ලොව බිලිගත් මත්ද්‍රව්‍ය උවදුර
ස්පාඤ්ඤයේ පිබිදෙව්! වාර්තාකරුගෙන්
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හි ඉස්පිරිතාලයක අලුත උපන් දරුවෙක් යටිගිරියෙන් කෑගසයි. ඔහුව සනසවන්න හෙදියක් දැඟලුවද, ඇගේ ප්රයත්නය නිෂ්ඵල වෙයි. එම බිළිඳාගේ දරුණු වේදනාවට හේතුව? ඔහුගේ මව හෙරොයින්වලට ඇබ්බැහි වූ තැනැත්තියක්. ඔහුටත් හෙරොයින් නැතුවම බැහැ. එනිසා ඒ කුඩා ළදරුවා විරමණ ලක්ෂණවලින් පීඩා විඳිනවා. ඒ මදිවට, ඒ බිළිඳාට HIV වයිරසය බෝ වෙලා.
ලොස් ඇන්ජලිස්වල මවක් පාර වැරදී මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියකගේ අණසක යටතේ පවතින වීදියක් දිගේ ඇගේ වාහනය පදවයි. වාහනය වෙඩි වර්ෂාවකට ලක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇගේ සිඟිති දියණිය ජීවිතක්ෂයට පත් වෙයි.
කිලෝමීටර් දහස් ගණනක් ඈතින් ඇෆ්ඝනිස්ථානයේ ගොවියෙක් පොපි වගාවෙහි යෙදෙනවා. මේ වාරය හරිම සරුයි. අස්වැන්නේ සියයට 25ක වැඩිවීමක් තිබෙනවා. මෙම ගොවියාගේ පවුල ජීවිතය ගැටගසා ගන්නේ අමාරුවෙන්. කෙසේවෙතත්, පොපිවලට හොඳ මිලක් ලැබෙයි. හැබැයි, මේ ලස්සන පොපි මල් පරිවර්තනය කරන්න යන්නේ දිවි වනසා දමන හෙරොයින්වලටයි.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවල වෙසෙන බයාදු නහඹර ගැහැනු ළමයෙක් හැම සෙනසුරාදා රාත්‍රියකම ඩිස්කෝ නැටුම් ශාලාවකට යයි. කලින් ඇයට සෙනඟ එක්ක පෑහී සිටීම හරිම අභියෝගයක්. නමුත් ළඟකදී ඉඳන් “එක්ස්ටසි” කියන පෙත්තක් ගැනීමෙන් ඇයට පුදුම ආත්ම විශ්වාසයක් ලැබී තිබෙනවා. ඇය ගිලින පෙති ඕස්ට්‍රේලියාවට හොරෙන් ගෙනාවේ නෙදර්ලන්තයෙන්. හැබැයි දැන් දේශීය විද්‍යාගාරවලින් පවා ඒවා සපයනවා. එක්ස්ටසි නිසා සංගීතය වඩාත් මිහිරි වන අතර, ඇගේ බයාදු ගතියද අතුරුදහන් වෙනවා. දැන් ඇගේ පෙනුම ගැන වුණත් ඇයට තිබෙන්නේ පුදුම ආත්ම විශ්වාසයක්.
මාන්වෙල් හැඩි දැඩි ගොවියෙක්. ඇන්ඩීස් කඳුකරය අසල පිහිටි ඔහුගේ කුඩා ඉඩමේ ගොවිතැන් කරමින් ඔහු තම දිවි පෙවෙත ගෙවන්නේ දහ දුක් විඳිමින්. හැබැයි, කොකා වගාව පටන්ගත් දා සිට ඔහුට වැඩි පහසුවක් දැනුණා. මේ වගාව නතර කර දමන්න මාන්වෙල් කැමති වුණත්, ප්‍රදේශයේ කොකා වගාවට හිමිකම් කියන දරුණු මනුෂ්‍යයන්ව කෝප කරන්න ඔහු භයයි.
අප මේ දැන් ඔබ ඉදිරියේ තැබුවේ ලොව බිලිගනිමින් සිටින මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වී ඇති පුද්ගලයන් කිහිපදෙනෙකුගේ විස්තර පමණයි.a මෙම පුද්ගලයන් පාරිභෝගිකයන්, නිෂ්පාදකයන් හෝ ඊට කෙළින්ම සම්බන්ධ නැති අහිංසකයන් හෝ වේවා මත්ද්‍රව්‍ය දරුණු ලෙස ඔවුන්ගේ ජීවිත දැඩි ග්‍රහණයකට හසු කරගන්නවා කියා පැවසිය හැකියි.
මත්ද්‍රව්‍ය ගැටලුව කොතරම් පැතිරිලාද?
එක්සත් ජාතීන්ගේ මහා ලේකම් කෝෆි අන්නන් මෙසේ අදහස් පළ කරනවා: “මත්ද්‍රව්‍ය නිසා අපගේ සමාජය විනාශ වී යනවා; ප්‍රචණ්ඩකාරිත්වය වැඩි වෙනවා; ඒඩ්ස් වැනි රෝග පැතිරෙනවා. ඒ වගේම අපගේ යෞවනයන්ව සහ අපගේ අනාගතය බිඳ දමනවා.” ඔහු මෙසේද පවසනවා: “අද ලෝ වටා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් දශලක්ෂ 190ක් පමණ ඇතැයි ගණන් බලා තිබෙනවා. එක රටක්වත් මෙම උවදුරෙන් ගැළවී නැහැ. රට තුළ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම තනිවම මර්දනය කිරීමට කිසිම රටකට හිතන්නවත් බැහැ. එය සමස්ත ලෝක ගැටලුවක් වී තිබෙන නිසා, සමස්ත ලෝක ප්‍රතිචාරයක් අවශ්‍යයි.”
