කරදිය කිඹුලා—උරග ලොවේ රාජයා
ප’ලාවුහි පිබිදෙව්! වාර්තාකරුගෙන්
පැසිෆික් සාගරයේ ප’ලාවුහි දූපත් රාශියේ පාලන බලය බොහෝ අවස්ථාවලදී අභියෝගයට ලක්ව තිබෙනවා. පිලිපීනයට කිලෝමීටර් 890ක් නැඟෙනහිරට වෙන්න පිහිටා ඇති මෙම නිවර්තන දූපත් මුලින්ම පාලනය කළේ ස්පාඤ්ඤය මගිනුයි. කාලයාගේ ඇවෑමෙන් පර්මනිය විසින් එය අල්ලාගත්තා. අනතුරුව එය ජපානයේ පාලනයට නතු වුණා. ජපානයට පසුව, 1994 වන තුරු එක්සත් ජනපදය එම ප්‍රදේශ පාලනය කළ අතර, එතැන් සිට ප’ලාවු ජනරජය ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණා.
එහෙත් මේ සෑම ගැටුමක්ම පැවති අතරතුරේදී, දූපතේ තිබූ වෙනත් ආකාරයේ පාලන ක්‍රමයකට එකදු අභියෝගයක්වත් එල්ල වූයේ නැහැ. ඒ කුමක්ද? එනම් කරදිය කිඹුලා, නැතහොත් ප’ලාවුහි උරග ලොවේ රාජයාගේ පාලනයයි. කොහොම වුණත්, දැන් දැන් කිඹුලාගේ සිහසුන යම් තාක් දුරකට අස්ථාවර වී තිබෙනවා. ඇත්තෙන්ම කියනවා නම්, පර්යේෂකයන් පවසන ආකාරයට, “මෙම වර්ගයා බේරාගැනීමට ඉක්මන් හා දැඩි පියවර නොගත්තොතින්, ප’ලාවුහි සත්ව ලෝකය අතරෙන් කරදිය කිඹුලාද නැති වී යා හැකියි.”
ඇයි ප’ලාවුහි කිඹුලා කරදරේ වැටී ඉන්නේ? එමෙන්ම ඌට උරග ලෝකයේ රාජයා යන පදවිය දිය හැක්කේ මන්ද?
හකු!
කරදිය කිඹුලාට දී ඇති විද්‍යාත්මක නාමය වන්නේ ක්‍රොකොඩයිලස් පෝරෝසිස්ය. එහි අරුත වන්නේ “කිඹුලා අධික රළුබවකින් යුක්තයි” යන්නයි.a මෙම නමෙන් අඟවන්නේ උගේ හොම්බේ ඇති කොරළ ගතියෙන් යුත් මොල්ලියි. ඇස්වල සිට නාස්පුඩු දක්වා මෙම මොල්ලිවලින් සෑදුණු රේඛා දෙකක් දිවයනවා. හොම්බ ත්‍රිකෝණාකාර වන අතර එය මුළු ශරීරයේ දිගින් හතෙන් පංගුවක් පමණ වේ. ප’ලාවු කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇති එක් කිඹුලෙකුගේ විශාල ඔළුවේ පුළුල්ම කොටස පළලින් සෙන්ටිමීටර් 40ක් වෙයි!
යටි හක්ක ඇරෙන විට, ඔබට දැකගත හැකි වන්නේ, දැඩි බලයකින් හා වේගයකින් යුතුව වැසිය හැකි හකුවලට සවිව ඇති තියුණු දත්ය. හක්කේ ඇති එකම දුර්වල කොටස වන්නේ ඒවා ඇරීමට යොදාගැනෙන මාංශ පේශියි. එක් මූලාශ්‍රයකට අනුව, මීටර් දෙකක් දිග කිඹුලෙකුගේ කට වසා තැබීමට රබර් පටියක් ප්‍රමාණවත් වෙයි.
මනාව නිර්මාණය කළ
කිඹුලාගේ හිස විශාලත්වයෙන් වැඩි වනවා පමණක් නොව, ජලජ ලෝකයට සරිලන පරිද්දෙන් එය මනා අයුරින්ද නිර්මාණය කොට ඇත. තව කිට්ටුවෙන් (ඒ කියන්නේ පුළුන් පිරවූ එකෙක් දෙස) බලන්න. එවිට ඔබට දැකගත හැකි වන්නේ, ඇස්, කන් හා නාස්පුඩු හිසේ ඉහළටම වෙන්න පිහිටා ඇති බවයි. කිඹුලා වතුරේ පාවෙන විට, ඒවා ජල මට්ටමට ඉහළින් තබාගැනීමට හැකි වුණත්, ඌ කට වසන විට වුණත්, කටේ තොල් නැති නිසා, ජලය කටට ඇතුල් වීමෙන් වළකාලීමට ඌට නොහැකි වීම පුදුමයට කරුණක්. ඒත්, උගුර අවහිර කරන කපාටයක් හේතුවෙන් වතුර උගුරට ඇතුල් වීම වළකාලයි. තවද වාතය නාස්පුඩු තුළින් ඇතුල් වීම නිසාත් කපාටය පසුපසින් සිරුරට ඇතුල් වන නිසාත්, උගේ කටේ වතුර පිරී තිබියදී පවා ඌට හුස්මගත හැකියි.
