බයිබලයේ දෘෂ්ටිකෝණය
දෙවිගේ ශුද්ධාත්මය යනු කුමක්ද?
‘තවද සියලු සෙනඟ බව්තීස්මය ලැබූ විට යේසුත් බව්තීස්මය ලැබ, යාච්ඤා කරන කල, අහස විවර වී, ශුද්ධාත්මය රූපාකාරයෙන් පරෙවියෙකු මෙන් ඔහු පිටට බැස්සේය. එවිට: ඔබ මගේ ප්‍රේමවන්ත පුත්‍රයාය; ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් නික්ම ආයේය.’—ලූක් 3:21, 22.
ප්‍රේරිත පාවුල්, පුරාණ ග්‍රීසියේ සිටි දර්ශනවාදීන් කණ්ඩායමකට කළ දේශනයකදී, දෙවිව හැඳින්වූයේ, ‘ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන්’ ලෙසයි. ‘ලෝකයද එහි ඇති සියල්ලද මැව්වේ’ සහ ‘සියල්ලන්ට ජීවිතයද හුස්මද සියලු දේවල්ද දෙන්නේ’ මේ දෙවියයි පාවුල් පැවසුවා. (ක්‍රියා 17:24-28) දෙවි මේ සියල්ලම සිදු කරන්නේ කොහොමද? එය කරන්නේ ඔහුගේ ශුද්ධාත්මය නැත්නම් ක්‍රියාකාරික බලය මගිනුයි.
දෙවිට ‘බලයේ මහත්කම සහ ශක්තියේ බලවත්කම’ තිබෙන බවත් බයිබලය පැහැදිලි කරනවා. (යෙසායා 40:26) ඔව්, ඔහුගේ බලය සහ ශක්තියේ බලවත්කම පැහැදිලිව දිස් වන මුළු විශ්වයම මැව්වේ දෙවි විසිනුයි.
ක්‍රියාකාරි බලයකි
ශුද්ධාත්මය කියන්නේ දෙවිගේ බලයටයි කියා පැවසීම එතරම්ම නිවැරදි නැහැ. මන්දයත් බලය, යම් කෙනෙක් හෝ යම් දෙයක් තුළ ගුප්තව හෝ අක්‍රීයව තිබෙන්න පුළුවන්. එය හරියට, ආරෝපිත නමුත් පාවිච්චි නොකළ බැටරියක ගබඩා කර තිබෙන බලය වගෙයි. කොහොමවුණත්, ශුද්ධ ලියවිලිවල දෙවිගේ බලය දක්වා තිබෙන්නේ ක්‍රියාකාරි ස්වභාවයකින් තිබෙන යමක්, එනම් හරියට පාවිච්චි කරන බැටරියකින් ගලා එන විදුලි ධාරාවක් වගේ දෙයක් හැටියටයි. (උත්පත්ති 1:2) එමනිසා ශුද්ධාත්මය කියන්නේ ඔහුගෙන් නික්මෙන ශක්තියයි, එනම් ක්‍රියාකාරි බලයයි.
බයිබලයෙහි සමහර අවස්ථාවලදී ශුද්ධාත්මය, යම් නිශ්චිත කාර්යයන් ඉටු කරන හෝ දෙවිගෙන් වෙන් වූ, වෙනත් ස්ථානයක පවතින දෙයක් හැටියට කතා කරනවා. (මතෙව් 28:19, 20; ලූක් 3:21, 22; ක්‍රියා 8:39; 13:4; 15:28, 29) එවැනි කොටස් කියවා තිබෙන ඇතමුන්, ශුද්ධාත්මයට දෙවිගෙන් වෙන් වූ අනන්‍යතාවක් තිබෙන බව සිතනවා. ශුද්ධ ලියවිලිවල මෙවැනි ශෛලියක් භාවිත කරන්නේ ඇයි? ශුද්ධාත්මය කියන්නේ සම්පූර්ණයෙන්ම දෙවිගෙන් වෙන් වූ දෙයකටද?
