රුධිරය රහිත ශල්‍යකර්මයන් වෙත වෛද්‍යවරුන් නැවත හැරේ
එක් කැනේඩියානු ස්ත්‍රියක් වන ජැනට්, තමාට ඒඩ්ස් වැළඳුණේ මන්දැයි තම පුතාට පැහැදිලි කළා. තම ස්වාමිපුරුෂයා මැරෙන්න කලින් ඔහුගෙන් ඇයට මෙය වැළඳී තිබුණා. රක්තකාමතාවෙන් පෙළෙන්නෙකුව සිටි ඇගේ ස්වාමිපුරුෂයාට, ඒඩ්ස් වැළඳුණේ බොහෝදුරට රුධිර සංඝටක මගින් විය හැකියි. පිළිගත් දෙයක් හැටියට මෙසේ රුධිර ප්‍රවේශනයන් කිරීම ගැන යළි සලකා බැලීම සඳහා වෛද්‍ය ප්‍රජාවන්ට මුල පිරීමට හේතු වී ඇති කරුණු රාශියකින් එකකි මෙවැනි බියකරු සිදුවීම්. ඇත්තෙන්ම, මේ වසරේ ද නියූ යෝක් ටයිම්ස්හි එක් සිරස්තලයක මෙසේ ප්‍රකාශ කළා: “‘රුධිරය රහිත’ ශල්‍යකර්මයන්ට නව පිළිගැන්මක් ලැබෙයි.”
රුධිරය රහිත ශල්‍යකර්මයන් සම්බන්ධයෙන් පෙන්වන වැඩි වී ඇති උනන්දුව, සමහරක් වෛද්‍යමය සම්මන්ත්රණවලින් කැපීපෙනෙන්න සලස්වා තිබෙනවා. පසුගිය වසරේ පැවැත්වූ ඒවා අතුරින් දෙකක් අමෙරිකා එක්සත් ජනපදයේද (බොස්ටන් හා ඇට්ලෑන්ටා), තවෙකක් කැනඩාවේද (විනිපෙග්), අනික ලැට්වියාවේද (රීගා) පැවැත්වූ අතර, මෙය නැඟෙනහිර යුරෝපයේ සංවිධානය කරන ලද ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වුණා.
රුධිර ප්‍රවේශනයන් කෙරෙහි අවුරුදු 50ක් පමණ රඳා පැවතීමෙන් පසු, රටවල් 12කින් පැමිණි වෘත්තීය මට්ටමේ අය 1,400කට වැඩිදෙනෙක්, එක් පුවත්පත් සිරස්තලයක “අනාගතය සඳහා මඟ” ලෙසට හැඳින්වූ රුධිරය රහිත ප්‍රවේශන ගැන ප්‍රචලිත වූ සම්මන්ත්රණ හතරකට ඇයි සහභාගි වූයේ? ඔබේ පවුලට ලබාගත හැකි ප්‍රතිකාරවලට බලපාන නව බෙහෙත්, ආම්පන්න හා ශිල්ප ක්‍රම සම්බන්ධයෙන් මෙම සම්මන්ත්රණවලින් කුමක්ද කැපීපෙනෙන්න සැලැස්වූයේ?
විකල්ප සොයන්නේ ඇයි?
මේ සඳහා පොලඹවන එක් ප්‍රධාන කරුණක් වන්නේ ගබඩා කර ඇති රුධිර තොග ආරක්ෂා කරගැනීමට ඇති අපහසුතාවයි. උදාහරණයක් හැටියට, 1998 ජනවාරි 31වනදා ටොරොන්ටෝ, ග්ලෝබ් ඇන්ඩ් මේල්හි 1980 දශකයේ “දූෂිත වූ රුධිර ඛේදවාචකය” පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසයි: “හෙපටයිටිස් සී, එන්න එන්නම යමෙකුව බෙලහීන කළ හැකි අක්මා රෝගයක් වන අතර, එය සඳහා කිසිදු ප්‍රතිකාරයක් නැත. . . . දූෂිත වූ රුධිරය හේතුවෙන් කැනේඩියානුවන් 60,000ක තරම් ප්‍රමාණයක් එම වයිරසය හේතුකොටගෙන ආසාදිත තත්වයකට පත්ව සිටියි. මෙයින් අදහස් කරන්නේ 12,000දෙනෙකු තරම් ප්‍රමාණයක් ලෙයින් හටගැනෙන හෙපටයිටිස්වලින් මරුමුවට පත් විය හැකි බවයි.”
