අප අඳින ඇඳුම්—ඇත්තෙන්ම ඒවා ගැන සැලකිලිමත් විය යුතුද?
“මො නවා අඳින්නද කියලා මට තේරෙන්නේ නැහැ!” මෙලෙස තීරණයක් ගැනීමට උපකාරයක් බලාපොරොත්තු වීම නිතර දකින්න තිබෙන්නක්ද? ඇත්තෙන්ම, අදදින විලාසිතා නිවාස ඔවුන්ගේ නවතම විලාසිතා ඉදිරිපත් කරමින් ඔබට උපකාර කිරීමට නැතහොත් ඔබව තවත් ව්‍යාකූල කිරීමට සැමවිටම උනන්දුවෙන් සිටිනවා.
මේ දිනවල ඔබට උනන්දු කරනවා විය හැක්කේ පිළිවෙළකට අඳනවා වෙනුවට නොසැලකිලිමත්ව ඇඳීමට නිසා තීරණ ගැනීම තවත් අසීරු වෙනවා. අනූගණන්වල මේ පෙරළිය සම්බන්ධයෙන් විලාසිතා පිළිබඳ කතුවැකියක් මෙසේ පවසනවා: “ටිකක් පරණ ගතියක් දුන්, පරණ වූ, ගෙවී ගිය හා සාමාන්‍යයෙන්ම සායම් ගිය පෙනුමක් තිබීම වරදක් නොවෙනවා විතරක් නෙවෙයි, නමුත් එය සිත් ඇදගන්නක් බවත් දැනගැනීම සෑහෙන දිරිගැන්වීමක් කියා පැවසිය හැකියි.”
ඔව්, මෑත වසරවලදී ප්‍රබල අදහස් කවන ප්‍රචාරණ, රූපවාහිනියෙන් දකින චරිත, සමවයසේ මිතුරන්, ආත්ම වර්ණනාව මෙන්ම කැපීපෙනෙන්න තිබෙන ආශාව, ඇඳුම් තෝරාගැනීමට ප්‍රබල බලපෑමක් වී තිබෙනවා; විශේෂයෙන්ම යෞවනයන්ට ඒවා බලපෑමක් වී තිබෙනවා. ඔවුන්ගෙන් සමහරෙක් ජේත්තුවට අඳින්න ඕන නිසා සොරකමේ පවා යෙදෙනවා.
බටහිර සමාජයේ 60 ගණන්වල තිබූ හිපි සංස්කෘතිය හා සමානව, පසුගිය කාලයේදී පැවති අන්තවාදී සංස්කෘතිවලින් තමයි අනූ ගණන්වල ජනප්‍රිය මෝස්තර බොහෝමයක් බිහි වී තිබෙන්නේ. යටි රැවුල් වවා තිබීම, මනා ලෙස සකස් නොකළ දිග කොණ්ඩ තිබීම හා කිසිම පිළිවෙළක් නැති පොඩි වී තිබෙන ඇඳුම් ඇඳීම, සම්ප්‍රදායික සාරධර්ම ප්‍රතික්ෂේප කරන බවට නිවේදනය කිරීමක් වුණා. නමුත් කැරලිකාරකම දක්වන ඇඳුම් නව අනුකූලතාවකුත්, එනම් නව තුල්‍ය පීඩනයකුත් ඇති කරනවා.
තමාව හඳුන්වා දීම සඳහා නොහික්මුණු ආකාරයෙන් අඳින ඇඳුම් වඩාත් ප්‍රබල මෙවලමක් බවට පත් වී තිබෙනවා. ඇඳුම් විශේෂයෙන්ම ටී ෂර්ට්, ජනප්‍රිය ක්‍රීඩා හා ක්‍රීඩා වීරයන්, හාස්‍ය රසය, කලකිරුණු බව, කලහකාරිගතිය, සදාචාරත්වය හෝ සදාචාරයේ ඌනතාව මෙන්ම වෙළඳ නිෂ්පාදන යනාදිය නිහඬව ප්‍රචාරය කරන වෙළඳ පුවරු බවට පත් වී තිබෙනවා. එසේ නැතහොත් අපව කම්පනයට පත් කරන්න ඒවාට හැකියි. මෑතක නියූස්වීක් සිරස්තලයක තිබූ දේ සලකා බලන්න: “නහඹර විලාසිතා පිළිබඳ පණිවිඩයක් වශයෙන්, කෲරත්වය.” විසිඑක් වියැති තරුණයෙක් තමාගේ ටී ෂර්ට් එක ගැන පැවසූ දෙය ලිපියේ මෙසේ උපුටා දැක්වෙයි: “මම ඒක අඳින්නේ මගේ හැඟීම් අනිත් අයට ඒකෙන් කියාපාන නිසයි. මොනවද කරන්න ඕන කියලා කවුරුත් මට කියන්න ඕනෙ නැහැ. මට ඕනෙ මගේ පාඩුවේ ඉන්නයි.”
