සීනයි කන්ද—පාළුකරයේ ස්වර්ණය
සුප්‍රකට සීනයි කන්ද මම දැක්ක මුල්ම වතාවේ මට ඇති වුණ හැඟීම කවදාවත් අමතක කරන්න බැහැ. ඊජිප්තුවේ අව් රෂ්මිය තදින්ම දැනුණු, දූවිලිවලින් ගැවසී ගත් සීනයි අර්ධද්වීපය හරහා ගමන් කරද්දී, ආර් රාහ්හා සිසාරා පැතිර ඇති තැනිතලාවට අප හදිසියෙන්ම වාගේ පැමිණියා. තැනිතලාවේ සිට ඍජුව ඉහළට ඇදුණු ගරු බිය දනවන සීනයි කන්ද මතු වුණා. එය හරියට කාන්තාරයේ ස්වර්ණයක් වගෙයි දිස් වුණේ. දෙවිගෙන් මෝසෙස් දස පනත ලද කන්ද මෙය විය හැකියයි සිතීමෙන් පවා මා තුළ බලවත් හැඟීමක් ඇති වුණා.
බයිබලයේ සඳහන් සීනයි කන්දේ නිශ්චිත පිහිටීම සම්බන්ධයෙන් වාදයන් තවමත් පැවතුණත්, ශතවර්ෂ ගණනාවක් පුරා බැතිමතුන්, මෙය එම කන්දයයි විශ්වාස කරන නිසා මෙතැනට පැමිණෙනවා. පොදු යුගයේ තුන්වන සියවස තරම් ඈත කාලයක සිට, ආගමික සිතුවිලි ගැන හුදෙකලාව භාවනා කිරීමේ අටියෙන් තාපසයන් මෙතැනට පැමිණියා. හයවන සියවසේදී, මෙම තාපසයන්ව ආරක්ෂා කිරීමේ හා ප්‍රදේශයේ රෝම බලය තහවුරු කිරීමේ අටියෙන් බයිසන්ටයින්හි අධිරාජ්‍යයා වූ Iවන ජස්ටයිනියන් පූජකාරාමයක් සෑදීමට අණ කළා. සීනයි කන්දේ පාමුල පිහිටා ඇති පටු නිම්නයේ ඇති මෙම පූජකාරාමය දැන් හඳුන්වනු ලබන්නේ ශා. කැතරින් කියායි. මා හා සමඟ සීනයි කන්ද බලන්න එන්න ඔබ කැමතිද?
කන්ද ගවේෂණය කිරීම
ශුෂ්ක නිම්නය හරහා අප ගමන් කිරීමෙන් පසු, අපේ බෙඩවන් ජාතික ටැක්සි රියැදුරා පූජකාරාමයට මඳක් පහළින් අපව ඇරලවා යයි. දර්ශන පථය රළු ගල්වලින් යුක්ත වන අතර, ගස් දෙපැත්තෙන්ම පිහිටා ඇති පූජකාරාමයේ බිත්ති හා නිල්වන් උයන ඇසට ප්‍රිය ගතියක් ඇති කරයි. නමුත් අපි එහි වැඩි වෙලා නැවතී ඉන්නේ නැහැ; මන්දයත් අපේ ප්‍රධාන ඉලක්කය වන්නේ, දකුණට පිහිටි කඳු මුදුනට නැඟීමත් රැය එහි ගත කිරීමත්ය. “මෝසෙස්ගේ කන්ද” යන අරුත් ඇති ජෙබෙල් මූසා යන මෙම කඳු මුදුන පොදුවේ සීනයි කන්ද හා සමඟ මතක් කරනු ලබයි.
පැය දෙකක ගමනකින් පසු, සීනයි කන්දේ හැතැප්ම දෙකක් දක්වා විහිදී ඇති කඳුවැටිය යා කරන කුඩා නිම්නය වන එලියාගේ ද්‍රෝණියට අප පැමිණෙනවා. සම්ප්‍රදායට අනුව, ළඟපාත ගුහාවකදියි එලියාට දෙවිගේ හඬ ඇසුණේ. (1 රාජාවලිය 19:8-13) අවුරුදු 500ක් පැරණි වූ සයිප්‍රස් ගසක් යට අප ගිමන් හරිනවා. එතැන පෞරාණික ළිඳක්ද තිබෙනවා. මිත්‍රශීලී බෙඩවන් ජාතිකයෙකුගෙන් ලැබෙන පිරිසිදු සිසිල් ජලය බීමෙන් අප කොයිතරම් ආස්වාදයක් ලබනවාද!