රුධිරය පරීක්ෂා කරන ක්‍රියා පිළිවෙත් මගින් ඇති වී තිබෙන තර්ජනය සැලකිය යුතු ප්‍රමාණයකට අවම කර ඇතත්, විනිපෙග්හි පැවති සම්මන්ත්‍රණයකදී, විනිසුරු හොරස් ක්රීවර් මෙසේ පැවසුවා: “කැනඩාවේ රුධිර තොගය කවමදාකවත් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත තත්වයක තිබුණායයි කියන්න පුළුවන්කමක් නැහැ, ඒවගේම ඒක කවදාවත් එහෙම වෙන්නෙත් නැහැ. රුධිරය පාවිච්චි කරනවාය කියන්නේ වැළැක්විය නොහැකි අවදානම්වලට මුහුණ දෙන්න සිදු වෙනවා කියන එකයි.” තවද ලබා දෙන සෑම අමතර රුධිර ඒකකයකින්ම, රෝගයක් ආසාදනය වීමේ හෝ ප්‍රබල ප්‍රතික්‍රියාවකට තුඩු දීමේ අවදානමද වැඩි වෙයි.
රීගාහිදී, පැරිසියේ ක්ලිනීක් ඩෙ මොසාන්හි වෛද්‍ය ෂාන්-මාක් ඩ’බූ මෙසේ නිගමනයට එළඹුණා: “අපේ සාමාන්‍ය චිකිත්සක එළඹීම ගැන අපේ වෛද්‍ය පිරිසට නැවත හිතලා බලන්න වුණා. . . . බොහෝ රෝගීන්ගේ ජීවිත රුධිර ප්‍රවේශනයන් මගින් තවත් දීර්ඝ කර ඇති මුත්, සුව කළ නොහැකි රෝගයක් දානය කිරීම මගින් තවත් අයගේ ජීවිතවලට වස පොවා තිබෙනවා.”
දූෂිත වූ රුධිර පරීක්ෂණ ක්‍රියා පිළිවෙත්, නව රෝග තර්ජනවලට අනුව නවීකරණය වී නැති අතර, ඒ හේතුවෙන් ඒවායින් ආරක්ෂාවක් ලබා දීමටද නොහැකි විය හැකියි. උදාහරණයක් හැටියට, කැනඩාවේ ඔන්ටෝරියෝ ඔටාවාහි වෛද්‍ය පෝල් ග’ලී මෙසේ නිරීක්ෂණය කළා: “හෙපටයිටිස් ජී අලුතින් විස්තර කර ඇති RNA වෛරසයක් වෙයි; ප්‍රවේශනය තුළින් පැතිරීම සිදුව ඇති මුත්, වර්තමාන අවදානම කොතෙක්දැයි අප දන්නේ නැහැ.”
ටයිම් සඟරාවෙහි පළ වූ විශේෂ වෛද්‍ය කලාපයක මෙම අමතර අන්තරාව ගැන මෙසේ වාර්තා වුණා: “ප්‍රවේශනයන් මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය යටපත් කළ හැකියි. . . . එමගින් රෝගියාව ආසාදනය, සුවවීමේ ප්‍රමාදය හා ප්‍රකෘති තත්වයට පැමිණීමට බොහෝ කලක් ගතවීම යනාදියට නිරාවරණය කළ හැකියි.”
තවත් සාධකයක් වන්නේ මූල්‍යමය ඉතිරි කිරීමයි. ටයිම් සඟරාවට අනුව, එක්සත් ජනපදයේ සෑම එක රුධිර ප්රවේශනයකටම ඩොලර් 500ක තරම් මුදලක් වැය විය හැකියි. තවද සමහරක් තැන්වල සිටින ඉතා සීමිත වූ ලේ දන් දෙන්නන්ගේ සංඛ්‍යාව නිසා, රුධිර සැපයුම අඩු වෙමින් පවතියි.