ටී ෂර්ට්වල දෙපැත්තේ දිස් වෙන දේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. එහෙත් ඒවා යම් කණ්ඩායමකට හෝ පවතින කැරලිකාරකමේ, මමත්වයේ, හිතුවක්කාරකමේ එහෙමත් නැත්නම් ප්රචණ්ඩත්වයේ ස්වභාවයට අනුකූල වීමක් බව පැහැදිලියි. එක් ඇඳුම් නිර්මාණකරුවෙක්, තමාගේ පාරිභෝගිකයන්ගේ ඉල්ලීම පරිදි ඇඳුම්වල වෙඩි තබා හිල් සාදනවා. “අත් පිස්තෝල හිල්, රයිෆල් හිල් හෝ කාල තුවක්කු හිල් තෝරගන්න ඔවුන්ට පුළුවන්” කියා ඔහු පවසයි. “එය නිකම්ම විලාසිතාවක් පෙන්වන්න උත්සාහ කිරීමක් පමණයි.”
විලාසිතාවලින් ප්‍රකාශ වන්නේ කුමක්ද?
“සාමාන්‍යයෙන්ම ඔබව සමාජයේ යම් විශේෂ ගෝත්රයකලා හඳුන්වා දෙන මාර්ගයකි ඇඳුම්” යයි ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවල බලාගාර කෞතුකාගාරයේ විලාසිතා අංශය භාර ජේන් ඩ ටෙලිගා පවසයි. “කෙනෙක් තමාව යම් ගෝත්රයකලා හැඳින්වීමට කැමතිද, ඔහු එම ගෝත්‍රය තෝරාගන්න අතර, එම ගෝත්‍රිකයන්ගේ ආකාරයට අඳින්නත් පටන්ගන්නවා” කියා ඇය තවදුරටත් පවසයි. ජනයාව වෙන් කර හඳුන්වන මාධ්‍යයන් වශයෙන් ආගම, ධන සම්පත්, රැකියාව, ජනවාර්ගිකත්වය, අධ්‍යාපනය හා නිවාස ලිපිනය වැදගත් වන්නා සේම ඇඳුම්ද වැදගත් වේ කියා සිඩ්නි විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්යවරියක් වූ වෛද්‍ය. ඩයනා කෙනි පැවසුවා. ජෙට් සඟරාවට අනුව, එක්සත් ජනපදයේ, බොහෝදුරට සුදු ජාතිකයන් පමණක් යන එක් පාසැලක, “සුදු ජාතික පාසැල් සිසුවියන් කොණ්ඩය සිහින් කැරලි වශයෙන් ගෙතීම, බාච්චු ඇඳුම් ඇඳීම හා වෙනත් ‘හිප්-හොප්’ විලාසිතා ඇඳීම හේතුවෙන්” කළු සහ සුදු ජාතිකයන් අතර “කලබලයක් හටගත්තා. මෙසේ සිදු වූයේ, එම විලාසිතා කළු ජාතිකයන්ට ආවේණික වන ඒවා නිසයි.”
සංගීත ක්ෂේත්රය වැනි ඇතැම් උපසංස්කෘතිවල පවා ගෝත්රවාදය පැහැදිලිව පෙනෙන්න තිබෙනවා කියා මක්ලින්ගේ සඟරාව මෙලෙස පවසයි: “බොහෝ අවස්ථාවලදී සංගීත රුචිකත්වයට අනුවයි ඇඳ පැළඳ සිටින්නේ: රෙගේ සංගීතයට ලැදි අය දීප්තිමත් වර්ණ හා ජැමෙයිකා තොප්පි අඳින අතර, ග්‍රන්ජ් රොක් සංගීතයට කැමැත්තක් දක්වන්නන් හිම තොප්පි හා වර්ණවත් කොටු සහිත කමිස අඳිනවා.” නමුත් අතට අහු වෙන ඕන එකක් අඳින, නොසැලකිලිමත්ව අඳින, දිළිඳු, අනාථ පෙනුමක් දෙන, ග්‍රන්ජ් හැටියට අපි විස්තර කරන, මේ කුමන වර්ගයක් වුණත් මිල අධික විය හැකියි.
