යෞවන අය අසති . . .
කොහොමද මම සමච්චල් කිරීමට හොඳින් මුහුණ දෙන්නේ?
තම තුල්යයන්ට වඩා වෙනස් ආකාරයකින් ක්‍රියා කරන හෝ ඇඳුම් අඳින යෞවනයන් කෲර සමච්චලයේ ගොදුරක් විය හැකියි. බොහෝවිට, සෙසු යෞවනයන්ට වඩා තම හැසිරීම බොහෝ සෙයින් වෙනස් වන ක්‍රිස්තියානි යෞවනයන් සම්බන්ධයෙන් මෙය සැබෑවක් වෙනවා. ක්‍රිස්තුස් තම සැබෑ අනුගාමිකයන් සම්බන්ධයෙන් මෙසේ පැවසුවේ නැද්ද?: “ඔව්හු මට පීඩාකළෝනම් නුඹලාටත් පීඩාකරන්නෝය.”—යොහන් 15:20.
යෙහෝවාගේ සාක්ෂිකාර යෞවනයන්ට මෙය බලපාන්නේ කොහොමද? ඇතැම් නිවාඩු දින නොපැවැත්වීම නිසා ඔවුන්ගෙන් සමහරෙක් අවමානයට ලක් වෙන අතර, වෙනත් අය කොඩියට ආචාර නොකිරීම නිසා විවේචනයට ලක් වෙනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි නොකිරීම, අවංක වීම සහ බයිබලයේ සදාචාර ප්‍රතිපත්ති රැකීම ආදිය හේතුවෙන් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් තදබල හිරිහැරවලට පවා ලක් වෙනවා.
මේ තත්වය අලුත් දෙයක් නොවෙයි. ඇත්තෙන්ම, පළමු ශතවර්ෂයේ ජීවත් වූ ක්‍රිස්තියානීන්ට ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවා: “ඔවුන් [අන්‍ය ජාතීන්, NW] සමඟ . . . නුඹලා නොයන බැවින් ඔව්හු ඊට පුදුමව නුඹලාට අපහාසකරති.” (1 පේතෘස් 4:4) එය වෙනත් පරිවර්තනවල, ඔවුන් “ඔබට අපහාසාත්මක නම් පටබඳිනවා” (නොක්ස්) හෝ “ඔවුන් ඔබට නිග්‍රහ කරනවා” (ටුඩේස් ඉංග්ලිෂ් ව’ෂන්) ලෙස යොදා තිබෙනවා.
ඔබ කවදා හරි, ඔබේ ආගමික විශ්වාසයන් නිසා සරදමට ලක් වී තිබෙනවාද? එසේ නම් අධෛර්යය වෙන්න එපා. එය සිදු වී තිබෙන්නේ ඔබට පමණක් නොවෙයි! එමෙන්ම, ඔබේ ඇදහිල්ල නිසා සමච්චලයට ලක් වීමෙන් ඇති වන අපහසුතාව දරාගැනීමට ඉගෙනගත හැකි බව දැනගැනීමෙන් ඔබ සතුටට පත් වේවි.
ඔවුන් සරදම් කරන්නේ ඇයි
ඇතැම් අය තමන්ගේ විශ්වාසයන් සහ හැසිරීම්වලට වඩා වෙනස් විශ්වාසයන් සහ හැසිරීම් තිබෙන අයව සමච්චලයට ගන්නේ ඇයි? සමහර අවස්ථාවලදී, ආත්ම විශ්වාසයක් නැති මෙම සරදම්කරන්නන් දාමරිකයන්ට බොහෝ සෙයින් සමාන වෙනවා. තම තුල්‍යයන් ඉදිරියේ කැපීපෙනීම සඳහා ඔවුන් ඔබට කවටකම් කරනවා විය හැකියි. නමුත් ඔවුන් තනියම සිටින විටදී, ඔබව ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කිරීමට කැමැත්තක් හෝ ධෛර්යයක් තිබෙන්නේ එම සරදම්කරන්නන්ගෙන් අතළොස්සකට පමණයි.
