විද්‍යාඥයන් ඇත්තටම කළු කුහර සොයාගෙන ඇද්ද?
එය හරියට විද්‍යා ප්‍රබන්ධයක් වගෙයි. එනම් එක් කලක දීප්තියෙන් දිදුලූ තාරකා, තම ගුරුත්වාකර්ෂණ බලයෙන්ම කුඩුපට්ටම් වී, ඇසට නොපෙනී ගොස් සෑම දෙයක්ම, එනම් ආලෝකය පවා තම ග්‍රහණයට හසු කරගනියි. එවැනි කළු කුහර, විශ්වයේ පොදුවේ දක්නට ඇති දෙයක් කියා තාරකා විද්‍යාඥයන් විශ්වාස කරයි. ඔබ ඒවා ගැන වැඩිදුරටත් දැනගන්න කැමතිද? කතාන්තරය පටන්ගන්නේ “හංසයා” යන අරුත් ඇති සිග්නස් නම් ලත් උතුරින් පිහිටි සුන්දර වූ තාරකා මණ්ඩලයෙනි.
සිග්නස් X-1—කළු කුහරයක්ද?
එක්දහස් නවසිය හැට ගණන්වල සිට සිග්නස් තාරකා මණ්ඩලයේ විශේෂ ප්‍රදේශයක් ගැන තාරකා විද්‍යාඥයන් උනන්දු වී තිබෙනවා. පෘථිවි වායුගෝලයට ඉහළින් කක්ෂගත කොට ඇති පරීක්ෂණාගාරවලට මෙම ප්‍රදේශයෙන්, එනම් සිග්නස් X-1 හැටියට නම් කර තිබූ ප්‍රදේශයෙන් බලගතු X කිරණ ප්‍රභවයක් අනාවරණය වුණා.
වස්තුවක් උණුසුම් වන තරමට, විද්‍යුත් චුම්බක තරංග ආයාමද වඩා කෙටි වන අතර, ශක්තියෙන්ද වැඩි වන බව විද්‍යාඥයන් බොහෝ කලක සිට දැන සිටියා. ඔබ යකඩයක් ගෙන එය ඉතා රස්නෙ ගිනි මැලයකට ඇල්ලුවොතින්, පළමුව එය රතු පැහැයෙන් බැබළී, ඉන්පසුව යකඩය රත් වෙන්න වෙන්න කහ පැහැයක්ද අනතුරුව සුදු පැහැයක්ද ගනියි. එයාකාරයෙන් බැලූ විට, තාරකාද යකඩ කූරු වගෙයි. කෙල්වින් 3,000ක සාපේක්ෂ වශයෙන් ශීත තාරකා පැහැයෙන් රතු වන අතර, සූර්යයා වැනි කහ පැහැති තාරකාවකට කෙල්වින් 6,000කට ආසන්න මතුපිට උෂ්ණත්වයක් තිබෙනවා.a කොහොම වුණත්, සිග්නස් X-1න් පැමිණෙන X-කිරණ විකිරණ ලබාගැනීම සඳහා, තාරකා වායුව කෙල්වින් මිලියන ගණනක් දක්වා රත් කරන්න සිදු වෙයි. එවැනි මතුපිට උෂ්ණත්වයක් ඇති කිසිම තාරකාවක් නැහැ.
