ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g98 10/8 11-13 පි.
  • රත්තරන් මනබඳින රත්තරන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රත්තරන් මනබඳින රත්තරන්
  • 1998 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • රත්තරන් හා බැඳි ඉතිහාසය
  • ලෙයින් උතුරා ගිය ඉතිහාසයක්
  • 19වන සියවසේ රන් උමතුව
  • මුහුදුබත් වූ නිධාන
  • යුධ සමයේ රන්
  • සාලමොන් රජුගේ වස්තු සම්භාරය අතිශයෝක්තියක්ද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රන්වලටත් වඩා අගනා දෙයක් සොයාගන්න ඔයාටත් පුළුවන්
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබ දැන සිටියාද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ දැන සිටියාද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1998 පිබිදෙව්!
g98 10/8 11-13 පි.

රත්තරන් මනබඳින රත්තරන්

යටගිය දවසේ සිට මෙම මෘදු, තද කහ ලෝහය එය සතුව පවතින විවිධාකාර ගුණයන් නිසාවෙන් වටිනා යමක් සේ සලකා ඇත. පැහැය, දිදුලන දීප්තිය, නම්‍යසුලුබව හා මල නොබැඳීමේ ගුණය නිසා එය වෙනත් ලෝහයන් අතරෙන් අද්විතීය වෙයි. එය සොයන්නන්ගේ මනස්වල එපිළිබඳව මැවී ඇති අගය නිසා, වෙනත් කිසිදු ලෝහයකට වඩා වෙනස් වූ ඉතිහාසයක් රත්තරන්වලට ඇත.

“රත්තරන්! මං කියන්නේ මේකනං රත්තරන්ම තමයි!” රත්තරන්වල සොයාගැන්ම හද සතුටින් ඉපිල යෑමටත්, හද ගැස්ම වැඩි කිරීමටත්, අහස් මාළිගා තැනීමටත් දායක වී තිබෙනවා. මෙය සෙවීමට ගොඩබිම, ඇළදොළ ගංගා හා පෘථිවි පෘෂ්ඨයෙන් අඩි දහස් ගණනක් ගැඹුරට පවා කැණීම් කර තිබෙනවා.

රනින් තැනූ මිල අධික ස්වර්ණාභරණවලින් මහේෂ මහේෂිකාවන්ද පැළඳ සිට තිබෙනවා. සිංහාසන හා මාළිගාවල බිත්ති පවා එයින් අලංකාර කොට තිබෙනවා. මාළුන්, කුරුල්ලන් හා වෙනත් සතුන්ව නියෝජනය කරන රන් රූපවලට, දෙවිවරුන් සේ සලකා නමස්කාර කොට තිබෙනවා. ඉවක් බවක් නැතුව රත්තරන් සෙවීමට දරා ඇති වෑයම් පොළොවේ සතර කොනටම විහිදී ඇති අතර, ශිෂ්ටාචාරය කෙරෙහි ඇති එහි බලපෑම්ද එසේමයි.

රත්තරන් හා බැඳි ඉතිහාසය

රත්තරන් මිසර දෙවිවරුන්ගේ හා රජවරුන් වන ඵාරාවෝගේ තනි භුක්තියක් සේ සැලකූ අතර, ඉපැරණි මිසරයේ එම රජවරුන් රත්තරන් සොයාගැනීමේ අටියෙන් තම වෙළඳාම්කරුවන් හා හමුදාවන් දුර ඈත පිහිටි දේශවලට පිටත් කර හැරියා. වර්ෂ 1922දී සොයාගනු ලැබූ ටූටාන්කාමන්ගේ සොහොන, අමිල වූ රන් නිධානවලින් පිරී තිබුණා. ඔහුගේ මිනීපෙට්ටිය පවා සම්පූර්ණයෙන්ම රනින් කර තිබුණා.