ඇඳුම් පිළිබඳ සම්මතයන්ට සිදු වෙමින් පවතින්නේ කුමක්ද?
“හැම දෙයක්ම ඔබ හිතන විදිහට වඩා වෙනස් විය හැකියි” කියා තීරු ලේඛක වුඩි හෝක්ස්වෙන්ඩර් පවසයි. “කලෙක දැඩි සම්මතයන්ගෙන් පාලනය වූ පිරිමින්ගේ විලාසිතා එන්න එන්නම නොහික්මුණු ගතියක් දෙන ඒවා බවට පත් වී තිබෙනවා; . . . හැම එකක්ම හරියට රිටි කරුවකින් ඔහේ පිදුරු විසි කරලා වගේ ඕනෑවට එපාවට ඇඟට දාගෙන ඉන්නවා වගේ පෙනෙනවටයි ඒගොල්ලෝ කැමති.” කෙසේනමුත්, ඇතැම් අවස්ථාවලදී මේ නැඹුරුවාව නොසැලකිලිමත් ආකල්පයක් නිරායාසයෙන්ම හෙළි කරනවා. නැතහොත් එය ආත්ම-ගෞරවයේ ඌනතාවක් හෝ අන්‍යයන්ට ගෞරවය දැක්වීමේ ඌනතාව පෙන්වීමක් විය හැකියි.
සංජානනය හා චාලක දක්ෂතා (ඉංග්‍රීසියෙන්) යන සඟරාවේ, ගුරුවරුන් පිළිබඳව ශිෂ්‍යයන්ගේ අවබෝධය ගැන ලිපියක් මෙසේ පැහැදිලි කරයි: “ගුරුවරයෙක් පංති කාමරයට ජීන්ස් ඇඳගෙන පැමිණීම විනෝදය ගෙන දෙන්නක් මෙන් පෙනුණත්, ඔහුගේ අදහස්වලට දුන්නේ අවම ගෞරවයක්; ඔහුව නිතරම සැලකුවේ කිසිම දෙයක් දන්නේ නැති ගුරුවරයෙක් හැටියටයි.” එම සඟරාවම මෙසේත් පවසනවා: “ජීන්ස් ඇඳගෙන සිටින ගුරුවරියකව සැලකුවේ, විනෝදයක් ලැබිය හැකි, පහසුවෙන් එළඹිය හැකි, විශේෂ දැනුමක් නැති, සීමිත ගෞරවයක් පමණක් ලැබිය යුතු තැනැත්තියක් හා ගුරුවරියකගේ පෙනුමක් නැති, සාමාන්‍යයෙන්ම සිත්ගන්නා කෙනෙක් වශයෙනුයි.”
මේ අතරතුර, ව්‍යාපාරික ලෝකයෙහි අපට තවත් විලාසිතා ප්රකාශනයක් අහන්න ලැබෙනවා: අඳින්නේ පළඳින්නේ අවධානය ඇදගන්නයි. මෑත වසරවලදී බොහෝ කාන්තාවන්ට ව්‍යාපාරික ක්ෂේත්රයේ හිණිපෙත්තටම නැඟීමට වුවමනා වී තිබෙනවා. “මම අඳින්නේ අනිත් අයව පරද්දන විදිහටයි” කියා පොත් මුද්‍රණය කරන සංවිධානයකට වැඩ කරන විධායක නිලධාරිනියක් වන මාරි පවසයි. “මට ඕනෙ කැපීපෙනෙන්න. මාව විශිෂ්ට පෙනුමක් ඇති කෙනෙක් හැටියට ඉදිරිපත් කරන්නයි මට ඕනෙ” කියා ඇය තවදුරටත් පවසනවා. මාරි තමා ගැනම අවධානය යොමු කරගෙන සිටින බව අවංකවම හෙළි කරනවා.
