බයිබලයේ දෘෂ්ටිකෝණය
හුදකලාව සිටීමේ වටිනාකම
එක් අවස්ථාවක යේසු ‘යාච්ඤා කරන පිණිස වෙන්ව කන්දට ගියේය. සවස් වූ කල්හි ඔහු එහි තනියම සිටියේය.’ (මතෙව් 14:23) තවත් අවස්ථාවකදී, ‘පසුදින පහන් වූ කල ඔහු පිටත්ව හුදකලා තැනකට ගියේය.’ (ලූක් 4:42, නව අනුවාදය) ඉඳහිට හුදකලාව සිටීම සඳහා අවස්ථා යේසුස් ක්‍රිස්තුස් ඕනෑකමින් සොයාගත් අතර, එය අගය කළ බව මෙම ලියවිලිවලින් ඔප්පු වෙනවා.
යේසු මෙන් හුදකලාව සිටීම අගය කළ වෙනත් මනුෂ්‍යයන්ගේ උදාහරණ බයිබලය සපයනවා. ගීතිකාකරු ඔහුගේ උදාර මැවුම්කරුගේ ශ්‍රේෂ්ඨත්වය ගැන මෙනෙහි කළේ හුදකලා රෑ යාම්වලදීයි. යේසුස් ක්‍රිස්තුස් සම්බන්ධයෙන් බලද්දී, යොහන් බව්තීස්තගේ මරණය ගැන ආරංචිය ඇසූ විගසම ඔහු ‘හුදකලා තැනකට වෙන්ව’ ගියා.—මතෙව් 14:13, න. අ.; ගීතාවලිය 63:5.
අද සද්ද බද්දවලින් පිරුණු නූතන ජීවිත රටාවේදී මුහුණ දීමට සිදු වන තත්වයක් නිසා හෝ කරන තේරීමක් නිසා, හුදකලාව සිටීම එතරම් වැදගත් දෙයක් ලෙස සලකන්නේ නැහැ. ඔබ අවසාන වරට තනිව කාලය ගත කළේ කවදාද කියා මතකද? “මගේ ජීවිත කාලයට කවදාවත් මා තනිව ඉඳලා නෑ” යයි එක් යෞවන විවාහක ස්ත්‍රියක් පැවසුවා.
නමුත්, හුදකලාවේ සිටීම ඇත්තෙන්ම අවශ්‍යද? එසේනම්, නිසංසල අවස්ථාවන් ප්‍රයෝජනවත් ලෙස සහ ප්‍රතිඵලදායක ලෙස යොදාගන්න පුළුවන් කොහොමද? හුදකලාව සිටීමට වෑයම් කිරීමේදී සමබරතාව වැදගත් වන්නේ කිනම් අයුරකින්ද?
හුදකලාව—එය වටින්නේ ඇයි?
පුරාණයේ විසූ දෙවිගේ මනුෂ්‍යයෙක් වූ ඊසාක් හුදකලාව සිටීමට ‘සවස් වේලාවෙහි කෙතට ගිය’ බව බයිබලය අපට පවසනවා. ඒ ඇයි? ‘මෙනෙහි කරන පිණිසයි’ කියා එය පවසනවා. (උත්පත්ති 24:63) එක් ශබ්දකෝෂයකට අනුව මෙනෙහි කිරීම කියන්නේ “කල්පනාකාරිව නැතිනම් විවේකීව කරන සිතීමයි.” එයින් “දීර්ඝ කාලයක් පුරා මහත් ඕනෑකමින් කරන සිත එක්තැන් කිරීමක් අඟවනවා.” බරපතළ වගකීම් භාරගැනීමට සිටි ඊසාක්ට, එවැනි බාධාවකින් තොරව කළ මෙනෙහි කිරීමක් නිසා මනස නිරවුල් කරගැනීමටත්, ඔහුගේ සිතිවිලි සංවිධානය කරගැනීමටත්, ඒ වගේම ප්‍රමුඛතාවන් අගයන්නත් හැකි වන්න ඇති.
