තරුණ කටයුතු සඳහා එජාගේ මුලපිරීම—කෙතරම් සාර්ථකද?
දැනට අවුරුදු 15කට පමණ කලින්, එජා විසින් වර්ෂ 1985 ජාත්‍යන්තර තරුණ වසර ලෙස ප්‍රකාශයට පත් කළා. ඊට අමතරව, දැනට අවුරුදු හතරකට පමණ පෙර, එජා වර්ෂ 2000 සහ ඉන් ඔබ්බට දිවෙන තරුණ කටයුතු පිළිබඳ ජගත් වැඩසටහන ඇරඹුවා. මෙවන් මුලපිරීම්, ලෝකයේ සිටින සියකෝටියකටත් වඩා තරුණයන්ගේ ගැටලු අඩු කිරීමටත්, රැකියා ප්‍රස්තා වැඩි කිරීමටත් උපකාරවත් වෙයි කියා අපේක්ෂා කෙරුණා. මේ වැඩසටහන්වලින් සෙතක් සැලසී තිබෙනවාද?
සමහර ප්‍රදේශවල එසේ වී තිබෙන බවට සැකයක් නැහැ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ප්‍රකාශිත තේරීම් (ඉංග්‍රීසියෙන්) නමැති සඟරාව උදාහරණ කිහිපයක් සපයනවා: වර්ෂ 1982දී, තායිලන්තයේ පෙර පාසැල්වලට ගිය ළමුන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළුණා. කෙසේවෙතත්, අවුරුදු දහයකටත් අඩු කාලයකදී, සාමාන්‍ය හෝ උග්‍ර මන්දපෝෂණය සහමුලින්ම වාගේ මුලිනුපුටා දමා තිබුණා. ඕමානය නමැති රටේ, වර්ෂ 1970දී තිබුණේ පාසැල් තුනක් පමණි. එමෙන්ම ඒවායේ ඉගෙනුම ලැබුවේ පිරිමි ළමුන් 900ක් පමණයි. එහෙත්, 1994දී, එම රටේ 5,00,000කට ආසන්න ළමුන් පිරිසක් පාසැල් ගිය අතර, ඉන් 49%ක්ම ගැහැනු ළමුන් වුණා. ඒවා සාර්ථක ප්‍රතිඵල බවට කිසිම සැකයක් නැහැ.
කෙසේවෙතත්, අධ්‍යාපනය, රැකියාව සහ දිළිඳුකමට සම්බන්ධ නිරන්තර ගැටලු නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල වර්ධනය බාල වී ඇති බව, එක්සත් ජාතීන්ගේ තරුණ කටයුතු නමැති එජාගේ ප්රකාශනය සඳහන් කළා. මේවා, දියුණු කිරීමට ජගත් වැඩසටහන ඉලක්ක කරගෙන තිබෙන ගැටලු සමහරක් පමණයි.
නිදසුනක් වශයෙන්, සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල්වල සියලුම ළමුන්ට ප්‍රාථමික අධ්‍යාපනය ලබා දීමට, වර්ෂ 2000 වන විටවත් හැකි වන්නේ නැහැ. මෙවන් රටවල දෙමාපියන්ට තම දරුවන්ව පාසැල්වලට යැවීමට නොහැකි වන්නේ, පාසැල් නැති නිසා හෝ ඒ සඳහා වියදම් දැරීමට නොහැකි නිසයි. ප්‍රතිඵලයක් හැටියට, එක්සත් ජාතීන්ගේ තරුණ කටයුතු සඳහන් කරන්නේ, “නූගත් අයගේ ප්‍රමාණය දිගට හරහට වැඩි වෙමින් පවතිනවා” කියායි. නූගත්කම හේතුවෙන් රැකියා නොලැබී යන අතර ඒ හේතුවෙන් “ඌන වූ ආත්ම-අභිමානය, සමාජයෙන් කොන් කිරීම,” තාරුණ්‍ය හැකියාවන් අපතේ යෑම සහ අධික දිළිඳුභාවය වැනි විවිධාකාර සමාජ ආපදාවලට මඟ විවර වෙනවා. දිළිඳුභාවය තරුණ මහලු දෙපක්ෂයටම බලපෑවත්, තරුණයන් එහි විශේෂ ගොදුරු බවට පත් වෙනවා. එජාග් එම මූලාශ්රයම නිගමනය කරන්නේ, සියලුම උත්සාහයන් හමුවේ, “කුසගින්න සහ මන්දපෝෂණය ඉතාම බැරෑරුම් සහ මැඩපැවැත්විය නොහැකි අන්දමින් මිනිසාට තර්ජනය කරමින් තිබෙනවා” කියායි.
යහපත් අභිමතාර්ථයෙන් යුත් වැඩසටහන් සහ වෙහෙසී වැඩ කරන ප්‍රවීණයන් යම් දියුණුවකට දායක වුවත්, සමාජ ආපදාවන්ගේ මුලට බෙහෙත් කිරීමට ඔවුන්ට හැකි වන්නේ නැහැ. එය ඉටු කරගැනීමට ඊට වඩා දෙයක් අවශ්‍යයි. මෙන්සන්රෙඛ්ටන් එන් ඩ නෝට්සාක් වාන් වේරෝල්ට්බස්ට්යූ’ (මානව අයිතිවාසිකම් සහ ලෝක පාලනයක අවශ්‍යතාව) නමැති පොත සඳහන් කරන ආකාරයට, ලෝක ගැටලු විසඳෙන්න හැකියාවක් ලැබෙන්න යන්නේ, ‘සාර්ථකව ක්‍රම සම්පාදනය කිරීමට හැකි ලෝක ආණ්ඩුවක් පැමිණියහොත්’ පමණයි. එසේනම්, තරුණ මහලු සියලුම ක්‍රිස්තියානීන් දෙවිගේ රාජ්‍යය එනම්, තම අනුගාමිකයන්ට යාච්ඤා කරන්නැයි යේසුස් කිවූ ලෝක ආණ්ඩුවේ පැමිණීම බලා සිටීම පුදුමයට කරුණක් නොවෙයි. (දානියෙල් 2:44, 45; මතෙව් 6:9, 10) එම ආණ්ඩුව ඇත්තෙන්ම වෙනසක් ගෙනෙන්න යනවා!
[31වන පිටුවේ පින්තූරය]
අධ්‍යාපනය සියලුම ළමුන් සඳහා මූලික අයිතිවාසිකමක් මෙන්ම අවශ්‍යතාවකි
[හිමිකම් විස්තර]
WHO photo by J. Mohr
[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
FAO photo/F. Mattioli
Logo: UN photo