ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g99 11/8 11-14 පි.
  • සටනින් ජයගත හැකිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සටනින් ජයගත හැකිද?
  • 1999 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සැපයුමට පහර දීම
  • ඉල්ලුම අඩු කළ හැකිද?
  • යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දායකත්වය
  • සැබෑ බලාපොරොත්තුවක් සහ අරුතක්
  • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් නැවත මේසන් වැඩකරන්නෙක් වෙයි
  • ක්‍රියාකාරි සමස්ත ලෝක විසඳුමක්
  • ඔබට යම් උපකාරයක් අවශ්‍යද?
  • මත්ද්‍රව්‍ය ඔබේ දිවියට බලපාන අයුරු
    1999 පිබිදෙව්!
  • දිවි බිලිගන්නා මාරයෙක්
    1999 පිබිදෙව්!
  • මත්ද්‍රව්‍ය ඒවා අනිසි ලෙස භාවිත කරන්නේ මන්ද?
    2001 පිබිදෙව්!
  • ලොව බිලිගත් මත්ද්‍රව්‍ය උවදුර
    1999 පිබිදෙව්!
තව තොරතුරු
1999 පිබිදෙව්!
g99 11/8 11-14 පි.

සටනින් ජයගත හැකිද?

මත්ද්‍රව්‍යවලට එරෙහිව කරන සටනින් ජයගැනීම ප්‍රශංසනීය පරමාර්ථයක් වුණත්, එය පහසු කාර්යයක් කියා කොහෙත්ම පැවසිය නොහැකියි. මත්ද්‍රව්‍ය නමැති දුම්රිය ධාවනය කිරීමට ප්‍රබල එන්ජිම් දෙකක් ඉවහල් වෙනවා: එනම් ඉල්ලුම සහ සැපයුම. සියවසකට ආසන්න කාලයක ඉඳන්, ආණ්ඩු සහ පොලිසිය ඔවුන්ගේ අවධානය දී ඇත්තේ සැපයුම අඩු කිරීමටයි. ඔවුන්ගේ තර්කය සරල එකක්: එනම්, මත්ද්‍රව්‍ය නැත්නම්, ඇබ්බැහි වූවොත් නැති වෙයි යන්න.

සැපයුමට පහර දීම

මෙය පෙරදැරි කරගෙන, පොලිසියේ මත්ද්‍රව්‍ය විරෝධී කණ්ඩායම් විශාල මත්ද්‍රව්‍ය තොගයන් රාජ සන්තක කර ඇති අතර, ජාත්‍යන්තර මට්ටමින් සහයෝගයක් දැක්වීමෙන් ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව සිරභාරයට ගන්න සමත් වී තිබෙනවා. පොලිසියේ ප්‍රබල උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන්, ඇතැම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට වෙනත් ප්‍රදේශවලට පැන යෑමට සිදු වී තිබෙනවා. කෙසේවෙතත්, සමහරු තවත් ස්ථානයක අලුත් අය ඉලක්ක කරගෙන නැවතත් තම ජාවාරම පටන්ගන්නවා. එහෙම නැත්නම් වඩාත් කූට උපක්‍රම යොදාගැනීමට ඔවුන් පෙලඹෙනවා. එමනිසා, පොලිසියේ උත්සාහය ඔවුන්ව නතර කරන්නේ නැහැ. තිත්ත ඇත්ත මේකයි. එක් මත්ද්‍රව්‍ය විශේෂඥයෙක් මෙසේ පිළිගත්තා: “මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සීමාවක් නැති තරම් මුදල් තිබෙනවා. අපේ වැඩවලට අවශ්‍ය මුදල් ලබාගන්න නම්, අපට නිතරම සටන් කරන්න සිදු වෙනවා. එහෙම සිදු වන තාක් කල් ඒගොල්ලන්ව පරාජය කරන්න අපට කවදාවත් බැරි වෙයි.”