සිග්නස් X-1 නම් ස්ථානයේ, තාරකා විද්‍යාඥයන් කෙල්වින් 30,000ක මතුපිට උෂ්ණත්වයක් ඇති තාරකාවක් සොයාගෙන තිබෙනවා; ඇත්තෙන්ම මෙය ඉතා උණුසුම් වුණත්, X කිරණ පිට කිරීමට තරම් මෙය උණුසුම් නැහැ. HDE 226868 හැටියට නාමගත කර ඇති මෙම තාරකාව, හිරු මෙන් 30ගුණයක ස්කන්ධයකින් යුතු වන අතර පෘථිවියේ සිට ආලෝක වර්ෂ 6,000ක් ඈතින් පිහිටයි. මෙම අතිදැවැන්ත යෝධයාට සගයෙක් සිටින අතර, සෑම දින 5.6කට වතාවක් එකිනෙකා වටේ කැරකෙයි. විද්‍යාඥයන් ගණන් බලා ඇති ආකාරයට එම සගයා සිටින්නේ HDE 226868ට කිලෝමීටර මිලියන කිහිපයකට ඈතින් පමණයි. සමහරක් මූලාශ්‍රවලට අනුව, මෙම සගයා හිරු මෙන් දසගුණයක ස්කන්ධයකින් යුතු වෙයි. හැබැයි මෙම සගයාගේ එක් අමුත්තක් තිබෙනවා, එනම් එය ඇසට නොපෙනෙයි. පෘථිවියට එවැනි දුරකින් පිහිටි එතරම් විශාල වූ කිසිම තාරකාවක් ඇසට නොපෙනිය යුතු නැහැ. එතරම් විශාලත්වයකින් යුතු X කිරණ පිට කරන එහෙත් දෘශ්‍යාලෝකය පිට නොකරන වස්තුවක් විද්‍යාඥයන් පවසන හැටියට බොහෝදුරට කළු කුහරයක් විය හැකියි.
කළු කුහරයකට ගමනක්
සිග්නස් X-1 වෙතට ඔබට ගමන් කළ හැකියයි සිතන්න. එය කළු කුහරයක් නම්, එවිට ඔබ දකින දෙය බොහෝදුරට 17වන පිටුවේ දක්වා ඇති රූපසටහන මෙන් විය හැකියි. විශාල තාරකාව HDE 226868. මෙම තාරකාව විෂ්කම්භයෙන් කිලෝමීටර මිලියන ගණනක් වුවත් කළු කුහරය විෂ්කම්භයෙන් කිලෝමීටර 60ක් පමණ විය හැකියි. දිදුලන වායු සුළිය පතුලේ ඇති කුඩා කළු තිත, කළු කුහරයේ සිදුවීම් ක්ෂිතිජයයි නැතිනම් පෘෂ්ඨයයි. කොහොම වුණත්, එයට ස්ථිර මතුපිටක් නැහැ; ඒ වෙනුවට එය සෙවණැල්ලක් මෙන් වෙයි. එය බලගතු ගුරුත්ව බලයක් ඇති කළු කුහරයේ කෙළවරයි. තවද කොතරම් බලගතුද කිවහොත් ආලෝකය පවා එහි ග්රහණයෙන් ගැළවී නොයයි. බොහෝ විද්‍යාඥයන් දරන මතය නම්, ක්ෂිතිජය තුළ කළු කුහරයේ කේන්ද්‍රයේ පරිමාව බින්දුව වන අපරිමිත ඝනත්වයක් ඇති යම් තැනක් තිබෙන බවයි. මෙයට අපූර්වතාවයයි කියන අතර, එය තුළ කළු කුහරයේ ඇති සියලු පදාර්ථයන් නැති වී යයි.
