යෞවන අය අසති . . .
අම්මා මෙච්චර අසනීපයෙන් ඉන්නේ ඇයි?
ඇල්ගේ තාත්තා පිළිකාවකින් මියගියා.a නැවත නැඟිටීමක් පිළිබඳව බයිබලය දෙන පොරොන්දුව නිසා කෙසේ හෝ පාඩුව දරාගන්න ඇල්ට හැකි වුණා. නමුත් ඔහුගේ අම්මාටත් පිළිකාවක් ඇති බව දැනගත් විට එය හරියට නපුරු සිහිනයක් වගෙයි දැනුණේ. අම්මත් නැති වී යනවා යන සිතුවිල්ල පවා ඇල්ව ත්‍රාසයට පත් කළා. ‘ඇයි මගේ අම්මම ලෙඩ වුණේ?’ කියා ඔහු ඔහුගෙන්ම අසාගත්තේ මහත් වේදනාවෙන්.
“අමෙරිකානුවන් දශලක්ෂ 60කට වැඩි සංඛ්‍යාවක් . . . තම ප්‍රියයන්ගේ අසනීප හෝ අබල දුබලතාවට මුහුණ දෙනවා” කියා වෛද්‍ය ලෙනාඩ් ෆෙල්ඩර් කියනවා. ෆෙල්ඩර් තවදුරටත් මෙහෙම කියනවා: “සෑම දවසකම, අමෙරිකානු කම්කරුවන්ගෙන් හතරෙන් එක් අයෙකුට අසාධ්‍ය තත්වයට පත් වන තම දෙමාපියන්ව [හෝ ප්‍රේම කරන වෙනත් කෙනෙක්ව] බලාගැනීමේ අමතර වගකීම දරන්න සිදු වෙනවා.” ඔබ සිටින්නේ එවන් තත්වයක නම්, ඔබ තනි වී නැහැ. කෙසේවෙතත්, ඔබ ප්‍රේම කරන කෙනෙක් අසනීප වෙනවා දැකීම තැතිගන්වන මෙන්ම වේදනාසහගත දෙයක්. එවැනි තත්වයක් සමඟ ඔබට කටයුතු කළ හැක්කේ කෙසේද?
මගේ දෙමාපියා අසනීප වූයේ ඇයි?
හිතෝපදේශ 15:13 මෙහෙම කියනවා: “සිතේ ශෝකයෙන් ආත්මය බිඳෙයි.” ඔබේ දෙමාපියෙක් අසනීප වූ විට චිත්තවේගීය හැඟීම් බොහොමයක් සමඟ පොරබදින්න සිදු වන එක සෑහෙනදුරට ස්වාභාවිකයි. උදාහරණයක් හැටියට, ඔබේ දෙමාපියන්ගේ තත්වය ගැන ඔබට වරදසහගතභාවයක් දැනෙනවා ඇති. සමහරවිට, ඔබ සහ ඔබේ දෙමාපියා අතර එකට පෑහීම පිළිබඳ දුෂ්කරතා තිබෙනවා වෙන්න පුළුවන්. සැර විවාදයක් දෙකක් ඇති වුණා වෙන්න පුළුවන්. දැන් ඔබේ දෙමාපියා ලෙඩ වෙලා. එය යම් තාක් දුරකට ඔබේ වරද නිසායයි ඔබට හැඟෙන්න පුළුවන්. පවුල් තුළ අඩ දබර චිත්තවේගීය පීඩනයක් ඇති කළ හැකි වුණත්, බරපතළ රෝගයකට හේතුකාරකයක් වන්නේ කලාතුරකින්. විෂාදය සහ සුළු සුළු එකඟ නොවීම් ප්‍රේමනීය ක්‍රිස්තියානි පවුල් තුළ පවා ඇති විය හැකියි. එනිසා, දෙමාපියාගේ සෞඛ්‍ය ගැටලුවට වගකිව යුත්තා ඔබයයි සිතමින් වරදසහගතභාවයේ බර කරට ගැනීමට අවශ්‍යතාවක් නැහැ.