එතකොට වතුර යටදී පෙනීම ගැන කුමක් කිව හැකිද? ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. වතුර යටට කිමිදුණ විට, උගේ ඇස් හරහා පටකයක් නැතිනම් තෙවන ඇසිපියක් ඇති වෙයි. මෙම පටකය දෘෂ්ටියට බාධාවක් නොකර ආරක්ෂාවක් ලබා දෙයි.
රාජ ලක්ෂණ
කරදිය කිඹුලා ලෝකයේ වෙසෙන විශාලතම උරගයාය. පිරිමි සතුන් මීටර් 3.2ක දිගකට ළඟා වන විට, උන් පරිණතභාවයට පැමිණ තිබෙන නමුත්, තවත් බොහෝ කලක් යන තුරු දිගින් වැඩි වෙයි. සත්ව වාර්තා පිළිබඳ ගිනස් පොතේ (ඉංග්‍රීසියෙන්) කර්තෘ මාක් කාර්වොඩීන්, ඉන්දියාවේ වන සංරක්ෂණාගාරයක සිටින මීටර් 7ක් දිග කරදිය කිඹුලෙක් ගැන වාර්තා කළා.
කිඹුලාගේ වාසස්ථානයටද රාජ ලක්ෂණ ඇත. කරදිය කිඹුලාගේ වාස භූමියේ පරාසය වෙනත් කිසිදු කිඹුල් වර්ගයකට වඩා විශාල බව එම මූලාශ්‍රයම පෙන්නුම් කළා. කරදිය කිඹුලන් ආසියාවේ හා පැසිෆික් නිවර්තන ප්‍රදේශවල වාසය කරන අතර, එම ප්‍රදේශය, ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාවට හා එතැන් සිට ප’ලාවු දූපත් රාශිය දක්වා දිවයයි.
සන්ධිස්ථානයක්
ප’ලාවු දූපත්හි ඇති කඩොලාන කිඹුලන්ට සෙවණ, ආරක්ෂාව හා ඕනෑ තරම් ආහාර ලබා දෙයි. එසේ නම්, ප’ලාවු උන්ගේ පැටවුන් බිහි කරන හා වාසභවනය හැටියට තෝරාගැනීම ගැන අප පුදුම විය යුතු නැහැ. ඇත්තෙන්ම, 1960 ගණන්වල මෙම දූපත් රාශියේ ජීවත් වූ කිඹුලන් සංඛ්‍යාව 1,500 සිට 5,000 දක්වා වූ බව ඇස්තමේන්තු කොට තිබෙනවා.
කොහොම වුණත්, 1965 දෙසැම්බරය, ප’ලාවුහි කිඹුලන්ට සන්ධිස්ථානයක් වුණා. ඒ මාසයේදී කරදිය කිඹුලෙක්, ප’ලාවුහි ධීවරයෙකුට පහර දී මැරුවා. සති කිහිපයකට පසු, ඌව අල්ලා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කර තිබුණා. මහජනයා කොතරම් කෝපයට පත් වූවාද කිවහොත් අන්තිමේදී ඌව මරණයට පත් කළා.
“වර්ගයාට විරුද්ධව කළ සටනක්”
මෙය සිදු වී වැඩි කලක් යන්න මත්තෙන්, කිඹුල් විශේෂඥයන් වන හැරී මෙසල් හා එෆ්. වේන් කිං පැහැදිලි කළ ආකාරයට, අධිකාරීන් “ප’ලාවුහි සියලුම කිඹුලන් දුටු තැන මරාදැමීමට පියවරගත්තා. ඇත්තෙන්ම කියනවා නම්, එය එම වර්ගයාට විරුද්ධව කළ සටනක් වුණා.” ත්‍යාග ප්‍රදාන කළා; උගුල් ඇටෙව්වා. දඩයම් බෝට්ටු යොදාගැනුණා. මේ හැම දෙයක්ම කළේ උන්ව ලුහුබැඳීමටයි. වර්ෂ 1979 සහ 1981 අතර කාලයේදී, කිඹුලන් 500ත් 1000ත් අතර ප්‍රමාණයක් මරනු ලැබුවා. සතුන්ව හම ගසනු ලැබූ අතර, උන්ගේ හම විකුණුවා.