සර්වපරාක්‍රම දෙවි සිටින්නේ ඔහුගේ භෞතික මැවිලිවලට සම්පූර්ණයෙන්ම වෙනස් වූ තලයකයි. ඔහු, අපේ සීමිත අවබෝධයට හසු නොවන අදෘශ්‍යමාන පුද්ගලයෙක්. (යොහන් 4:24) යෙහෝවා දෙවි ස්වර්ගයේ වාසය කරන බවත්, ඔහු එහි සිට මනුෂ්‍යයන් දෙස බලන බවත් බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 33:13, 14) මෙය තේරුම්ගත හැකි දෙයක්. තම කාර්යයන් සඳහා යොදාගන්නා මූලද්‍රව්‍යයන්වලට වඩා මැවුම්කරු ශ්‍රේෂ්ඨ විය යුතුය. ඔහු ඒවා දක්ෂ ලෙස යොදාගන්නවා, ඒවා ක්‍රියාත්මක කරවනවා, ඇති කරනවා මෙන්ම ඒවා පාලනය කරනවා.—උත්පත්ති 1:1.
තමා වාසය කරන අදෘශ්‍යමාන ස්ථානයේ සිට දෙවිට ඕනෑම අවස්ථාවක, ඕනෑම ස්ථානයකදී දේවල් සිදුවීමට සලස්වන්න පුළුවන්. ඒ නිසා, ඔහු ඔහුගේ ක්‍රියාකාරික බලය ක්‍රියා කරන ස්ථානයේ සිටීම අවශ්‍ය නැහැ. ඔහුට යම් කාර්යයක් ඉටු කිරීමට තම ආත්මය එවන්න පුළුවන්. (ගීතාවලිය 104:30) රැහැන් නොමැති දුරස්ථ පාලකයන් ආධාරයෙන් ගෙදර දොරේ විදුලි උපකරණ ක්‍රියාත්මක කරන නූතන කාලයේ මනුෂ්‍යයන් දෙස බැලීමෙන් මෙය පහසුවෙන්ම තේරුම්ගන්න පුළුවන්. අද අපි විදුලිය හෝ අධෝරක්ත කිරණ වැනි අදෘශ්‍යමාන බලයන්ගේ තිබෙන ශක්තිය අවබෝධ කරගන්නවා. එලෙසම, ඔහුගේ අදෘශ්‍යමාන බලය හෝ ආත්මය තුළින්, එක් තැනක සිට තවත් තැනකට මාරු නොවී, තමා කිරීමට අරමුණු කරන ඕනෑම දෙයක් සිදු කරන්න දෙවිට පුළුවන්.—යෙසායා 55:11.
බයිබල් කාලවලදී මෙම අදහස අවබෝධ කරගැනීමට අපහසු වී තිබෙන්න ඇති. ශුද්ධාත්මය, වෙන් වූ බලයක් ලෙස විස්තර කරද්දී, තමා පෞද්ගලිකව එය ක්‍රියාත්මක වන ස්ථානයේ සිටින්නේ නැතුව දෙවි තම බලය යොදවන්නේ කෙසේද කියා තේරුම්ගැනීමට කියවන්නන්ට උපකාර වූ බවට කිසිම සැකයක් නැහැ. මේ දේ නැතිනම් ඒ දේ, ශුද්ධාත්මය මගින් කර තිබූ බව බයිබලය පවසද්දී, මෙයින් අදහස් වන්නේ දෙවි තම කැමැත්ත ඉටු කිරීම සඳහා ඔහුගේ බලය, පුද්ගලයන් හෝ දේවල් මත යොමු කර තිබූ හෝ යොදවා තිබූ බවයි.
ශුද්ධාත්මයේ විවිධ ක්‍රියාවන්
පණ ඇති සහ පණ නැති සියලු දේවල් මැවීමේදී, යෙහෝවා ශුද්ධාත්මය උපයෝගි කරගත්තා. (ගීතාවලිය 33:6) ජලගැල්මක් තුළින් සැහැසික, පසුතැවිලි නොවෙන මනුෂ්‍ය පරම්පරාවක් විනාශ කිරීමටත් දෙවි එය යොදාගත්තා. (උත්පත්ති 6:1-22) යුදෙව් කන්‍යාවක් වූ මරියාගේ ගර්භාශය තුළට තම පුත්‍රයාගේ අනර්ඝ ජීවිතය මාරු කිරීමටත් දෙවි යොදාගත්තේ මෙම ක්‍රියාකාරි බලයමයි.—ලූක් 1:35.