අනිත් අතට, ඇතැම් අපහාසකරන්නන් පේතෘස් ලියූ ලෙස ‘පුදුමයට පත් වී සිටිනවා.’ ඇත්තෙන්ම ඔවුන් ඔබේ හැසිරීම් රටාව ගැන අවංකවම පුදුමයට පත් වී සිටිනවා විය හැකියි. උදාහරණයකට, ඔබ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් නම්, ඔබ ඇතැම් නිවාඩු දිනයන්ට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට සහභාගි නොවන නිසා, ඔවුන් එය අවංකවම අමුතු දෙයක් ලෙස සිතිය හැකියි. මුරණ්ඩු විරුද්ධවාදීන්ගෙන් ඔවුන්ට සාක්ෂිකරුවන් ගැන විකෘති වූ තොරතුරු පවා ලැබී තිබෙනවා විය හැකියි.
හේතුව කුමක් වුවත්, උපහාසාත්මකව පවසන වචන කන්දරාවකට මුහුණ දෙන විට, ඔබ මෙම හිතෝපදේශය සමඟ එකඟ වේවි: “කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් [නොසැලකිලිමත් ලෙස කතා කිරීමක්, NW] තිබේ.” (හිතෝපදේශ 12:18) නමුත්, එවැනි කතාවලට හවුල් වන අය බොහෝවිට එසේ කරන්නේ, ඔවුන් පුද්ගලයෙකු වශයෙන් ඔබට අකමැති නිසා නොවන බව මතක තබාගන්න. බොහෝදුරට ඔවුන් කරන්නේ, හරියටම බයිබල් හිතෝපදේශය පවසන දෙයයි. එනම් ‘නොසැලකිලිමත් ලෙස කතා කිරීමයි.’
ඒත් සරදමට ලක්වීම නිසා කඩුවෙන් අනින්නාක් මෙන් තුවාල ඇතිවීමට පුළුවන්. තොරතෝන්චියක් නැතුව පැමිණෙන අපහාසාත්මක කතා නතර කිරීම සඳහා ඇදහිල්ල පවා දීමට පවා පෙලඹීමක් ඇති වන බව ඔබට හැඟිය හැකියි. එසේ නම්, ඔබේ විශ්වාසයන් සමච්චලයට ලක් කරන විටදී එය දාරාගැනීමට හැක්කේ කෙසේද?
පිළිතුරක් දීම
ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට මෙසේ අවවාද කළා: “නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද [ගැඹුරු ගෞරවයකින් යුතුව, NW] එසේ කළයුතුය.” (1 පේතෘස් 3:15) ඔබේ ඇදහිල්ල සම්බන්ධයෙන් එවැනි පිළිතුරක් දීම සඳහා, නිවැරදි දැනුම ලබාගැනීම සහ ඔබේ විශ්වාසයන් සඳහා හේතු තේරුම්ගැනීම අවශ්‍ය වෙනවා.
කෙසේනමුත්, “ගැඹුරු ගෞරවයකින් යුතුව” නැතහොත් මූලික ඉංග්‍රීසියෙන් බයිබලය (ඉංග්‍රීසියෙන්) පවසන ආකාරයට, “උඬඟුකමකින් තොරව,” අනිත් අයට එසේ ප්‍රකාශ කරන්නත් ඔබ ඉගෙනගත යුතුයි. බයිබලය ගැන සහ එහි ඉගැන්වීම් සම්බන්ධයෙන් ඔබට තිබෙන දැනුම නිසා, අනිත් අයට වඩා ඔබ උසස් කියා සිතීමට එය සැලැස්විය යුතු නැහැ. ඊට වෙනස්ව, තම දේවසේවය සැලකිල්ලට ගනිමින් මෙසේ ලියූ ප්‍රේරිත පාවුල්ගේ ආකල්පය වර්ධනය කරගැනීමට ඔබ වෙර දැරිය යුතුයි. එනම්: “වැඩිදෙනෙකු දිනාගන්නා පිණිස සියල්ලන්ට මා දාසයෙක් කරගතිමි.”—1 කොරින්ති 9:19.