රුධිරය රහිත ශල්‍යකර්මවලින්, අව ආසාදන අනුපාතයක සිට කෙටි රෝහල්ගත වීමක් දක්වා දිව යන වාසි සැලකිල්ලට ගත් කල, එය රෝගීන්ට තවත් ඉතුරුවක් වෙන්න යනවා. විනිපෙග්හි කතා කරමින්, කැනේඩියානු රක්තකාමතාව සමාජයට අයත් කෙනෙකු වන ඩර්හේන් වොං රීගර්, රුධිරය රහිත ශල්‍යකර්මයන් ගැන මෙසේ පැවසුවා: “අපිට හිතෙන්නේ එය අතිවැදගත් දෙයක් කියායි. එය පිරිවැය සූක්ෂ්ම වන අතර, ස්ථිර වශයෙන්ම රෝගියාගේ සෞඛ්‍ය තත්වය දියුණු කරයි.”
තවද වැඩි රෝගීන් පිරිසකගෙන් රුධිරය රහිත ශල්‍යකර්මයන් සඳහා තිබෙන ඉල්ලුමත් ඉහළ ගොස් ඇත. ලෙගසි පෝට්ලන්ඩ් රෝහල්හි (ඔරිගන් අ.එ.ජ.) වෛද්‍ය ඩේවිඩ් රෝසෙන්ක්රැන්ස් ප්‍රකාශ කළේ, මුලදී “අප වෙතට ආ අයගෙන් එසේ කළේ සියයට සියයක්ම ආගමික හේතූන් මතයි.” කොහොම වුණත්, දැන් රුධිර ප්‍රවේශනයන් වෙනුවට අඩුම තරමේ සියයට 15ක්ම කැමති වන්නේ වෛද්‍යමය විකල්පයන්ටයි. එසේ වන්නේ ආගමික හෘද සාක්ෂියක් ඇතුව සිටින නිසා නොවෙයි.
මතවල විවිධත්වයක්
සම්මන්ත්රණ හතරකදී, පොදු එකඟතාවට හේතු වූ මූලික කරුණක් වූයේ, වෙනත් මනුෂ්‍යයෙකු විසින් දන් දී ඇති රුධිරය භාවිත කරනවා වෙනුවට තමාගේම රුධිරය භාවිත කිරීම වඩාත් ආරක්ෂිත දෙය වන බවයි. මේ හේතුවෙන්, ශල්‍යකර්මයකට පෙර තමාගේ රුධිරය ගබඩා කිරීමට සමහර අය නිර්දේශ කරනවා. කොහොමවුණත්, හදිසිතාවකදී රුධිරය ගබඩා කිරීමට තරම් කාල ප්‍රමාණයක් නැති බව බොහෝදෙනෙකුට තේරුම් ගියා. ඒ වගේම, ගබඩා කළ රුධිරය භාවිත කිරීම සම්බන්ධයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් පෙන්වන ආගමික විරුද්ධත්වයද තිබෙනවා.a
අමෙරිකා එක්සත් ජනපදයේ, උතුරු කැරලයිනාහි ඩූක් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය බෲස් ලියෝන්, කැනේඩියානු සම්මන්ත්‍රණයේදී මෙසේ පැවසුවා: “ශල්‍යකර්මයට පෙර [තමාගේ රුධිරය] දන් දීම මිල අධික, ශ්‍රමය කා දමන මෙන්ම ප්‍රවේශනය ආශ්රිත රෝගීබවේ පොදු හේතුකාරකය [එනම්, ලිපිකාර, ඒ කියන්නේ කාර්යාල හෝ ක්‍රියාපිළිවෙත් ආශ්රිත අත්වැරදි] තුරන් නොකරන අතර, ශල්‍යකර්මයට පෙර ඒ සඳහා විශාල කාලයක්ද අවශ්‍ය කරයි.”
ප්‍රවේශනය කරන රුධිරය භාවිත කිරීම පුදුමාකාර වශයෙන් අවම කරන බෙහෙත් හා ශිල්ප ක්‍රම දිගටම දියුණු කිරීම වෛද්‍යවරුන් බහුතරයක් විසින් අනුමත කරයි. හදිසි තත්වයන්වලදී පමණක් රුධිර ප්‍රවේශන යොදාගත යුතු බවටයි ඔවුන් වාද කරන්නේ. අනික් අතට, තවත් අය රුධිර ප්‍රවේශනයන් තම වෛද්‍යමය කටයුතුවලින් සම්පූර්ණයෙන්ම පාහේ බැහැර කරයි. රුධිර ප්‍රවේශනයෙන් තොර වුවත්, රෝගියාව ඉක්මනින් යථා තත්වයට පත් කරවන, ඉතා අසීරුතම ශල්‍යකර්මයන් වන උකුල් ප්‍රතිසම්පාදනය, සංකීර්ණ වූ ස්නායු ශල්‍යකර්මය, අතදරුවන්ට හා වැඩිහිටියන්ට කරන විවෘත හදවත් ශල්‍යකර්ම වෙතට ඔවුන් අවධානය යොමු කරයි.
