දුප්පත් යන නම ලැබූ දරුවෙක්
කුඩා අප්‍රිකානු ගමක, ඕකොට් නම් මිනිසෙක් හා ඔහුගේ බිරිඳ, මාටිනා තම පළමු දරුවා වූ දියණියගේ උපතේදී සතුටු වුණා. තෑගි දීමට හා දරුවාට දිගුකාලීන මෙන්ම සන්තෝෂවත් ජීවිතයක් ලැබෙනු ඇතැයි යන තම බලාපොරොත්තුව ප්‍රකාශ කිරීමට නෑදෑයන් හා මිත්‍රයන් ගමට පැමිණියා.
යුවළ ගත කළේ ඉතා දුෂ්කර, අසරණ ජීවිතයක්. ඔවුන් කුඩා ඉඩම් කැබැල්ලක ගොවිතැන් කළ අතර, මාටිනාට උපත දුන් ඔවුන්ගේ නිවහන පිදුරු සෙවිලි කර, මෝඩ ගඩොලින් තනා තිබුණා. තමන්ට තිබුණාට වඩා තම කුලුඳුලාට දේවල් පහසු කරවීම සඳහා මහන්සි වී වැඩ කිරීමට ඔවුන් තීරණය කළා. මේ ඉලක්කය ඔවුන්ට සිහි කරවාගැනීමට, ඔවුන් තම දියණියට “මම දුප්පත්” යන අර්ථය ඇති ආකාන් කියන නම තැබුවා.
ආකාන්ට අනාගතය ඉදිරිපත් කරන්නේ කුමක්ද? ඇගේ රටේ බොහෝදෙනාගේ ක්‍රමයට ඇගේ ජීවිතය ගෙවුණොත් ඇය කෙදිනකවත් ලියන්න හා කියවන්න ඉගෙනගන්න එකක් නැහැ. ඇය වැඩිහිටියෙකු බවට පත් වන විට, ඇයට රැකියාවක් සොයාගත හැකි නම්, ඇයට හම්බ කළ හැකි වන්නේ වසරකට රු. 11,400ක් වැනි මුදලක් විතරයි. තවද ඇගේ රටේ, ආයු අපේක්ෂාව වසර 42ක් පමණයි.
ආකාන්ගේ දුඃඛිත තත්වය ඇයට පමණක් සීමා වූ එකක් නොවේ. පොළොවේ බිලියන 6කට ආසන්න ජනයාගෙන් බිලියන 1.3ක් පමණ වසරකට උපයන්නේ රු. 22,200කටත් වඩා අඩුවෙන්. ධනවත් ජාතීන් රු. 12,95,880ක සාමාන්‍යයයක් උපයයි. සෑම දවසකම දුප්පත් ජනතාවට 67,000කට වඩා එකතු වෙනවා; මෙය සෑම වසරකම මිලියන 25ක් පමණ වෙයි. වැඩිදෙනෙක් ජීවත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල—අප්‍රිකාවේ, ආසියාවේ හා ලතින් අමෙරිකාවේ. නමුත් ධනවත් ජාතීන් අතර පවා, දිළිඳුකමේ ජනතාවක් සිටියි. එමෙන්ම ලෝකයේ දුප්පත් අය 10දෙනෙකුගෙන් 7දෙනෙක් ස්ත්‍රීන්.
වැඩිදෙනෙකුට කෙදිනකවත් තුච්ඡ දිළිඳුකමෙන් මිදෙන්න බැහැ. එය ඔවුන්ගේ ප්‍රධාන අවශ්‍යතා වන ආහාර, ඇඳුම් පැළඳුම් හා නිවහන ඔවුන්ගෙන් වළක්වාලයි. ඔවුන්ගෙන් නිදහස, ගරුත්වය, අධ්‍යාපනය හා හොඳ සෞඛ්‍යය සොරාගැනීමට එයට හැකියි. ජගත් සෞඛ්‍ය සංවිධානය මෙසේ පවසයි: “පිළිසිඳගන්නා මොහොතේ සිට මිනීවළ දක්වා මිනිස් ජීවිතයේ සෑම අවදියකදීම දිළිඳුකම එහි විනාශකාරි බලපෑම ඇති කරනවා. එයින් පෙළෙන සියල්ලන්ට කාලකණ්ණි පැවැත්මක් ගෙන ඒමට එය ඉතා මාරාන්තික හා වේදනාකාරි රෝග සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා.”
නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල තත්වය හොඳ අතට හැරෙමින් නොපවතින්නේද? ඔව්, සමහරක් රටවල. වෙනත් බොහෝමයක, එසේ වන්නේ නැහැ. මිනිසාගේ සංවර්ධනය පිළිබඳ චොයිසස් නමැති සඟරාව “දුප්පත්කමේ පරතරය අඩුවීම” නමැති සංකල්පය ‘අන්තරාදායක මිථ්‍යාවක්’ ලෙස විස්තර කරයි. ඒත් එක්කම, එය මෙසේද ප්‍රකාශ කරයි: “අපි ජීවත් වෙන්නේ ඇත්තෙන්ම, රට රටවල් අතර හා රටවල් තුළම ආර්ථික වශයෙන් බෙදුණු ලෝකයකයි.”
දිළිඳුකම නොකඩවාම මිනිස්වර්ගයාට සදහටම පීඩා කරනු ඇද්ද? ඊළඟ ලිපි දෙකේ, පිබිදෙව්! මේ සංකීර්ණ විෂය පරීක්ෂා කරන අතර, විසඳුම කුමක් වනු ඇද්දැයි පෙන්වයි.