අත් පා අහිමි වුණත් අර්ථවත් ජීවිතයක්
“කඳු නඟින්නා නැවතත් කඳු මුදුනට.” එක් පුවත්පතක් එසේ සඳහන් කළේ ටොම් විටක’ එවරස්ට් ගිරි මුදුන තරණය කළ විටයි. ඉතා උස් වූ එම ගිරි ශිඛරය බොහෝදෙනෙක් තරණය කර තිබුණත්, පාදයක් නොමැතිව එය ජයගත් පළමු වැන්නා වූයේ විටක’යි! විටක’ගේ පාදය අහිමි වූයේ රිය අනතුරකිනුයි. නමුත් කෘත්‍රිම පාදයකට ස්තුතිවන්ත වන්න, ඔහුට තම විනෝදාංශයේ යෙදීමට නැවතත් වරම් හිමි වුණා. ඒ හා සමාන උපකරණ නිසා අත් පා අහිමි වූ දහස් ගණනකට අර්ථවත් ජීවිතයක් භුක්ති විඳීමට මං සැලසී තිබෙනවා. අත් පා අහිමි වූවන් දුවනවා, පැසි පන්දු ක්‍රීඩා කරනවා හෝ බයිසිකල් පදිනවා දැකීම ඇත්තවශයෙන්ම, තවදුරටත් අසාමාන්‍ය දෙයක් වන්නේ නැහැ.
මුලින්ම නිම වූ කෘත්‍රිම අත් පා වූයේ, සරල ආකාරයකට තැනූ ලී පාද සහ යකඩ කොකුයි. නමුත් යුද්ධය දහස් ගණනක්ව අබ්බගාතයන් කිරීමත් සමඟ ඒවායේ දියුණුවක් එළි දැක්කා. දහසයවන ශතවර්ෂයේ සිටි ප්‍රංශ ජාතික ආම්බෘආස් පරේ නමැති යුද හමුදා ශල්‍ය වෛද්‍යවරයෙක්ට මුල්ම අදියරේ නියම කෘත්‍රිම අත් පා හඳුන්වා දීමේ ගෞරවය හිමිවීම පුදුමයට කරුණක් නොවෙයි. අදදින කෘත්‍රිම අත් පා සඳහා ද්‍රාව උපකරණ, සංකීර්ණ දණහිස් සන්ධි, නම්‍යසුලු කාබන් කෙඳිවලින් තැනූ පාද, සිලිකන්, ප්ලාස්ටික් සහ ඉහළ තාක්ෂණයේ නිපැයුම් යොදාගන්නා නිසා බොහෝ මිනිසුන්ගේ සිහින සැබෑ කරමින් ඔවුන්ට වඩාත් ස්වාභාවික ලෙස සහ වඩාත් පහසුවෙන් ඇවිදීමටත්, චලනය වීමටත් හැකි වී තිබෙනවා. මයික්‍රො ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ දියුණුව හේතුවෙන් කෘත්‍රිම අත් පා වඩාත් ස්වාභාවික ලෙස ක්‍රියා කරවීම සඳහා ඉඩ ලැබී තිබෙනවා. පෙනුමෙනුත් කෘත්‍රිම අත් පා දියුණු වී තිබෙනවා. කෘත්‍රිම අත් පාවලට, අතැඟිලි සහ පා ඇඟිලි ඇතුළත් වන අතර, ඇතැම් ඒවායේ නහර පවා පෙනෙන්න තිබෙනවා. පිළිකාවක් නිසා පාදයක් අහිමි වූ මෝස්තර නිරූපිකාවකට කෘත්‍රිම පාදයක් සවි කළ අතර, එය කොතරම් ස්වාභාවික ලෙස දිස් වූවාද කියනවා නම්, නිරූපිකාවක් ලෙස ඇයට එම වෘත්තියේ දිගටම නියැලීමට හැකි වුණා.