අප්‍රිකාව සහ අයිබීරියන් අර්ධද්වීපය අතර සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමේ දුෂ්කරතාව ගැන ජිබ්‍රෝල්ටා පොලිස් සේවයේ අපරාධ-මර්දන නිලධාරියෙක් වන ජෝ ඩෙ ලා රෝසා පිබිදෙව්! සමඟ පිළිසඳරක යෙදුණා. ඔහු මෙසේ පැවසුවා: “1997දී කංසා දුම්මල කිලෝ 400ක් [රාත්තල් 880ක්] විතර අප අතට පත් වුණා. මෙයින් වැඩිහරියක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අතින්ම පැහැරගත්තේ නැහැ. ඇත්තම කියනවා නම්, ඒවා මුහුදේ පාවෙද්දී නැත්නම් වෙරළට ගහගෙන ආපු වෙලාවේ තමයි සොයාගත්තේ. ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධිය හරහා හැම අවුරුද්දකම කොතරම් විශාල මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහණය වෙනවාද කියා තේරුම්ගන්න ඒක යම් අදහසක් දෙනවා. අපි රාජ සන්තක කරන්නේ මත්ද්‍රව්‍ය නමැති කැලෑවේ කොළ කිහිපයක් විතරයි. අප්‍රිකාවේ ඉඳන් ස්පාඤ්ඤය දක්වා මත්ද්‍රව්‍ය ප්‍රවාහණය කරන අයට අපගේ රේගු නෞකාවට වඩා ගොඩක් වේගයෙන් යන මෝටර් බෝට්ටු තිබෙනවා. ඒගොල්ලන්ව අත්අඩංගුවට ගන්න අවදානමක් තියෙනවා කියලා ඔවුන්ට හැඟුණොත් ඇති. මත්ද්‍රව්‍ය ටික මුහුදට විසි කරන නිසා, කළ වරදට චෝදනාවක් ඉදිරිපත් කරන්න සාක්ෂි අපට නැහැ.”

ලෝකයේ වෙනත් ප්‍රදේශවල පොලිසිය මේ හා සමාන ගැටලුවලට මුහුණ දෙනවා. සාමාන්‍ය පෙනුමක් ඇති මඟීන්, කුඩා අහස් යානා, ක’න්ටේනර් නැව්, සබ්මරීනවලින් පවා සමුද්‍රයන් හරහා හෝ පහසුවෙන් එතෙර විය හැකි දේශ සීමාවන් තුළින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරගෙන යනවා. “මත්ද්‍රව්‍ය ජාවාරමේ ලාභදායි බව නැති කිරීමට නම් ජාත්‍යන්තර මට්ටමින් සිදු වන මත්ද්‍රව්‍ය ප්‍රවාහණය අඩුම තරමින් සියයට 75ක්වත් අල්ලාගත යුතු බව” එක්සත් ජාතීන්ගේ එක් වාර්තාවක ගණනය කර තිබුණා. දැනට ජාවාරම් කරන කොකේන්වලින් අල්ලාගන්නේ සියයට 30කට නොවැඩි ප්‍රතිශතයක් පමණයි. වෙනත් මත්ද්‍රව්‍ය සඳහා ඒ ගණන ඊටත් වඩා අඩුයි.