ජනප්‍රිය විලාසිතා, නියත වශයෙන්ම පල්ලිවල පවා දක්නට තිබෙනවා. විලාසිතා ගැන වැඩි අවධානයක් දෙන අය තමන්ගේ නවතම ඇඳුම් ප්‍රදර්ශනය කිරීමට තමන්ගේ පල්ලිය යොදාගෙන තිබෙනවා. එහෙත් අදදින, බුරුල්ව එල්ලා වැටෙන ලෝගුවලින් සැරසුණු පූජක පක්ෂයට, බොහෝවිට දේශනා කූඩුවේ සිට සභාව දෙස බලන විට දක්නට ලැබෙන්නේ ජීන්ස් හා ක්‍රීඩා සපත්තු හෝ අමුතු අමුතු විලාසිතාවලින් සැරසී සිටින අයයි.
තමා ගැනත් තමාගේ අනන්‍යතාව ගැනත් ඕනෑවට වඩා හිතන්නේ මන්ද?
අමුතු අමුතු ඇඳුම්, විශේෂයෙන්ම යෞවනයන් අතර තිබෙන ඇඳුම්, තමා වටා කේන්ද්‍රගත වූ ආකල්පයක යම් පැත්තක් වන අතර, තමා වෙතට අන්‍යයන්ගේ අවධානය ගැනීමේ ආශාවක් එතුළ තිබෙන බවක් කියාපානවායයි මනෝවිද්‍යාඥයන් පවසනවා. “තරුණයාගේ පැත්තෙන් බලන කල, තමා අන්‍යයන්ගේ අවධානයට පාත්‍ර වූවෙකු වශයෙන් දැකීමට ඔහුට ඇති ප්‍රබල නැඹුරුවාව” හැටියටයි ඔවුන් එය විස්තර කරන්නේ. වෙනත් විදිහකින් කියනවා නම්, ඔහු හෝ ඇය පවසන්නේ: “මම හිතන විදිහට, මම මං ගැන හිතාගෙන ඉන්නවා වගේම ඔයත් මං ගැන හිතාගෙන ඉන්නවා” කියායි.—මානසික රෝග සුව කිරීම පිළිබඳ අමෙරිකානු සඟරාව (ඉංග්‍රීසියෙන්).
(බොහෝවිට වෙළඳ ව්‍යාපාර මගින් උලුප්පා පෙන්වන) මිනිසුන්ට මුල් තැන දෙන හා දෙවිව පසෙක දමන දර්ශනයන්, විශ්වයේ ඉතා වැදගත්ම තැනැත්තා ඔබයි යන චින්තනයද වැඩිදියුණු කර තිබෙනවා. ගැටලුව වී තිබෙන්නේ දැන් මෙම ‘ඉතා වැදගත්ම’ පුද්ගලයන් බිලියන හයකට ආසන්න සංඛ්‍යාවක් සිටීමයි. “දැන් හොඳ ජීවිතයක්” ලබාගැනීමට වෙහෙසෙමින් ක්‍රිස්තියානි ලෝකයේ ආගම්වල සිටින මිලියන සංඛ්‍යාතයන්ද මේ ද්‍රව්‍යවාදී ප්‍රහාරයට ලක් වී තිබෙනවා. (2 තිමෝති 3:1-5 සසඳන්න.) මීට අමතරව පවුල් ඒකකය බිඳවැටෙමින් තිබෙන අතර අව්‍යාජ ප්‍රේමය හීන වී යනවා; එනිසා බොහෝදෙනෙක්, විශේෂයෙන්ම යෞවනයන්, තමන්ව හඳුන්වා දීම සඳහාත්, සුරක්ෂිතභාවය ලබාගැනීම සඳහාත් කැමති ඕනෑම දෙයක් ග්‍රහණය කරගැනීම පුදුමයක් නොවෙයි.
කෙසේවුවත්, තමන්ගේ ඇඳුම හා දෙවි ඉදිරියේ තමන්ගේ ස්ථාවරය ගැන සැලකිලිමත් වන්නන් නිතැතින්ම මෙසේ අසයි: ඇඳුම් පිළිබඳ වෙනස් වන සම්මතයන්වලට මම කෙතරම් දුරකට අනුකූල විය යුතුද? මගේ ඇඳුම් යෝග්‍යද කියා මා දැනගන්නේ කෙසේද? එය මා ගැන ව්‍යාකූල හැඟීමක් හෝ වැරදි පණිවුඩයක් දෙයිද?