සාමාන්‍ය සංචාරක ගමන් මඟ අනුව යන අපි, මුදුන දක්වා දිවෙන ගල්වලින් සෑදූ පඩි 750ක් නැඟීමට තවත් විනාඩි 20ක් පුරා දැඩි උත්සාහයක නිරත වෙයි. එතැන කුඩා පල්ලියක් දක්නට ලැබෙනවා. දස පනත ලැබූ ස්ථානයේ එය තනා ඇති බව පූජකයන්ගේ දැඩි විශ්වාසයයි. දෙවි පසු කර යද්දී, මෝසෙස් සැඟවුණායයි කියැවෙන ගලේ විවරයක් පල්ලියට අළලා තනා තිබෙනවා. (නික්මයාම 33:21-23) නමුත් මේ ස්ථානවල නිශ්චිත පිහිටීම කවුරුවත්ම දන්නේ නැහැ. කෙසේ හෝ, එතැන් සිට බලද්දී නෙත ගැටෙන දර්ශන ඇත්තෙන්ම චමත්කාරජනකයි! අපට පහතින් ඇති විසිරුණු ගල්වලින් ගහන වූ තැනිතලාවට පිටුපසින් ඈතට විහිදී යන රතු පැහැගත් කළුගලින් යුත් කඳු පෙළ දෙස අප මුව අයාගෙන බලා සිටිනවා. නිරිත දිගට වෙන්න, මීටර් 2,637ක උසක පිහිටා ඇති එම ප්‍රදේශයේ උසම ස්ථානය වන ජෙබෙල් කැතරින් නැතිනම් කැතරින් කන්ද දැකගත හැකියි.
යාබදව ඇති රාස් සාෆ්ට්සාෆා නැඟීම
ඊළඟ දවසේ රාස් සාෆ්ට්සාෆා නැඟීමට අපට හැකි වෙයි. ජෙබෙල් මූසා පිහිටා ඇත්තේද මෙම කඳු මුදුන පිහිටා ඇති කඳු වැටියේමයි. එම කඳු වැටියේ රාස් සාෆ්ට්සාෆා උතුරට වෙන්න උසින්ම පිහිටා ඇති අතර, එය ජෙබෙල් මූසාට මඳකට පහළින් පිහිටයි. රාස් සාෆ්ට්සාෆා, ආර් රාහ්හාහි තැනිතලාවේ සිට ඍජුව ඉහළට ඇදෙයි. යෙහෝවාගෙන් දස පනත ගැනීමට මෝසෙස් ඉහළට නැඟුණ විට, ඊශ්‍රායෙල් කඳවුරු බැඳගත්තේ මෙතන, එනම් ආර් රාහ්හාහි විය හැකියි.
වඩා කුඩා කඳු හා නිම්න හරහා අප රාස් සාෆ්ට්සාෆා වෙත ළං වෙද්දී, අතහැර දමා ගිය දෙව් මැදුරු, උයන්, වතුර පොකුණු පසු කරගෙන ගියා. ඒවා, පූජකයන් හා තාපසයන් සිය ගණනක් මෙහි ගුහාවල හා ගල් කුටිවල වාසය කළා යන්න සනාථ කරන ලකුණුයි. දැන් ඉතිරිව සිටින්නේ එක පූජකයෙක් පමණි.
උස් කම්බි වැටකින් වට කර තිබෙන වත්තක සිටින මෙම පූජකයාව අපට දැන් මුණගැසෙයි. අපට ඇතුල් වීමට අවසර දීමෙන් පසු, තමා මේ වත්තේ අවුරුදු පහක කාලයක් වැඩ කර ඇති බවත්, සතියකට එක් වතාවක් පමණක් පූජකාරාමයට බසින බවත් ඔහු පැහැදිලි කරයි. පූජකයා අපට රාස් සාෆ්ට්සාෆා වෙතට යන ගමන් මඟේ විස්තර කියා දෙන අතර, අප කෙසේ හෝ ඉහළට ළඟා වේ. අන්තිමේදී, අවටින් කඳු වැටි දකින්න ලැබෙන ස්ථානයකට අප පැමිණෙනවා. අපට පහළින් ඇති ආර් රාහ්හාහි පුළුල් තැනිතලාව එතැන් සිට දැකබලාගත හැකියි. දෙවි ඉදිරියේ සිටීමට මෝසෙස් ඊශ්‍රායෙල් කඳවුරෙන් කන්දට නැග්ගේ මෙතැනින් බව මෙම ඉහළ ස්ථානයේ සිටි මගේ කල්පනාවට නැඟෙයි. මෙම විශාල වූ පෙදෙසේ “කන්ද ඉදිරිපිට” ඉශ්‍රායෙල්වරුන් මිලියන තුනක් එක්රැස්ව සිටීමද මගේ මනසේ ඇඳෙයි. එමෙන්ම යාබදව ඇති ගැඹුරු දෙණියක් දිගේ මෝසෙස් දස පනත ලිවූ ගල් ලෑලි දෙකත් තම අතේ ඇතුව එන හැටිත් මගේ මනසේ මැවෙයි.—නික්මයාම 19:2; 20:18; 32:15.
