මනහර වත්තකට සවාරියක්
මගේ අම්මා රෝසවලට හුඟක් කැමැත්තෙන් හිටියා. ඇය ඒවා වැව්වා. මං පොඩි කාලේ, වත්තේ වල් පැළ ගළවමින්, ගස් කප්පාදු කරමින්, කපමින් හා පැළවලට සාත්තු කරමින් ඈ එක්ක පැය ගානක් ගත කළා. ගෙවතු වගාව සතුටක් ගෙන දෙන දෙයක් බව ඇය මට පෙන්නුවා. එදා ඈ මා තුළ පැළ කළ උනන්දුව මගේ මුළු ජීවිත කාලය පුරාම පැවතී තියෙනවා.
බ’ක්ලිවල කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට යන්න මම ගෙදරින් ගිය නිසා මගේ ගෙවතු වගාව ඇණහිටියා. ඉන්ජිනේරුවෙක් වෙන්න පාඩම් කරන අතරතුරේදී, මම විශ්වවිද්‍යාල භූමියේ තිබුණ ලස්සන වතු අගය කළා. වියෙට්නාම් යුද්ධය උත්සන්න වෙමින් තිබුණ අතරතුර ඉතා ඉක්මනින්ම මගේ අනාගතයේ ලොකු වෙනසක් සිද්ධ වෙන්න තිබුණා.
සංවර්ධනය නොවූ ජාතීන්ට උපකාර කරන ස්වේච්ඡා සේවකයෙක් හැටියට පුහුණු වෙන්න මම තීරණය කළ අතර, මාව පුහුණු වීම සඳහා වොෂිංටන් විශ්වවිද්‍යාලයට යැව්වා. එහෙ තිබුණ විශ්වවිද්‍යාලය හරියට පාරාදීසයක් වගෙයි. මම බලන බලන හැම පැත්තෙම විල්, වතු, තණ පිට්ටනි සහ හිමෙන් වැසීගිය කඳු තිබුණා. පසුව, 1964දී, මම සාන් ආන්ඩ්රේස්හි විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙක් හැටියට සේවය කරන්න බොලිවියාහි, ලා පාස්වලට ගියා. මොනතරම් වෙනසක්ද! මම මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 3,500ක් ඉහළට ගියා. ලා පාස්වල ඒ තරම් හොඳට ගස් වැවුණේ නැහැ; එනිසා ගෙවතු වගාව මතකයට විතරක් සීමා වෙච්ච දෙයක් වුණා.
බොලිවියාවේ අවුරුදු දෙකක් හිටියට පස්සේ, මට හවායිවල වාහිඑවාහි මධ්‍යම පාසැලක ගුරු පත්වීමක් ලැබුණා. මම නැවතිලා හිටියේ පැහැදිලිව මුහුද පේන පොඩි කන්දක තිබුණු පුංචි නිවසක වූ අතර, එහි තිබුණ පාම් ගස්වලටයි, වෙනත් නිවර්තන පැළවලටයි මගේ හිත ගියා. මට හිතුණේ මම පාරාදීසයක ඉන්නව කියලයි. කවදා හරි පාම් ගස් හදන්න ඕනෙ කියලා මට එතකොට හිතුණා.
මම සැන්ඩිඑගෝවලට ආපහු ගිහින්, ඊට පස්සේ මාස 18ක් කැලිෆෝනියාවේ ඉඳලා, පාරේ යන කාගේ හරි වාහනයක් නවත්වලා ඒකෙ නැඟලා ආජෙන්ටිනාවේ ටෙරා ඩෙල්ෆියුගෝවලට ගියා. මේ කාලයේදී මම බයිබලය කියවන්න පටන්ගත්තා. මගේ ගමනේදී මම පසු කරගෙන ගිය, වනාන්තර, වතු හා උද්‍යානවල බොහෝ වේලාවක් ගත කරමින් මම බයිබලයෙන් කියව කියව හිටිය දේවල් ගැන මෙනෙහි කළා. අන්තිමේදී, මම 1972දී ආපහු සැන්ඩිඑගෝවලට ගිහින්, කැලිෆෝනියාවේ කොරොනාඩෝවලදී දිගු කාලීන මෙන්ම තෘප්තියක් ලබා දෙන ගණිත ශාස්ත්‍රය ඉගැන්වීමේ වෘත්තියේ නියැලෙන්න පටන්ගත්තා. මගේම ගෙමිදුල නිවර්තන පැළෑටිවලින් ගහන වූ තැනක් බවට පත් කිරීමට වූ මගේ අදහස තව තවත් වැඩි වෙන්න පටන්ගත්තා.