මම යෝග්‍ය ලෙස ඇඳ පැළඳ සිටිනවාද?
අපි අඳින්නේ කුමක්ද යන්න සම්පූර්ණයෙන්ම පෞද්ගලික තේරීමකි. අපේ මූල්‍යමය තත්වයන් වෙනස් වන්නාක් මෙන්ම අප එක් එක්කෙනාගේ රුචිකත්වයන්ද වෙනස් වෙනවා. එමෙන්ම ස්ථානයෙන් ස්ථානයට, රටින් රටට මෙන්ම එක් දේශගුණික කලාපයක සිට තවත් එකකට තිබෙන ආවේණික සම්ප්‍රදායන් වෙනස්. නමුත් ඔබේ තත්වය කුමක් වුවත්, මේ ප්‍රතිපත්තිය මනසේ ධාරණය කරගන්න: “සෑම දේටම ප්‍රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක්ද ඇත.” (දේශනාකාරයා 3:1) වෙනත් විදිහකින් කියනවා නම්, අවස්ථාවට ගැළපෙන සේ අඳින්න. දෙවනුව, “ඔබේ දෙවි සමඟ ඇවිදීමේදී විනීත වන්න.”—මීකා 6:8, NW.
සාන්තුවරයන් වගේ ඇඳිය යුතුයි කියා එයින් අදහස් වන්නේ නැති නමුත්, ‘ඔබින වස්ත්‍ර ඇඳීමත්, මනසේ තැන්පත්භාවය’ පිළිබිඹු කිරීමත් එයින් අදහස් වෙනවා. (1 තිමෝති 2:9, 10, NW) බොහෝවිට, සරලවම කියනවා නම් මෙයින් අදහස් කරන්නේ හික්මුණු බවක් පෙන්නුම් කිරීමයි; සේවයේ නියුතු කාන්තාව (ඉංග්‍රීසියෙන්) නම් සඟරාවේ එම ගුණාංගය, ඇඳුම් පිළිබඳ හොඳ තේරීමක් කිරීමට තිබෙන හැකියාවට මෙන්ම ශෝභමාන පෙනුමට සම්බන්ධ කරනවා. හොඳ පුරුද්දක් වශයෙන්, ඔබ කාමරයකට ඇතුල් වන විට අන්‍යයන්ව බාධාවට පත් කරමින් ඔවුන්ගේ නෙත් මුලින්ම ඔබේ ඇඳුම් වෙත යොමු නොවන ලෙස ඇඳීමට වගබලා ගන්න. සේවයේ නියුතු කාන්තාව මෙසේ පවසනවා: “ඔබේ ඇඳුම්වල බලපෑමට හසු නොවී, පුද්ගලයෙකු හැටියට ඔබේ ගුණාංග දැකගැනීමට ජනයාට හැකි වන සේ . . . අඳින්න.”
සංජානනය හා චාලක දක්ෂතා නම් සඟරාව මෙසේ පවසනවා: “ඇඳුම ඇඳ සිටින්නා සම්බන්ධයෙන් නිහඬව යමක් කියාපාන ඇඳුම්වල කාර්යභාරය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන පොත් පත් කාණ්ඩයක, දුටු පමණින්ම අන්‍යයන්ව විනිශ්චය කිරීමට ඇඳුම් වැදගත් ඉඟියක් සපයන බව අඟවනවා.” ඇඳුම් පැළඳුම්වලින් ආකර්ෂණය කරගැනීමට තිබූ බලයෙන් කලින් වින්දනයක් ලබාගෙන තිබූ 40 ගණන්වල පසු වෙන කාන්තාවක් ඒ සම්බන්ධයෙන් මෙවැනි අදහසක් පළ කරනවා: “ඒ විදිහට ඇඳගෙන සිටීමෙන් මගේ වෘත්තිමය හා පෞද්ගලික ජීවිතයේ පැහැදිලි වෙනසක් දකින්න නොතිබුණු නිසා ගැටලු ගොඩක් ඇති වුණා. මාත් එක්ක ව්‍යාපාරික කටයුතුවල යෙදුණු පිරිමින්ට නිතරම මාව රෑ කෑමකට ගෙනියන්න ඕනෙ වුණා.” සම්පූර්ණයෙන්ම වෙනස් මෝස්තරයක් සම්බන්ධයෙන්, ගණකාධිකාරිණියක් මෙසේ විස්තර කරනවා: “නොසැලකිලිමත්ව එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම පිරිමියෙක් වගේ ඇඳගෙන ඉන්න ගැහැනුන්ව පිරිමින් සලකන්නේ කොහොමද කියලා මම දැකලා තියෙනවා. අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කලහකාරි ස්ත්‍රීන් හැටියටයි ඒ අයව සලකන්නේ; ඒ වගේම පිරිමින් ඒ අය දිහා අනුකම්පාවෙන් බලන්නෙත් නැහැ.”