ඉර බැසීමත් සමඟම, අපේ වෙහෙසකාරි නැඟීමෙන් යම් ප්‍රතිඵලයක් අත් වූවායයි සිතමින්, අපේ කූඩාරමට අප ඇතුල් වෙනවා. කුඩා ගින්නකින් විහිදුණු ආලෝකයේ ආධාරයෙන්, මෝසෙස් මෙහි අද්දුටු දේ නික්මයාම පොතේ කොටස්වලින් කියවමින් අප එදා දවස අවසන් කරයි. පසුවදා මධ්‍යාහ්නයට කිට්ටු වෙද්දී, අප ශා. කැතරින් පූජකාරාමයේ දොරට තට්ටු කරන්න පටන්ගත්තා.
පූජකාරාමයේ ඇතුළත
ක්‍රිස්තියානි ලෝකයේ ඓතිහාසික ගොඩනැඟිලි අතුරින් ශා. කැතරින් පුජාකාරාමයට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. ග්‍රීක ඕතඩොක්ස් පූජකයන් අතින් පාලනය වන මෙය ප්‍රසිද්ධ වී ඇත්තේ එය පිහිටා ඇති ස්ථානය නිසාම පමණක් නොව, නමුත් එහි ඇති රූප හා පුස්තකාලය නිසාත්ය. ශාන්ත කැතරින්හි ඉතිහාසය ගත් කල, එය කොතරම් හුදෙකලාව තිබුණාද කිවහොත්, අමුත්තන්ගේ පැමිණීම කලාතුරකින් වූ එකක් මෙන්ම කැමැත්තෙන් පිළිගත් එකක්ද වුණා. පූජකයන් අමුත්තන්ව වැලඳගෙන ඔවුන්ව සුහද ලෙස සිපගෙන, ඔවුන්ගේ පාද පවා සෝදයි. පූජකාරාමයේ අඩි 45ක් උසැති තාප්පවලට පිටුපසින් ඇති අනේකවිධ ගොඩනැඟිලි අතරේ නිදහසේ සක්මන් කිරීමට අමුත්තන්ට හැකි වුණා. ‘සතියක්, මාසයක්, ඕගොල්ලන් කැමති කාලයක් මෙහෙ ඉන්න’ කියායි නිතර නිතර පූජකයන්ගේ මුවින් පිට වූයේ. කොහොම වුණත්, දැන් ඉතිරිව සිටින පූජකයන් 12දෙනා හෝ ඊට සමාන ගණනක් ආගන්තුක සත්කාරය පිරිනමන්නේ මසුරු ලෙසයි. මන්දයත් වර්තමානයේ 50,000ක් තරම් අමුත්තන් ප්‍රමාණයක් වාර්ෂිකව පූජකාරාමයට පැමිණෙන නිසයි.
මෙතරම් විශාල පිරිසක් බැහැදැකීම නිසා, බැහැදැකීමට හැකි වේලාවන් දවසට පැය තුන බැගින් සතියට දින පහක් දක්වා සීමා කර තිබෙනවා. සංචාරකයන්ට බැහැදැකිය හැකි වන්නේ පූජකාරාමයෙන් සුළු කොටසක් පමණයි. මෝසෙස්ගේ ළිඳ තිබෙන මළුව (තම බිරිඳ වීමට සිටි කාන්තාව මෝසෙස් දුටු තැනය කියා පුරාවෘත්තවල කියැවේ), අන්‍යරූප විලාශ වීමේ පල්ලිය (ක්‍රියාකාරිව පවතින ලෝකයේ පැරණිතම පල්ලිය කියා කියැවේ) හා පොත් සැලක් මේවාට අයත් වේ. දැවෙන පඳුරේ දෙව් මැදුරත් සංචාරකයන්ට පෙන්වයි. දෙවිගේ මහිමය මෝසෙස් පළමු වරට දුටුවේ එතැනදීයයි පූජකයන් සංචාරකයන්ට පවසයි. මෙම ස්ථානය ලෝකයේ තිබෙන ශුද්ධවත්ම ස්ථානය ලෙස පූජකයන් සලකන බැවින්, දෙවි අණ කළ පරිදි මෝසෙස් කළාක් මෙන්, අමුත්තන්ද තමන්ගේ පාවහන් ගළවා දැමිය යුතු බව ඔවුන්ට කියයි.—නික්මයාම 3:5.