මෑත කාලයක සිට, නව පන්නයේ මත්ද්‍රව්‍යb හඳුන්වා දී තිබෙනවා. කෘත්‍රිම වූ මෙම රසායනික ද්‍රව්‍ය පිළියෙළ කර තිබෙන්නේ පාරිභෝගිකයා තුළ උමතුභාවයක් නැතහොත් උපරිම වින්දනයක් දැනීමට සලස්වන්නයි. මෙම නව පන්නයේ මත්ද්‍රව්‍ය ඕනෑම තැනක පාහේ අඩු මිලකට නිෂ්පාදනය කළ හැකි නිසා, ඒවා මර්දනය කරගැනීමට උත්සාහ දරන පොලිසිය කිසිවක් කර කියාගත නොහැකි තත්වයක පසු වෙනවා. කෘත්‍රිම මත්ද්‍රව්‍ය බොහෝ රටවල “සමාජය තුළ පොදුවේ පරිභෝජනය” කරන බවත්, ඒවා “ඊළඟ සියවසේ ජාත්‍යන්තර සමාජයට එල්ල වන දරුණු තර්ජනයක්” හැටියට සැලකිය යුතු බවත් මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම 1997දී අනතුරු ඇඟෙව්වා.
මෙම නවීන පන්නයේ මත්ද්‍රව්‍යත් කලින් ඒවා තරම්ම දරුණුයි. ඇත්තෙන්ම, ක්‍රැක් කොකේන් කොකේන්වලටත් වඩා ඇබ්බැහි කරවනසුලුයි. අලුත් කැනබිස්c ව්‍යාමෝහය (අමුතු දේවල් ඇසීම හා දැකීම) වැඩියෙන් සිදු කරන අතර, අයිස් යනුවෙන් හඳුන්වන නව පන්නයේ මත්ද්‍රව්‍යය දරුණුම මත්ද්‍රව්‍ය වර්ගය විය හැකියි.
මත්ද්‍රව්‍ය—මුදලට සහ බලයට මඟ
මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් සාපේක්ෂ වශයෙන් සුළුතරයක් වුවද, ඒ සංඛ්‍යාව මත්ද්‍රව්‍ය මුදලාලීන්ගේ අත්වලට පුදුම බලයක් ලබා දෙන්න ප්‍රමාණවත්. මත්ද්‍රව්‍ය මුදලාලීන් යනු මත්ද්‍රව්‍ය නිෂ්පාදනය හා බෙදාහැරීම සංවිධානය කරන අයයි. කිසිදු ප්රතිපත්තියකට ගරු නොකරන මෙම පුද්ගලයන් මිහිපිට වඩාත්ම ලාභ උපදවන ව්‍යාපාරය ලෙස හැඳින්විය හැකි ජාවාරම පිටුපස සිටිනවා. මත්ද්‍රව්‍ය ජාවාරම සමහරවිට ලොකුම ව්‍යාපාරය විය හැකියි. අන්තර්ජාතික වෙළඳාමෙන් සියයට 8ක් පමණ මත්ද්‍රව්‍ය ගනු දෙනු හා සම්බන්ධයි. ඒ කියන්නේ වාර්ෂිකව ඩොලර් 4,00,00,00,00,000ක් පමණ. මත්ද්‍රව්‍යවලින් උපයන මුදල් ලොව පුරා සැරිසරද්දී මැරවරයන් පොහොසත් වෙනවා; පොලිසිය අල්ලස් ගැනීමට පෙලඹෙනවා; දේශපාලනඥයන් තම මඩිය තර කරගන්නවා; ත්‍රස්තවාදී ව්‍යාපාරවලට වුණත් මිල මුදල් සැපයෙනවා.
මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීමට යමක් කළ හැකිද? මත්ද්‍රව්‍ය ජාවාරම ඔබේ ආදායමට, ඔබේ ආරක්ෂාවට සහ ඔබේ දරු දැරියන්ගේ දිවිවලට කොයිතාක් දුරටද බලපාන්නේ?
[පාදසටහන්වල]
a මෙම ලිපිවල, මත්ද්‍රව්‍ය කියා පවසද්දී, ඉන් වෛද්‍යමය නොවන හේතු සඳහා යොදාගන්නා නීති විරෝධීව බෙදාහරින ඖෂධවලට යොමු දැක්වේ.
b බොහෝදුරට මත්ද්‍රව්‍ය හෝ ව්යාමෝහජනක මත පනවා ඇති තහංචි මඟහරවා ගැනීමට රසායනික සංයුතිය මදක් වෙනස් කර නිෂ්පාදනය කරන ඖෂධයකි.
c කැනබිස් (කංසා) ශාකයේ වියළි කරගත් දළුවලින් මරිජුවානා සාදන අතර, එම ශාකයේම දුම්මලවලින් හෂීෂ් නිපදවනවා. මෙම නිෂ්පාදන දෙකම දල්වා දුම්පානය කෙරේ.
[4, 5වන පිටුවේ සිතියම]
(For fully formatted text, see publication)
සමස්ත ලෝක මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ ජාවාරම
ප්‍රධාන නිෂ්පාදන ප්‍රදේශ:
කැනබිස්—ශාකය (මරිජුවානා) සහ දුම්මල (හෂීෂ්)
හෙරොයින්
කොකේන්
ඊතලවලින් ප්‍රධාන වෙළඳ මාර්ගයන් දැක්වේ.
[හිමිකම් විස්තර]
මූලාශ්‍රය: එක්සත් ජාතීන්ගේ ලෝක මත්ද්‍රව්‍ය වාර්තාව
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
U.S. Navy photo