මානසික ආකල්පය වැදගත්
එහෙත් මානසික සෞඛ්‍යය පිළිබඳ ප්‍රවීණ වෛද්‍යවරියක් වන එලන් වින්චෙල් මෙසේ අවවාද කරනවා: “අතක් පයක් අහිමි වීමක් වැනි අර්බුදයකට ඔබට තනියම මුහුණ දීමට සිදු වන විට එය ඔබට සෑම පැත්තකින්ම එනම් ශාරීරිකව, චිත්තවේගීයව, මානසිකව සහ අධ්‍යාත්මිකව විශාල අභියෝගයක් වෙනවා.” තුවාලයක් හේතුවෙන් මස් කුණුවීම නිසා පාදයක් අහිමි වූ විලියම්ව සැලකිල්ලට ගන්න. ඔහු මෙසේ පවසනවා: “ජීවිතයේ ඇති වන ඕනෑම අභියෝගයක් ජයගැනීමට තිබෙන ප්‍රධාන සාධකයන්ගෙන් එකක් තමයි අපේ මානසික ආකල්පය. මම කවදාවත් මගේ ආබාධිත තත්වය අවාසියක් හැටියට සැලකුවේ නැහැ. ඒ වෙනුවට, මගේ අනතුරෙන් පස්සේ විඳින්න සිදු වූ ඕනෑම පසුබැසීමක් සම්බන්ධයෙන් මම ඒකාන්ත ආකල්පයක් තියාගෙන හිටියා.” ඒකාන්ත ආකල්පයක් තිබෙන අයට, සර්ව අශුභවාදී අයට වඩා, අත් පා අහිමි වීමකට හොඳින් සකස් වීමේ හැකියාව තිබෙන බව අබ්බගාතයෙක් වන එලන් වින්චෙල් පවා පිළිගන්නවා. බයිබලය පවසන ආකාරයට, “සතුටු සිත මහා ඖෂධයකි.”—හිතෝපදේශ 17:22, නව අනුවාදය.
පිබිදෙව්! වාර්තාකරු, අතක් පයක් අහිමි වීමේ තත්වයට හොඳින් සකස් වී තිබුණු ක්‍රිස්තියානීන් කීපදෙනෙකු සමඟ කතා කළා. බොහෝදෙනෙක් පැවසුවේ, තමන් අත් පා අහිමි වීම ගැන ඕනෑවට වඩා සිතීමෙන් සහ තම ආබාධිත තත්වය රහසක් වශයෙන් තබාගැනීමෙන් වළකින බවයි. වම් පාදයේ දණහිසෙන් පහළ කොටස අහිමි වූ ඩෙල් මෙසේ පවසනවා: “මේක කතා කිරීමට තහනම් විෂයන්ගෙන් එකක් කියන හැඟීම අනිත් අයට තිබුණොත්, ඒක මට මහ වදයක් වෙනවා. මම හිතන විදිහට, ඒක අනිත් අයව අපහසුවට පත් කිරීමක්.” සමහර ප්‍රවීණයන් නිර්දේශ කරන ආකාරයට, ඔබේ දකුණු අත අහිමි වී තිබෙනවා නම්, ඔබව කාට හරි හඳුන්වා දෙන විට, ඔබ ඉදිරියට ගිහින් වම් අතින් අතට අත දීමට මුල් පියවර ගත යුතුයි. එමෙන්ම කෙනෙක් ඔබේ ආබාධය ගැන විමසුවොත්, ඔහුට ඒ ගැන කියන්න. ඔබ අපහසුතාවකට පත් නොවී සිටීම අනිත් පුද්ගලයාට පහසුවක් දැනීමට උපකාරවත් වෙනවා. සාමාන්‍යයෙන්, සාකච්ඡාව ඉක්මනින්ම වෙනත් මාතෘකාවලට මාරු වෙනවා.
“සිනාසෙන්ට කාලයක්” තිබෙනවා. (දේශනාකාරයා 3:4ආ) අතක් අහිමි වූ ස්ත්‍රියක් මෙසේ පවසනවා: ‘වඩාත් වැදගත් දේ නම් ඔබේ හාස්‍ය රසය නැතිවීමට නොදී තබාගැනීමයි! අපි හැමවිටම මතක තබාගත යුතු දෙයක් වන්නේ, අපට අප ගැනම තිබෙන ආකල්පය, අප කෙරෙහි ලෝකයා දක්වන ආකල්පය තීරණය වීමට විශාල වශයෙන් දායක වන බවයි.’
