බයිබලයේ දෘෂ්ටිකෝණය
අනුරාගී විලාස පෑමේ ඇති වරද කුමක්ද?
“අනුරාගී විලාස පෑම, වාසියට නම්මාගැනීමක් හෝ මුළා කිරීමක් හෝ වැරදි දෙයක් වශයෙන් අපි සිතන්නේ ඇයි? ඒක එහෙම නෙවෙයි! ඒක සෙල්ලමක්! ඒ වගේම තමන් අනිත් තැනැත්තාව සතුටු කරන නිසා ඒක දෙපැත්තටම ප්‍රයෝජන ලැබෙන සෙල්ලමක්.”— නියූ යෝක් නගරයේ අනුරාගී විලාස පෑම පිළිබඳ පාසැලේ අධ්‍යක්ෂිකා සූසන් රාබීන්.
අනුරාගී විලාස පෑම, සාමාන්‍ය, අහිංසක මෙන්ම මානව සබඳතා ඇති කරගැනීමට හා පවත්වාගැනීමට පවා අවශ්‍ය කරන දෙයක් හැටියටයි බොහෝදෙනා සලකන්නේ. “අනුරාගී විලාස පෑමේ කලාවට” නිරතුරුවම ඇතුළත් අංග චලන, ඉරියව්, මොහොතකට සීමා වූ බැල්මවල් හා එක එල්ලේ බලා සිටීම් උගන්වන පොත්, සඟරා ලිපි හා විශේෂ පාඨමාලා මෑතකදී ශීඝ්‍රයෙන් වැඩි වී තිබේ.
අනුරාගී විලාස පෑම යනු කුමක්ද? විවිධ නිර්වචන හා අර්ථකථන තිබේ. එක ශබ්දකෝෂයක් එය නිර්වචනය කරන්නේ “සැහැල්ලුවට ගත් ප්‍රේමාතුර හෝ ලිංගික වශයෙන් පොලඹවනසුලු” හැසිරීම වශයෙනුයි. අනුරාගී විලාස පෑම “බැරෑරුම් අභිප්‍රායකින් තොරව ප්‍රේමාතුර ලෙස” හැසිරීම වශයෙන් තවත් ශබ්දකෝෂයක් නිර්වචනය කරයි. මේ හේතුවෙන්, අනුරාගී විලාසපාන්නෙක් කියන්නේ විවාහ වීමේ අභිප්‍රාය නොමැතිව ප්‍රේමාතුර හැඟීම් දෙන තැනැත්තෙක් බවට සංකල්පය පොදුවේ පිළිගනු ලැබූවක් බව පෙනෙන්න තිබේ. අනුරාගී විලාස පෑම හානි රහිත දෙයක් වශයෙන් සැලකිය යුතුද? අනුරාගී විලාස පෑම පිළිබඳ බයිබලයේ දෘෂ්ටිකෝණය කුමක්ද?a
ශුද්ධ ලියවිලිවල අනුරාගී විලාස පෑම ගැන විශේෂයෙන් සඳහන් කර නොතිබුණත්, අපට දෙවිගේ දෘෂ්ටිය නිශ්චය කරගත හැකියි. කෙසේද? කාරණය සම්බන්ධයෙන් අදාළ බයිබල් ප්‍රතිපත්ති පරීක්ෂා කර බැලීම මගින්. මෙයාකාරයෙන් ‘හරි වැරැද්ද නිශ්චය කරගැනීමට’ අපි අපේ ‘විචක්ෂණ ශක්තිය’ වර්ධනය කරගන්නවා. (හෙබ්‍රෙව් 5:14, NW) ප්‍රථමයෙන්, අනුරාගී විලාස පෑම විවාහවූවන්ට යෝග්‍ය හැසිරීමක්ද කියා අපි සලකා බලමු.