ඔබේ අම්මා හෝ තාත්තා ලෙඩ වී සිටින්නේ මූලිකව අපේ ආදි මව්පියන් වූ ආදම් සහ ඒවගේ පාපය නිසයි. (රෝම 5:12) මේ මුල් පාපය නිසා “මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා [විඳිනවා].”—රෝම 8:22.
වේදනාසහගත හැඟීම්
කාරණය එය වුණත්, ඔබ කරදරයට සහ කාංසාවට පත් විය හැකියි. ටෙරීගේ අම්මා දරුණු ප්‍රතිඵල ගෙනෙන රෝගයක් වන ලූපස් රෝගයෙන් පෙළෙනවා. ටෙරී මෙහෙම කියා සිටිනවා: “මම ගෙදර නැති හැම වෙලාවකම, අම්මට කොහොමද කියල කල්පනා කරනවා. මට හිත එකලස් කරගන්න අමාරුයි. කොහොම වුණත්, අම්ම දුක් වෙනවාට මං කැමති නැති හින්දා, මම මගේ හැඟීම් හිතේ හිර කරගෙන ඉන්නවා.”
හිතෝපදේශ 12:25 මෙහෙම කියනවා: “මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව [හෘදයේ කාංසාව, NW] නිසා එය නැමීයයි.” මේ තත්වය යටතේ සිටින තරුණයන් විෂාදයෙන් පෙළීම ඉතා පොදු දෙයක්. තමාගේ අම්මාට සුළු වැඩක්වත් කරන්න බැරි බව දුටු ටෙරී මහත් වේදනාවට පත් වුණා. තරුණ අයට විශේෂයෙන්ම ගැහැනු ළමුන්ට අමතර වගකීම් දැරීමට සිදු වන නිසා, කාංසාව තවත් වැඩි වෙනවා. මහාචාර්ය බෲස් කොම්පස් කියන ආකාරයට, “ගෙදර දොර පවිත්‍ර කිරීම සහ බාල සොයුරු සොයුරියන් බලාගැනීම වැනි පවුලේ වගකීම් ඉටු කිරීමට සිදු වන නිසා, ගැහැනු ළමුන් මානසික මෙන්ම ශාරීරික වශයෙන් පීඩනයට ලක් වෙනවා. එය ඔවුන්ට දරාගැනීමට අපහසු වන බැවින් ඔවුන්ගේ සාමාන්‍ය සමාජීය වර්ධනයට බාධා කරනවා.” සමහර නහඹරයන් තමන්ගේම ලෝකයේ තනි වෙන්නේ, දොම්නස මුසු වූ සංගීතයට ඇහුම්කන් දීමෙනුයි.—හිතෝපදේශ 18:1.
තමන්ගේ දෙමාපියා මියයාවි යන බයද පොදුවේ පවතින්නක්. ටෙරී පවුලේ එකම දරුවා වන අතර, අම්මා තනි මාපියෙක්. ටෙරීගේ අම්මා රෝහලට ගිය සෑම මොහොතකම, අම්මා ආයේ එන එකක් නැතැයි යන භයෙන් ටෙරී ඇඬුවා. ටෙරී මෙහෙම කියනවා: “අපි දෙන්නාට අපි දෙන්නා විතරයි. මගේ හොඳම යාළුවාව නැති වෙනවාට මම කැමති නැහැ.” නහඹර ගැහැනු ළමයෙක් වන මාර්තා ඒ දේම මෙහෙම කියනවා: “මට අවුරුදු 18යි. ඒ වුණත් මට මගේ දෙමාපියන් නැති වෙයි කියලා තවමත් භයයි. එහෙම වුණොත්, තනිකමේ මහා පාළු හැඟීමක් ඇති වෙයි කියලා මම දන්නවා.” නින්දට බාධා පැමිණීම, නපුරු සිහින සහ ආහාර රටාවේ අක්‍රමිකතා යනාදිය දෙමාපියෙකුගේ අසනීපය හේතුවෙන් පොදුවේ ඇති වන වෙනත් ප්රතිඵලයි.