සමහරක් ඉතිහාසඥයන්ට අනුව, මහා ඇලෙක්සැන්ඩර් “මුලින්ම ආසියාවට ඇදී යන්ට වූයේ පර්සියාවේ නම් දරා තිබූ රත්තරන් නිධාන හේතුකොටගෙනයි.” තවද පර්සියාවෙන් අත් කරගත් රත්තරන් ග්‍රීසියට ගෙනඒම සඳහා ඔහුගේ හමුදාව බර ඇදීමට පාවිච්චි කරන සතුන් දහස් ගණනක් යොදාගත් බව වාර්තා වෙනවා. ඒ හේතුවෙන් ග්‍රීසිය රනින් සෞභාග්‍යවත් වූ රටක් බවට පත් වුණා.

එක් ඉතිහාසඥයෙක් වාර්තා කරන හැටියට, “තම නිලධාරීන්ගේ පක්ෂපාතකම රැකගැනීම සඳහාත් වෙනත් දේශවල සිටි වංශාධිපතීන්ට බලපෑම් කිරීම සඳහාත් අධිරාජ්‍යවරුන් රත්තරන් යොදාගත්තා. තම ධන සම්භාරයේ මහිමත්වයෙන් ඔවුන් බොහෝවිට තම මිනිසුන්ව විමතියට පත් කළ අතර, එමගින් ඔවුන්ව දඩ මීමා කරගත්තා; චමත්කාරජනක රනින් කළ භාණ්ඩ ප්‍රදර්ශනය කිරීමෙන් මෙය කළ හැකි වුණා.” එක් මූලාශ්‍රයකට අනුව, ස්පාඤ්ඤය යටත් කරගැනීමෙන් හා එහි රත්තරන් නිධි අත් පත් කරගැනීමෙන් රෝමවරු මහත් රන් ප්‍රමාණයක් තමන් සතු කරගත්තා.

කොහොම වුණත්, ලෙයින් නැහැවුණු රන්වල ඉතිහාසය කැණීම අවශ්‍ය වෙනවා, රන්වල තිත්ත ඇත්ත දැනගන්න. එය, යටත් කරගැනීම, අමානුෂිකත්වය, වහල්භාවය හා මරණය මුසු වූ කතාන්තරයක්.

ලෙයින් උතුරා ගිය ඉතිහාසයක්

ශිෂ්ටාචාරයේ ප්‍රගතියත් සමඟ, විශාලත්වයෙන් වැඩි වූද වඩා බලගතු වූද රුවල් නැව් නව දේශ ගවේෂණයටත්, නව ප්‍රජාවන්වල පදිංචි වීමටත්, රන් සොයා යෑමටත් පිටත් වුණා. පුරෝගාමී නාවිකයෙකු වූ ක්‍රිස්ටොෆර් කොලම්බස් (1451-1506) ඇතුළුව තවත් බොහෝ ගවේෂකයන් රන්වලට වහ වැටී සිටියා.

රන් සෙවීමේ නිරත වූ කොලම්බස්ට ස්වදේශිකයන්ගේ ජීවිත සම්බන්ධයෙන් අල්ප මාත්‍රයක තරම්වත් සැලකිල්ලක් තිබුණේ නැහැ. තමන්ගේ අද්දැකීම්වලින් එකක් සිහියට නඟමින් කොලම්බස් තමාගේ වෑයම්වලට ආර්ථික වශයෙන් අනුබල දුන් ස්පාඤ්ඤයේ සිටි රජුට හා බිසවට තම සටහන් පොතේ මෙසේ ලිව්වා: “මෙහි පාලනය කිරීමට නම් කෙනෙකුට අවශ්‍ය වන්නේ ඇවිත් පදිංචි වී ස්වදේශිකයන්ව යටත් කරගැනීම විතරයි, ඔවුන් කියන ඕනෑම දෙයක් කරයි. . . . ඉන්දියන්වරුන් . . . නිරුවතින් සිටින අතර තමන්වම ආරක්ෂා කරගන්නත් බැරුවයි ඉන්නේ; ඒ නිසා අණ ලබන්ටත් වැඩ කරන්නත් සූදානමින් ඉන්නවා.” කොලම්බස් විශ්වාස කළා ඔහුට දෙවිගේ ආශීර්වාදය තිබුණු බව. ස්පාඤ්ඤයේ ශුද්ධ යුද්ධවලට මුදල් සැපයීමේ හැකියාව රන් නිධාන සතුව තිබුණා. තමාට රන් වෙස් මුහුණක් තෑග්ගක් හැටියට ලැබුණු විට ‘දෙවිගේ දයාව මට රන් සොයාගන්න උපකාර කරත්වා’ කියා ඔහු එක් වතාවක් පැවසුවා.