“අඬන්ට කාලයක්”
තම පාදය අහිමි වීමෙන් පසු, ඩෙල් මුලින්ම තමාටම මෙසේ කියාගත්තා: “දැන් නම් මට කිසිම බලාපොරොත්තුවක් නැහැ. මගේ මුළු ජීවිතේම ඉවරයි.” ඇන්ගෝලාවේදී, ෆ්ලොරින්ඩූ සහ ෆ්ලොරියනු යන දෙදෙනාගේම පාද බිම් බෝම්බ නිසා අහිමි වුණා. තමා දවස් තුනකුත්, රෑ තුනක් ඇඬුව බව ෆ්ලොරින්ඩූ පවසනවා. ඒ හා සමානව, ෆ්ලොරියනුටත් තම චිත්තවේගයන් සමඟ පොරබදන්න සිදු වුණා. ඔහු මෙසේ ලියනවා: “එතකොට මට අවුරුදු 25ක් විතරයි. හැම දෙයක්ම එක රැයකින් වෙනස් වුණා. ඊළඟ දවසේ, මට දෙපයින් හිටගන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. මම හොඳටම කලකිරුණා. ඒ වගේම අධෛර්යයට පත් වුණා.”
“අඬන්ට කාලයක්” තිබේ. (දේශනාකාරයා 3:4අ) ඔබට විශාල අහිමි වීමකින් වේදනා විඳීමට සිදු වී තිබෙන විට, කාලයක් සොවින් සිටීම සාමාන්‍ය දෙයක්. (සසඳන්න විනිශ්චයකාරයා 11:37; දේශනාකාරයා 7:1-3.) “ශෝකවීමෙන් මිදීමට තිබෙන මාර්ගය නම් එයට මුහුණ දීමයි” කියා එලන් වින්චෙල් ලියනවා. සැමවිටම, සංවේදනීය ඇහුම්කන් දෙන්නෙකුට හැඟීම් ප්‍රකාශ කිරීම බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙනවා. (හිතෝපදේශ 12:25) නමුත් ශෝකය සදහටම පවතින්නේ නැහැ. සමහර අය අතක් පයක් අහිමි වීමෙන් ඇති වන කම්පනයෙන් පසුව තාවකාලිකව, චිත්තවේගීය වශයෙන් බොහෝ සේ චංචල වීමට, විවේචනාත්මක වීමට, කාන්සාවන් ඇතිවීමට එසේ නැතිනම් හැඟීම් සිතේ හිර කරගෙන සිටීමට නැඹුරු විය හැකියි. කොහොමවුණත් සාමාන්‍යයෙන් මෙම හැඟීම් තුනී වී යනවා. එසේ සිදු නොවුණොත්, රෝග ලක්ෂණවලට පැහැදිලි හේතුවක් දැක්විය නොහැකි විෂාදය උද්ගත වී තිබිය හැකි අතර, සාමාන්‍යයෙන් මෙයට වෛද්‍යමය මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා. පවුලේ සාමාජිකයන් සහ මිත්‍රයන් තම ප්‍රේමනීය තැනැත්තාට උපකාරයක් අවශ්‍ය වන ඕනෑම රෝග ලක්ෂණයක් කෙරෙහි සාවධානව සිටිය යුතුයි.a
දෙපයම අංශභාග වී සිටින ඩබ්ලිව්. මිචෙල් මෙසේ ලියනවා: “අප සියලුදෙනාටම සැලකිල්ල දක්වන මිනිසුන් අවශ්‍යයි. තමා, මිතුරන් කණ්ඩායමකින් සහ පවුලකින් වට වී සිටින බව කෙනෙක්ට හැඟුණොත් හැම දෙයක්ම වගේ දරාගන්න පුළුවන්. ඒත් තනියෙන්ම ජීවිත සටනක නිරත වන පුද්ගලයෙක් සුළු පසු බැසීමකින් පවා බාධාවට ලක් වෙන්න පුළුවන්. එමෙන්ම, මිත්‍රත්වයක් නිකම්ම ඇති වන්නේ නැහැ. එය ක්‍රියාශීලී ලෙස ආරම්භ කළ යුතු අතර, ක්‍රියාශීලීව පවත්වාගෙන යා යුතුයි. නැති නම් එය මැලවී යනවා.”—හිතෝපදේශ 18:24 සසඳන්න.