මගේ මුල්ම වත්ත
වර්ෂ 1973 මැයිවලදී, මම කැලිෆෝනියාවේ පැසිෆික් සාගරය අසල ඕෂන් බීච්හි කුඩා නිවසක් කුලියට ගත්තා. මම හිටියේ කන්දක් මුදුනේ විශාල මිදුලක් එක්ක තිබුණ කුඩා ගෙයකයි; ඒක ගෙවතු වගාව සඳහා වූ මගේ ආශාව ඉටු කිරීමට, ඒ කියන්නේ මටම ආවේණික වූ වත්තක් පටන්ගැනීමට කියාපු තැනක්.
මුලදී, මගේ ගෙවතු වගාව ක්‍රමවත්ව කෙරුණේ නැහැ. ඒක ඔහේ ආවට ගියාට කරපු අත්හදා බැලීමක්. මම පැළයකට ආශා වුණා නම්, මම ඒක සල්ලිවලට අරං හරි හිටෙව්වා. වසර 12ක්ම මම කළේ මගේ හිත ඇදිලා ගිය ඕනෑම පැළයක් හිටවීමයි. මම පළතුරු ගස්, කේතුධර ගස්, පතනශීලී ගස්, සදාහරිත ගස්, පඳුරු හා මල් ගස් වැව්වා; ඒවා වැඩෙන හැටි බලා සිටියා. මං ගාව නොතිබුණ පැළයක් නැහැ.
හුඟක් පැළ මගේ පුංචි සන්දියේ ඉඳලම මම දන්න ඒවායි. පැළවලට සාත්තු කිරීම සාමය, සතුට, සුවය හා තෘප්තිය ගෙන දෙන දෙයක් වුණා. මෙම මැවිලිවල ලස්සන, නිර්මාණය, විවිධත්වය හා අරමුණ ගැන මම මෙනෙහි කළා.
හැම පැළයකින්ම මට සතුටක් ලැබුණේ නැහැ; හැම පැළයක්ම මගේ වත්තට ගැළපෙන්නෙ නැති හින්දා මම ඒවායින් හුඟාක් අයින් කරලා දැම්මා. මගේ වත්තට විශේෂ පෙනුමක් දෙන්න මම කල්පනා කරමින් සිටියා. අපිළිවෙළකට හා ඕනෑවට වඩා ඉක්මනින් වැවෙන පැළවලට මම කැමති වුණේ නැහැ. ඒවගේ පැළවලට සාත්තු කරන්න වැඩි වෙහෙසකුත් වියදමකුත් දරන්න සිද්ධ වෙනවා! ඒ වගේම, මට ඕන වුණේ වැඩිය ගෙවතුවල දකින්න ලැබෙන්නේ නැති පැළ වර්ගයි. මගේ වත්තට විශේෂ පෙනුමක් දෙන විශේෂ වර්ගයක් මට ඕන වුණා. ඒක ලැබුණා!
මගේ මුල්ම පාම් ගස
වර්ෂ 1974දී, මම ප්‍රාදේශීය පැළ තවානකට ගියා; එහිදී මං සොයාගිය දේ දැක්කා. ආරුක්කු හැඩැති සෝබන ඔටුන්නක් මෙන් විහිදී ගිය තද කොළ පැහැති තටු වැනි අතු තිබුණ ඒක හරිම ලස්සනයි. ලෝකයේ තිබෙන ලස්සනම පාම් ගස් අතුරින් එකක් හැටියට බොහෝදෙනා පිළිගත් මේ පැළය බූෂියා කැපිටාටායි; පළතුරක බීජයක් වැනි පැණි රස බීජ ඒකෙ තියෙන නිසා සමහරවිට ඒක ජෙලි පාම් කියලත් හැඳින්නුවා. දකුණු අමෙරිකාවේ වැවෙන එය, ඒ තරම් මහන්සියක් නැතුව මීටර් 5ක උසකට වවාගන්න පුළුවන්. ඇති යාන්තං, ලෝකෙ පුරාම තියෙන දුර්ලභ ගණයේ නිවර්තන පාම්වලින් මගේ වත්තට විශේෂ පෙනුමක් ලබා දෙන්න පුළුවන් වුණා! “පැළ රාජධානියේ කුමරුන්වයි” මම වවන්න තෝරගෙන තිබුණේ.
වැඩි කල් යන්න කලින් විවිධ පැළ තවාන්වලින් දුර්ලභ හෝ ලස්සන පාම් ගස් මිල දී ගන්න පටන්ගත්තා. පැළ තවානක එක් මුල්ලක හරියට මං දිහා බලාගෙන හිටියා වගේ පෙනුණ විශිෂ්ට ඝනයේ පාම් ගසක් තිබුණා; ඒ තමයි මෙක්සිකානු නිල් ෆෑන් පාම්. ඒකෙ කඳේ මුදුනෙන් වටේට විහිදී යන අවානක හැඩැති (අතක ඇඟිලි මෙන්) ඍජු, තද කොළ පැහැති කොළයක් තියෙනවා. එහි කූරු හැඩැති මල ලස්සන කහ පැහැති ආරුක්කු මෙන් විහිදී තිබෙනවා. මෝරපු ගහක් මීටර් 12ක පමණ උසකට වැඩෙනවා.