කෙනෙක් විවාහ වී සිටී නම්
විවාහ යුවළයන් එකිනෙකා සමඟ ප්‍රේමාතුර අන්දමින් පෞද්ගලිකව හැසිරීම සම්පූර්ණයෙන්ම ස්වාභාවික දෙයක්. (උත්පත්ති 26:8 සසඳන්න.) නමුත් විවාහයෙන් පිටත පුද්ගලයන් වෙත එවැනි අවධානයන් යොමු කිරීම දේවප්‍රතිපත්තිවලට විරුද්ධයි. විවාහ යුවළයන් සමීප, විශ්වාසයෙන් බැඳි සබඳතාවක් භුක්ති විඳීම යෙහෝවාගේ අරමුණ වුණා. (උත්පත්ති 2:24; එපීස 5:21-33) ඔහු සලකන්නේ විවාහය පරිශුද්ධ, ස්ථිර එක්වීමක් හැටියටයි. මලාකී 2:16හි [NW] දෙවි ගැන මෙසේ පවසනවා: “ඔහු දික්කසාද කිරීමක් ද්වේෂ කර ඇත.”b
විවාහ වූ පුද්ගලයෙක් අනුරාගී විලාස පෑම, විවාහය සම්බන්ධයෙන් දෙවිගේ දෘෂ්ටියට එකඟ වෙනවාද? අඩුම තරමින්, විවාහක වූ අනුරාගී විලාසපාන්නා දෙවිගේ විවාහක විධිවිධානයේ පරිශුද්ධභාවය සඳහාවත් ගෞරවයක් දක්වන්නේ නැහැ. ඒ වගේම, “තම තමාට මෙන් තම තමාගේ භාර්යාවට ප්‍රේමකරන්න” කියා ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයාටද, “පුරුෂයාට [ගැඹුරු ගෞරවයක් දක්වන්න, NW] බලාගනීවා” කියා භාර්යාවටද එපීස 5:33හි අණ කරයි. කෙනෙක් ඊර්ෂ්‍යාව අවුස්සන අනුරාගී විලාස පෑමෙන් තම කලත්‍රයාට ප්‍රේමය හෝ ගෞරවය දක්වනවාද?
අනුරාගී විලාස පෑම, යෙහෝවා කෙළින්ම හෙළාදකින හා ද්‍රෝහිකමක් හැටියට විස්තර කරන පාපයක් වන කාමමිථ්‍යාචාරයට මඟ පෑදිය හැකිය යන කාරණය ඊටත් වඩා සන්සුන්ව කල්පනා කර බැලිය යුතු දෙයක්. (නික්මයාම 20:14; ලෙවී කථාව 20:10; මලාකී 2:14, 15; මාර්ක් 10:17-19) ඇත්තෙන්ම, යෙහෝවා දුරාචාරය මොනතරම් බරපතළ දෙයක් හැටියට සලකනවාද කියනවා නම්, විවාහ ද්‍රෝහිකමට ගොදුරු වන කෙනෙකුට දික්කසාද වීමේ ප්‍රස්තාව ඔහු ලබා දෙනවා. (මතෙව් 5:32) එසේනම්, අනුරාගී විලාස පෑම තරම් හානිදායක විනෝදයක් යෙහෝවා අනුමත කරයි කියා අපට සිතන්න පුළුවන්ද? ප්‍රේමනීය දෙමාපියෙක් තම කුඩා දරුවාට මුවහත් මන්නා පිහියක් එක්ක සෙල්ලම් කරන්න ඉඩ නොදෙනවා වගේම දෙවිත් එය කොහෙත්ම අනුමත කරන්නේ නැහැ.
කාමමිථ්‍යාචාරය සම්බන්ධයෙන් බයිබලය මෙසේ අනතුරු අඟවයි: “මනුෂ්‍යයෙක් ගින්න තමාගේ ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සේද? යමෙක් ගිනි අඟුරු පිට ඇවිද්දොත් ඔහුගේ පාද නොදැවේද? තමාගේ අසල්වාසියාගේ භාර්යාව වෙතට එළඹෙන්නා එසේමය; ඈට අතගසන කිසිවෙක් අච්චු නොලැබ නොසිටින්නේය.” (හිතෝපදේශ 6:27-29) කෙසේවුවත්, කවදාවත් කාමමිථ්‍යාචාරය නොකළා වුණත්, අනුරාගී විලාස පාන විවාහක තැනැත්තෙක් තවත් අනතුරක් කැඳවයි—එනම් “හැඟීම්වලට සීමා වූ ප්‍රේම සම්බන්ධයක්” යනුවෙන් දක්වා ඇති දෙයට ඇතුළත් වීමයි.