ඔබේ ඇදහිල්ල ගැන පිළිතුරක් දීමේදී ඔබට බයාදුකමක් හැඟෙනවා නම්, අධෛර්යයට පත් වෙන්න එපා. බොහෝ සාක්ෂිකාර යෞවනයන්ට ඒ ආකාරයටම හැඟී තිබෙනවා. ජමෝල් මෙසේ පවසනවා: “මම ප්‍රාථමික පාසැලේ ඉන්නකොට, මම නිවාඩු දින සමරන්නේ නැතිවීමට හේතුව හෝ කොඩියට ආචාර නොකිරීමට හේතුව මොකක්ද කියලා විතරක් නෙමෙයි, මම ගෙයින් ගෙට දේශනා සේවයේ යන්නේ ඇයි කියලවත් විස්තර කරන්න දැනගෙන හිටියේ නැහැ.” ඔහුට උපකාරවත් වුණේ කුමක්ද? “අන්තිමේදී මට මේ දේවල් පැහැදිලි කරන්න පුළුවන් වෙනකල්ම මගේ තාත්තා මට උදව් කෙරුවා. ඒකෙන් පුදුම වෙනසක් ඇති වුණා.” ඔබට ඔබේ විශ්වාසයන් අනිත් අයට පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා නම්, ඇතැම්විට, දෙමාපියෙකුගෙන් හෝ ක්‍රිස්තියානි සභාවේ සිටින වෙනත් මේරු සාමාජිකයෙකුගෙන්, දෙවිගේ දැනුම පිළිබඳව මනා අවබෝධයක් අත් කරගැනීම සඳහා ඔබට සහය ලබාගන්න පුළුවන්.—එපීස 3:17-19.
පාසැලේදී තම ඇදහිල්ල විවෘතව ප්‍රකාශ කිරීම සඳහා ධෛර්යය උපදවාගැනීමට පෞද්ගලික බයිබල් අධ්‍යයනය වැඩසටහනක් තමාට උපකාර වූ බව 16හැවිරිදි සාක්ෂිකාර යෞවනියක් පැවසුවා. ඇය මෙසේ පිළිගන්නවා: “කලින්, මගේ පන්තියේ යාළුවෝ සාක්ෂිකරුවෙක් වීම ගැන මට උසුලු විසුලු කරද්දී, මම මොනව කියන්නද කියලා දැනගෙන හිටියේ නැහැ. ඒත් දැන් මම පුර්ණකාලීන එවැන්ජලිස්තවරියක් හැටියට ඉස්සරට වඩා හුඟාක් වැඩියෙන් බයිබලය අධ්‍යයනය කරන නිසා, දැන් මට උත්තරයක් දෙන්න පුළුවන්. මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල අලුත්ම ලිපි අධ්‍යයනය කිරීම, මට මගේ ඉස්කෝලේ ළමයින්ට මගේ විශ්වාසයන් ගැන කතා කරන්න උපකාරවත් වෙනවා.”
කෙසේවෙතත්, තත්වයන් කිසිවිටකවත් එක සමාන නොවන බව ඇත්තයි. එනිසා පවතින තත්වයට අනුව ප්‍රතිචාරය වෙනස් කරන්න සිදු වෙනවා. කොහොමවුණත්, අකාරුණික ලෙස පවසන වචන මගින් ඔබව කුපිත කරවන විට, කිසිවිටකත් “නපුරට නපුර” කිරීම සුදුසු වන්නේ නැහැ. (රෝම 12:17-21) සමච්චලයට පවසන දේට විරුද්ධව කොතෙක් දක්ෂ ලෙස යමක් පැවසුව බවක් පෙනෙන්න තිබුණත්, එයින් සිදු වන්නේ ගින්නට පිදුරු දැමීමක් පමණක් වන අතර, තවදුරටත් සරදම් කිරීමට එය දිරිගැන්වීමක් පවා විය හැකියි. එනිසා අපහාසය ගණන් නොගෙන සිටීම වඩා හොඳ බව ඇතමෙක් වටහාගෙන තිබෙනවා.