ඉතින්, ආණ්ඩු මෙම ගැටලුවේ සුල මුලට පහර දී සියලුම කංසා අස්වනු, අබිං ලබාගන්නා පොපි මල් සහ කොකා පඳුරු විනාශ කර නොදමන්නේ මන්ද? එක්සත් ජාතීන් මෑතකදී මෙම පියවර ගැනීම නිර්දේශ කළත්, එය පහසු පියවරක්යයි කිව නොහැකියි. කංසා ඕනෑම වත්තක වගේ වගා කළ හැකියි. ඇන්ඩීස් කඳුකරයේ කොකා වගා කරන ප්‍රධාන ප්‍රදේශයක් හඳුන්වා තිබෙන්නේ “ආණ්ඩු බලයෙන් බැහැරව” පවතින ප්‍රදේශයක් හැටියටයි. අබිං සහ හෙරොයින් වැඩි හරියක්ම ගලා එන ඇෆ්ඝනිස්ථානයේ සහ බුරුමයේ පිටිසර ප්‍රදේශවල ඒ හා සමාන තත්වයන් පවතිනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කළ හැකි තවත් දෙයක් නම්, අධිඉල්ලුමක් ඇති නව පන්නයේ මත්ද්‍රව්‍ය අළෙවි කිරීමට පහසුවෙන්ම යොමුවීමයි. මේ නිසා ගැටලුව තවත් සංකීර්ණ වෙනවා. තවද ලෝකයේ ඕනෑම තැනක පාහේ මෙම කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට හොර රසායනාගාරවලට පුළුවන්.

පොලිසියේ සේවය වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීමෙන් සහ වඩාත් දැඩි සිර දඬුවම් පැනවීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කළ හැකිද? එම යෝජනාව සාර්ථක නොවන බව පෙනී යන්නේ මත්ද්‍රව්‍ය විකුණන්නන්ගේ සහ ඇබ්බැහි වූවන්ගේ අධික පිරිස පොලිස් සේවකයන් අතළොස්ස හා සැසඳූ විටයි. නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදයේ පුද්ගලයන් දශලක්ෂ දෙකක් පමණ සිරභාරයෙහි සිටිනවා. එයින් වැඩිහරියක් මත්ද්‍රව්‍ය හා සම්බන්ධ අපරාධවලටයි. එනමුත් සිරභාරය නමැති තර්ජනය මත්ද්‍රව්‍ය ගැනීමට ජනයාව අධෛර්යය කර නැහැ. මත්ද්‍රව්‍ය අළෙවිය පුළුල්ව සිදු වන සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක තත්වය කුමක්ද? අඩු වැටුපක් ලබන ඉතා සුළු සංඛ්‍යාවකින් සන්නද්ධ පොලිස් සේවය මත්ද්‍රව්‍ය රැල්ල ඉදිරියෙහි අසරණ වී සිටිනවා.

ඉල්ලුම අඩු කළ හැකිද?

මත්ද්‍රව්‍ය සැපයුම මර්දනය කිරීමට දරා ඇති ප්‍රයත්න නිෂ්ඵල වී ඇත්නම්, ඉල්ලුම අඩු කළ හැකිද? ටයිම් සඟරාව මෙම අදහස පළ කරයි: “මත්ද්‍රව්‍යවලට එරෙහිව කරන යුද්ධය පොලිසිය, අධිකරණ සහ බන්ධනාගාර සඳහා පමණක් සීමා වන ප්‍රශ්නයක් නොවෙයි. ඇත්තෙන්ම මිනිසුන්ගේ හදවත් සහ මනස් දිනාගැනීම ඊට ඇතුළත් විය යුතුයි.”

මත්ද්‍රව්‍ය උවදුර සමඟ සටන් කළ හැකි එකම අවිය අධ්‍යාපනය බව කලින් උපුටා දැක්වූ ජෝ ඩෙ ලා රෝසා විශ්වාස කරනවා. ඔහු මෙසේ පවසයි: “මත්ද්‍රව්‍ය ඇබ්බැහිය කියන්නේ සමාජය තුළින් බිහි වූ සාමාජීය ගැටලුවක්. එමනිසා අපිට සිදු වෙනවා සමාජය වෙනස් කරන්න, එහෙම නැත්නම් අඩුම තරමින් මිනිස්සු සිතන විදිහ වෙනස් කරන්න. මෙලෙස දැනුවත් කිරීමට පාසැල්, දෙමාපියන් සහ ගුරුවරුන් සම්බන්ධ කරන්න අපි උත්සාහ කරනවා. එමගින් අනතුරක් තියෙනවා කියාත්, මත්ද්‍රව්‍ය පහසුවෙන්ම ලබාගත හැකි බවත්, ඔවුන්ගේ දරුවන් පහසුවෙන්ම ඊට ගොදුරු විය හැකි බවත් ඔවුන්ට හොඳ හැටි වැටහේවි.”