කොලම්බස් රන් සොයාගැනීම පිළිබඳ පුවත කනට වැටුණු රන් සොයා ගිය ස්පාඤ්ඤ කොන්කොස්තදෝර්වරුන්ට (විජයග්‍රාහකයන්) ස්පාඤ්ඤයේ ෆර්ඩිනන්ඩ් රජ මෙසේ අණ කළා: “මාහට රත්තරන් ගෙනෙනු! හැකි නම් එය මානුෂික අයුරින් අත් කරගන්න. ගන්න ක්‍රමය කුමක් වුවත් මාහට වැදගත් රත්තරන් පමණයි.” සිත් පිත් නැති ගවේෂකයන්, මෙක්සිකෝවේ මෙන්ම මධ්‍යම හා දකුණු අමෙරිකාවේදී මුහුණට මුහුණ පැමිණි ස්වදේශිකයන්ව දහස් ගණනින් මරා දැමුවා. කොන්කොස්තදෝර්වරුන් විසින් ස්පාඤ්ඤයට නැවෙන් ගෙනා රත්තරන් සංකේතමය ආකාරයකට ලෙයින් උතුරා යමින් තිබුණා.

එක ජාතික ධජයකටවත් හිමිකම් නොකියමින් යාත්‍රා කළ, ඒ කාලයත් සමඟම දර්ශනයේ දිස්වීමට පටන්ගත් අනෙක් අය වන්නේ මුහුදු කොල්ලකරුවනුයි. තවද ස්පාඤ්ඤ විශාල රුවල් නැව්වල බහා තිබූ රන් හා වෙනත් වටිනා නිධාන ඔවුන් ඈත දියඹේදී කොල්ල කෑවා. බොහෝවිට යුධ ශක්තියෙන් හා මිනිස් බලයෙන් හීනව තිබූ මෙම විශාල රුවල් නැව්, හොඳින් සන්නාහ සන්නද්ධව සිටි මුහුදු කොල්ලකරුවන්ට මොනයම් තර්ජනයක්වත් එල්ල කළේ නැහැ. මුහුදු කොල්ලකෑම 17වන හා 18වන සියවස්වල සයුරු වසංගතයක් වූ අතර, මෙය බටහිර කොදෙව් හා අමෙරිකානු වෙරළේ සුලභ දසුනක් විය.