‘වෙනත් අය නොසිටින නිසා, වඩාත් හොඳින් සිත එක්තැන් කරගැනීම සඳහා සිතිවිලි සකස් කරගැනීමට හැකි වන නමුත් තනිකම සීමාව ඉක්මවා නොයා යුතු’ බව මානසික සෞඛ්‍යය පිළිබඳ ප්‍රවීණයෙක් පවසනවා. ප්‍රකෘතිමත් කිරීමට, ශක්තිමත් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න කිරීමට මෙයට හැකි බව බොහෝ අය සහතික කරනවා.
මෙනෙහි කිරීමෙන් ඇති වන යහපත් ඵල අතරට ගැඹුරින් සිතීම සහ සංයමයෙන් යුතුව කටයුතු කිරීම අයත් වෙනවා. මෙය එකමුතු මානව සබඳතාවලට මඟ පාදන ඥානවන්ත කතා බහට සහ හැසිරීම්වලට දායක වෙනවා. උදාහරණයකට, මෙනෙහි කිරීමට ඉගෙනගන්නා තැනැත්තෙකුට නිශ්ශබ්දව සිටිය යුත්තේ කෙබඳු අවස්ථාවකදීද කියාත් ඉගෙනගන්න පුළුවන්. ඔහු අපරීක්ෂාකාරිව කතා කරනවා වෙනුවට, තමාගේ වචනවලින් සිදු විය හැකි බලපෑම ගැන කලින්ම සලකා බලනවා. “තමාගේ වචනවලින් ඉක්මන්වෙන මනුෂ්‍යයෙකු නුඹ දුටුවෙහිද?” කියා අනුභාව ලත් බයිබල් ලේඛකයා අසනවා. ඔහු තවදුරටත් මෙසේ පවසනවා: “ඔහුට වඩා අඥානයෙකු ගැන බලාපොරොත්තුවෙන්ට පුළුවන.” (හිතෝපදේශ 29:20) එයාකාරයෙන් නොසැලකිලිමත්ව දිව පාවිච්චි කිරීම සම්බන්ධයෙන් තිබෙන විෂ නාශක ඖෂධය කුමක්ද? බයිබලය මෙසේ පවසනවා: “ධර්මිෂ්ඨයාගේ සිත උත්තරදෙන පිණිස විමසා බලයි [මෙනෙහි කරයි, NW].”—හිතෝපදේශ 15:28; සසඳන්න ගීතාවලිය 49:3.
හුදකලාව හා බැඳි සන්සුන්ව කරන මෙනෙහි කිරීම, ක්‍රිස්තියානීන්ට ආත්මික මේරූභාවය කරා වර්ධනය වීමට වැදගත් සාධකයක් වෙනවා. ප්‍රේරිත පාවුල්ගේ මෙම වචන මෙයට හොඳින් ගැළපෙනවා: “මේ සියල්ල ගැන හොඳින් කල්පනා කොට ක්‍රියාවෙහි යෙදෙන්න. එවිට ඔබ වැඩි දියුණුවන අයුරු සියල්ලන්ටම පෙනෙනු ඇත.”—1 තිමෝති 4:15, ඇත්ත ඇති තැන.
හුදකලාව දෙවිට සමීප වීමට යොදාගන්න
‘හුදකලාව, දෙවිත් සමඟ අදහස් හුවමාරු කිරීමට දායක වන අවස්ථාවක්’ යයි එක් ඉංග්‍රීසි ජාතික කර්තෘවරයෙක් පැවසුවා. ඇතැම් අවස්ථාවලදී සෙසු ජනයාගෙන් වෙන් වී දෙවි ඉදිරියේ පෙනී සිටීමේ අවශ්‍යතාව යේසුට දැනුණා. මේ සඳහා උදාහරණයක් බයිබලයේ මෙසේ විස්තර කර තිබෙනවා: ‘හිරු උදාවට බොහෝ කලින් ඔහු අවදිව හුදකලා තැනකට ගොස් එහිදී යාච්ඤා කළේය.’—මාර්ක් 1:35, න. අ.