අමුතු විලාසයකට කොණ්ඩෙ කපාගත් විට තමා ව්‍යාකූල කරවන ඉඟි දෙමින් සිටි බව ජෙෆී නම් යෞවනියට වැටහුණා. “මම එහෙම කැපුවේ නිකම් ‘වෙනසකටත්’ එක්කයි. නමුත් ‘ඔයා ඇත්තෙන්ම යෙහෝවාගේ සාක්ෂිකාරියක්ද’ කියලා සමහරු මගෙන් අහන්න පටන්ගත්තා; මට ලැජ්ජාවක් ඇති වුණා” කියා ඇය සිහිපත් කරයි. ජෙෆීට තමාගෙන්ම සිතුවිලි විමසන ප්‍රශ්න අසාගැනීමට සිදු වුණා. ඇත්තෙන්ම, “හෘදයේ පූර්ණකමෙන්” කතා කරන්නේ අපේ මුඛය පමණක් නොව නමුත් අපේ ඇඳුම් පැළඳුම් හා කොණ්ඩා මෝස්තරත් එසේ කතා කරන බව සැබෑවක් නොවේද? (මතෙව් 12:34, NW) ඔබේ ඇඳුම හෙළි කරන්නේ කුමක්ද? මැවුම්කරු වෙත අවධානය යොමු කර තිබෙන හෘදයක්ද නැත්නම් ඔබ වෙතම අවධානය යොමු කර තිබෙන හෘදයක්ද?
“මනසේ තැන්පත්භාවයෙන්” අඳින්න
ඔබේ ඇඳුම් ඔබ කෙරෙහි ඇති කරන බලපෑමත් සලකා බලන්න. අවධානය ගැනීමට ඇඳුම් ඇඳීම හා වුවමනාවට වඩා ජේත්තු වීම, ඔබේ ආත්මාභිමානය වැඩි කළ හැකි අතර, අපිළිවෙළට ඇඳීම ඔබ ගැනම ඔබට තිබෙන නිෂේධාත්මක සිතුවිලි තවත් තහවුරු කරයි; චිත්‍රපට ලොවේ හෝ ක්‍රීඩා ලොවේ ඔබේ ප්‍රියතම තරුව එහෙමත් නැත්නම් ප්‍රිය කරන වෙනත් කෙනෙක්ව ටී ෂර්ට්වල ප්‍රදර්ශනය කිරීම මගින් ඔබව ක්‍රම ක්‍රමයෙන් පුද්ගලයන්ව නමස්කාර කිරීමට, එනම් රූප නමස්කාරයට නැඹුරු කළ හැකියි. ඔව්, ඔබේ ඇඳුම් අන් අයට කතා කරනවා; ඒ වගේම ඔවුන්ට ඔබ ගැන පවසනවා.
ඔබ අවධානය ඇදගැනීමට හෝ කාමුක හැඟීම් ඇවිස්සීමට අඳිනවා නම්, ඔබේ ඇඳුම් ඔබ ගැන පවසන්නේ කුමක්ද? ගොඩ ඒමට වෑයම් කළ යුතු ගුණාංග ඔබ තව තවත් උලුප්පා දක්වමින් සිටිනවාද? එපමණක් නොව, ඔබ ආකර්ෂණය කරගැනීමට වෑයම් කරන්නේ කුමනාකාරයේ පුද්ගලයෙක්වද? තමා වටා කේන්ද්‍රගත වූ, පුහුමානයෙන් පිරි මෙන්ම නිෂේධාත්මක සිතුවිලිවලින් ජයගැනීමට අපට රෝම 12:3හි [නව අනුවාදය] වාර්තා වී තිබෙන උපදෙස උපකාර වෙනවා. එහි ප්‍රේරිත පාවුල් අපට, “පමණට වඩා [අප] ගැන ඉහළින් නොසිතන ලෙසත්, . . . තැන්පත් සිතින් සිතන ලෙසත්” උපදෙස් දෙනවා. ‘තැන්පත් සිතකින්’ සිතීම යන්නෙන් අදහස් කරන්නේ සිහි නුවණින් සිටීමයි.