ඔබට කුමක් කළ හැකිද?
දැන් දේවල් දුෂ්කරබව පෙනුණත්, ඒවා දරාගන්න ඔබට පුළුවන්! ඔබ තුළ ඇති බිය සහ කාංසාවන් ඔබේ දෙමාපියන් සමඟ බෙදාගැනීමට පටන්ගන්න. ඔබේ දෙමාපියාගේ තත්වය කොපමණ බරපතළද? ඔහුව යළි සුවවීමට ඇති ඉඩ කඩ කුමක්ද? ඔබේ දෙමාපියා සුව නොවුණොත්, ඔබව රැකබලා ගැනීම සම්බන්ධයෙන් කර ඇති සැලසුම් මොනවාද? ඔබටත් අනාගතයේදී සමානම තත්වයකට මුහුණ දීමට සිදු වෙයිද? එවැනි දේවල් කතා කිරීම දෙමාපියන්ට පහසු දෙයක් නොවුණත්, ඔබ සන්සුන්ව සහ ගෞරවාන්විතව ඔවුන්ගේ උපකාරය පැතුවොත්, උපකාරය සහ සහය දීම සඳහා ඔවුන්ට කළ හැකි උපරිමය කරාවි.
ඔබේ ඒකාන්ත හැඟීම් පවා බෙදාගන්න. ඇල්ගේ අම්මා පිළිකාවක් සෑදී මියයමින් සිටියදී, එසේ කිරීමට ඔහු අසමත් වූ බව ඇල් මතක් කරනවා. ඔහු මෙහෙම කියනවා: “එයාට මම කොච්චර ආදරේද කියලා මම කිව්වේ නැහැ. එයා ඒක අහන්න ආසාවෙන් හිටියා කියලා මම දැනගෙන හිටියා. ඒත්, නහඹරයෙක් හැටියට ඒ වගේ හැඟීමක් පිට කරන්න මට අපහසුතාවක් දැනුණා. මට අවස්ථාව තියෙද්දී ඒකෙන් ප්‍රයෝජන ගත්තේ නැති නිසා, අම්මා මැරිල ටික කාලයක් ගත වුණාට පස්සේ, දැන් මට වරදසහගතභාවයක් දැනෙනවා. මගේ ජීවිතයේ වැදගත්ම පුද්ගලයා අම්මා වූ නිසා ඒ ගැන මම දුක් වෙනවා.” ඔබ ඔබේ දෙමාපියන්ට කොපමණ ආදරේද කියා කියන්න පසුබට වෙන්න එපා.
හැකි නම්, ඔබේ දෙමාපියාගේ අසනීපය ගැන ඔබව දැනුවත් කරගන්න. (හිතෝපදේශ 18:15) මේ සඳහා ඔබට උපකාර කරන්න සමහරවිට ඔබේ පවුලේ වෛද්‍යවරයාට පුළුවන් විය හැකියි. තොරතුරු හොඳින් දැන සිටීම වඩා අනුකම්පාසහගත, ඉවසිලිවන්ත සහ තේරුම්ගන්නාසුලු වීමට ඔබට උපකාර කරන්න යනවා. සමහරවිට ඔබේ දෙමාපියාගේ ශරීරයේ ඇති වන කැළැල්, හිසකේ වැටීම හෝ අධික වෙහෙස යන ශාරීරික වෙනස්කම්වලට සූදානම් වීමටත් එය ඔබට උපකාර කරන්න යනවා.