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දායකත්වය

දැන් වසර ගණනාවක් පුරා, යෙහෝවාගේ සාක්ෂිකරුවන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකී සිටීමට ජනයාව දැනුවත් කිරීමේ කාර්යයෙහි නියුතුව සිටිනවා. මත්ද්‍රව්‍යවලින් සිදු වන අනතුරු ගැන දරුවන්ට කියා දෙන්න දෙමාපියන්ට උපකාරවත් වන තොරතුරු ඔවුන් පිළියෙළ කර තිබෙනවා.a තවද, ඔවුන්ගේ සේවය තුළින් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් සහ ජාවාරම් කරුවන්ව පුනරුත්ථාපනය කරන්න ඔවුන් සමත් වී තිබෙනවා.

කලින් ලිපියේ සඳහන් ආනාට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මුණගස්වනු ලැබුවේ, ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට උපකාර කිරීමේදී සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බව ඇගේ සහෝදරියට ආරංචි වූ නිසයි. ඇත්තෙන්ම ආනාට බයිබලය ගැන එතරම් උනන්දුවක් තිබුණේ නැහැ. ඒ වුණත්, අකමැත්තෙන් වුණත් ඇය සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීමකට ගියා. එහිදී අඳුරන පුරුෂයෙක්ව ඇගේ නෙත ගැටුණා. කලින් ඔහු ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්. නමුත් දැන් ඔහු තමාගේ පෙනුමත් ජීවිතයත් සම්පූර්ණයෙන් වෙනස් කරලයි තිබුණේ. ආනා මෙසේ පවසනවා: “එයාට වෙනස් වෙන්න පුළුවන් නම් මටත් පුළුවන් කියලා මට සිතුණා. මටත් බයිබල් පාඩමක් කිරීමට වූ ආරාධනය පිළිගන්න උපකාරවත් වුණේ ඔහුගේ වෙනස් වීමයි.

“මුල්ම බයිබල් පාඩම පැවැත්වූ දා ඉඳන් මම ගෙදරම ඉන්න තීරණය කළා. මම දැනගෙන හිටියා එළියට ගියොත්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයව හම්බ වෙලා ආපහු ඒ පුරුද්දට වැටෙයි කියලා. මත්ද්‍රව්‍ය ගන්න එක වැරදි කියලත්, මෙම පුරුද්දට දෙවිගේ අනුමැතිය තිබුණේ නැහැයි කියලත් මට වැටහුණා. මත්ද්‍රව්‍ය මිනිස්සුට අහිතකරව බලපාන විදිහ, මගේම පවුල එයින් පහර කෑ හැටිත් මට තේරුණා. එනමුත් මත්ද්‍රව්‍ය නමැති වහල් කඳවුරෙන් පැන යන්න මට ආත්මික ශක්තියක් අවශ්‍ය වුණා. ඉස්පිරිතාලේදී මත්ද්‍රව්‍ය විෂ මගේ ඇඟෙන් ඉවත් කරන කොට ඒක මට දරාගන්න අමාරු වුණා. මත්ද්‍රව්‍යවල බලපෑම අඩු වෙද්දී ටික කාලයකට මම මුළු දවසම නිදාගන්න එක විතරයි කෙරුවේ. කොහොම වුණත් එහෙම කරපු එක වටිනවා.”