වගකීමක් දරන, උසස් තානාන්තරවල සිටින්නන්ට මෙය විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඔවුන්ගේ ආදර්ශය අන්‍යයන් මත ප්‍රබල බලපෑමක් ඇති කරනවා. එලෙසම, ක්‍රිස්තියානි සභාවේ සේවා වරප්රසාදයන් අත් කරගනිමින් සිටින අය හා ඔවුන්ගේ භාර්යාවන්, තමන් ඇඳ පැළඳ සිටින ආකාරයෙන් විනීත හා ගෞරවනීය ආකල්පයක් විදහා පෑ යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ. සරණ මංගල්‍යය පිළිබඳ තම උපමාවේදී යේසු පෙන්නුම් කළ මිනිසා මෙන් වන්න අපට කොහෙත්ම වුවමනාවක් නැහැ: “රජ්ජුරුවෝ අමුත්තන් දකින්ට පැමිණි කල, එහි මංගල්‍ය වස්ත්‍රයක් නෑඳ සිටි මනුෂ්‍යයෙකු [දැක්කා].” එවැනි අගෞරවනීය ඇඳුමකින් සැරසී සිටීමට මේ මිනිසාට වලංගු හේතුවක් නැති බව දැනගත් “රජ්ජුරුවෝ කථාකොට: මොහුගේ අත් පා බැඳ, මොහු පිටත අන්ධකාරයෙහි දමන්න” යයි පැවසුවා.—මතෙව් 22:11-13.
මෙබැවින්, දෙමාපියන් වචනයෙන් හා ආදර්ශයෙන්, තම දරුවන් තුළ ඇඳුම් කෙරෙහි හිතකර ආකල්ප හා හොඳ රුචිකත්වයක් වගා කිරීම වැදගත් වෙනවා. මෙයින් අදහස් විය හැක්කේ ඇතැම් අවස්ථාවලදී තම පුතාට හෝ දුවට කරුණු පැහැදිලි කිරීමේදී දෙමාපියන් ස්ථිරව සිටිය යුතු බවයි. නමුත් අපේ යෞවනයන්ගේ හා අපේම ඇඳුම්වල හා හැසිරීමේ උසස් තත්වය සඳහා අපට නිරායාසයෙන්ම ප්‍රශංසාව ලැබෙන විට, එය මොනතරම් දිරිගන්වන්නක්ද!
ඇත්තෙන්ම, යෙහෝවාගේ සෙනඟ පුහුමානයෙන්, මිල අධික විලාසිතාවලින් හා තමා ගැනම ඕනෑවට වඩා සිතීමෙන් නිදහස් වී සිටිනවා. ඔවුන්ට මඟ පෙන්වීම සඳහා තිබෙන්නේ ලෝකයේ ආත්මය නොව දිව්‍යමය ප්‍රතිපත්තියි. (1 කොරින්ති 2:12) ඔබ මේ ප්‍රතිපත්ති අනුව ජීවත් වෙනවා නම්, ඔබේ ඇඳුම් තේරීම එතරම් අපහසු දෙයක් විය යුතු නැහැ. එපමණක් නොව, හොඳින් තෝරාගත් රූප රාමුවකින් රූපයේ අලංකාරය යටපත් නොවන්නාක් මෙන්ම ඔබේ ඇඳුම්වලිනුත්, ඔබේ පෞද්ගලිකත්වය යටපත් කරන්නේවත්, අනිසි අවධානයක් ඇදගන්නේවත් නැහැ. එමෙන්ම ඔබ දෙවි මෙන් වීමට වඩ වඩා වෑයම් කරන විට, ඔබ වැඩි වැඩියෙන් ආත්මික අලංකාරයක් වර්ධනය කරගනී. ඇත්තෙන්ම එය ඔබේ ඇඳුම්වලින් මැනිය හැකි දෙයකට වඩා වැඩි යමක් වෙයි.