ඇතැම් අවස්ථාවලදී, එනම් නරක අදහසකින් තොරව සිනහ උපදවීම සඳහා පමණක් යමක් පවසන අවස්ථාවලදී, පැවසූ දේට අමනාප නොවී, ඔවුන් සමඟ එයට සිනහ වීම පවා නුවණට හුරු විය හැකියි. (දේශනාකාරයා 7:9) තමා පැවසූ දෙයෙහි එතරම් බලපෑමක් නැති බව හෝ කොහෙත්ම බලපෑමක් නොමැති බව සමච්චල්කරන්නා දකින විට, ඔහු බොහෝදුරට හිරිහැර කිරීම නවතා දැමීමට ඉඩ තිබෙනවා.—සසඳන්න, හිතෝපදේශ 24:29; 1 පේතෘස් 2:23.
නිර්භීතව කතා කිරීම
නමුත් ඔබේ විශ්වාසයන් ගැන කෙටි, උපායශීලී පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට යෝග්‍ය අවස්ථාවන් තිබිය හැකියි. මෙය, 13 හැවිරිදි දැරියක් අත්හදා බැලුව අතර, එයින් පුදුමාකාර ප්‍රතිඵල ලැබුණා. ඇය මෙසේ පැවසුවා: “මම පන්තියට යනකොට, ළමයි කට්ටියක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව විහිළුවට ගන්න පටන්ගත්තා. මට කතා කරන්න ඕනෙ වුණත්, ඒගොල්ලෝ එතනින් අයින් වෙලා මට හිනා වෙන්න පටන්ගත්තා. ඒත්, එක ළමයෙක් ඒ විදියට හැසිරුණේ නැහැ.” සාක්ෂිකාර ශිෂ්‍යාව, මෙසේ පැහැදිලි කරනවා: “ජේමි කියන ගැහැනු ළමයා මා දිහාවට හැරිලා මට කිව්වා, පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැකa කියන පොත එයා ගාව තියෙනවා කියලා. ඒ පොතේ වැඩි හරියක් කියවලා තිබුණු බවත්, අපේ විශ්වාසයන් ගැන වැඩිදුර තොරතුරු දැනගන්න ආශාවෙන් සිටිය බවත් එයා කිව්වා. මම ජේමිත් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා.” ඇගේ අද්දැකීම මගින් ධෛර්යවත් වී සාක්ෂිකාර යෞවනිය අනිත් ළමයින් සමඟත් කතා කිරීමට පටන්ගත්තා. “මම උනන්දුව දැක්වූ ශිෂ්‍යයන් හතරදෙනෙකුව නොකඩවා බැහැදකින අතර, ඒ අය ඉක්මනින්ම පාඩම් කරන්න පටන්ගනී කියලා මට ස්ථිරයි” කියා ඇය පැවසුවා.
අප්‍රිකානු රටක් වන ලයිබේරියාවේ සිටින ශිෂ්‍යයෙකුට අවුරුදු කීපයකට ඉහතදී, ඒ හා සමාන අද්දැකීමක් තිබුණා. සමාජ විද්‍යාව පංතියක් තුළදී, යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් හැටියට තමා විශ්වාස කරන්නේ මැවීම කෙරෙහි මිස පරිණාමය කෙරෙහි නොවන බව ඔහු ගෞරවාන්විතව පැහැදිලි කළා. මුලින්ම ඔහුගේ පංතියේ ළමයින් බොහෝදෙනෙක් එය දැඩි ලෙස විවේචනය කළා. නමුත් ගුරුවරයා ඔහුගේ විශ්වාසයන් පංතියට ප්‍රකාශ කරන්න ඔහුට ඉඩ දුන් අතර, ඉන්පසු, ජීවය—මෙහාට පැමිණියේ කොහොමද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද? (ඉංග්‍රීසියෙන්) යන පොත ගුරුවරයා ලබාගත්තා.b
පොත කියවීමෙන් පසු ගුරුවරයා පංතියට මෙසේ පැවසුවා: “මේ පොත වෙන කිසිම පොතකට සමාන කරන්න බැහැ. ඒක, මම මේ තාක් කියවලා තියෙන මැවීම ගැන තිබෙන හොඳම විද්‍යාත්මක පොත්වලින් එකක්.” ඉන්පසු, මැවීම පොත, පංතියේ අච්චු පොතත් සමඟ ඊළඟ වාර දෙකේදී යොදාගැනීමට තමා අදහස් කරන බව ගුරුවරයා පැහැදිලි කළ අතර, සාක්ෂිකාර ශිෂ්‍යයාගෙන් පිටපත් ලබාගැනීමට ඔහු පංතියට මඟ පෙන්නුවා. පොත් දුසිම් ගණනක් බෙදා දුන් අතර, ශිෂ්‍යයන් වැඩිදෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් තිබූ තම දෘෂ්ටිය වෙනස් කරගත්තා!
