උවදුරට ලක් වූ දරුවෝ
“දරුවන් වෙනුවෙන් කැප වුණේ නැත්නම්, මුළු මිනිස් සංහතියේම දිගු-කලක් පුරා පවතින මූලිකම ගැටලු, දිගු-කලක් පුරා පවතින මූලික ගැටලු හැටියටම තිබේවි.”—එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල.
ලොව පුරාම ඉන්න දරුවන් සිටින්නේ උවදුරෙයි. වාණිජමය ලෙස දරුවන්ව ලිංගිකව සූරාකෑමට එරෙහිව පැවැත්වූ ලෝක සම්මේලනයේදී, මේ ඛේදවාචකයේ විශාලත්වය පිළිබඳව තහවුරු කරන සාක්ෂි ඉදිරිපත් කළා. වර්ෂ 1996, ස්වීඩනයේ ස්ටොක්හෝම්හිදී පවත්වනු ලැබූ එයට, රටවල් 130ක නියෝජිතයන් පැමිණුණා. උදාහරණයක් වශයෙන්, ලෝකයේ බොහෝ පැතිවල බාල වයසේ ගැහැනු දරුවන් මිලියන ගණනාවකට ගණිකා වෘත්තියේ යෙදීමට බල කරන බවට ලිපි ලේඛන මගින් තහවුරු කරනු ලැබුවා. ඔවුන්ගෙන් සමහරු අවුරුදු දහයක තරම් බාල වයසේ අයයි.
එලෙස බලෙන් වේශ්‍යාකමෙහි යෙදවීම “වර්තමානයේ තිබෙන වහල් සේවාවන්ගෙන් දරුණුම එකක්” හැටියට හඳුන්වා තිබෙන බව ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් විශ්වවිද්‍යාල නීති සඟරාව (ඉංග්‍රීසියෙන්) ප්‍රකාශ කළා. වසර ගණනාවක් ශාරීරිකව, මානසිකව හා චිත්තවේගීයව පිට පිට පහර ලැබුවායින් පසුව මෙම ගැහැනු ළමයි මුළු ජීවිත කාලය පුරාම එහි අහිතකර බලපෑම් විඳිනවා. බොහෝ අවස්ථාවලදී ගැහැනු ළමයි මෙම කෲරත්වයට යටත් වන්නේ, බඩවියත රැකගන්න ඕන නිසාමයි. අනිත් විකල්පය තමයි හාමතේ ඉඳලා මැරිලා යෑම. කනගාටුවට කරුණක් නම්, හව්හරණක් නැති මේ දරුවන්ව මුදල් ලබාගෙන වේශ්‍යාකමට යොදවන්නේ ඔවුන්ගේම දිළිඳු දෙමාපියන් වීමයි.
දරුවන්ට සිදු වන පැහැදිලිව දකින්න තිබෙන මේ ඛේදවාචකයට අමතරව, ළමා මෙහෙවර සම්බන්ධ ප්‍රශ්නයත් බොහෝවිට තියුණු වාද විෂයක් වී තිබෙනවා. ආසියාවේ, දකුණු අමෙරිකාවේ හා වෙනත් තැන්වල මෙන්ම වෙනත් රටවලින් පැමිණ එක්සත් ජනපදයේ පදිංචිව සිටින ඇතැම් ප්‍රජාවන්වල දරුවන්ගෙන් වයස අවුරුදු පහේ දරුවන්ව පවා, “වහල් මෙහෙවර” වශයෙන් හැඳින්විය හැකි දෙයට බලෙන් යොදවනවා. තම ශරීර හා මනස්වලට හානි පමුණුවන භයානක තත්වයන් යටතේ ඔවුන් වැඩ කරන්නේ හරියට පුංචි රොබෝවරුන් වගෙයි. වැඩිදෙනෙකුට අධ්‍යාපනය, මව්පිය සෙනෙහස, ආරක්ෂිතබවක් හැඟීමට නිවාස, සෙල්ලම් බඩු හා සෙල්ලම් කිරීමට උද්‍යාන නැහැ. හිතක් පපුවක් නැති දෙමාපියන්ම ඔවුන්ගෙන් බොහෝදෙනෙකුව සූරාකනවා.
