මගේ මී මැස්සෝ කුකුල් පැටව් බිහි කළා!
මම ජීවත් වන්නේ ස්වීඩනයේ උතුරු ප්රදේශයේ පිහිටා තියෙන කුඩා ගොවිපොළකයි. ළඟදී, මගේ කිකිළියන්ගෙන් දෙන්නෙක් බිත්තර රකින්න පටන්ගනිද්දී මම උන්ගේ හැසිරීම් දිහා බලාගෙන හිටියා. මුල්ම කුකුල් පැටව් බිත්තරවලින් එළියට ඇවිත් දවස් කිහිපයකට පස්සේ, උන්ගෙන් කිහිපදෙනෙක් එහෙ මෙහෙ ඇවිදිමින් අනිත් කිකිළි ළඟින් ගියා. කුකුල් පැටව් ටික ඌගේ කියල හිතල ඉක්මනින්ම නැඟිටලා, ඌ රකින බිත්තර ටික අතහැර දාල ඇවිත් පැටව් ටික ඌගේ පිහාටු යටට එකතු කරගන්න පටන්ගත්තා. තමන්ව බලාගන්නේ කවුද කියන එක ගැන කුකුල් පැටවුන්ට ගානක්වත් තිබුණේ නැහැ.
මේ කිකිළිව අල්ලාගෙන “සොරකම් කරගත්” කුකුල් පැටවුන්ව ආපසු අරගෙන ඌගේම බිත්තර රකින්න සලස්වන්න මම කිහිපවතාවක් උත්සාහ කළත් පලක් වුණේ නැහැ. අත්හැර දමපු බිත්තර ටික කුණු වළට දාන්න යන කොට මම ටිකකට නතර වෙලා, ‘මේ බිත්තරවල තවමත් ජීවිතයක් තියෙන්න පුළුවන්’ කියල කල්පනා කළා. පස්සේ මට හොඳ අදහසක් ආවා.
විශාල මී මැසි ජනපදයක සිටින මී මැස්සන් නිතරම තමන්ගේ මී වදවල ෆැරන්හයිට් අංශක 93ක පමණ උෂ්ණත්වයක් පවත්වාගන්නවා. ඒ හින්දා මම බිත්තර ටික අරගෙන කපු රෙදි කැබැල්ලකින් ඔතලා මගේ මී වදයක ඇතුලේ තිබෙන බිත්තර රකින කුටියක තැබුවා. ඊළඟට මම “කූඩුව” ඇතුලේ තෙතමනය පවත්වාගන්න උපකාරයක් හැටියට වතුර කෝප්ප දෙකක් එහි තැබුවා. මම බිත්තර රකින කිකිළි කරනවා වගේ හැමදාම බිත්තර අනිත් පැත්ත හැරෙව්වා.
දවස් කිහිපයකට පස්සේ, බිත්තර කිහිපයකින් පීප් පීප් ගාන හඬක් මට දුරදීම ඇහුණා. ටික වේලාවකට පස්සේ තෙත් වුණු පොඩි කුකුල් පැටියෙක් ඌගේ කටුව කඩාගෙන එළියට ආවා! මම ඉක්මනින්ම ඌව අරගෙන බිත්තර අත්හැර දමපු කිකිළිගේ පිහාටු යටින් තැබුවා. කියන්නත් සතුටුයි, ඌ පැටියාව භාරගත්තා. කඩිසර මී මැස්සන්ට ස්තුතිවන්ත වෙන්න, වැඩි වේලාවක් ගත වෙන්න කලින් ඌට සිහින් පිහාටු තියෙන පොඩි කුකුල් පැටව් 12දෙනෙකුගෙන් යුත් දරු පවුලක් බලාගන්න ලැබුණා.—සපයන ලදි.
[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
සියලුම පින්තූරු: Foto, Roland Berggren, Västerbottens-Kuriren, Sverige