කළු කුහරය සහකාර තාරකාවේ පිටාතර වායු ස්තරය හිස් කරමින් සිටියි. වායුව එන්න එන්නම වේගය වැඩි කරමින් දඟර ගැසෙමින් කළු කුහරය වටේට ඇති ඝර්ෂණය හේතුවෙන් රත් වෙද්දී තාරකාවෙන් එන වායුව දිදුලන තැටියක් බවට පත් වෙයි. වායුව ගුරුත්වාකර්ෂණය මගින් අදහාගත නොහැකි තරම් වේගයට පත්වීමත් සමඟ, පුදුමාකාර ලෙස රත් වී ඇති වායු තැටිය කළු කුහරයෙන් පිටත X කිරණ නිපදවයි. නමුත් වායුව කළු කුහරයට වැටුණු විට, X කිරණ හෝ මොනම දෙයකටවත් එයින් ගැළවී යා නොහැකි බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
සිග්නස් X-1 චමත්කාරජනක දසුනක් බව ඇත්තයි; නමුත් අතේ දුරින් ඉන්න! එයින් පිට කරන X කිරණ පමණක් නෙවෙයි භයානක, හැබැයි එහි ගුරුත්වයත් එලෙසමයි. පෘථිවියේ, ඔබ හිටගත් විට ඔබේ හිස හා පය අතර ගුරුත්ව බලයේ යම් සියුම් වෙනසක් පවතී. මෙම වෙනස මගින් නොදැනෙන කුඩා ඇදීමක් සිදු කරයි. කොහොමවුණත් සිග්නස් X-1දී නම්, එම කුඩා වෙනස බිලියන 150 වාරයක් දක්වා වැඩි වී තිබෙනවා; ඒ හේතුවෙන් ඇත්තටම ඔබේ සිරුර දෙපැත්තට ඇදිය හැකි බලයක් එයින් උපදවයි; හරියට අදෘශ්‍යමාන අත් දෙකක් ඔබේ පාදයෙන් එක අතකටත් හිසෙන් තව අතකටත් අදිනවා වගෙයි!
සිග්නස් A—එය අතිදැවැන්ත කළු කුහරයක්ද?
සිග්නස් තාරකා මණ්ඩලයේ තවත් අද්භූතාකාර ප්‍රදේශයක් පවතියි. බැලූ බැල්මට නම් ඈතින් පිහිටා ඇති පෙනෙන නොපෙනෙන තරම් වූ ඉතා කුඩා මන්දාකිනියක් එම ප්‍රදේශයට අයත් වෙනවා; නමුත් අහස්තලයේ තිබෙන ප්රබලතම විකිරණ තරංගවලින් සමහරක් එය පිට කරයි. එයට සිග්නස් A යයි කියන අතර, අවුරුදු 50කට පෙර එය සොයාගත් දා සිට විද්‍යාඥයන් එයින් තුෂ්ණීම්භූත වී තිබෙනවා.
සිග්නස් Aහි පරිමාණය ගැන සිතීමෙන් පවා කෙනෙකුගේ මන කැලඹෙයි. සිග්නස් X-1 අපගෙන් ආලෝක වර්ෂ කීප දහසකට පමණක් ඈතින් පිහිටියත්, ඊට වෙනස්ව සිග්නස් A ආලෝක වර්ෂ මිලියන සිය ගණනකට ඈතින් පිහිටා ඇති බවට විශ්වාස කෙරෙනවා. සිග්නස් X-1 හා එහි ඇසට පෙනෙන සගයා එක් ආලෝක මිනිත්තුවක දුරකින් පිහිටා තිබුණත්, ඊට වෙනස්ව සිග්නස් Aහි විකිරණ තරංග ධාරා යුගළයෙන් සැදී ඇති වායු තීර දෙක අතර දුර, ආලෝක වර්ෂ සියදහසක ප්‍රමාණයක් වෙයි.b පෙනෙන ප්‍රකාරයට වර්ෂ සියදහස් ගණනක හෝ මිලියන ගණනක කාලයක් පුරා, විශ්වනීය කිරණ තුවක්කුවක් මෙන් සිග්නස් A මැද පිහිටි යම් දෙයක්, මේ ප්‍රබල ශක්ති ධාරාවන් ප්‍රතිවිරුද්ධ පැතිවලට විහිදුවමින් තිබෙනවා. සිග්නස් Aහි කේන්ද්‍රය දැක්වෙන සවිස්තරාත්මක විකිරණ තරංග සිතියම්වලින් හෙළි කරන පරිදි තරංග ධාරාවලට සාපේක්ෂව, කිරණ තුවක්කුව ඉතා කුඩා එකක් වන අතර, ප්‍රමාණයෙන් එය ආලෝක මාසයකට වඩා කුඩා වෙයි. මෙම තුවක්කුව එහාට මෙහාට වැනුණා නම් එයින් නිකුත් වන කදම්බද ඇද විය යුතුයි. නමුත් හරියට අතිවිශාල විභ්රමේක්ෂයකින් මෙම කිරණ නිකුත් කරන තුවක්කුව ස්ථානගත කොට තිබුණාක් මෙන්, මෙම අද්භූතාකාර ධාරාවන්ද සම්පූර්ණයෙන් සෘජු වෙයි.
