ඔයිල් පාම්—බහුප්‍රයෝජන ගසක්
සොලොමන් දූපත්වල පිබිදෙව්! වාර්තාකරු පැවසූ පරිදි
ග්වාඩෙල් කැනල් නම් දූපතේ නම ඇසෙද්දීම බොහෝදෙනෙකුට IIවන ලෝක යුද්ධයේ දරුණුතම සටන්වලින් සමහරක් මතකයට නැඟෙනවා. කෙසේනමුත්, කලින් යුධ පිටියක්ව තිබූ මේ සොලොමන් දූපත්වලට අදදින යන ඕනෑම කෙනෙකුට දකින්න තිබෙන්නේ ඊට බෙහෙවින් වෙනස් දර්ශනයක්; එනම් කෙළවරක් නොපෙනෙන සොල්දාදුවන්ගේ පේළි නොව නමුත් උදාර ඔයිල් පාම් ගස් පේළිවල දර්ශනයක්.
මෙම සාරවත් හා තේජාන්විත ඔයිල් පාම් ගස් යට ඇති පසෙන්, කලෙක, ඉතිරි වූ බෝම්බ හා වෙනත් විනාශකාරි යුධෝපකරණ ටොන් ගණනාවක් වැසී තිබුණා. නමුත් ඔයිල් පාම් සිටුවීම සඳහා මේ යුධෝපකරණ ඉවත් කර තිබෙනවා. මේ ගසේ වගාව ඇරඹුණේ කෙසේද? එමෙන්ම මේ මනහර උස ගහ බහුප්‍රයෝජන ගසක්යයි පැවසීමට අපට හැක්කේ කෙසේද?
රසවත් ඉතිහාසයක්
ඔයිල් පාම් ගසට සමාන ගසක් පිළිබඳ මුල්ම නවීන විස්තරය වාර්තා කර තිබෙන්නේ, අප්‍රිකාවේ බටහිර මුහුදු තීරය ගවේෂණය කළ වෙනීසීය ජාතික ආල්විසේ කාඩමෝස්තෝ විසින් 15වන සියවසේ මැදභාගයේදීයි. ඉන්පසු, මීට වසර 500කට පමණ පෙර, අප්‍රිකානු වහල්ලු අත්ලාන්තික් සාගරය හරහා එතෙර රටවලට පාම් ගෙඩි ගෙනගියා. මේ ආකාරයෙන් පාම් තෙල්, අදදින ලොව පුරාම පුළුල් ලෙස භාවිතා කරන එළවළු තෙල්වලින් එකක් බවට පත් වී තිබෙනවා. තෙල් නිපදන වෙනත් ඕනෑම ගසකට වඩා ඔයිල් පාම් ගස, අක්කරයකින් තෙල් වැඩි ප්‍රමාණයක් ලබා දෙනවා. ඊට අමතරව, ඔයිල් පාම් ගස වසර 25ක්, 30ක් තුළ, වසර පුරාම ගෙඩි හා තෙල් ලබා දෙන ගසක්.
එක්දාස් නවසිය හැත්තෑ ගණන්වල අගභාගයේදී, විශේෂයෙන්ම ඈත පෙරදිග සමහර රටවල් පාම් තෙල් නිපදවීම සම්බන්ධයෙන් වැදගත් සාධකයක් සොයාගනු ලැබුවා. කලින් සිතුවේ, ඔයිල් පාම් ගෙඩි ප්‍රධාන වශයෙන් පරාගණය වන්නේ සුළඟ මගින් කියායි. මෙබැවින්, අසාර අස්වැන්නක් ලැබුණේ අහිතකර දේශගුණික තත්වයන් හේතුවෙන්යයි සැලකුවා. කෙසේනමුත්, ප්‍රධාන වශයෙන්ම පරාගණය සිදු වන්නේ කෘමීන් මගින් බව මෑත පර්යේෂණ හෙළි කර තිබෙනවා! මෙලෙස, ගස් පරාගණය කළ හැකි කෘමීන්, බටහිර අප්‍රිකාවේ සිට ඈත පෙරදිග දක්වා සංක්‍රමණය වීම ප්‍රයෝජනදායක බව ඔප්පු වී තිබෙනවා.