වැඩි සැලකිල්ලට භාජන වූ පූජකාරාමයේ සුප්‍රසිද්ධ පුස්තකාලය බැලීමට නොහැකි වීම හේතුවෙන් අප කනගාටුවට පත් වුණා. අපට පමණක් අවසර දීමට කළ අපේ ඉල්ලීමට ප්‍රතිචාරය දක්වමින් මඟපෙන්වන්නා මෙසේ ප්‍රකාශ කරයි: “අපෝ කොහොමටවත් බැහැ! පූජකාරාමය තව ටිකකින් වහනවා.” කොහොම වුණත්, සුළු මොහොතක් යන්න මත්තෙන්, කණ්ඩායමට ඈතින් අපි ඉන්න කොට, මඟපෙන්වන්නා අපේ කනට කොඳුරමින් මෙසේ පවසනවා: “මේ පැත්තෙන් එන්න!” ලනු යටින් යමින්, පඩි පෙළ නඟිමින්, අප දෙස පුදුමයෙන් මෙන් බලා සිටින ප්‍රංශ පූජකයෙක්ව පසු කර යමින්, අප ලෝකයේ තිබෙන ඉපැරණිතම හා සුප්‍රසිද්ධම පුස්තකාලයට ඇතුල් වෙයි! එහි කෘතීන් 4,500ක් පමණ ඇති අතර ඒවා ග්‍රීක, අරාබි, සිරියැක් හා ඊජිප්තු භාෂාවලින් යුක්තයි. එක් කලකදී, එහි අමිල වූ කොඩෙක්ස් සයිනයිටිකස්ද තිබුණා.—18වන පිටුවේ කොටුව බලන්න.
දුක්බර සමුගැනීමක්
පූජකාරාමයේ තාප්පවලට එපිටින් පිහිටා ඇති ඇටකටු තැන්පත් කළ ස්ථානය බැලීමෙන් අපේ ගමන අවසානයකට පැමිණියා. එහි පූජකයන්ගේ හා තාපසයන්ගේ පරම්පරා ගණනාවක ඇටකටු ගොඩගසා තිබූ අතර, කකුලේ, අතේ ඇටකටු වෙනමත් හිස්කබල් වෙනමත් ගොඩගසා තිබුණා. හිස්කබල් සිවිලිමට වදින තරමට ගොඩගසා තිබුණා. ඒත් ඇයි එවන් භයංකර තැනක් අවශ්‍ය වන්නේ? පූජකයන්ට තිබුණේ ඉතා කුඩා සොහොන් පිටියක් පමණයි. එහෙයින් කෙනෙකු මළ විට, භූමදාන කිරීමට තැනක් ලැබෙන පරිද්දෙන්, මුලින්ම තැන්පත් කළ මිනි වළෙන් ඇටකටු අරන් දැමීම සිරිත වී තිබෙනවා. යම් දවසක, ඇටකටු තැන්පත් කළ ස්ථානයේ සිටින සෙසු අයගේ ඇටකටු අතරට තමන්ගේ ඇටකටුත් එකතු වේවිය යන්න පූජකයන්ගේ බලාපොරොත්තුවයි.
එහෙයින් යම්දුරකට දුක්බර මතක සටහනක් සමඟින් අපේ ගමන නිමාවකට පැමිණියා. නමුත් ඒ සඳහා දැරූ ප්‍රයත්නය ඇත්තෙන්ම වටියි. විශිෂ්ට දර්ශනයන් හා සුප්‍රසිද්ධ පූජකාරාමය දැකබලා ගැනීමෙන් අපි ඉමහත් සතුටට පත් වුණා. නමුත් පිට වී යෑමත් සමඟ, අපව පුදුමාකාර අන්දමින් විමතියට පත් කළ කාරණය වූයේ, අපත්, පාළුකරයේ ස්වර්ණය වන සීනයි කන්දේ, අවුරුදු 3,500කට පෙර මෝසෙස් හා ඉශ්‍රායෙල් ජාතිය ගමන් කළ එම මාර්ගවලම ගමන් කරන්ට ඇතිය යන විශ්වාසයයි.—දායකයෙකුගෙන්.
