහාර වියළීම එක් ප්‍රචලිත මෙන්ම ප්‍රායෝගික ක්‍රමයක්. අප්‍රිකාවේ වෙසෙන ස්ත්‍රීන් බොහෝදෙනෙක් පලතුරු, බණ්ඩක්කා, බෝංචි, ගෙඩි වර්ග, වට්ටක්කා ඇට හා බෙහෙත් පැළෑටි යනාදිය වියළීමෙන් ජීවිකාව උපයාගන්නවා. වියළීම සඳහා විශේෂ උපකරණ කිසිවක් අවශ්‍ය නැහැ. වියළන ද්‍රව්‍ය, ඇතැම්විට මැස්සන්ගෙන් ආරක්ෂා කරගැනීමට තුනී රෙදි කැබැල්ලකින් ආවරණය කර පිරිසිදු පෘෂ්ඨයක් මත තබන්න හෝ එල්ලන්න පුළුවන්. ඉතුරු හරිය වාතය හා සූර්යයා මගින් කෙරේවි.—“සීමිත සම්පත් ප්‍රමාණයකින් අවශ්‍ය කරන දෙය ඔබට ලබාගත හැකිද?” යන මාතෘකාවෙන් 1975 අගෝස්තු 8 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) සඟරාවේ පළ වූ ලිපිය බලන්න.
අංක 4: සුළු පරිමාණයෙන් සතුන් ඇති කිරීම අත්හදා බලන්න
කුකුලන්, එළුවන්, පරෙවියන් හා වෙනත් සතුන් ඇති කරන්න ඔබට පුළුවන්ද? බොහෝ ප්‍රදේශවල මස් සුඛෝපභෝගි ආහාර ද්‍රව්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. එසේ වුණත්, අනිත් අයගෙන් සුළු උපකාරයක් ලබාගෙන ඔබට පුළුවන් කුඩා ප්‍රමාණයෙන් සතුන් ඇති කරන ආකාරය ඉගෙනගන්න. ඔබ මාළු කන්න ආසද? එහෙමනම් ඔබට පුළුවන් මාළු ඇති කරන කුඩා පොකුණක් සාදාගන්නා ආකාරය ඉගෙනගන්න. මස්, බිත්තර හා මාළුවල ඔබේ පවුලේ අයගේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය යකඩ, කැල්සියම්, විටමින්, ඛනිජ හා ප්‍රෝටීන් අඩංගු වෙනවා.
අංක 5: නිසි පරිදි සනීපාරක්ෂාව පවත්වාගන්න
ඔබේ පවුලේ සෞඛ්‍යය සඳහා සනීපාරක්ෂාවද වැදගත් වෙනවා. අපිරිසිදු තත්වයන් මගින් සියලු ආකාර ලෙඩ රෝගවලට හේතුකාරක වන මීයන්, මැස්සන් හා කැරපොත්තන් යනාදි සතුන්ව ඇදගන්නවා. නිසි පරිදි සනීපාරක්ෂාව පවත්වාගැනීම සඳහා ඔබට කාලය හා වෑයම අවශ්‍ය වෙනවා. එසේ වුණත් පිරිසිදුකම රැකගැනීමට දරන වියදම බෙහෙත් හා වෛද්‍ය ගාස්තු සඳහා යන වියදමට වඩා අඩුයි. පිරිසිදුකම හා සම්බන්ධ ප්‍රමිති පුද්ගලයාගෙන් පුද්ගලයාට හා රටින් රටට යම් ප්‍රමාණයකට වෙනස් විය හැකියි. කොහොමවුණත්, සෑම තැනකදීම අදාළ කරගත හැකි පොදු ප්‍රතිපත්ති කිහිපයක් තිබෙනවා.
උදාහරණයක් හැටියට වැසිකිළි පහසුකම් ගැන සලකා බලන්න. ග්‍රාමීය ප්‍රදේශවල මේවා අපිරිසිදු වීමට හා ගරාවැටීමට ඉඩහැර තිබෙන නිසා ඒවා ලෙඩ රෝග ඇති කරන ප්‍රධාන මූලාශ්‍රයක් වෙනවා. ඉතා අඩු වියදමකින් සනීපාරක්ෂක වැසිකිළියක් සාදාගන්නා ආකාරය ගැන ඔබට උපදෙස් සපයන්න ප්‍රාදේශීය සෞඛ්‍ය සේවකයන්ට හැකියාවක් තිබෙන්න පුළුවන්.
ඔබේ නිවස ගැන කියන්න පුළුවන් මොනවාද? එය නිසි පිළිවෙළකට තබාගනිමින් හොඳින් නඩත්තු කරනවාද? එය ප්‍රසන්න සුවඳකින් යුක්තද? ඔබේ මුළුතැන්ගෙය ගැන කියන්න පුළුවන් මොනවාද? එය පිළිවෙළකින් හා පිරිසිදුව තිබෙනවාද? නිරෝගිකම සඳහා ආහාර පවිත්‍රව තිබිය යුතු අතර හොඳින් පිසගත යුතුයි. දූෂිත ජලය, විෂබීජවලින් හා පරපෝෂිතයන්ගෙන් ගහනව තිබෙනවා. එනිසා පාවිච්චි කරන්න කලින් වතුර පෙරාගන්න, නැත්නම් උණු කරගන්න. ආහාර ගැනීමට යොදාගන්නා භාජන උණු වතුරෙන් සෝදාගන්න, ආහාර පිළියෙළ කිරීමට කලින් ඔබේ අත් හොඳින් සෝදාගන්න. පිරිසිදු හා වසා තිබෙන භාජනවල ජලය ගබඩා කර තබාගන්න.
සනීපාරක්ෂක තත්වයන් රැකගන්න ඔබට වුවමනා නම් බල්ලන්ට, පූසන්ට, කුකුලන්ට හා එළුවන්ට මුළුතැන්ගෙය ඇතුලේ ගමන් කරන්න ඉඩ නොදිය යුතුයි. ඔබේ ආහාර අසුරා තිබෙන හැළි වළන් උඩින් දුවන්න මීයන්ට හා හික් මීයන්ට ඉඩ නොදිය යුතුයි. සරල මී කතුරකින් මේ ගැටලුවට විසඳුමක් සොයාගන්න පුළුවන්.—“පිරිසිදුකමේ අභියෝගයට මුහුණ දීම” යනුවෙන් 1988 නොවැම්බර් 8 පිබිදෙව්! සඟරාවේ පළ වූ ලිපිය බලන්න.
අවසානයේදී, මනුෂ්‍යවර්ගයාගේ සියලුම ගැටලු සම්පූර්ණයෙන්ම විසඳන්න යන්නේ දේවරාජ්‍යය පමණයි. (මතෙව් 6:9, 10) කොහොමවුණත් ඒ අතර කාලයේදී ඔබේ ජීවිතයේ ගුණය ඉහළ නංවාගැනීමට මේ සරල යෝජනා ඔබට උපකාරවත් විය හැකියි.
[24වන පිටුවේ පින්තූර]
ගෙවත්ත වගා කරන්න
[25වන පිටුවේ පින්තූර]
තොග වශයෙන් මිල දී ගන්න
[25වන පිටුවේ පින්තූර]
ආහාර නරක් නොවී කල් තබාගැනීමේ ක්‍රම ඉගෙනගන්න
[26වන පිටුවේ පින්තූර]
සුළු පරිමාණයෙන් සතුන් ඇති කිරීම අත්හදා බලන්න
[26වන පිටුවේ පින්තූර]
නිසි පරිදි සනීපාරක්ෂාව පවත්වාගන්න