සිදු වනවා ඇත්තේ කුමක්ද? “ශක්ති ධාරා සඳහා වගකිව යුතු කේන්ද්‍රීය ප්රභවය සම්බන්ධයෙන් 1980 ගණන්වල මුල් කාලයේදී යෝජනා කළ සංකල්ප ගණනාව අතුරෙන් එකක පමණයි බලගතු ධාරාවන් නිකුත් කළ හැකි, තරමින් එක් ආලෝක මසකට වඩා කුඩා වූ දීර්ඝ ආයුවක් ඇති සුපිරි විභ්රමේක්ෂයක් (අක්ෂයක් දිගේ ඕනෑම අතකට හැරීමට හැකි පරිද්දෙන් රාමුගත කොට ඇති චක්‍රයක්) ගැන සඳහන් වුණේ. එම සුවිශේෂී අදහසින් කැරකැවෙන යෝධාකාර කළු කුහරයක් ගැනයි කියවුණේ” කියා මහාචාර්ය කිප් එස්. තෝන් ලියයි.
සැකකටයුතු වෙනත් කළු කුහර
ආලෝක වර්ෂ මිලියන 50ක් පමණ ඈතින් පිහිටා තිබෙනවායයි ඇස්තමේන්තු කොට ඇති “ළඟපාත” මන්දාකිනියක් වන M87 දෙස 1994 අලුත්වැඩියා කළ හබල් අභ්‍යවකාශ දූරේක්ෂය මගින් සමීප බැල්මක් හෙළුවා. එහි නවීකරණය කළ දෘෂ්ටියේ උපකාරය ඇතුව, M87 කේන්ද්‍රයේ වායු සුළියක් වෙනත් වස්තුවක් වටා පුදුමාකාර ලෙස, පැයට කිලෝමීටර මිලියන 2ක වේගයකින් කරකැවෙන බවට අනාවරණය වුණා. මෙම වායුවට එතරම් වේගයකින් ගමන් කරවීමට සැලැස්විය හැක්කේ කුමක්ද? ගණන් බැලීම්වලින් හෙළි වුණේ මෙම සුළිය තුළ තිබෙන වස්තුවට අඩු තරමින් සූර්යයන් බිලියන දෙකක මුළු ස්කන්ධයක් තිබිය යුතු බවයි. නමුත් එම වස්තුව අපේ සෞරග්‍රහ මණ්ඩලය තරම් වන “කුඩා” ප්‍රමාණයකට කුඩා කර තිබෙනවා. මෙම විස්තර කිරීමට ගැළපිය හැකි එකම දෙය හැටියට විද්‍යාඥයන්ට සිතාගත හැක්කේ අතිවිශාල කළු කුහරයක් පමණයි.