හැඟීම්වලට සීමා වූ ප්‍රේම සම්බන්ධයන්
ලිංගික සම්බන්ධකම් නොපැවැත්වූවත්, සමහරු සෙනෙහෙබර හැඟීම් වර්ධනය වන සම්බන්ධයක් තම විවාහයෙන් පිට ඇති කරගෙන තිබෙනවා. කෙසේවුවත්, යේසු මෙසේ අනතුරු ඇඟෙව්වා: “ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමග සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය.” (මතෙව් 5:28) හෘදයෙන් එහාට නොයන රාගයට යේසු අකුල් හෙළුවේ ඇයි?
එක් හේතුවක් නම් ‘කාමමිථ්‍යාචාරකම් හෘදයෙන් නික්මීමයි.’ (මතෙව් 15:19) කෙසේවුවත්, වැඩි කල් යන්න මත්තෙන් කාමමිථ්‍යාචාරයේ යෙදෙයි යන මට්ටමටම එය වර්ධනය වී නොතිබුණත් එවැනි සබඳතාවක් හානිදායකයි. ඒ කෙසේද? මේ විෂය සම්බන්ධයෙන් එක පොතක් මෙසේ පැහැදිලි කරයි: “ඔබේ සහකරුවා සමඟ ගත කරන්න තිබෙන කාලයෙන් හා ශ්‍රමයෙන් වැඩි හරියක් ඇදගන්නාවූ ඕනෑම ක්‍රියාකාරකමක් හෝ සබඳතාවක් ද්‍රෝහිවීමක් සේ සැලකිය හැකියි.” එසේය, හැඟීම්වලට සීමා වූ ප්‍රේම සම්බන්ධයක්, කෙනෙකුගේ කලත්‍රයාගේ කාලය, අවධානය හා ආදරය සොරාගනියි. අපි සැලකිල්ල ලැබීමට කැමති ආකාරයෙන්ම අප අන් අයටත් සැලකිය යුතුයි යන යේසුගේ අණ සලකා බලද්දී, විවාහක අනුරාගී විලාසපාන්නා තමන්ගෙන්ම මෙසේ අසාගැනීම සුදුසුයි, ‘මගේ කලත්‍රයා මේ විදිහට වෙන කෙනෙක් එක්ක හැසුරුණොත් මට කොහොම හැඟෙයිද?’—හිතෝපදේශ 5:15-23; මතෙව් 7:12.
පුද්ගලයෙක් මේ වගේ අයෝග්‍ය හැඟීම්වලට සීමා වූ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබෙනවා නම්, ඔහු කුමක් කළ යුතුද? එවැනි නුසුදුසු බැඳීමක් ඇති විවාහක පුද්ගලයා හරියට සුක්කානම ක්‍රියා කරවමින් සිටිද්දී නිදිකිරා වැටෙන රියැදුරෙක් වගෙයි. ඔහු අවදි වී තමාගේ තත්වය තේරුම්ගත යුතු අතර, ඔහුගේ විවාහය හා දෙවි සමඟ ඇති ඔහුගේ සබඳතාව දෙකඩ වීමට පෙර ඔහු ඉක්මන්, තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. කෙනෙකුට දෙවි සමඟ තිබෙන හොඳ ස්ථාවරත්වය ඇස වගේ අගනා දෙයක් මගින් හෝ අතක් මගින් විනාශ කරයි නම්, ඇස උගුලා දැමිය යුතු හෝ අත කපා දැමිය යුතු තරම් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාව යේසු විස්තර කළා.—මතෙව් 5:29, 30.