මේ දක්වා රුධිරය රහිත වැඩසටහන් ඇතුළත් රෝහල් සියයකට වැඩියෙන් ලොව පුරා දක්නට ලැබෙන අතර, ඉන් 70කට වැඩි ගණනක් ඇත්තේ එක්සත් ජනපදවලයි. ඇත්තෙන්ම, රුධිරය ප්‍රතික්ෂේප කරන රෝගීන්ට සහය වන වෛද්‍යවරුන් 88,000කට වැඩි ප්‍රමාණයක් දැන් සිටියි.
නව ශිල්ප ක්‍රම
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට සාත්තු කිරීමට පටන්ගත් විට යම් විශේෂිත ශිල්ප ක්‍රමයක් යොදාගත් බව, ඇට්ලෑන්ටා සම්මන්ත්‍රණයේදී, කථිකයන් විශාල පිරිසකට පිළිගන්න සිදු වුණා.b වෙනත් අය ප්‍රාදේශීය වෛද්‍ය කේන්ද්‍රයේ වෛද්‍ය ජේම්ස් ශික්ගේ ප්රකාශයන්වලට සමාන අදහස් පැවසුවා; ඔහු පැවසුවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ, අඩු වයසින් ඉපදුණු බිළින්දන්ට ප්‍රතිකාර කිරීමේදී දියුණු කරගත් නව ක්රමෝපායන් නිසා, ඔහු දැන් ඔහුගේ සියලුම සිඟිති රෝගීන් සම්බන්ධයෙන් රුධිරය සියයට 50කට අඩුවෙන් භාවිත කරන බවයි. ඉතින් මෙවැනි ක්රමෝපායන් වැඩිහිටියන් සම්බන්ධයෙන් වටිනා මෙවලමක් වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.
මොන්ට්‍රියාල් හෘද ආයතනයේ වෛද්‍ය ෂාන් ෆ්රන්ස්වා මෙය අවධානයට යොමු කළා: “එකම තනි චිකිත්සක මැදිහත් වීමක උපකාරය ඇතුව රුධිරය රහිත ශල්‍යකර්මයක් ඉටු කරගත නොහැකි වන අතර, ඒ වෙනුවට මෙම අරමුණු ඉටු කරගත හැක්කේ, ක්‍රියා පිළිවෙත් කිහිපයක ඒකරාශියකින් පමණයි.”
නව ශිල්ප ක්‍රම අතරට (1) ශල්‍යකර්මයට පෙර සූදානම, (2) ශල්‍යකර්මයේදී රුධිර වහනය වළකාලීම හා (3) පසුශල්යකර්මීය සාත්තුව අයත් වෙයි. පෙනෙන ප්‍රකාරයට, සෑම ශල්‍යකර්මීය එළඹීමක්ම විශාල වශයෙන් බලපෑම් ලබා ඇත්තේ කාලය මතයි; එනම් රෝගියෙකුව ශල්‍යකර්මයට පෙර වර්ධනය කිරීමට කාලය ඇද්ද හෝ හදිසි ශල්‍යකර්මයක් කිරීමට සිදු වන නිසා කාලය නැද්ද යන්න මතයි.