සැබෑ බලාපොරොත්තුවක් සහ අරුතක්

කලින් ලිපියේ සඳහන් කළ ආනාගේ පුරුෂයා වන පේද්රූටත් ඒ හා සමාන අද්දැකීමක් තිබුණා. පේද්රූ මෙසේ සිහිපත් කරනවා: “මගේ අයියාගේ ගෙදර හෂීෂ් පානය කරපු දවසක, මගේ අවධානය ඇදගත් පොතක් මම දැක්කා. ඒකට අමුතු තේමාවක් තිබුණා. සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය තමයි ඒකෙ තේමාව. මම ඒක ගෙදර ගෙනිහිල්ලා කියෙව්වා. ඔක්කොම බයිබල් පදත් බැලුවා. එතකොටයි සත්‍යය හම්බ වුණා කියලා මට ස්ථිර වුණේ.

“මම බයිබලය කියවපු නිසාත්, ඉගෙනගත් දේ ගැන අනුන්ට කියන්න පටන්ගත් නිසාත්, මට ලොකු සහනයක් දැනුණා. මත්ද්‍රව්‍ය ගන්න මට තිබුණු ආශාවත් නැති වී ගියා. අවි අරං පිරවුම්හලක් මංකොල්ල කන්න තිබූ අදහස අත්හරින්නත් මම තීරණය කළා. මගේ යාළුවෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරමින් සිටියා. එනිසා, මමත් එහෙම කරන්න පටන්ගත්තා. මාස නමයක් ඇතුළත මගේ ජීවිතය වෙනස් කරල මම බව්තීස්ම වුණා. ඒ අතර කාලයේදී මගේ කලින් මිත්‍රයන් කිහිපදෙනෙක්ම මට මත්ද්‍රව්‍ය ඉදිරිපත් කළත්, ඒ මොහොතේදීම බයිබලය ගැන කතා කරන්න මම පසුබට වුණේ නැහැ. සමහර අය හොඳ ප්‍රතිචාරයකුත් දැක්වූවා. එක්කෙනෙක් එම ඇබ්බැහියෙන් මිදුණා.

“මත්ද්‍රව්‍ය ගැනීමේ පුරුද්දෙන් නිදහස් වෙන්න නම්, බලාපොරොත්තුවක් තියෙන්න ඕනෙ. ඒ බලාපොරොත්තුව මට ලැබුණේ බයිබලයෙන්. ඒක මට ජීවිතයට අර්ථයකුත්, මත්ද්‍රව්‍ය සහ ප්‍රචණ්ඩකාරි දේවල් සම්බන්ධයෙන් යෙහෝවා දරන අදහස මොකක්ද කියලත් පැහැදිලිව පෙන්නුම් කර දුන්නා. සර්වබලධාරි දෙවි ගැන ඉගෙනගන්න ඉගෙනගන්න වැඩි වැඩියෙන් සහනයක් ලැබුණු ආකාරය මගේ සිතට වැදුණා. වේදනාකාරි අතුරු ආබාධත් හැදුණේ නැහැ. පස්සේ මම පවිත්‍ර ජීවිතයක් ගත කරන අයත් එක්ක යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වල ආශ්‍රය කරපු එක මගේ අලුත් ගමන් මාර්ගය අත් නොහැරීමට රුකුලක් වුණා.”

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් නැවත මේසන් වැඩකරන්නෙක් වෙයි

