බොහෝදෙනා රුධිරය ප්‍රතික්ෂේප කිරීමට හේතුව
රුධිර ප්‍රවේශන ලබාගත් දෙදෙනෙකුගේ එච්අයිවී ආසාදනය සඳහා, කැනේඩියානු රතු කුරුස සංගමය වගකිව යුතුයි කියා ඔන්ටේරියෝ අධිකරණය වැදගත් තීන්දුවක් දුන්නා; ඔවුන් දෙදෙනාටම දූෂ්‍ය රුධිරය ලැබුණේ එකම පරිත්යාගිකයාගෙනුයි. “දූෂ්‍ය රුධිරය වැනි විපත්තිදායක යමකින්, රුධිරය ලබාගන්නන්ගේ ජීවිත තර්ජනයට ලක් වූ විට හදිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු” බව විනිසුරු ස්ටීවන් බෝරන්ස් පැවසුවා.
එක්දාස් නවසියඅසූ ගණන්වලදී, කැනේඩියානුවන් 1,200දෙනෙක් පමණ එච්අයිවීවලින් ආසාදනය වූ අතර, තවත් 12,000කට හෙපටයිටිස් සී වැළඳුණා; මේ සියල්ලටම හේතුව වුණේ දූෂ්‍ය රුධිරය හා රුධිර නිෂ්පාදනයි. ආසාදන සංඛ්‍යාව අඩු කිරීමට උපකාරයක් වශයෙන් පරිත්‍යාග කරන්නන්ව ඉතා සියුම් පරීක්ෂණයකට භාජන කෙරෙනවා. නමුත් සියලුම පරිත්‍යාග කරන්නන් ඔවුන්ගේ ලිංගික ඉතිහාසය සම්බන්ධයෙන් අවංක නැහැ. උදාහරණයකට, සමලිංගික ක්‍රියා හෝ වේශ්‍යාවක සමඟ ලිංගික සබඳතා වැනි අවදානම් සාධක වාර්තා කිරීමට පරිත්‍යාග කරන්නන් 50දෙනෙකුගෙන් එක්කෙනෙක් අසමත් වූ බව එක්සත් ජනපදයේ සමීක්ෂකයෙක් හෙළි කළා.
රුධිරය සියුම් පරීක්ෂණයකට භාජන කිරීම නොවරදිනසුලු එකක් නොවීමෙන් තත්වය තවත් උග්‍ර වෙනවා. නව විද්‍යාඥයා (ඉංග්‍රීසියෙන්) සඟරාවට අනුව, “එච්අයිවීවලින් ආසාදනය වී සති තුනක් ඇතුළතදී පුද්ගලයෙක් රුධිරය දෙනවා නම්, ඒ කාලයේදී කරන පරීක්ෂණයෙන් වෛරස තිබෙනවාද කියා සොයාගැනීම අසාර්ථක වෙනවා. හෙපටයිටිස් සී සම්බන්ධයෙන් නම්, මේ ‘සැඟවී තිබෙන කාලපරිච්ඡේදය’ මාස දෙකකට වැඩි කාලයක් පැවතිය හැකියි.”
මෑත වර්ෂවලදී, රුධිරය දීමට හෝ ගැනීමට කැමැත්තක් දක්වන කැනේඩියානුවන්ගේ සංඛ්‍යාවේ සැලකිය යුතු පහත වැටීමක් සිදු වී තිබෙනවා. තීරු ලේඛක පෝල් ෂ්රාට්ස් මෙසේ ලියයි: “පරිත්‍යාග කිරීමට උනන්දුවක් දක්වන අය අඩුවීම වගේම පරිත්‍යාග කළ නොහැකි අයගේ සංඛ්‍යාව වැඩිවීමත් සිදු වෙනවා; හොඳ වෙලාවට යෙහෝවාගේ සාක්ෂිකරුවන් රුධිර ආදේශක සම්බන්ධ පර්යේෂණ කිරීමේ පෙරමුණ ගනිමින් ඉන්නේ!”
සිත්ගන්නා කරුණක් නම්, මෑත වර්ෂයකදී, “රුධිර ප්‍රවේශන ලබාගැනීමට අකමැති වූ නිසා, 40දෙනෙක් පමණ තමන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් බව බොරුවට ප්‍රකාශ කරමින් කැනේඩියානු රෝහල්වලට ඇතුල් වීමයි” කියා ද ටොරොන්ටෝ ස්ටාර් වාර්තා කරයි. පරිත්‍යාග කළ රුධිරය වෙනුවට වෙනත් විකල්පයක් ලබාගැනීමට කැනේඩියානුවන්ගෙන් සියයට 90ක් පමණ කැමැත්තක් දක්වන බව සමීක්ෂකයන් අඟවනවා. මේ නිසා, රුධිර භාවිතය තවදුරටත් නිකම්ම ආගම සම්බන්ධ ප්‍රශ්නයක් පමණක් නොවෙයි.