රුධිරය රහිත ශල්‍යකර්මයට වඩාත් උචිතම එළඹීම වන්නේ, රුධිර සෛල ප්‍රමාණය හා පොදු සෞඛ්‍යය වර්ධනය කරන, ශල්‍යකර්මයට පෙර කරන සාත්තුවයි. ප්‍රබල යකඩ සංඝටක හා විටමින් වර්ග මෙයට ඇතුළත් වන අතර, ඊට අමතරව යෝග්‍ය අවස්ථාවන්හි, රතු රුධිර සෛල වඩා වේගවත් අනුපාතයකින් වර්ධනය වීමට තුඩු දෙන, රෝගියාගේ ඇට මිදුළු උත්තේජනය කරන බෙහෙතක් වන කෘත්‍රිම එරිත්‍රෝපොයිටින් ලබා දීමද ඇතුළත් වෙනවා. ක්ෂුද්‍ර පරීක්ෂාවට ඉඩ සලසන තාක්ෂණය, පරීක්ෂණය සඳහා රුධිරය අවම වශයෙන් ගැනීමටත්, ලබාගත් එම රුධිර ප්‍රමාණයෙන් වැඩි ප්‍රතිඵල අත් කරගැනීමටත් හැකි කරවයි. මෙය සැලකිය යුතු ප්‍රමාණයකින් රුධිරය වහනය වූ, අඩු වයසින් ඉපදුණු බිළින්දන්ට හා වැඩිහිටි රෝගීන්ට වැදගත් වෙයි.
රුධිර පරිමාව වැඩි කිරීමට නහර මගින් ලබා දෙන පරිමා වර්ධකයන්ද උපකාර වන තව දෙයක් වෙයි. අධි පීඩන ඔක්සිජන් කුටියද, රුධිරය විශාල වශයෙන් අහිමි වූ රෝගීන්ට ඔක්සිජන් ලබා දීම සඳහා යම් පහසුකම් සලසයි. ඇට්ලෑන්ටාහිදී, වෛද්‍ය රොබට් බාලට් පැහැදිලි කළේ, ඔක්සිජන් කුටි බලගතු මෙවලමක් විය හැකි වුවත්, එය පරෙස්සමින් භාවිත කළ යුතු වන්නේ ඔක්සිජන් විශාල ප්‍රමාණවලින් දීම විෂකර විය හැකි නිසා බවයි.
දෙවන පියවර වන ශල්‍යකර්මය තුළදී සිදු වන රුධිර වහනය වළකාලීම සඳහා, නව උපාංග හා තාක්ෂණයන් රැසක් තිබෙනවා. ඒවා රුධිරය වහනය අවම කරගැනීමට උපකාර වෙයි; රුධිර වහනය හා මානසික කම්පනය අවම කරමින් ශරීරයේ කැපීම් සිදු කිරීම අඩු කරයි; එසේත් නැතිනම් ශල්‍යකර්මයේදී අපතේ යෑමට ඉඩ තිබෙන රෝගියාගේම රුධිරය යොදාගෙන එය නැවත පරිහරණය කිරීමට උපකාර කරයි. මෙවැනි නව තාක්ෂණයන් කිහිපයක් පමණක් සලකා බලන්න.
◼ රුධිරවාහිනිවලින් රුධිරය වහනය වීම වළකාලීම සඳහා භාවිත කරන විද්‍යුත් පිලිස්සුම් උපාංගයක්.
◼ ශල්‍යකර්මයේදී රුධිර වහනය නවතාලන ආගන් කදම්බ ලේ කැටිගසනය.
◼ ප්රසංවේදී වෛද්‍යමය පිහිය, එකම අවස්ථාවේදී කැපීමට හා රුධිරය කැටිගැසීමට සලසන කම්පනය හා ඝර්ෂණය යොදාගනියි.
◼ යම් ශල්යකර්මයන්වලදී, ට්රාන්එක්සැමික් අම්ලය හා ඩෙස්මෝප්රීසින් වැනි බෙහෙත්, රුධිර වහන අඩු කිරීමට හා ලේ කැටි ගැසීම වැඩි කිරීමට බොහෝදුරට යොදාගැනෙයි.
◼ රුධිර පීඩනය අඩු කරමින් මන්දාතතික නිර්වින්දනය රුධිර වහනය අඩු කරයි.
ශල්‍යකර්මය තුළදී භාවිත වන රුධිර බේරුම් යන්ත්‍රවල තිබෙන සැලකිය යුතු දියුණුවද කැපීපෙනෙන දෙයක්. ශල්‍යකර්මය තුළදී මෙමගින් රෝගියාගේ රුධිරය සුරැකීමත්, එය එවෙලේම යොදාගැනීමත් නිසා, රුධිරය ගබඩා කිරීමට අවශ්‍ය නොවෙයි.c රෝගියාට සම්බන්ධව පවතිද්දීම, රුධිරය සංඝටකවලට වෙන් කිරීමට නව යන්ත්‍රවලට හැකි වන අතර, අවශ්‍ය වන ඒවා යළි පරිහරණය කිරීමටද ඉඩ ප්‍රස්තා සලසයි.
