අනාරක්ෂිතභාවය—සමස්ත ලෝක රෝගයක්
ඔබේ ජීවිතය සහ ජීවන රටාව, අනතුරකට ගොදුරු විය හැකි මෙන්ම, අස්ථිර දෙයක් හැටියට ඇතැම්විට ඔබට හැඟෙනවාද? ඔබ තනි වී නැහැ. මිලියන ගණන් මිනිසුන්ට හැඟෙන්නෙත් ඒ විදිහටමයි. අනාරක්ෂිතභාවය මොස්කව් සිට මැන්හැටන් දක්වා මිනිසුන්ට හිරිහැර කරමින් තියෙනවා; ජාතික, ආගමික හෝ සමාජීය බාධකවලට සීමා නොවී, එය රෝගයක් මෙන් පැතිරෙනවා.
අපේ ජීවිතය අනාරක්ෂිත වන විට, අපිව “බයෙන් සහ කාන්සාවෙන් වට [කරනවා]” කියා එක් ශබ්දකෝෂයක් කියනවා. කාන්සාව කියන්නේ, අපේ සෞඛ්‍ය තත්වය දුබල කළ හැකි, මානසික පීඩනය ඇති කරන චිත්තවේගීය බරකටයි. නමුත් කනස්සලුභාවය සහ අනාරක්ෂිතභාවය අපට දැනෙන්නේ ඇයි?
යුරෝපයේ කාන්සාවන්
යුරෝපීය සංගමය (යුස) තුළ, හයදෙනෙකුට එක්කෙනෙක් සිටින්නේ දිළිඳු මට්ටමෙන් පහළ; මිලියන 18ක් පෙළෙන්නේ විරැකියාවෙන්; ගැණිය නොහැකි අනිත් අය පසු වන්නේ තම රැකියා අහිමි වීමේ භියෙන්. යුරෝපීය සංගමයට අයත් දේශ කිහිපයකම, තම හිරිමල් වයසේ දරුවන්ව කෙලෙසන කාමාතුරයන්ගෙන් එල්ල වී ඇති තර්ජනය නිසා දෙමාපියන් මහත් සේ තැතිගැන්වී සිටිනවා. යුරෝපීය සංගමයට අයත් එක් රටක, අපරාධවල තර්ජනය හේතුවෙන් මිනිසුන් තිදෙනෙකුගෙන් දෙදෙනෙක් කනස්සල්ලෙන් පසු වෙනවා. දේපොළ හානි කිරීම්, ත්‍රස්තවාදය සහ පරිසර දූෂණය නිසා අනිකුත් යුසට අයත් වැසියන්ගේ බිය තව තවත් වැඩි වෙමින් පවතිනවා.
සමාජීය මුළාවන් නිසාම නොව, නමුත් ස්වාභාවික ආපදා නිසාත් ජීවිත සහ දේපොළ අවදානමේ පවතිනවා. උදාහරණයක් හැටියට, ධාරානිපාත වර්ෂා, නායයෑම් සහ ටෝනාඩෝ සුළිසුළං, 1997දී සහ 1998දී එක්සත් ජනපදයේ සමහර ප්‍රදේශ පාළු කර දැමුවා. වර්ෂ 1997දී, ඕද්‍ර සහ නයිස යන ගංගා පිටාර ගැලූ විට, මධ්‍යම යුරෝපය ජල ගැල්මෙන් පහර ලැබුවා. පෝලන්තයේ සතිපතා නිකුත් වන පොලිටිකා සඳහන් කළ ආකාරයට, එම ජල ගැල්ම නගර 86ක්, ගම්මාන 900ක් සහ විශාල කෘෂිකාර්මික භූමි ප්‍රදේශයක් වසාගත්තා. පනස්දහසක පමණ නිවැසියන්ගේ වගා පාළු වී ගිය අතර, 50දෙනෙකුගේ පමණ ජීවිත අහිමි වුණා. එමෙන්ම 1998 මුල් භාගයේදී නායයෑම් හේතුවෙන් දකුණු ඉතාලියේ මහත් සංඛ්‍යාවක් මරුමුවට පත් වුණා.
පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ කාරණයක්
නමුත්, දැනට අවුරුදු දහයකට කලින් තිබුණාට වඩා, අපේ ජීවිත වඩා සුරක්ෂිතයි කියා අපට සහතික කර තියෙනවා නෙවෙයිද? ශීත යුද්ධය අවසන් වුණා කියන්නේ, අවිආයුධ පාවිච්චිය අඩු වුණා කියන එක නෙවෙයිද? ඔව්, ජාතික ආරක්ෂාව පෙරට වඩා දියුණු තත්වයක පවතිනවා විය හැකියි. කොහොමවුණත්, නිවෙස්වල සහ වීථිවල සිදු වන දේවල් පෞද්ගලික ආරක්ෂාව කෙරෙහි බලපා තියෙනවා. අපට අපේ රැකියාව අහිමි වුණොත්, මංකොල්ලකාරයෙක් නැත්නම් හිරිමල් දරුවන් කෙලෙසන කාමාතුරයෙක් වටපිටාවේ සැරිසරමින් සිටින බව දැනගත්තොත්, අවිආයුධ කොතරම් ඉවත් කර තිබුණත්, කනස්සලුභාවයක් සහ අනාරක්ෂිතභාවයක් අපට දැනෙනවා.
ජීවිතයේ අස්ථිරභාවය මධ්‍යයේ සමහරුන් කටයුතු කරමින් සිටින්නේ කොහොමද? ඊටත් වඩා, ඔබේ ජීවිතය ඇතුළු, සියලුදෙනාගේම ජීවිතවලට කල්පවතින සුරක්ෂිතභාවය ගෙනෙන්න ක්‍රමයක් තියෙනවාද? මීළඟ ලිපි දෙකේදී මෙම කාරණා සලකා බලන්න යනවා.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
UN PHOTO 186705/J. Isaac
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
FAO photo/B. Imevbore