අත් පා අහිමි වුණත් අර්ථවත් ජීවිතයක්
අත් පා අහිමි වූ බොහෝදෙනෙකුට තම දුබලතාවන් තිබුණත් අර්ථවත් ජීවිත ගත කිරීමට හැකි වී තිබෙනවා. උදාහරණයකට, රසල් ඉපදුනේ වම් පාදයේ උඩු කොටස පමණක් ඇතුවයි. අවුරුදු 78ක් වන ඔහු දැන් හැරමිටියක් පාවිච්චි කළත් තවමත් ඔහු නොකඩවා ව්‍යායාම්වල යෙදෙන අතර තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා. ඔහු ස්වභාවයෙන්ම ප්‍රිය මනාප පුද්ගලයෙකු නිසා, රසල්ව දිගු කාලයක් පුරා හඳුන්වන්නේ හැපි (සතුට) කියන නාමයෙනුයි.
දෙවන ලෝක මහා යුද්ධයේදී පාදයක් අහිමි වූ ඩග්ලස්, නවීන පන්නයේ කෘත්‍රිම පාදයක ආධාරයෙන් ඇවිදිනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වශයෙන් ඔහු ස්ථාවර පුරෝගාමියෙකු, එනම් පූර්ණ කාලීන එවැන්ජලිස්තවරයෙකු ලෙස අවුරුදු 6ක් පුරා සේවය කරමින් සතුට භුක්ති විඳ තිබෙනවා. තම පාදය අහිමි වූ විට මුළු ජීවිතයම ඉවරයි කියා සිතපු ඩෙල්ව ඔබට මතකද? ඔහුත් පුරෝගාමියෙකු ලෙස තෘප්තිමත් ජීවිතයක් ගත කරන අතර, ඔහුට තමාව නඩත්තු කරගැනීමට හැකියාවක් තිබෙනවා.
එහෙත් දුගී රටවල හෝ යුද්ධයෙන් දෝංකාර දෙන රටවල සිටින අත් පා අහිමි වීමකට ගොදුරු වූවන් එයට මුහුණ දෙන්නේ කොහොමද? ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පවසනවා: “අද පවතින යථාර්ථය නම් ආබාධිත ජනයාගෙන් සුළු ප්‍රතිශතයකට පමණක් ආධාර ලැබීමයි.” බොහෝදෙනෙකුට එහා මෙහා යෑමට, සැරයටි සහ බාල වර්ගයේ කිහිලි කරු මත රඳන්න සිදු වී තිබෙනවා. එසේවුණත්, සමහර අවස්ථාවලදී උපකාර තිබෙනවා. ඇන්ගෝලාවේ බිම්බෝම්බවලට ගොදුරු වූ ෆ්ලොරින්ඩූ සහ ෆ්ලොරියනු යන දෙදෙනාටම ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ ස්විට්සර්ලන්ත රජය මගින් කෘත්‍රිම පාද ලැබුණා. ෆ්ලොරින්ඩූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය සභාවේ උපස්ථායක සේවකයෙකු ලෙස සතුටින් සේවය කරන අතර, ෆ්ලොරියනු වැඩිමහල්ලෙකු මෙන්ම පූර්ණ කාලීන එවැන්ජලිස්තවරයෙකු ලෙස සේවය කරනවා.