පරීක්ෂාවට ලක් වූ ඇදහිල්ල ශක්තිමත් ඇදහිල්ලක් වේ
බයිබලය මත පදනම් වූ ඔබේ ස්ථාවරයට හවුල් වන්නේ හෝ අගය කරන්නේ නැති අය නිසා, ඇතැම් අවස්ථාවලදී ඔබ සම්පූර්ණයෙන්ම යටපත් වී සිටන බවක් හැඟෙන්න පුළුවන් බව ඇත්තයි. (ගීතාවලිය 3:1, 2, සසඳන්න.) එනිසා, ඔබේ ඇදහිලි සහ විශ්වාසයන්වලට හවුල් වන අයගේ මිත්‍රත්වය සෙවීම ඥානවන්තයි. (හිතෝපදේශ 27:17) නමුත් එවැනි ඇදහිල්ලක් තිබෙන යෞවනයන් ඔබේ පාසැලේ හෝ ඔබේ අසල්වාසීන් අතරේ නැතිනම් තත්වය කුමක්ද?
තත්වය මෙය නම්, ඔබේ උතුම්ම මිත්‍රයා යෙහෝවා දෙවි බව සහ ඔබට උපකාර කිරීමට ඔහුට හැකි බව මතක තබාගන්න. අවුරුදු ගණනාවක සිට සාතන් නමැති යක්ෂයාගේ සමච්චල් කිරීමේ මූලික ඉලක්කය වී තිබෙන්නේ ඔහුයි. එනිසා, ඔබ ඇදහිල්ලේ ස්ථිරව සිටින විටදී, එය යෙහෝවාගේ හෘදය සතුටු කරන්න යන බවට අපට ස්ථිර විය හැකියි. එවැනි ක්‍රියා මාර්ගයක් තුළින් ‘ඔහුට නින්දාකරන්නා වන සාතන්ට උත්තර දීම සඳහා’ ඔහුට අවස්ථාව සලසා දෙනවා.—හිතෝපදේශ 27:11.
කාලෙන් කාලෙට ඔබේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් වන බව අපේක්ෂා කළ යුතුයි. (2 තිමෝති 3:12) නමුත් පරීක්ෂණයට ලක් වූ අපේ ඇදහිල්ල, “ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන” බව ප්‍රේරිත පේතෘස් අපට සහතික කරනවා. (1 පේතෘස් 1:7) එනිසා ඔබ, ඔබේ ඇදහිල්ල නිසා නින්දාවට ලක් වන විට, එය ඔබේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට සහ ඔබේ විඳදරාගැනීම නිරූපණය කිරීමට ප්‍රස්තාවක් ලෙස සලකන්න. විඳදරාගැනීම “අනුමැතිය ලත් තත්වයකට” මඟ පාදන බව ප්‍රේරිත පාවුල් ලිව්වා. (රෝම 5:3-5, NW) ඔව්, යෙහෝවාගේ අනුමැතිය අත් කරගැනීමට තිබෙන ආශාව, ඇදහිල්ල නිසා ඔබ සමච්චලයට ලක් වන විට එය දරාගැනීම සඳහා ප්‍රබල දිරිගැන්වීමක් ඔබට සපයනවා!
[පාදසටහන්වල]
a Watchtower Bible and Tract Society of New York Inc., මගින් ප්‍රකාශිතයි.
b Watchtower Bible and Tract Society of New York Inc., මගින් ප්‍රකාශිතයි.
[13වන පිටුවේ පින්තූරය]
ඔබේ ඇදහිල්ල ගැන පිළිතුරක් දීමට ඔබට හැකිද?