ළඟපාත මන්දාකිනි බොහොමයක කළු කුහර විය හැකි ඒවා සොයාගෙන තිබෙනවා; ආලෝක වර්ෂ මිලියන දෙකකට වඩා වැඩි නොවූ ඈතකින් පිහිටි අපේ “අල්ලපු වත්තේ” ඉන්න අසල්වැසියා වන ඇන්ඩ්‍රොමීඩා මන්දාකිනිය මීට අයත් වනවා. නමුත් ඇන්ඩ්‍රොමීඩාවට වඩා කිට්ටුවෙන් පිහිටා ඇති දැවැන්ත කළු කුහරයක් තිබෙන්න ඉඩ තිබෙනවා! අපේම මන්දාකිනියේ එනම් ක්ෂීරපථයේ කේන්ද්‍රයේ සුවිශාල කළු කුහරයක් තිබිය හැකි බව මෑතකදී කළ නිරීක්ෂණවලින් අඟවයි. ඇස්තමේන්තුගත සූර්යයන් මිලියන 2.4ක ස්කන්ධයකින් යුත් කුඩා ප්‍රදේශයක වූ යමක්, අපේ මන්දාකිනියේ කේන්ද්‍රයේ ඇති තාරකාවන් පුදුමාකාර වේගයකින් කක්ෂගත වීමට සලස්වයි. භෞතික විද්‍යාඥ තෝන් මෙසේ පෙන්වා දෙයි: “අනුරූපී තාරකා විකිරණ ප්‍රභවයන්හි (ක්වේසර) හා විකිරණ තරංග මන්දාකිනිවල කේන්ද්‍රවල පමණක් නොව, නමුත් ක්ෂීරපථය හා ඇන්ඩ්‍රොමීඩා වැනි විශාල වූ, සාමාන්‍ය (විකිරණ තරංග නොවන) මන්දාකිනි බහුතරයක පවා එවැනි කුහර පවතින බවට 1980 ගණන් පුරා එකතු වූ සාක්ෂිවලින් ඇඟවෙයි.”
විද්‍යාඥයන් ඇත්තටම කළු කුහර සොයාගෙන ඇද්ද? සමහරක් විට ඔව්. කළු කුහරයයි දැනට පහසුවෙන්ම පැහැදිලි කළ හැකි අමුතු වස්තූන් සිග්නස් හා වෙනත් ස්ථානවල ඔවුන් ඇත්තෙන්ම සොයාගෙන තිබෙනවා. නමුත් අලුතින් ලැබෙන දත්ත, පොදුවේ දරන න්‍යායන්වලට අභියෝගයක් විය හැකියි.
අවුරුදු 3,500කට පෙර, යෝබ්ගෙන් දෙවි මෙසේ ඇසුවා: “නුඹ අහසේ නියෝග දන්නවාද?” (යෝබ් 38:33) සිත්ගන්නාසුලු විද්‍යාත්මක ප්‍රගතීන් මධ්‍යයේ, එම ප්රශ්නය තවමත් තත්කාලීන වෙයි. මන්දයත් බලං ගිය විට, තමා විශ්වය තේරුම්ගෙන ඇතැයි කියා සිතන්න ගන්න කොටම, නොසිතූ නව නිරීක්ෂණයන් හෙළි වී ඉතා අරපරෙස්සමින් ගොඩනැඟූ න්‍යායන් වියවුල් වෙයි. ඒ අතරතුරේදී, අපිට පුදුමයෙන් යුතුව තාරකා මණ්ඩල දෙසට අපේ නෙත් විහිදුවමින් එහි සුන්දරත්වයෙන් ආස්වාදයක් ලැබිය හැකියි!
[පාදසටහන්වල]
a කෙල්වින් (K) යනු නිරපේක්ෂ 0න් පටන්ගෙන (තිබිය හැකි සීතලම උෂ්ණත්වයයයි විශ්වාස කෙරේ) සෙල්සියස් අංශකවලින් ඉහළ නැඟේ. නිරපේක්ෂ 0 සෙල්සියස් අංශක -273ක් වන නිසා, සෙල්සියස් අංශක 0, K 273ක් වෙයි.
b ආලෝක වර්ෂයක් යනු රික්තකයක් තුළ ආලෝකය, වර්ෂයක් තුළ ගමන් කරන දුර ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් වෙයි, නැතිනම් කිලෝමීටර 94,61,00,00,00,000ක් පමණ වෙයි. ඊට අනුරූපී ලෙස, ආලෝක මිනිත්තුවක් යනු මිනිත්තුවක් තුළ ආලෝකය ගමන් කරන දුර වන අතර, ආලෝක මාසයක් යනු මාසයක් තුළ ආලෝකය ගමන් කරන දුර වෙයි.