ළමා සොල්දාදුවන් හා අනාථ නිවාස
ඛේදවාචකය ඊටත් වඩා වැඩි කරමින්, ගරිල්ලා හමුදාවලට ළමා සොල්දාදුවන්ව යොදාගැනීමෙහි වැඩිවීමක් දක්නට තිබෙනවා. සමහරවිට දරුවන්ව පැහැරගෙන යෑමට හෝ වහල් වෙළඳපොළවලින් මිල දී ගැනීමට ඉඩ ඇති අතර, ඉන්පසු ක්‍රමානුකූලව ඔවුන්ගේ සිත් දරුණු කරවනවා. සමහර අවස්ථාවලදී එසේ කරන්නේ මිනී මරනවා බලාගෙන සිටීමට සැලැස්වීමෙනුයි. තමන්ගේම දෙමාපියන්ව මරා දමන්න හෝ මැරීමට තමන් තුළ පෙලඹවීම වැඩි කිරීම සඳහා මත්ද්‍රව්‍ය ගැනීමට පවා සමහරුන්ට බල කර තිබෙනවා.
මතු දැක්වෙන්නේ, අප්‍රිකාවේ ළමයි දහස් සංඛ්‍යාතයකගේ මනස්වල තිබෙන අදහස් සම්පූර්ණයෙන්ම අහක් කොට ඒ වෙනුවට අලුත් අදහස් කැවීම හේතුවෙන් ඇති වී තිබෙන ප්‍රතිඵලවලට එක් උදාහරණයක්. මේ තැතිගන්වන සංවාදය ඇති වුණේ සමාජ සේවකයෙකු හා ළමා සොල්දාදුවෙකු අතරයි. ඔහු තමා තුළ ඉතිරිව තිබෙන අහිංසකත්වය රැකගැනීමට වෑයම් කරමින් සිටින බවක් ඔහුගේ වචනවල පෙනෙන්න තිබෙනවා:
“ඔයා මැරුවද? ‘නෑ.’
ඔයාගේ අතේ තුවක්කුවක් තිබුණාද? ‘ඔව්.’
ඔයා තුවක්කුව එල්ල කෙරුවද? ‘ඔව්.’
ඔයා වෙඩි තිබ්බද? ‘ඔව්.’
මොකද වුණේ? ‘ඒ අය නිකම්ම ඇදගෙන වැටුණා.’”
සොල්දාදුවන් දිහා බලද්දී, මේ යෞවන අය අතරේ සමහරෙක් අවුරුදු හය හා ඊට වඩා බාල දරුවන් බව පෙනී යනවා. වර්ෂ 1988දී පවා ලොව පුරා ළමා සොල්දාදුවන් 2,00,000ක් පමණ සිටි බවට වාර්තා වී තිබෙනවා.
වර්ෂ 1988 හා 1992 අතර වර්ෂවල, ආසියානු රටක අනාථ මඩමක දරුවන්ගෙන් 550කුව හාමතේ තබා මරා දමන්න තෝරාගෙන තිබුණා. ඔවුන්ගෙන් වැඩිහරියක් ගැහැනු ළමයි. වෛද්‍යවරියක් මෙසේ වාර්තා කරනවා: “එම අනාථ දරුවන්ට තම වේදනාව නැති කරගන්න පෙති තිබුණේ නැහැ. ඔවුන් පණ අදිමින් සිටියදීත් ඔවුන්ව ඇඳවල්වලට බැඳලා තිබුණා.”
යුරෝපය ගැන කුමක්ද කියන්න තිබෙන්නේ? ගැහැනු ළමයින්ව ලිංගික සූරාකෑම සඳහා පැහැරගෙන ගොස්, කාමුක දර්ශනවලට ළමයින්ව යොදාගන්නා අන්තර්ජාතික ව්‍යාපාරයක් සම්බන්ධයෙන් සොයාගන්න ලැබීමෙන් එහි එක් රටක් කම්පනයට පත් වුණා. සමහර අභාග්‍යසම්පන්න ගැහැනු ළමයින්ව මරා දැමුවා නැතහොත් මැරෙන තෙක් හාමතේ තැබුවා.
දරුවන්ව අයුතු ලෙස යෙදවීම හා සූරාකෑම, බොහෝ රටවල සැබෑ ගැටලුවක් වී තිබෙන බවට මේ වාර්තා ඇත්තෙන්ම අඟවනවා. නමුත් මෙය සමස්ත ලෝක ගැටලුවක් බව පැවසීම වැඩි කොට දැක්වීමක්ද? ඊළඟ ලිපිය ඒ ප්‍රශ්නයට උත්තර දෙයි.
[4වන පිටුවේ පින්තූරය]
ලයිබීරියාවේ ළමා සොල්දාදුවෙක්
[හිමිකම් විස්තර]
John Gunston/Sipa Press
[4වන පිටුවේ පින්තූරය]
කොලම්බියාවේ ගඩොල් කම්හලක, දරුවන් මිනිස් වීල්බැරැක්ක මෙන් ක්‍රියා කරයි
[හිමිකම් විස්තර]
UN PHOTO 148000/Jean Pierre Laffont
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
FAO photo/F. Botts