ගීතාවලියෙහි, නැවත නැවතත් යොමු දක්වන්නේ දෙවිව මුල් කරගත් මෙනෙහි කිරීමටයි. යෙහෝවාව අමතමින් දාවිත් රජ මෙසේ පැවසුවා: ‘මම ඔබ ගැන මෙනෙහි කරන්නෙමි.’ ඒ හා සමාන අදහසක් ආසාප්ගේ මෙම වචනවලින් පෙන්නුම් කරනවා: “ඔබගේ කර්මාන්ත සියල්ල ගැන භාවනා [මෙනෙහි, NW] කරන්නෙමි, ඔබගේ ක්‍රියා ගැන මෙනෙහි කරන්නෙමි.” (ගීතාවලිය 63:5; 77:12) මෙසේ දිව්‍ය ගුණාංග සහ ක්‍රියාවන් ගැන ගැඹුරින් සිතා බැලීමෙන් මහඟු ප්‍රතිඵල ගෙනෙනවා. එය කෙනෙකුට දෙවි වෙතට සමීප වීමට හැකි කරවමින් ඔහු කෙරෙහි තිබෙන අගය කිරීම වැඩි කරවනවා.—යාකොබ් 4:8.
මධ්‍යස්ථ වීම අවශ්‍යයි
ඇත්තෙන්ම හුදකලාව සිටීම, මධ්‍යස්ථව ලුහුබැඳිය යුතුයි. හුදකලාව සිටීම හරියට, බැලීමට යෑම විපාකදායි නමුත් රැඳී සිටීම අනතුරුදායි වන ස්ථානයක් ලෙස විස්තර කරන්න පුළුවන්. කෙනෙක් ඕනෑවට වඩා හුදකලා වීමෙන්, ආශ්‍රය කිරීම, අදහස් හුවමාරුව සහ ආදරය පෙන්වීම වගේ මූලික මානව අවශ්‍යතාවලට එරෙහිව යනවා. තවදුරටත් හුදකලාව සිටීම, අඥානකම සහ ආත්මාර්ථය නමැති වල්පැළෑටි සඳහා කියාපු පසක් වෙන්න පුළුවන්. බයිබල් හිතෝපදේශය මෙසේ අනතුරු අඟවනවා: “තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව පස්සේ යමින්, සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙන්නේය.” (හිතෝපදේශ 18:1) හුදකලාව සිටීමට දරන වෑයමෙහි සමබරව සිටීමට නම්, අප තනිව සිටීමේ තිබෙන අනතුරු හඳුනාගත යුතුයි.
බයිබල් කාලවල සිටි යේසු සහ අනිත් ආත්මික මනුෂ්‍යයන් මෙන්, අද ක්‍රිස්තියානීන් තමන්ට හුදකලාව සිටීමට ඇති අවස්ථාවන් උතුම් කොට සලකනවා. බොහෝ වගකීම් සහ සැලකිල්ලට ගත යුතු කාරණා තිබෙද්දී හුදකලාව මෙනෙහි කිරීමට කාලය සහ ප්‍රස්තාව සොයාගන්නවා කියන එක අභියෝගයක් වෙන්න පුළුවන් බව ඇත්තයි. සැබෑ වටිනාකමක් තියෙන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් සැබෑ වන්නා සේ අප ‘ප්‍රස්තා ඇති කාලය’ [NW] මිල දී ගත යුතුයි. (එපීස 5:15, 16) එවිට හරියට ගීතිකාකරු වගේ අපටත් මෙසේ කියන්න පුළුවන්: ‘මා මුවෙහි වචනද මා සිතෙහි භාවනාද [මෙනෙහි කිරීමද, NW] ඔබ හට ප්‍රිය මනාප වේවා!’—ගීතාවලිය 19:14, න. අ.