බොහෝවිට තම ජීවිත පරදුවට තබමින් සතුරන් ඉදිරියේ නිර්භීතව හා ධෛර්ය සම්පන්නව සත්‍යය කතා කිරීමට, සමහර අවස්ථාවලදී ශුද්ධාත්මය මනුෂ්‍යයන්ව පණගැන්නුවා. (මීකා 3:8) ඒ වගේම, විශේෂයෙන්ම අනාවැකි සම්බන්ධව, මෙම බලය තුළින් පුරුෂයන්ට හා ස්ත්‍රීන්ට විශේෂ තීක්ෂ්ණ බුද්ධිය හෝ තේරුම්ගැනීම දුන් අවස්ථා බොහොමයක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. කිසිම මිනිසෙකුට අනාගතයේ සිදු වන දේ නිවැරදිව පුරෝකථනය කළ නොහැකි නිසා, මෙය, ශුද්ධාත්මයේ කැපීපෙනෙන ක්‍රියා කිරීමක් වෙනවා.—2 පේතෘස් 1:20, 21.
ශුද්ධාත්මයට එක් එක් පුද්ගලයන්ට ප්‍රාතිහාර්යය කිරීමේ බලය පවා දෙන්න පුළුවන්. උදාහරණයකට, මෙම බලය උපයෝගි කරගෙන යේසුට ස්වාභාවික බලවේගයන් පාලනය කිරීමට, ලෙඩ රෝග සුව කිරීමට සහ මළවුන්ව පවා නැඟිටුවීමට හැකි වුණා. (ලූක් 4:18-21; 8:22-26, 49-56; 9:11) දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට ලොව මුළුල්ලේ සේවය කිරීම සඳහා මුල් ක්‍රිස්තියානීන්ව සංවිධානය කිරීමටත්, පණගැන්වීමටත් ශුද්ධාත්මය මහෝපකාරි වුණා.—ක්‍රියා 1:8; 2:1-47; රෝම 15:18, 19; 1 කොරින්ති 12:4-11.
දෙවිගේ බලය අප වෙනුවෙන් යොදාගැනේ
අදදින දෙවිගේ මනුෂ්‍ය සේවකයන්ට මෙම අසීමිත ශක්තියේ උල්පත ලබාගන්න හැකියාවක් තිබෙනවාද? ඇත්තෙන්ම ඔව්! දෙවි තම කැමැත්ත තේරුම්ගැනීමට සහ ඉටු කිරීමට උපකාර කිරීම සඳහා තම සෙනඟට ශුද්ධාත්මය අවශ්‍ය ප්‍රමාණයට ලබා දෙනවා. ඔහුගේ අවශ්‍යතාවලට අනුකූල වන, හරි හෘද පෙලඹවීමක් තිබෙන, අව්‍යාජව මෙන්ම යාච්ඤාපූර්වකව ඉල්ලන අයට දෙවි තම ආත්මය ලබා දෙනවා. (1 කොරින්ති 2:10-16) ඔවුන්ට බාධා හමුවේ පවා දෙවිට විශ්වාසවන්තව සේවය කරන්න හැකි කරවන ලෙස අසම්පූර්ණ මනුෂ්‍යයන්ව “සාමාන්‍ය ඉක්මවූ බලයෙන්” සන්නද්ධ කරන්න, එම ආත්මයට පුළුවන්. එනිසා නිසැකවම, සියලුම දේවභයැති මනුෂ්‍යයන්ගේ ආශාව වන්නේ දෙවිගේ ආත්මය ලබාගැනීම සහ එය රඳවාගැනීමයි.—2 කොරින්ති 4:7, NW; ලූක් 11:13; ක්‍රියා 15:8; එපීස 4:30.
ඉක්මනින්ම දෙවි, මේ දුෂ්ට ලෝකයේ තිබෙන අයුක්තිය සහ දුක් විඳීම අවසන් කිරීමෙන්, තම ශ්‍රේෂ්ඨ මෙන්ම ශුද්ධ නාමය විශුද්ධ කිරීමට මෙම ප්‍රබල බලය පාවිච්චි කරන්න යනවා. ශුද්ධාත්මය මුළු ලෝකයේම ශුභසිද්ධිය තකා ක්‍රියාත්මක වෙන්න යන අතර, එහි ප්‍රතිඵල සියලුදෙනාටම දකින්න ලැබෙනවා. එමගින් මැවුම්කරුට මහිමය ගෙන එනවා නොඅනුමානයි.—ගලාති 5:22, 23; එළිදරව් 21:3, 4.