රීගාහි සම්මන්ත්‍රණයෙන් පසු හා ලැට්වියාවේ අවශ්‍යතාව ගැන ඇසීමෙන් පසු, ස්වීඩනයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලැට්වියාවට සෛල-බේරුම් යන්ත්‍ර දෙකක් ප්රදානය කළා. පළමු යන්ත්‍රය ලැබීම හා රුධිරය රහිත ශල්‍යකර්මවලින් අත් වූ ප්‍රයෝජන හේතුවෙන් කොතරම් උද්යෝගයක් ජනිත වුණාද කිවහොත්, එම සිද්ධිය ලැට්වියාවේ ජාතික රූපවාහිනියෙන් විකාශනය කරනු ලැබුවා.
පසු ශල්‍යකර්ම සාත්තුවට බොහෝදුරට ඇතුළත් වන්නේද ශල්‍යකර්මයට පෙර කරන සූදානමේදී යොදාගැනෙන රුධිර වර්ධිත සෞඛ්‍ය වැඩසටහන්ය. කොහොම වුණත්, රුධිර ප්රවේශිත රෝගියෙකුව බලාගැනීමට වඩා රුධිරය ප්‍රවේශනය නොකළ රෝගියෙකුව ශල්‍යකර්මයෙන් පසු බලාගැනීම වඩා පහසු දෙයක් වෙයි. ඒ ඇයි?
පුදුම කරවන ප්‍රතිඵල
රුධිර භාවිතය තුරන් කරන ශිල්ප ක්රමයන් සඳහා බොහෝදුරට ශල්‍යකර්මයේදී හා ඊට පෙර වැඩියෙන් ශ්‍රමය වැය කිරීමට සිදු වුවත්, ශල්‍යකර්මයෙන් පසු යථා තත්වයට පැමිණීමට ගත වන කාලය අඩු නිසා, රෝගීන් ප්‍රයෝජන ලබන බව ශල්‍ය වෛද්‍යවරුන්ට වැටහී තිබෙනවා. රුධිර ප්‍රවේශනයන් හා බැඳී ඇති සංකීර්ණතාවන්ගෙන් ඔවුන් දුක් විඳින්නේ නැහැ. තවද රුධිරය ලබා නොදුන් රෝගීන් රෝහල්ගතව සිටි කාලය ඉතා අඩු එකක් බවට වාර්තා වී තිබෙනවා.
නියූ යෝක් රෝහල්-කෝනෙල් විශ්වවිද්‍යාල වෛද්‍ය කේන්ද්‍රයේ වෛද්‍ය ටොඩ් රෝසන්ගාට් නිරීක්ෂණය කළේ, ඔවුන්ගේ පියවර අටකින් යුත් රුධිරය සුරැකීමේ ක්‍රියා පිළිවෙත මගින්, සංකීර්ණ වූ විවෘත හදවත් ශල්‍යකර්මයන් රුධිරය රහිතව කිසිම බියක් සැකක් නැතුව කරගැනීමට ඉඩ ලබා දුන් බවයි. ලොස් ඇන්ජලිස්හි ගුඩ් සමැරිටන් රෝහලේ වෛද්‍ය මැන්යුවෙල් එස්ටීයෝකෝ, “රුධිරය නොමැතිව කරන විවෘත හදවත් ශල්‍යකර්මයන් සිය ගණනකින් ලබා ඇති පුදුමාකාර අද්දැකීම් සම්භාරය” ගැන අදහස් දැක්වූවා. මයෑමි ළමා රෝහලේ දරුවන්ට කරන රුධිරය රහිත විවෘත හදවත් ශල්යකර්මයන්වල ඇති සාර්ථකත්වය වෛද්‍ය එස්. සුබ්‍රමානියන් වාර්තා කළා.