පරිණත කිඹුලන්ට තිබෙන හම් ප්‍රමාණය වැඩි නිසා, උන් විශේෂ ඉලක්කයක් වුණා. කොහොම වුණත්, දඩයම් කරන්නෙක් පරිණත ගැහැනු සතෙකුව මැරූ විට, උගේ ජීවිත කාලයේදී බිහි කළ හැකි පැටවුන් 1000 හෝ එතරම් ප්‍රමාණයක් බිහිවීමද වැළැක්වූවා. ප්‍රතිඵලයක් හැටියට, කිඹුල් ගහනය අඩුවීමට පටන්ගත්තා. එක්දහස් නවසිය අනූ ගණන්වල මුල් භාගයේදී, “ප’ලාවුහි සිටි කිඹුලන් 150කටත් වඩා අඩු වූ” බව මෙසල් හා කිං සොයාගත්තා.
කරදිය කිඹුලන්ගේ ප්‍රහාරයන් මාරාන්තික විය හැකි නිසා මිනිසුන් උන් සමඟ අවධානයෙන් යුතුව කටයුතු කිරීම සාධාරණයි. ඒ වුණත්, “අප උන් මතට ගෙනා විනාශය ගැන කල්පනා කර බලද්දී උන් අපට කර ඇති හානිය ඉතා අල්ප එකක්” බව කර්තෘ කාර්වොඩීන්ගේ අවධානයට යොමු වුණා.
වර්ෂ 1997දී එඤ්ගාර්ඩොක් වන සංරක්ෂණ කලාපය පිහිටුවනු ලැබුවා. මේ වන සංරක්ෂණ කලාපය පිහිටුවා ඇත්තේ කරදිය කිඹුලන් වෙනුවෙන්ම නොවූවත්, උන් මෙම කලාපයෙන් ප්‍රයෝජන ලබයි. එඤගාර්ඩොක් නදිය අවට ඇති මඩ වගුරු සහිත බිම්, කිඹුලන්ට සැඟවීමට හා පැටවුන් බිහි කිරීමට කියාපු තැනක්.
සමහරක් විට, කරදිය කිඹුලා ඔබ පැතූ ආකාරයේ මිතුරෙක් විය නොහැකි මුත්, ඌට කදිම රජෙකුගේ ලක්ෂණ තිබෙන බවට ඔබ එකඟ වන්නේ නැද්ද?
[පාදසටහන]
a පෝරෝසස් යන ග්‍රීක වචනයෙන් පෝරෝසිස් යන්න පැමිණෙන අතර, එහි අදහස වන්නේ, “ඝනකම” යන්නයි. තවද -ඔසස් යන ලතින් ප්‍රත්‍යයේ තේරුම වන්නේ “පිරී තිබීම” යන්නයි.
[18වන පිටුවේ කොටුව]
කිඹුල් කඳුළු
කෙනෙකු කිඹුල් කඳුළු සලනවා කීමෙන් අදහස් වන්නේ, ඔහු වංක අයුරින් දුක හෝ සංවේගය ප්‍රකාශ කරනවා යන්නයි. නමුත් කිඹුලන්ව වංචාකාරයන් හැටියට පෙන්වන්නේ ඇයි? ජාත්‍යන්තර වන සංරක්ෂණ විශ්වකෝෂයට (ඉංග්‍රීසියෙන්) අනුව, මෙසේ කීමට එක හේතුවක් විය හැක්කේ කිඹුලන් උගේ ඇස් තෙත්බරිතව තබාගැනීමයි. එහෙයින්, “කඳුළු එසේ නැතිනම් ඇසිපිය තුළ හිර වී ඇති වතුර, උගේ ඇහේ කොන්වලින් වෑස්සිය හැකියි. මෙයත්, උගේ හකුවල දැකිය හැකි සදාතනික සිනාවත් නිසා, කිඹුලන්ව වංචාකාරයන් හැටියට ජනප්‍රවාදයේ කියැවෙන්න ඇති.”
[18වන පිටුවේ කොටුව⁄පින්තූර]
කිඹුලෙක්ද ඇලිගේටරයෙක්ද?
කිඹුලෙක් හා ඇලිගේටරයෙක් අතර ඇති වෙනස කුමක්ද? පැහැදිලි ලෙස දැකිය හැකි වෙනස වන්නේ උන්ගේ දතුයි. කොටින්ම කියනවා නම්, කිඹුලෙක් උගේ හකු වසන විට, යටි හක්කේ ඇති හතරවන දත දැකිය හැකියි. කොහොම වුණත්, ඇලිගේටරයෙක්ගේ උඩු හක්ක මගින් එය වැසෙයි.
[පින්තූර]
කිඹුලා
ඇලිගේටරයා
[හිමිකම් විස්තර]
F. W. King photo
[17වන පිටුවේ පින්තූර]
බලන්නකො මේ දත් දිහා!
[හිමිකම් විස්තර]
Koorana Crocodile Farm, Rockhampton, Queensland, Australia අනුග්‍රහයෙනි
© Adam Britton, http://crocodilian.com
[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Australian International Public Relations අනුග්‍රහයෙනි