19වන සියවසේ රන් උමතුව

වර්ෂ 1848දී කැලිෆෝනියාවේ සැක්‍රමෙන්ටෝ තැනිතලාවේ අනපේක්ෂිත අයුරින් සම්බ වූ රන් සම්භාරය පිළිබඳ පුවත සැමට සැල වූ අතර, තම අයිතිවාසිකම් තහවුරු කරගැනීමට සංක්‍රමණිකයන් වැළ නොකැඩී ආවා. ඊළඟ අවුරුද්ද වන විට, එනම් “49වන වසරට අයත් වූවන්ගෙන්” යුත් දසදහස් ගණනක් කැලිෆෝනියාවට ඇදී ආවා; මොවුන් ලොවේ නන් දෙසින් පැමිණි, වාසනාව සොයායන්නන් වුණා. වර්ෂ 1848දී කැලිෆෝනියාවේ 26,000ක්ව තිබූ ජනගහනය 1860 වන විට 3,80,000 දක්වා වර්ධනය වුණා. ගොවීන් තම භූමි හැර දමා, නාවිකයන් යාත්‍රාවලින් පැන, සොල්දාදුවන් හමුදාවන් අතහැර ආවේ රත්තරන් අත් කරගැනීමේ තම වාසනාව උරගා බැලීමටයි. සමහරුන්ව විස්තර කළේ “ලේ පිපාසිත සොරුන්” හැටියටයි. විවිධ තරාතිරම්වලින් යුත් මිනිස් එකතුවත් සමඟ අපරාධ හා ප්‍රචණ්ඩත්වයේ රැල්ලක්ද පැනනැග්ගා. රන්වලට වහ වැටී සිටිය එහෙත් ඒ සඳහා වැඩ කිරීමට අකමැති වූ අය සොරකමට පෙලඹුණු අතර, අශ්ව කරත්ත හා කෝච්චිවලට කඩා වැද රන් සොරාගැනීමට යොමු වුණා.

වර්ෂ 1851දී කැලිෆෝනියාවේ රන් උමතුව සමඟම, ඕස්ට්‍රේලියාවේද විශාල රන් නිධි ප්‍රමාණයක් තිබෙනවාය යන හෝඩුවාව ඉතා ඉක්මනින් ප්‍රචලිත වුණා. “ඵලදාව නම් ඇත්තෙන්ම පුදුමාකාරයි” කියායි වාර්තාවේ තිබුණේ. කෙටි කාලයක් යන තුරා, ඕස්ට්‍රේලියාව ලොව වැඩියෙන්ම රන් නිපදවන්නා බවට පත් වී සිටියා. කැලිෆෝනියාවට සංක්‍රමණය වී සිටි සමහරදෙනෙක් ඒ වන විට තම පැදුරු කඩමලු ඔතාගෙන ඕස්ට්‍රේලියාවට ගියා. ඕස්ට්‍රේලියාවේ ජනගහනය දෙගුණ තෙගුණ වුණා. එනම් 1850 සිටි 4,00,000, 1860දී 11,00,000 දක්වා වැඩි වුණා. බොහෝදෙනෙක් රන් සොයාගැනීමේ තම වාසනාව උරගා බැලීම සඳහා ඉක්මන් වත්ම, ගොවිතැන හා වෙනත් වැඩ වචනයේ පරිසමාප්තියෙන්ම නැවතුණා.

දහනවවන සියවසේ අගභාගය වන විට, රන් උමතුව යූකොන් හා ඇලස්කාව යන ප්‍රදේශවලට මාරු වුණා. මෙසේ වුණේ එම ප්‍රදේශවල රත්තරන් පළමු වරට සොයාගත්තාට පසුවයි. මිනිසුන් දහස් ගණනක් ඈත උතුරට එනම් ක්ලොන්ඩයික් ප්‍රදේශයට හා ඇලස්කාවට සංක්‍රමණය වූ අතර, මෙසේ කළේ රනින් සපිරි බිම් අල්ලාගැනීම සඳහා කටුක ශීතය සමඟ පොර අල්ලමිනුයි.

මුහුදුබත් වූ නිධාන

විසිවන සියවසේදී, ගැඹුරු මුහුදේ කිමිදීම වර්ධනය වීමත් සමඟම, රත්තරන් සොයන්නන් තම අවධානය මුහුදු පත්ල වෙතට යොමු කළා. මීට සියවස් ගණනාවකට පෙර සාදන ලද රන් ආභරණ හා විසිතුරු භාණ්ඩ සොයාගැනීම සඳහා ඔවුන් මුහුදුබත් වූ නැව් විපරමට ලක් කළා.