ආබාධිතයන් ගැන සැලකිලිමත් වන සංගමයක් මේ කාරණය හොඳින් මෙලෙස පැහැදිලි කරනවා: “ආබාධිතයන් බවට පත් වී ඇත්තේ අධෛර්යයට පත් වූ අය පමණයි!” සිත්ගන්නාසුලු කාරණයක් වන්නේ ආබාධිතයන්ට ධෛර්යය ලබා දීමෙහිලා බයිබලය විශාල කාර්යභාරයක් ඉටු කර තිබීමයි. “මම සුවය ලබමින් සිටියදී බයිබල් සත්‍යය ඉගෙනගැනීම මට පුදුමාකාර විදියට උපකාර වුණා” යයි ඩෙල් පවසනවා. ඒ හා සමානව රසල් මෙසේ පවසනවා. “දුෂ්කරතාවන්වලදී බයිබලය මත පදනම් වූ මගේ බලාපොරොත්තුව මට සැමවිටම උපකාරවත් වී තිබෙනවා.” එසේ නම්, ආබාධිතයන් සඳහා බයිබලයේ තිබෙන්නේ කුමන බලාපොරොත්තුවක්ද?
[පාදසටහන]
a 1990 මාර්තු 15 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) කලාපයේ, “විෂාදයෙන් පෙළෙන්නන්ට සතුට යළි ලබාගැනීම සඳහා උපකාර කළ හැකි අයුරු” නමැති ලිපිය බලන්න.
[8වන පිටුවේ කොටුව]
මනෝදෘෂ්ටික වේදනාව
මනෝදෘෂ්ටික ගාත්රා සංවේදනය ලෙස යොමු දක්වන්නේ, අහිමි වූ අත හෝ පාදය ඇත්තටම තවමත් තිබෙන්නා සේ දැනෙන හැඟීමටයි. එය, ශල්‍ය කර්මයෙන් පසු අත් පා අහිමි වූවන්ට දැනෙන සාමාන්‍ය හැඟීමක් වන අතර, එම හැඟීම කොතෙක් සැබෑ ලෙස දැනෙන දෙයක්ද කියනවා නම්, අත් පා අහිමි වූවන් සඳහා තිබෙන පොත් පිංචයක මෙසේ සඳහන් වෙනවා: “ඔබේ කෘත්‍රිම පාදය නොමැතිව ඇඳකින් හෝ පුටුවකින් නැඟිටින විට, මනෝදෘෂ්ටික සංවේදනයෙන් පරෙස්සම් වන්න. ඔබේ පාදය නොමැති බව මතක් කරගැනීම සඳහා සැමවිටම පහත බලන්න.” දෙපයම අහිමි වූ එක් රෝගියෙක් තම වෛද්‍යවරයාට අතට අත දීම සඳහා හිටගන්න ගිය විට, ඇයව බිමට ඇද වැටුණා!
තවත් ගැටලුවක් වන්නේ මනෝදෘෂ්ටික ගාත්රා වේදනාවයි. මෙය ඉවත් කළ පාදයෙන් පැමිණෙන්නාක් මෙන් දැනෙන සැබෑ වේදනාවක් වෙනවා. මනෝදෘෂ්ටික වේදනාවේ තරම, ආකාරය සහ කාල සීමාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. සන්තෝෂයට කරුණක් නම්, මනෝදෘෂ්ටික සංවේදනය සහ මනෝදෘෂ්ටික වේදනාව යන දෙකම, සාමාන්‍යයෙන් කාලයාගේ ඇවෑමෙන් අඩු වී යෑමයි.
[6වන පිටුවේ පින්තූරය]
අබ්බගාත වූ බොහෝදෙනෙකුගේ ජීවිත, නූතන කෘත්‍රිම පාදයන් හේතුවෙන් වඩාත් ප්‍රීතිමත් එකක් වෙනවා
[හිමිකම් විස්තර]
Photo courtesy of RGP Prosthetics
[7වන පිටුවේ පින්තූරය]
ශෝකවීම බරපතළ අහිමි වීමකට දක්වන සාමාන්‍ය ප්‍රතික්‍රියාවක්
[8වන පිටුවේ පින්තූරය]
ආබාධිත බොහෝදෙනෙක් අර්ථවත් ජීවිතයක් භුක්ති විඳිනවා