ඔබේ දෙමාපියා සිටින්නේ රෝහල්ගතවද? එසේනම්, ඔබ බැහැදකින්න යන විට ප්‍රීතිමත් සහ ගොඩනඟනසුලු ස්වභාවයක් පවත්වාගන්න. ඔබගේ කතා බහ හැකි තාක් ඒකාන්ත තලයක තබාගන්න. ඔබේ පාසැල් වැඩ සහ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් පිළිබඳව කතා කරන්න. (හිතෝපදේශ 25:25 සසඳන්න.) ඔබ ජීවත් වන්නේ, රෝගියෙකුට ආහාර පාන ඇතුළු වෙනත් පහසුකම් නෑදෑයන් විසින් සැපයීම අපේක්ෂා කරන රටක නම්, ඔබේ කොටස කන් කෙඳිරිගෑමකින් තොරව කරන්න. විනීතව, පිළිවෙළකට ඇඳ පැළඳ, හිසකෙස් සකස් කර රෝහලේ පෙනී සිටීම රෝගියාව සතුටු කරනවා පමණක් නොව, රෝහලේ කාර්ය මණ්ඩලය මෙන්ම වෛද්‍යවරුන්ට හොඳ හැඟීමක් දීමටද දායක වෙයි. මෙය ඔබේ දෙමාපියා ලබන සැලකිල්ලේ ගුණය වැඩි කිරීමටත් මඟ පෑදිය හැකියි.b
ඔබේ දෙමාපියා ප්‍රතිකාර ලබමින් සිටින්නේ නිවසේ සිටද? ඔහුට හෝ ඇයට සාත්තු සප්පායම් කිරීමේ සහය වීම සඳහා ඔබට කළ හැකි සෑම දෙයක්ම කරන්න. ගෙදර දොරේ වැඩකටයුතු තරමක් දුරට අතට ගැනීමට සතුටු වන්න. ‘දොස් නොනැඟීමෙන් සහ පරිත්‍යාගශීලී වීම’ මගින් යෙහෝවාව අනුකරණය කරන්න උත්සාහ කරන්න. (යාකොබ් 1:5, NW) දොස් නොනඟන, ශුභවාදී සහ ඒකාන්ත ආකල්පයක් විදහාපෑම සඳහා ඔබට කළ හැකි සෑම දෙයක්ම කරන්න.
ඇත්තවශයෙන්ම, ඔබට පාසැලෙන් දෙන ගෙදර වැඩ කරන්නත් තිබෙනවා. ඔබේ අධ්‍යාපන කටයුතු වැදගත් නිසා, ඒ සඳහාද කාලයක් වෙන් කිරීමට වෑයම් කරන්න. හැකි නම්, විවේකය සහ විනෝදාස්වාදය සඳහා යම් කාලයක් වෙන් කරන්න. (දේශනාකාරයා 4:6) එය ඔබව ප්‍රබෝධවත් කරන අතර, ඔබේ දෙමාපියාට වඩා හොඳ උපකාරය සපයන්නෙක් වීමට ඔබට උදව් වෙයි. අවසන් වශයෙන් කියතොත්, ඔබව හුදකලා කරගැනීමෙන් වළකින්න. අනිත් ක්‍රිස්තියානීන්ගෙන් ලැබෙන සහයෝගයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. (ගලාති 6:2) ටෙරී මෙහෙම කියනවා: “සභාවේ අය මගේ පවුල බවට පත් වුණා. වැඩිමහල්ලන් මාත් එක්ක කතා කරන්නත්, මාව දිරිගන්වන්නත් කොයිවෙලේත් සූදානමින් සිටියා. මට ඒක කිසිම දවසක අමතක වෙන්නේ නැහැ.”