එසේනම් ඔබ අනිත් තැනැත්තාව දකින තැන් හා දකින වාර ගණන සීමා කිරීම ඥානවන්ත වනු ඇත. ඇත්තෙන්ම, එම පුද්ගලයා සමඟ හුදකලා වීමෙන් වළකින්න; එමෙන්ම වැඩ කරන ස්ථානයෙහි නම්, සංවාදයෙහි යෙදීම සීමා කරන්න. පුද්ගලයා සමඟ සියලුම ගනු දෙනු නවතා දැමීම පවා අවශ්‍ය විය හැකියි. ඉන්පසු, තමාගේ ඇස්, සිතුවිලි, හැඟීම් හා හැසිරීම සම්බන්ධයෙන් දැඩි ආත්ම දමනයක් ක්‍රියාත්මක කළ යුතුයි. (උත්පත්ති 39:7-12; ගීතාවලිය 19:14; හිතෝපදේශ 4:23; 1 තෙසලෝනික 4:4-6) විවාහක පුරුෂයෙකු වූ යෝබ්, විශිෂ්ට ආදර්ශයක් තබමින් මෙසේ පැවසුවා: “මාගේ ඇස් සමග ගිවිසුමක් කෙළෙමි; එබැවින් කන්‍යාවක් දෙස බලන්නේ කොහොමද?”—යෝබ් 31:1.
පැහැදිලිවම, අනුරාගී විලාස පෑමේ නිරත වීම විවාහක තැනැත්තෙකුට අනතුරුදායක මෙන්ම ශුද්ධ ලියවිලිවලට පටහැනි දෙයක්. කෙසේවුවත්, තනිකඩ අය අතරේ අනුරාගී විලාස පෑම පිළිබඳ බයිබලයේ දෘෂ්ටිකෝණය කුමක්ද? එය සාමාන්‍ය, අහිංසක හෝ විරුද්ධ ලිංගයේ අය සමඟ සබඳතා ඇති කරගැනීමට අවශ්‍ය දෙයක් හැටියට සැලකිය යුතුද? එයින් යම් සැබෑ හානියක් ඇති විය හැකිද?
අවිවාහක අය ගැන කුමක්ද?
තනිකඩ දෙදෙනෙක් විවාහ වීමට බලාපොරොත්තුවෙන් අපවිත්‍ර හැසිරීමෙන් වැළකෙමින් එකිනෙකා කෙරෙහි සෙනෙහෙබර උනන්දුවක් පෙන්වීමේ වරදක් නැහැ. (ගලාති 5:19-21) විවාහය වෙයිද නොවෙයිද කියා ස්ථිරයෙන්ම නොදන්නා පූර්ව විවාහ ඇසුරේ මුල් අවදියේදී එවැනි උනන්දුවක් ඇති විය හැකියි. අභිප්රායන් සුදුසුව තිබෙන විට මෙය අයෝග්‍ය දෙයක් නොවෙයි. එවැනි හැසිරීමක් ඇත්තෙන්ම අනුරාගී විලාස පෑමක් නොවෙයි.
එහෙත්, තනිකඩයන් හුදු විනෝදය තකා පමණක් එකිනෙකාට සෙනෙහෙබර ඇඟවීම් කරනවා නම්, ඒ ගැන කුමක් කිව හැකිද? ඔවුන් අවිවාහක බැවින් එය හානි රහිතයි කියා හැඟිය හැකියි. කෙසේවුවත්, වේදනාකාරි හැඟීම් ඇතිවීමට තිබෙන ඉඩ කඩ සලකා බලන්න. අනුරාගී විලාසපාන්නාගේ ක්‍රියාකලාපය අදහස් කළාට වඩා බැරෑරුම් ලෙස ගතහොත්, එය කටුක වේදනාවක් හා හෘද රිදවීමක් ඇති කළ හැකියි. “පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත කලකිරෙන්නේය; එහෙත් ආශාව ඉෂ්ටවීම ජීවන වෘක්ෂයක්ය” යන හිතෝපදේශ 13:12හි වචන මොනතරම් සැබෑද! තමන් එකිනෙකා කෙරෙහි බැරෑරුම් ආකාරයේ උනන්දුවක් දක්වන්නේ නැහැ කියා වැටහීමක් තිබෙන බවට දෙදෙනෙක් ප්‍රකාශ කළ හැකි වුවත්—අනිත් තැනැත්තාට ඇත්තෙන්ම හිතෙන හෝ හැඟෙන දේ ගැන ඔවුන් දෙදෙනාගෙන් එක්කෙනෙකුටවත් ස්ථිර විය හැකිද? බයිබලය මෙසේ පිළිතුරු දෙයි: “සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?”—යෙරෙමියා 17:9; සසඳන්න පිලිප්පි 2:4.