ඔයිල් පාම්වල රතට හුරු තැඹිලි පාට ගෙඩිය තෙල් වර්ග දෙකක් ලබා දෙනවා. දෙකම විවිධ නිෂ්පාදනයන්ට යොදාගැනෙන අතර ඒවායින් සමහරක් ඔබ භාවිතා කිරීමට ඉඩ තිබෙනවා. ඒවා ගැන සලකා බැලීමට පෙර, අපි පාම් තෙල් මෝලකට ගිහින්, තෙල් සාදන්නේ කෙසේද කියා බලමු.
රන්වන් තෙල් ලබාගැනීමේ ක්‍රියාවලිය
අපි මෝලට ගියහම, අපේ සංචාරක මඟ පෙන්වන්නා අපිව පිළි අරන් ඇතුලට එක්කගෙන යනවා. අපේ වටේටම විශාල යන්ත්‍ර ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඉස්සෙල්ලම ඔයිල් පාම් ගෙඩි වලු, සිලින්ඩරාකාර විශාල හුමාල උදුනකට දාන බව ඔහු පැහැදිලි කරනවා. හැම වල්ලකම ඉඳිවල ප්‍රමාණයෙන් යුත් ගෙඩි 200ක් විතර තියෙනවා; ගෙඩි එකකට එකක් හුඟාක් කිට්ටුවෙනුයි තියෙන්නේ. වල්ලෙන් ගෙඩි ගැළවීම සඳහා ගෙඩි බුරුල් කිරීමට හුමාල උදුන උපකාර කරනවා.
ස්ට්‍රිපරය නම් යන්ත්‍රයක ආධාරයෙන් වල්ලෙන් ගෙඩි වෙන් කිරීම ඊළඟ පියවරයි. ඊට පස්සේ වෙන් කරගත් ගෙඩි විශාල බ්ලෙන්ඩරයකට දානවා; එහිදී මදය ඇටයෙන් වෙන් වෙනවා. ඊට පස්සේ මේ කෙඳි සහිත මදය තෙල් මඩින යන්ත්‍රයකට දමා පිරිපහදු නොකළ තෙල් ලබාගන්නවා. පිරිපහදු කළාට පස්සේ, දැන් පාම් තෙල් නැව්ගත කිරීමට සූදානම්.
කොහොමනමුත්, දෙවැනි වර්ගයක තෙලුත් තියෙනවා. මේක ගන්නේ ඇටයෙන්. මුලින්ම ඔයිල් පාම් ඇටය පළලා ඒකෙ මදය ගන්න ඕනෙ. ඊට පස්සේ, ඒ මද, මඩින යන්ත්‍රයට දානවා; එවිට එයින් අගනා තෙලක් වෑස්සෙනවා. මේ තෙල හඳුන්වන්නේ පාම් ඇට තෙල් කියලයි.
පෝෂ්‍යදායී සත්ව ආහාර නිපදවන්න මදවලින් ඉතුරු වන මණ්ඩි යොදාගන්නවා. ඒ ආකාරයෙන්ම, ගෙඩි වෙන් කළාට පස්සේ ඉතුරු වන බූවල්ලේ කොටස්, කොළරොඩු හැටියට යොදාගැනීම සඳහා කෙත්වලට යවනවා. ගෙඩිවල කෙඳි හා පොතුත්, මෝල්වල බොයිලේරු සඳහා ඉන්ධන හැටියට යළි සකස් කර පාවිච්චියට ගන්නවා. මොනතරම් කාර්යක්ෂම ක්‍රියාවලියක්ද!
අයිස් ක්‍රීම්වල සිට ආලේපන දක්වා
සෝයා තෙල්වලට පස්සේ, ලෝකයේ වැඩිපුරම පාවිච්චියට අරගෙන තියෙන තෙල තමයි පාම් තෙල්. ලෝක විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) මෙසේ පවසනවා: “ඉංග්‍රීසි ජාතිකයන් 1700 ගණන්වලදී, ඖෂධයක් හා දෑත් ආලේපනයක් හැටියට පාම් තෙල් පාවිච්චි කළා.” කෙසේවුවත් අදදින, එය අයිස් ක්‍රීම්, මාජරින් සහ පිසීමට ගන්නා තෙල් වර්ගවල මෙන්ම ආහාර වශයෙන් නොගැනෙන සබන් හා රූපලාවණ්‍ය ද්‍රව්‍යවලත් දක්නට තිබෙනවා.