ඔබේ ආත්මික සමබරතාව රැකගැනීම
ඉතා වැදගත්ම දෙය නම්, ඔබේ ආත්මික සමබරතාව පවත්වාගැනීමයි. බයිබලය පාඩම් කිරීම, රැස්වීම්වලට සහභාගි වීම සහ අනිත් අයට දේශනා කිරීම වැනි ආත්මික ක්‍රියාකාරකම්වල කඩිසරව යෙදී සිටින්න. (1 කොරින්ති 15:58) ටෙරී ග්‍රීෂ්ම මාසවල උපකාරික පුරෝගාමියක් හැටියට එවැන්ජලිස්ත ක්‍රියාකාරකම්වල වැඩි සහභාගිත්වයක් දැරුවා. ඇය මෙහෙම කියනවා: “රාජ්‍ය ශාලාවේ තියෙන රැස්වීම්වලට සූදානම් වෙන්නත් ඒවාට සහභාගි වෙන්නත් අම්මා මට කොයිවෙලේත් දිරිගැන්නුවා. ඒක අපි දෙන්නටම හොඳ දෙයක් වුණා. එයා හැම රැස්වීමකටම යන්න ආසාවෙන් සිටියත්, ඒක කරගන්න බැරි වුණු හින්දා, පස්සේ වෙලාවක ඒ ගැන අම්මාට කියන්න, මම රැස්වීම්වලට සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දුන්නා. රැස්වීම්වලට යන්න බැරි වුණු වෙලාවට ආත්මික කාරණා ගැන එයා මගෙන් ඇහුවා.”
සමාජ සේවිකාවක් ගැන කතා කරමින්, ද නියූ යෝක් ටයිම්ස්හි ලිපියක් මේ කාරණය ඉතා හොඳින් සාරාංශ කළා. මේ සමාජ සේවිකාව “දෙමාපිය අසනීප නමැති කම්පනය මැද දරුවන්ට කොපමණ හොඳින් වැඩී, සඵල වීමට පුළුවන්ද යන කාරණය ගැන සැමවිටම පුදුමයට පත් වුණා.” ඇය මෙහෙම කියනවා: “ඔවුන් තමන් තුළ තිබුණයි කියා නොදැන සිටි සමහර කුසලතා වර්ධනය කරගන්නවා. . . . මේ කම්පනය සමඟ හොඳින් කටයුතු කරන්න පුළුවන් නම්, තව බොහෝ දේවල් සමඟ සාර්ථකව කටයුතු කරන්න ඔවුන්ට පුළුවන්.”
මේ දුෂ්කර කාලපරිච්ඡේදය සාර්ථකව පසු කරන්න ඔබටත් පුළුවන්. උදාහරණයක් හැටියට, ටෙරීගේ අම්මා තමන්ගේ දේවල් බලාකියා ගැනීමට තරම් දැන් සුවයක් ලබා තිබෙනවා. සමහරවිට කාලයාගේ ඇවෑමෙන් ඔබේ දෙමාපියාත් සුවය ලබාවි. එහෙත්, මේ අතර වාරයේදී, ඔබේ ස්වර්ගීය මිතුරා වන යෙහෝවාගේ උපකාරය තිබෙන බව අමතක කරන්න එපා. “යාච්ඤා අසන [තැනැත්තා]” ඔහුයි. ඔහු ඔබේ දුක් වේදනාවලට ඇහුම්කන් දෙන්න යනවා. (ගීතාවලිය 65:2) ඔහු ඔබටත් ඔබේ දේවභයැති දෙමාපියාටත් දරාගැනීම සඳහා “සාමාන්‍යය ඉක්මවූ බලය” දෙන්න යනවා.—2 කොරින්ති 4:7, NW; ගීතාවලිය 41:3.
[පාදසටහන්වල]
a සමහර නම් වෙනස් කර තිබේ.
b වර්ෂ 1991 ජූලි 8 පිබිදෙව්! කලාපයේ “රෝගියෙකු බැලීමට යෑම—උපකාර කළ හැකි ආකාරය” යන ලිපියෙහි යෝජනා කිහිපයක් තිබෙනවා.
[16වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“මම ගෙදර නැති හැම වෙලාවකම, අම්මට කොහොමද කියල කල්පනා කරනවා”
[17වන පිටුවේ පින්තූර]
ඔබේ දෙමාපියාගේ අසනීපය පිළිබඳ කරුණු ඉගෙනගැනීම, ඔහුට හෝ ඇයට උපකාර කරන්න ඔබව සන්නද්ධ කරනවා