භග්න (කැඩුම් බිඳුම්) චිකිත්සක ශල්‍යකර්මයන්, විශේෂයෙන්ම උකුල් ප්‍රතිසම්පාදනය අභියෝගාත්මක ක්ෂේත්රයක් විය හැකියි. එහෙත්, ස්වීඩනයේ අ’ඩ’වැල රෝහලේ වෛද්‍ය ඕල්ය හැග් වාර්තා කළ පරිදි, යෙහෝවාගේ සාක්ෂිකාර රෝගීන්ගේ රුධිර වහනය වීම පුදුමාකාර අන්දමින් අඩු කිරීමට ඔවුන්ට ඉවහල් වූයේ “ශල්‍යකර්මීය උපක්‍රම යොදාගැනීම හා අත්වැරදි අවම කරගැනීමයි.” ඇත්තෙන්ම, එංගලන්තයේ හාෆීල්ඩ් වෛද්‍ය කේන්ද්‍රයේ වෛද්‍ය රිචඩ් කූම්ස් පැවසුවේ “භග්නි චිකිත්සක ශල්‍යකර්මවලින් සියයට 99.9ක් . . . රුධිරය රහිතව සිදු කළ හැකි” බවයි.
අනාගතය
රුධිරය රහිත ක්රමෝපායන් යොදාගන්නා රෝහල් හා වෛද්‍යවරුන් සංඛ්‍යාව එන්න එන්නම ඉහළ යයි. තවද එවැනි තොරතුරු බෙදාගනු ලැබූ සම්මන්ත්රණ ඇත්තෙන්ම උපකාරාත්මක වී තිබෙනවා; මන්දයත් මෙමගින් සාර්ථකව පරීක්ෂණයට ලක්ව ඇති හා නිතරම පරිහරණය වන විකල්පයන් වෛද්‍යවරුන් ඉගෙනගන්නා නිසයි.
දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය රිචඩ් නලික් පැවසුවේ: “වෛද්‍යමය හා ශල්‍යකර්මීය වශයෙන් රුධිරය රහිතව ප්‍රතිකාර ඉල්ලා සිටින වැඩි වන ජනගහනයක් දැන් සිටියි . . . රුධිරය රහිත වෛද්‍ය ප්‍රතිකාර හා ශල්‍යකර්මයෙන් නවීනතම එළඹීමක් නියෝජන කරන අතර, එය කාර්ය-සාධකබවින් අඩු ‘විකල්පීය චිකිත්සාවක්’ හැටියට වරදවා තේරුම් නොගත යුතුයි.”
රුධිර ප්‍රවේශනයන් ආශ්රිත ගැටලු දිගටම පැවතීමත් පොදු ජනයා විකල්පයන් ඉල්ලා සිටීමත් හේතුවෙන්, රුධිරය රහිත ශල්‍යකර්මවලට දීප්තිමත් අනාගතයක් පෙනෙන්ට තිබේ.
[පාදසටහන්වල]
a යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන්ටත් තම දරුවන්ටත් වෛද්‍යමය ප්‍රතිකාර ලබාගත යුතු බව විශ්වාස කරයි. කොහොම වුණත්, රුධිරය ශරීරගත නොකිරීමට වූ පැහැදිලි බයිබල් ආඥාව පදනම් කරගෙන ඔවුන් රුධිර ප්‍රවේශන ප්‍රතික්ෂේප කරයි. (උත්පත්ති 9:3, 4; ක්‍රියා 15:28, 29) වැඩිමනත් තොරතුරු සඳහා Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශයට පත් කර ඇති, ඔබේ ජීවිතය ගැලවීමට රුධිරයට හැක්කේ කෙසේද? යන විවරණිකාව බලන්න.
b මෙම සම්මන්ත්‍රණවලදී ඉදිරිපත් කෙරුණු විවිධ ශිල්ප ක්‍රම පිබිදෙව්! මගින් සාකච්ඡා කෙරුණද, ඒවා අනුමත කරන බවක් කිසිසේත් ඉන් අදහස් නොවෙයි. ඒ වෙනුවට, මෙය ප්‍රගතීන් පිළිබඳ හුදු වාර්තාවක් පමණි.
c මෙම යන්ත්‍ර භාවිතයේ යෝග්‍යතාව මෙන්ම හෘද සාක්ෂිය සැලකිල්ලට ගැනීම සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලීමට පාඨකයා කැමැත්තේ නම්, 1989 මාර්තු 1 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) කලාපයේ 30-1 පිටු බලන්න.
[22, 23 යන පිටුවේ පින්තූරය]
වැඩි වන වෛද්‍ය පිරිසක් තම රෝගීන්ගේ රුධිරය රහිත ශල්‍යකර්මීය මනාපයන්ට ගෞරව කරයි