වර්ෂ 1638 සැප්තැම්බර් 20වනදා, ස්පාඤ්ඤ විශාල රුවල් නැවක් වූ කොන්සෙප්සියොන්, ප්‍රචණ්ඩකාරි කාලගුණයක් හේතුවෙන් ගල්පරවල වැදීම නිසා සායිපැන් වෙරළට මදක් ඔබ්බට වෙන්න පැසිෆික් සාගරයේදී මුහුදුබත් වුණා. එය ගෙනයමින් සිටියේ අද වටිනාකමින් රුපියල් මිලියන දහස් ගණන් වන රන් හා වෙනත් වටිනා වස්තූන්ය. නැවේ සිටි මිනිසුන් 400දෙනාගෙන් වැඩිදෙනෙකුගේ ජීවිත අහිමි වුණා. සුන්බුන්වලින් රන් මාල 32ක් කිමිදුම්කරුවන් සොයාගෙන ඇති අතර, ඉන් සැමෙකක්ම අඩි පහක දිගකින්ද කිලෝග්‍රෑම් කිහිපයක බරකින්ද යුක්ත වෙයි. සියල්ල එකතු කළ විට, කිමිදුම්කරුවන් රන් ආභරණ 1,300ක් සොයාගෙන තිබෙනවා; මාල, කුරුස, පදක්කම්, සාරි කටු හා සමාන කටු, මුදු හා ගාංචු මේවාට අයත් වෙනවා.

තවත් මුහුදුබත් වූ නැව්ද සොයාගෙන තිබෙනවා. වර්ෂ 1980දී අමෙරිකාවේ ෆ්ලොරිඩාහි වෙරළින් මදක් ඔබ්බට වෙන්න, කිමිදුම්කරුවන් 17වන සියවසේ මුහුදුබත් වූ ස්පාඤ්ඤ විශාල රුවල් නැවක් වන සැන්ට මාගරීට සොයාගත්තා. ඊළඟ අවුරුද්දේ අවසානය වන විට, රන් විසිතුරු භාණ්ඩ ඇතුළුව, රන් කුට්ටි කිලෝග්‍රෑම් 44කට වැඩි ප්‍රමාණයක් කිමිදුම්කරුවන් විසින් සොයාගෙන තිබුණා.

යුධ සමයේ රන්

ජර්මානු ආණ්ඩුව 1945දී යටත් වීමෙන් පසුව, මිත්‍රපාක්ෂික භට පිරිස්, ජර්මනියේ තුරින්ජියාහි, කයිසරෝඩා ලුණු ලේවායන්වල අරුම පුදුම දෙයක් සොයාගත්තා. ඇට්ලැන්ටා ජ’නල්වලට අනුව, “එම ලේවායන්වලින් අමෙරිකානු ඩොලර් බිලියන 2.1ක් වටිනා රන් කුට්ටි, කලාකෘති, ව්‍යවහාර මුදල් හා සුරැකුම්පත් සොයාගැනීමට හැකි වුණා.” සොයාගත් තවත් දෙයක් වන්නේ, සමූලඝාතනයට ගොදුරුවූවන්ගෙන් ගත් රන් හා රිදී දත් තොගයයි; තවද මේවායින් සමහරක් ඒ වන විටත් දිය කර තිබුණා. මෙසේ සඟවා තිබූ මහා රන් තොගය නාට්සි යුධසාමිවරුන් විසින් දිග්ගස්සන ලද යුද්ධයක් පවත්වාගෙන යෑමට උපකාරවත් වුණා. ජ’නල් වාර්තා කරන හැටියට, හිට්ලර් විසින් අත් කරගත් ඩොලර් බිලියන 2.5ක වටිනාකමකින් යුත් රන් තොගයක් රටවල් දහයකට පමණ නැවත භාර දී තිබෙනවා. නාට්සිවරුන් විසින් සැඟවූ මුළු රන් තොගයම තවමත් සොයාගෙන නැහැ කියන පොදු රාවය නිසා සෙවීම තවමත් දිගටම කෙරීගෙන යයි.