කලින් ලිපියෙහි සඳහන් හෝසේ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයා දැන් නැවතත් මේසන් වැඩකරන්නෙක්. ඔහුගේ ලාභදායී ව්‍යාපාරය අත්හැරීම පහසු වුණේ නැහැ. ඔහු මෙසේ පිළිගනී: “මත්ද්‍රව්‍යවලින් සල්ලි මල්ලක්ම හම්බ කරන්න පුළුවන් වුණත්, එහෙම උපයන එක හොඳ නැහැ. තුවක්කු අරං, වේගවත් කාර් එළවන යෞවනයන්ව දැනුත් මම දකිනවා. ඒ වුණාට පවුල් කඩාකප්පල් වෙනවා. වීථිවල අපරාධ වැඩියි. ඇයි, මත්ද්‍රව්‍ය ගන්න සල්ලි ඕනෙ හින්දා ඒවාට ඇබ්බැහි වූ අය කාර්වලින්, කඩ සාප්පුවලින් සොරකම් කරනවා, නැත්නම් පාරේ ඇවිදින මිනිසුන්ගෙන් මංකොල්ල කනවා. වැඩිදෙනෙක් පටන්ගන්නේ හෂීෂ්වලින්. පස්සේ එක්ස්ටසි නැත්නම් වෙන පෙති ගන්නවා. අන්තිමේදී කොකේන් නැත්නම් හෙරොයින් පවා ඔවුන් ගන්න බලනවා. මෙම මත්ද්‍රව්‍ය චක්‍රයට බැඳෙන්න මම බොහෝදෙනෙකුට මුල්ම පියවර ගන්න උපකාර කරනවා කියලා මට වැටහුණා.

“යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න කරන්න, මත්ද්‍රව්‍ය හා සම්බන්ධ මගේ ව්‍යාපාරය වැරදියි කියලා මට පැහැදිලි වෙන්න පටන්ගත්තා. මට ඕනෙ වුණා පිරිසිදු හෘදයසාක්ෂියක් ඇතුව ඉන්න. මගේ භාර්යාව පාඩම් කරමින් සිටි නිසා, ඇයටත් ඒ ආශාවම තිබුණා. හැබැයි, ඇත්තම කියන්න ඕනෙ, මත්ද්‍රව්‍ය ජාවාරම නතර කරන එක එතරම් ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. මම බයිබලය පාඩම් කරනවා කියලත්, මත්ද්‍රව්‍ය ව්‍යාපාරයෙන් සමුගෙන ඇතැයි කියලත් මගෙන් මත්ද්‍රව්‍ය ගත් අයටත්, මා වෙනුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමෙහි යෙදී සිටි අයටත් මට පැහැදිලි කරන්න සිදු වුණා. මුලින්ම, ඒගොල්ලෝ මාව විශ්වාස කළේ නැහැ. සමහරුන් තවමත් විශ්වාස කරන්නේ නැහැ. කොහොම වුණත්, නතර කරලා අවුරුදු දෙකක් විතර ඇති. එහෙම නතර කරපු එක ගැන මම කොහොමටවත් පසුතැවිලි වෙන්නේ නැහැ.

“මම කලින් කරපු වැඩය වන මේසන් වැඩ කරන්න පටන්ගෙන, දැන් අවුරුද්දකුත් වෙනවා. දැන් මම මාසයකින් උපයන මුදල්, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් එක දවසකින් උපයාගන්න පුළුවන් මුදලෙන් කාලයි. ඒත් මෙහෙම ජීවත් වෙන එක වඩාත් හොඳයි. මම දැන් වැඩි සතුටකුත් අද්දකිනවා.”

ක්‍රියාකාරි සමස්ත ලෝක විසඳුමක්

නිර්භීත ජාවාරම්කරුවන් අතළොස්සක් මත්ද්‍රව්‍ය ජාවාරම අත්හැර තිබෙනවා. මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් දහස් ගණනකට විවිධාකාර පුනරුත්ථාපන වැඩපිළිවෙළවල් උපකාරවත් වී තිබෙනවා. එනමුත්, ලෝක මත්ද්‍රව්‍ය වාර්තාවට අනුව, “දිගු කාලීනව සහ අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙක් එයින් සහමුලින්ම මිදෙන්නේ කලාතුරකින්.” කනගාටුවට හේතුවක් නම්, එක් ඇබ්බැහි වූවෙක් පුනරුත්ථාපනය කරන ගමන්ම, කිහිපදෙනෙක්ම අලුතින්ම ඩැහැගනු ලැබීමයි. ඉල්ලුමද සැපයුමද දිගින් දිගටම වර්ධනය වෙනවා.