මාජරින් මෙන්ම චොකලට් හා වෙනත් රසකැවිලි නිෂ්පාදනයේදීද පාම් ඇට තෙල් යොදාගන්නවා. නමුත් එම තෙල් යොදාගැනීම එතැනින් කෙළවර වන්නේ නැහැ. අමතර සකස් කිරීමකින් පසු, පාම් හා පාම් ඇට තෙල්වල සංයෝග වී ඇති කොටස් ඖෂධ වර්ග, සබන් වර්ග, පවිත්‍ර කාරකයන්, ඉටිපන්දම් හා පුපුරන ද්‍රව්‍යයන් බවට පවා පත් කරනවා!
ඇත්තෙන්ම, සොලොමන් දූපත්වල ඔයිල් පාම් ජනප්‍රිය වී තිබෙනවා. රටේ අපනයන ආදායමෙන් සියයට 13ක් මෙම ගස නිසා ලැබෙනවාය යන කාරණයෙන් ආර්ථිකයට ඔයිල් පාම් කෙතරම් බලපෑමක් කරනවාද යන්න හුවා දැක්වෙනවා.
අපි ඔයිල් පාම් ගහක් දිහා බලද්දී, මේ දීප්තිමත් තැඹිලි පාට ගෙඩියේ නිෂ්පාදනයක්, සිනාසෙන දරුවෙකුගේ කටින් අයිස් ක්‍රීම් ලෙස වැක්කෙරෙන ආකාරයත්, ඔහුගේ මවගේ මුහුණේ තවරා ඇති ආලේපනවල තිබෙන බවත් සිතෙන් මවාගනිද්දී එය හාස්‍ය රසයක් ඇති කරනවා. ඔව්, ඔයිල් පාම් නන් අයුරින් ප්‍රයෝජනයට ගැනෙන ගහක්; එයින් ලැබෙන බහුල ප්‍රයෝජන සඳහා ස්තුතිවන්ත වන්න අපට හැකියි.
[27වන පිටුවේ කොටුව⁄පින්තූරය]
දවසකට දෑතෙන් ටොන් දෙකක්
ඔයිල් පාම් වතුවල සේවකයන්, ගෙඩිවලින් බර වුණු වලු කඩද්දී ඒවා වැටෙන ශබ්දයෙන් මුළු පරිසරයම ඩොග්, ඩොග්, ඩොග් යන හඬෙන් පිරී යයි. ඔවුන් එතරම් උස ගස්වල තිබෙන ගෙඩි කරා ළඟා වන්නේ කෙසේද?
තව තවත් දික් කිරීමට හැකි වන සේ සකස් කර ඇති පොල්ලක කෙළවරෙහි වකගැසුණු මුවහත් තලයක් සවි කර තිබෙනවා; ගෙඩි කඩන්නන් ඒවා යොදාගෙන සමහර අවස්ථාවලදී තට්ටු හතරක ගොඩනැඟිල්ලක උසක් ඇති ගස්වල ගෙඩි පවා කඩනවා. හැම සේවකයෙක්ම සාමාන්‍යයෙන් දවසකට, ගෙඩිවලින් පිරි වලු 80 සිට 100 අතර ප්‍රමාණයක් කඩා, ඒවා රථවලට ඇහිරීම සඳහා පාරට රැගෙන එනවා. ගෙඩි පිරුණු හැම වල්ලක්ම කිලෝග්‍රෑම් 25ක බරකට ආසන්න වන නිසා සෑහෙන බරක් උස්සන්න සිදු වෙනවා! පාම් තෙල් ටොන් එකක් නිපදවීමට ගෙඩි ටොන් හතරහමාරක් අවශ්‍යයි.