[16, 17 යන පිටුවේ කොටුව]
කළු කුහරයක් හැදෙන්නේ කොහොමද?
ගුරුත්වාකර්ෂණය හා න්‍යෂ්ටික බලයන් අතර සිදු වන නිමක් නැති අරගලය හේතුවෙන් තාරකා දිදුලතියි යන්න වර්තමාන විද්‍යාත්මක අවබෝධය වෙයි. වායුව තාරකාව තුළ රඳවාගැනීම සඳහා ගුරුත්වය නොමැතිව, න්‍යෂ්ටික විලයනය හටගැනීමට හැකියාවක් නැහැ. අනෙක් අතට, ගුරුත්වයේ ඇදගැනීම වැළැක්වීමට න්‍යෂ්ටික විලයනය නොමැති විට තාරකාවන්ට අමුතු දේවල් සිදු වෙන්න ඉඩ තිබෙනවා.
අපේ හිරුගේ ප්‍රමාණයේ තාරකාවන් හයිඩ්රජන් හා හීලියම් වශයෙන් ඇති න්‍යෂ්ටික ඉන්ධන පූර්ණ වශයෙන් දහනය කළ විට, ගුරුත්වය මගින් සුදු වාමනයන් හැටියට හඳුන්වන, ප්‍රමාණයෙන් පෘථිවිය තරම් විශාල වන, උණුසුම් ගිනි අඟුරු දක්වා ඒවා තෙරපුමකට ලක් කරන බව විද්‍යාඥයන් විශ්වාස කරයි. හිරුට සමාන ස්කන්ධයක් සුදු වාමනයක් තුළ අන්තර්ගත විය හැකි වුවත්, එහි ස්කන්ධය මිලියන ගුණයක් දක්වා කුඩා වූ ප්‍රදේශයකට එය තෙරපා ඇත.
එක් එක් අණුවේ මුළු ස්කන්ධයම කුඩා න්‍යෂ්ටියකට සීමා වූද, වඩා විශාල වූ ඉලෙක්ට්‍රෝන සමූහයකින් වට වූද, වැඩි වශයෙන් හිස් වූ අවකාශයකින් යුක්ත වූවක් හැටියට ඔබට සාමාන්‍ය පදාර්ථයක් සැලකිය හැකියි. නමුත් සුදු වාමනයක් තුළදී, ගුරුත්වය එහි මුල් පරිමාවෙන් ඉතා කුඩා වූ ප්‍රමාණයක් දක්වා ඉලෙක්ට්‍රෝන සමූහය තෙරපුමකට ලක් කරන අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස තරුව ග්රහයෙකුගේ ප්‍රමාණය දක්වා හැකිළෙයි. මෙම තත්වයේදී අපේ හිරු තරම් වන තාරකාවල ගුරුත්වය හා ඉලෙක්ට්‍රෝන සතු බලයන් මගින් ප්රතිතෝලනයක් ඇති කරයි. මෙමගින් තවදුරටත් සිදු විය හැකි සම්පීඩනය වළකාලයි.