මත්ද්‍රව්‍යවලට එරෙහිව කරන සටන ජයගන්න නම්, සමස්ත ලෝක විසඳුමක් අවශ්‍යයි. ඇයි? ගැටලුව සමස්ත ලෝක එකක් වන නිසයි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය කොමිසම මෙසේ තොරතුරු දක්වයි: “මත්ද්‍රව්‍ය අනිසි පාවිච්චිය, මත්ද්‍රව්‍ය ජාවාරම සහ එම උවදුරට සම්බන්ධ සාපරාධි ක්‍රියා පුරවැසියන්ගේ ආරක්ෂාවට ප්‍රධාන තර්ජනයක් ලෙස බොහෝ රටවල සලකන බව ඇත්තයි. නමුත් මත්ද්‍රව්‍ය උවදුර සමස්ත ලෝක ගැටලුවක් බවත්, ජාතික මට්ටමින් කරන ප්‍රයත්නයකින් තවදුරටත් විසඳිය නොහැකි ප්‍රශ්නයක් බවත් මහජනයාට එතරම් පැහැදිලි වුණේ නැහැ.”

එනමුත් ලෝකයේ ආණ්ඩු එක්සත් වී මෙම සමස්ත ලෝක මාරයාව වනසා දමන්න කටයුතු කරයිද? මෙතෙක් දුරට අප දැක ඇති ප්‍රතිඵල අපගේ බලාපොරොත්තු ඉහළ නංවනවා කියා පැවසිය නොහැකියි. කෙසේ නමුත්, ජාතික දේශ සීමාවන් අබිබවා යමින් ස්ථිර විසඳුමක් සපයන ස්වර්ගික ආණ්ඩුවක් ගැන බයිබලයෙහි සඳහන් වෙනවා. යේසුස් ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ පවතින දෙවිගේ රාජ්‍යය “සදාකාලේටම” පවතින බව බයිබලය අපට සහතිකවම පොරොන්දු වෙනවා. (එළිදරව් 11:15) එමනිසා, මත්ද්‍රව්‍ය සඳහා ඉල්ලුම නැති වී යන බව දෙවිගේ රාජ්‍යය යටතේ ලැබෙන දිව්‍යමය අධ්‍යාපනය සහතික කරන්න යනවා. (යෙසායා 54:13) තවද මත්ද්‍රව්‍ය අනිසි පාවිච්චියට තෝතැන්නක් මෙන් කටයුතු කරන සාමාජීය මෙන්ම මානසික ගැටලුද පහ වී යනවා.—ගීතාවලිය 55:22; 72:12; මීකා 4:4.

ඔබට යම් උපකාරයක් අවශ්‍යද?

ජනයාට මත්ද්‍රව්‍ය එපා කියා දැන් පවා කියන්න ක්‍රිස්තුස්ගේ පාලන බලයෙන් ක්‍රියාත්මක වන දෙවිගේ රාජ්‍යය කෙරෙහි බලාපොරොත්තුව ඉවහල් වෙනවා. ඔබට තවත් තොරතුරු අවශ්‍ය නම්, කරුණාකර ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න.

[පාදසටහන]

a Watchtower Bible and Tract Society of New York, Inc. මගින් ප්‍රකාශිත යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන පොතෙහි “මත්ද්‍රව්‍ය එපා යයි පැවසිය යුත්තේ මන්ද?” යන මැයින් යුත් 34වන පරිච්ඡේදය බලන්න.

[11වන පිටුවේ පින්තූරය]

ජාවාරකරුවන්ව අත්අඩංගුවට ගැනීම

[හිමිකම් විස්තර]

K. Sklute/Superstock

[12වන පිටුවේ පින්තූරය]

පේද්රූ සහ ඔහුගේ බිරිඳ වන ආනා තම දරුවන් සමඟ බයිබලය පාඩම් කරයි

[13වන පිටුවේ පින්තූරය]

පේද්රූ ආරක්ෂාවට උපකරණ සවි කරමින්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න