වේශ්‍යාකමේ අනතුරත් සලකා බලන්න; රෝග වැළඳීම හෝ විවාහයෙන් පිට ගැබ්ගැනීම එහි ප්‍රතිඵලය විය හැකියි. ශුද්ධ ලියවිල්ලේ වේශ්‍යාකම තහනම් කර තිබෙන අතර, හිතා මතාම එහි යෙදෙන අයට දෙවිගේ අනුග්‍රහය අහිමි වෙනවා. පරීක්ෂාවලට එරෙහිව සිටීම සඳහා ඔවුන් තමන්ගේ “අවයවයන්, එනම් වේශ්‍යාකම” ‘නැසිය’ යුතු බවත්, වේශ්‍යාකමට මඟ පාදන ‘කාමරාගයෙන්’ වැළකිය යුතු බවත් ප්‍රේරිත පාවුල් ඥානවන්තව ක්‍රිස්තියානීන්ට අවවාද කළා. (කොලොස්සි 3:5; 1 තෙසලෝනික 4:3-5) එපීස 5:3හි ඔහු අපට උපදෙස් දෙන්නේ, වැරදි ආශාව ඇවිස්සීමට හැකි ආකාරයක් වන වේශ්‍යාකම “සඳහන් කරන්ට පමණවත් එපා” කියායි. අනුරාගී විලාස පෑම, මේ අවවාදයට අනුකූල නැහැ. ලිංගික දේ ගැන අහිතකර සංවාදය පවා දෙවි තහනම් කරයි.
අනුරාගී විලාස පෑම, සෙසු මිනිසුන්ට කරන කෲර දෙයක් හා විවාහයේ මූලාරම්භකයා වන යෙහෝවාට කරන අගෞරවයක් විය හැකි බව බයිබල් ප්‍රතිපත්ති හෙළි කරයි. නුසුදුසු අනුරාගී විලාස පෑම පිළිබඳ බයිබලයේ දෘෂ්ටිකෝණය ඇත්තෙන්ම ප්‍රේමනීය හා සාධාරණ දෙයක්; මන්ද එය ජනයාව පීඩාවෙන් ආරක්ෂා කරන බැවිනුයි. ඒ නිසා දෙවිට ප්‍රේමකරන්නන් නුසුදුසු අනුරාගී විලාස පෑමෙන් වැළකී සිටින අතර, විරුද්ධ ලිංගයේ අයට පවිත්‍රව හා ගෞරවනීයව සලකනු ඇත.—1 තිමෝති 2:9, 10; 5:1, 2.
[පාදසටහන්වල]
a කිසිම ප්‍රේමාතුර චේතනාවක් නැති මිත්රශීලීත්වය හෝ විවෘත ලෙස ආශ්‍රය කිරීමට දරන කැමැත්ත සමඟ, අනුරාගී විලාස පෑම පටලවා නොගත යුතුයි.
b 1994 පෙබරවාරි 8 පිබිදෙව්! කලාපයේ “දෙවි ද්වේෂ කරන්නේ කිනම් අයුරක දික්කසාදයද?” (ඉංග්‍රීසියෙන්) යන ලිපිය බලන්න.
[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
© The Curtis Publishing Company