නමුත් හිරුට වඩා බරැති වැඩි ගුරුත්වයකින් යුතු තාරකාවන් ගැන කුමක් කිව හැකිද? හිරු මෙන් 1.4 ගුණයක ස්කන්ධයකින් යුතු වන තාරකාවන් ගත් කල, එමත ඇති ගුරුත්වයේ බලය කොයිතරම් මහත්දැයි කිවහොත්, ඉලෙක්ට්‍රෝන සමූහය පැවැත්මෙන් තොර වන තත්වයටම තෙරපනු ලබනවා. අනතුරුව ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන බවට සංයෝග වෙයි. ගුරුත්වය ප්‍රබලත්වයෙන් නොවැඩි වන තාක් කල්, තවදුරටත් සිදු කරන තෙරපුමට නියුට්‍රෝන විරෝධය දක්වයි. ඉතින් ග්රහයෙකු තරම් වන සුදු වාමනයෙකු බවට පත්වනවා වෙනුවට, ප්‍රතිඵලය වන්නේ ක්ෂුද්‍ර ග්‍රහයෙක් තරම් කුඩා වන නියුට්‍රෝන තාරකාවක් වීමයි. විශ්වයේ පවතින ඝනත්වයෙන් වැඩිම ද්‍රව්‍යයන් නියුට්‍රෝන තාරකාවල අන්තර්ගත වෙයි.
නමුත් නිකමට හරි ගුරුත්වය වැඩි කළොතින් තත්වය කුමක් වනු ඇද්ද? හිරු මෙන් තුන්ගුණයක ස්කන්ධයක් ඇති තාරකාවන්වල ඇති ගුරුත්වය නියුට්‍රෝනවලට දරාගැනීමට බැරි තරම් ප්‍රබල බව විද්‍යාඥයන් විශ්වාස කරයි. භෞතික විද්‍යාඥයන් දන්නා මොනම පදාර්ථයකටවත් ගුරුත්වයේ මෙම සමුච්චිත එකතුව දරාගත නොහැකියි. පෙනෙන ප්‍රකාරයට නියුට්‍රෝනවලින් සමන්විත මෙම ක්ෂුද්‍ර ග්‍රහයා තරම් වන ගෝලය තවත් කුඩා ගෝලයක් දක්වා පමණක් නොව, නමුත් ශුන්‍ය බවට එනම් අපූර්වතාවයයි කියන තත්වයට හෝ තවමත් පැහැදිලි කර නැති සිද්ධාන්තික වස්තුවක හැඩයට තෙරපුමකට ලක් වෙයි. පැහැදිලිව එය පෙර පැවති ස්ථානයේ ගුරුත්වාකර්ෂණය හා කළු කුහරයක් පමණක් ඉතුරු කරමින් තාරකාව නැති වී යයි. කලින් පැවති තාරකාව වෙනුවට කළු කුහරය ගුරුත්වාකර්ෂණීය සෙවණැල්ලක් සාදයි. එවිට මෙම ප්‍රදේශය තුළ ගුරුත්වය කොතරම් ප්‍රබල වෙනවාද යත්, කිසිම දෙයක්, එනම් ආලෝකය පවා තම ග්රහණයෙන් බේරී නොයන ප්‍රදේශයක් බවට මෙය පත් වෙයි.
[16වන පිටුවේ පින්තූර]
වනත් ඒවාට අමතරව, උතුරු අමෙරිකානු නෙබියූලා (1) හා වේල් නෙබියූලා සිග්නස් තාරකා මණ්ඩලයට අයත් වෙයි (2). සිග්නස් X-1 (3) හංසයාගේ ගෙලෙහි පහළට වෙන්න පිහිටා ඇත
සිග්නස් (හංසයා)
[හිමිකම් විස්තර]
Tony and Daphne Hallas/Astro Photo
Tony and Daphne Hallas/Astro Photo
[17වන පිටුවේ පින්තූර]
සිග්නස් X-1 පවතින න්‍යායට අනුව
වෙනත් වස්තූන්වලට කරන බලපෑම් මගිනුයි කළු කුහර සොයාගන්නේ. තාරකාවක ඇති වායුව කළු කුහරයක් තුළට ඇදගන්නා අන්දම මෙම රූපසටහනෙන් නිදර්ශනය වේ
කළු කුහරයක් සිත්තම්කරුවෙකුගේ ඇසින් (කළු කුහරය රතු ඍජුකෝණාස්‍රය තුළයි); එය විශාල කොට දක්වා (පහළ)
[14වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
අයින්ස්ටයින්: U.S. National Archives photo