කිසිම සැකයක් නැහැ, රත්තරන්වලට වටිනාකමක් තිබෙනවා. කොහොම වුණත්, වෙනත් ද්‍රව්‍යමය වස්තූන්ට මෙන්ම රන්වලටත් එය සොයන්නන්ට ජීවනය දිය නොහැකි බව බයිබලය පවසනවා. (ගීතාවලිය 49:6-8; ශෙපනියා 1:18) බයිබල් හිතෝපදේශය මෙසේ පවසයි: “ප්‍රඥාව ලබාගැනීම රන්වලට වඩා කොපමණ හොඳඳ!” (හිතෝපදේශ 16:16) සැබෑ ප්‍රඥාව, මැවුම්කරු වන යෙහෝවා දෙවිගෙන් ලැබෙන අතර, එය ඔහුගේ වචනය වන බයිබලයෙන් සොයාගත හැකියි. දෙවිගේ වචනය අධ්‍යයන කිරීමෙන් ප්‍රඥාව සොයන්නන්ට දෙවිගේ නීති, ප්‍රතිපත්ති හා උපදෙස් දැනගෙන ඒවා තම ජීවිතයට අදාළ කරගත හැකියි. එනයින් ලැබෙන ප්‍රඥාව, කිසිම මිනිසෙකු විසින් මෙතෙක් සොයාගෙන ඇති රන්වලට වඩා බොහෝ සෙයින් ආශා කරවන දෙයක් වෙයි. එම ප්‍රඥාවෙන් කෙනෙකුට දැන් වඩා හොඳ ජීවිතයක් මෙන්ම අනාගතයේදී සදාතනික ජීවිතයක් අදහස් කළ හැකියි.—හිතෝපදේශ 3:13-18.

[13වන පිටුවේ කොටුව]

රත්තරන් පිළිබඳ සමහර දත්ත

• සියලුම ලෝහයන් අතුරෙන් වඩාත්ම නම්‍යසුලු මෙන්ම පහසුවෙන්ම වාත්තු කළ හැකි ලෝහය වන්නේ රත්තරන්ය. එය මයික්‍රෝමීටර් 0.1ක ඝනත්වයකට තැළිය හැකියි. රත්තරන් ග්‍රෑම් 28ක් තුනී කළොත් වර්ග මීටර් 17ක පමණ ප්‍රදේශයක් ආවරණය කළ හැකියි. රත්තරන් ග්‍රෑම් 28ක් කිලෝමීටර් 70 දක්වා වූ දිග ප්‍රමාණයකට ඇදිය හැකියි.

• තනි රත්තරන් මෘදු නිසා, ආභරණ හා වෙනත් රන් ආයිත්තම් සෑදීම සඳහා ඝනකම වැඩි කිරීමට එයට බොහෝවිට වෙනත් ලෝහ එකතු කරයි. එකතු කරන ලද රන් බොහෝවිට ප්‍රකාශ කරන්නේ 24 අගයන්ගෙන්, එනම් කැරට් ලෙසටයි. එහෙයින් කැරට් 12ක එකතුවක් රන්වලින් සියයට 50ක් වන අතර, කැරට් 18ක් රන්වලින් සියයට 75ක් වන අතර, කැරට් 24ක් තනි රත්තරන් වෙයි.

• ඉහළින්ම සිටින රන් නිපදවන ජාතීන් වන්නේ දකුණු අප්‍රිකාව හා එක්සත් ජනපදයයි.

[11වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

මහා ඇලෙක්සැන්ඩර්: The Walters Art Gallery, Baltimore

[26වන පිටුවේ පින්තූර]

රන් නිධාන සෙවීම සඳහා ක්‍රිස්ටොෆර් කොලම්බස් බහාමාස් දූපත්වලට 1492දී පැමිණීම දක්වන සිතුවමක්

[හිමිකම් විස්තර]

Museo Naval, Madrid (Spain) අනුග්‍රහයෙන්; Don Manuel González López, කාරුණික අවසරය ඇතුව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න