පරිසරය—ඔබේ සෞඛ්‍යයට එහි ඇති බලපෑම
ලෝක සම්පත් ආයතනයේ ආචාර්ය වෝල්ට රීඩ් සමස්ත ලෝක පරිසර පද්ධතීන් මත මිනිසාගේ බලපෑම ගැන මෑතකදී එජා ගුවන් විදුලියට කියා සිටියේ, මිනිසා එම චක්‍රයන්ට “කොතරම් දරුණු ආකාරයකින් බලපානවාද කිවහොත්, මහා පරිමාණයේ” බලපෑමක් දැන් ඒවා තුළ උද්ගත වී ඇති බවයි. ප්‍රතිඵලයක් හැටියට මේ පරිසර විනාශය, ලෝක ව්‍යාප්ත සෞඛ්‍ය තර්ජනයකට දායක වන බව ආචාර්ය රීඩ් පවසනවා. වර්ෂ 1998—99 ලෝක සම්පත් (ඉංග්‍රීසියෙන්) නමැති පොත පුනරීක්ෂණය කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප්‍රකාශිත අපේ ග්‍රහ ලෝකය (ඉංග්‍රීසියෙන්) නමැති සඟරාවේ ලිපියක් මිනිසුන්ගේ සෞඛ්‍යයට ඇති කළ හැකි සමහර තර්ජන මෙසේ ලැයිස්තු ගත කරනවා. පහත දැක්වෙන්නේ ඉන් සමහරකි.
□ සෑම වසරකම ළමුන් 40 ලක්ෂයක් පමණ මරා දැමීමට හේතු වන ශ්වසන ආසාදනවලට, ගෘහස්ථ සහ එළිමහන් වාත දූෂණය සම්බන්ධව තිබෙනවා.
□ පිරිසිදු ජලයේ සහ සනීපාරක්ෂාවේ හිඟකම හේතුවෙන්, සෑම වසරකම ළමුන් 30 ලක්ෂයක ජීවිත බිලිගන්නා පාචන රෝග පැතිරෙනවා. උදාහරණයක් හැටියට, බොහෝ කලකට පෙර ලතින් අමෙරිකාවෙන් කොලරාව තුරන් කර දැමුවත්, 1997දී පමණක් නැවතත් එය 11,000දෙනෙකුව මරා දැමුවා.
ලෝකයේ දිළිඳුම ප්‍රදේශවල සෑම දිනකම දරුවන් 30,000කට වඩා වැඩි දෙනෙක්, පරිසරය හා බැඳි රෝග හේතුවෙන් මියයන බව වාර්තා වෙනවා. වසරේ සෑම දිනකදීම 30,000දෙනෙක් මියයෑම නිකම් සිතා බලන්න. එනම්, ජම්බෝ ජෙට් යානා 75ක ඇති සියලුම ආසන සංඛ්‍යාව පිරවීමට තරම් සෑහෙන සංඛ්‍යාවකි එය!
කෙසේවෙතත්, සෞඛ්‍යය කෙරෙහි බලපාන පරිසර තර්ජනය සීමා වී ඇත්තේ දියුණු වෙමින් පවතින රටවලට පමණක් නොවෙයි. අපේ ග්‍රහ ලෝකය සඳහන් කරන්නේ, “යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ සිටින මිනිසුන් දසකෝටියකට වැඩි ප්‍රමාණයක් තවමත් වායු දූෂණයට නිරාවරණය වී සිටින” බවයි. එය ඇදුම රෝගයේ ශීඝ්‍ර නැඟීමකට රුකුලක් වෙනවා. මේ අතර, වැඩිවන්නා වූ ජාත්‍යන්තර ගමනාගමන සහ වෙළඳාම සංවර්ධිත ලෝකය තුළ අලුත් ආසාදිත රෝග 30ක් පමණ ඉස්මතු වීමට හේතු වී තිබෙනවා. කලින් මර්දනය කළ රෝග “වඩා දරුණු ලෙස යළි පැමිණ තිබෙන” බව සඟරාව තවදුරටත් වාර්තා කරනවා.
ඛේදජනක දෙය නම්, පරිසරය හා බැඳි මෙවැනි රෝග බොහොමයක් දැනට පවතින තාක්ෂණය මගින් සහ සාපේක්ෂ වශයෙන් අඩු වියදමින් වලකාලීමට හැකියාව තිබීමයි. උදාහරණයක් හැටියට, සියලුදෙනාටම සනීපාරක්ෂාව සහ පිරිසිදු ජලය ලැබෙන්න සැලස්වුවහොත්, සෞඛ්යයාරක්ෂාව සම්බන්ධයෙන් විශිෂ්ට වර්ධනයක් අත් කරගත හැකියි. මේ ඉලක්කය අත් කරගැනීමට කොතරම් මුදලක් වැය වේවිද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1998 මිනිස් සංවර්ධන වාර්තාවට අනුව සියලුදෙනාටම පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව සැපයීමට අරාබි ඩොලර් 11ක් වැය වන බව එජා ගුවන් විදුලිය වාර්තා කරනවා. ඇත්තෙන්ම, මෙය යුරෝපීයයන් වසරකදී අයිස් ක්‍රීම් කෑම සඳහා වැය කරන මුදලටත් වඩා අඩු ප්රමාණයකි!
[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඡායාරූපය: Casas, Godo-Foto