[18වන පිටුවේ කොටුව]
විශිෂ්ට සොයාගැනීමක්
පසුගිය ශතවර්ෂයේදී, දැන් කොඩෙක්ස් සයිනයිටිකස් හැටියට හඳුන්වනු ලබන හතරවන ශතවර්ෂයට අයත් ග්‍රීක් බයිබල් අත්පිටපතක් සොයාගනු ලැබුවා. එය සොයාගනු ලැබුවේ, බයිබල් විශාරද කොන්ස්ටන්ටීන් වොන් ටිෂන්ඩෝර්ෆ් විසින් ශා. කැතරින් පූජකාරාමයේදීයි. එහි ග්‍රීක් සෙප්ටූඅජින්ට් අනුවාදයෙන් ගත් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි රැසක් අඩංගු වන අතර, මුළු ග්‍රීක් ශුද්ධ ලියවිල්ලද ඊට ඇතුළත් වෙයි. ග්‍රීක් ලියවිල්ලේ සම්පූර්ණ පිටපත් වශයෙන් ඇති පැරණිතම අත්පිටපත මෙයයි.
“අසමසම මාණික්‍යය” ලෙස ඔහු හැඳින්වූ මෙහි කරුණු ප්‍රකාශයට පත් කිරීමට ටිෂන්ඩෝර්ෆ්ට උවමනා වූවා. ටිෂන්ඩෝර්ෆ්ට අනුව, රුසියානු ක්සාර්වරයාට මෙම අත්පිටපත් දිය යුතු බව ඔහු පූජකයන්ට පැවසුවා. මන්දයත් ග්‍රීක් ඕතඩොක්ස් පල්ලියේ රැකවලා හැටියට එම ක්සාර්වරයාට ඔහුගේ බලය පූජකාරාමයේ යහපත තකා යොදාගැනීමට හැකි නිසයි.
ටිෂන්ඩෝර්ෆ්ගේ ලියුමේ පරිවර්තනයක් පූජකාරාමයේ බිත්තියේ දැකගත හැකියි. ‘අත්පිටපත ඉල්ලූ සැණින්, සීනයි කන්දේ ශුද්ධ වූ පැවිද්දන්ට එය හානියකින් තොරව හොඳ තත්වයකින් යළි භාර දෙන’ බව එහි පොරොන්දු වී තිබෙනවා. කොහොම වුණත්, අත්පිටපතේ වටිනාකම හෝ එය ප්‍රකාශයට පත් කිරීමේ වැදගත්කම පූජකයන්ට නොවැටහුණු බවයි ටිෂන්ඩෝර්ෆ්ට හැඟුණේ. එය ශා. කැතරින් වෙතට යළි භාර දී නැහැ. කෙසේ හෝ අන්තිමේදී, අත්පිටපත සඳහා රුසියානු ආණ්ඩුවෙන් පූජකයන්ට රූබල් 7,000ක් ලැබුණද, ඔවුන්ගේ සාහිත්‍යමය වස්තූන් අනාවරණය කිරීමට විශාරදයන් දරන ප්‍රයත්නයන් දෙස ඔවුන් තවමත් වපර ඇහෙනුයි බලන්නේ. අන්තිමේදී කොඩෙක්ස් සයිනයිටිකස් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන් නතර වුණා. අදටත් එය එහි දක්නට ලැබේ.
පුදුමයට කරුණක් වන්නේ, 1975දී, ශා. කැතරින්හි තාප්ප යටින්, රූප හා පාච්මන්ට් ඇතුළත් පෙට්ටි 47ක් සොයාගනු ලැබීමයි. තවද මේවා තුළ කොඩෙක්ස් සයිනයිටිකස්හි අඩුව තිබූ කොළ දුසිමකට වැඩි ගණනක් අන්තර්ගත වුණා. දැනටත් මේ කොළ, විශාරදයන් සුළු පිරිසකට ඇරෙන්න, බහුතරයකට දැකබලාගත නොහැකියි.
[17වන පිටුවේ සිතියම]
සීනයි කන්ද
[හිමිකම් විස්තර]
NASA photo
Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.
[16, 17 යන පිටුවල පින්තූරය]
ආර් රාහ්හාහි තැනිතලාව හා රාස් සාෆ්ට්සාෆා
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.
[18වන පිටුවේ පින්තූරය]
ශා. කැතරින් පූජකාරාමය හා ජෙබෙල් මූසා
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ අනුග්‍රහය ඇතුව ගත් ඡායාරූපයකි