දැන් මාව පාම්වලට වශී වෙලා. තවත් මේ වගේ දුර්ලභ ගණයේ පැළ මට සොයාගන්න පුළුවන් කොහෙන්ද? සැන්ඩිඑගෝ ප්‍රදේශයෙන් විමසන්න මම පටන්ගත්තත් කිසිම සාර්ථකත්වයක් ලැබුණේ නැහැ. එවිට මම ජාත්‍යන්තර පාම් සමාගමක දකුණු කැලිෆෝනියා ශාඛාවෙන් අනර්ඝ තොරතුරු රැසක් සොයාගත්තා. මේ සමාගමේ රටවල් 81ක දහස් ගණන් සාමාජිකයන් ඉන්නවා. මිනිසුන් දන්නා හැම පාම් වර්ගයක් ගැනම, එනම් වර්ග 200කට වඩා සහ විශේෂයන් 3,000කට වඩා පාම් ගස් ගැන තොරතුරු සම්භාරයක් එය සතුව තිබෙනවා. දකුණු කැලිෆෝනියා ශාඛාව එහි සාමාජිකයන් වෙනුවෙන් ද පාම් ජ’නල් ප්‍රකාශයට පත් කරන අතර, මේක කාලෝචිත තොරතුරු තිබෙන මිල කළ නොහැකි මූලාශ්‍රයක්.
මේ මූලාශ්‍රය තුළින් මගේ පුංචි ගෙවත්තේ විවිධ පාම් විශේෂයන් 150කට වඩා ලබාගන්නත්, වවන්නත් මට පුළුවන් වෙලා තියෙනවා. පුංචියි කියලා කිව්වේ වර්ග මීටර් 650ක් විතරක් තියෙන නිසයි. මගේ පාම් දැනට සොයාගෙන තිබෙන ඒවායින් කොටසක් විතරයි. මං වැඩියම කැමති ඒවා මොනවද?
මගේ වත්තේ රූප සුන්දරියෝ කීපදෙනෙක්
ඇත්තෙන්ම, මගේ පැළ ඔක්කොටම මම ආදරෙයි; නමුත් කීපයක් ඇත්තෙන්ම කැපීපෙනෙනවා. සමහර ඒවාට මගේ හිත විශේෂයෙන්ම ඇදිලා ගියේ ඒවායේ අලංකාර පෙනුම නිසයි; එහෙමත් නැත්නම් ඒවා කටුවලින් හෝ නාරටිවලින් වැසී තිබුණ නිසයි; අනික් ඒවාට ඒවායේ පාට හෝ ඒවායේ ප්‍රමාණය නිසාත්, එපමණක් නොව දකුණු කැලිෆෝනියාවේ මධ්‍යධරණියේ වැනි දේශගුණයක ඒවා වැවීමට තිබෙන අභියෝගය නිසාත් හිත ඇදිලා ගියා.
මං ගොඩක්ම ආස කළේ, අප්‍රිකාවේ නැඟෙනහිර වෙරළෙන් එහා මැඩගස්කරයෙන් ගෙනාව ගසටයි. ඒකට කියන්නේ බිස්මාකියා නොබිලිස් පාම් කියායි. ඇයි මම ඒකට කැමති? ඒකටම ආවේණික වූ දම් පැහැයට හුරු නිල් පාටක් තිබීමත්, ඒක දුර්ලභ ගණයේ එකක් වගේම ඒකෙ කොළවල හැඩය නිසාත් මම ඒකට කැමතියි. ඒකෙ හැම අත්තක්ම කිලෝග්‍රෑම් නවයක් විතර බර නිසා, මේ වර්ගය ලෝකයේ පාම් අතුරින් විශාලම ඒවාවලින් එකක්.
තවත් ප්‍රියතම එකක් තමයි මාළු වලිගෙ හැඩැති පාම් ගස; ඒවා වැවෙන්නේ උතුරු ඉන්දියාවේ, මියන්මාවල සහ ශ්‍රී ලංකාවේ කඳුකර ප්රදේශවලයි. සැන්ඩිඑගෝවල තරමක් දුරට ශීත දේශගුණයක් තිබුණත් මෙහෙ මගේ ඒවා හොඳට වැඩෙනවා. ඇත්තවශයෙන්ම, මෙහෙ පාම් ගස් වැවීමේ අභියෝගයට මම කැමතියි. බෝර්නියෝවලින් ගෙනාපු ගහක් වූ අරෙන්ගා අන්ඩුලාටිෆෝලියා මගේ වත්තේ තියෙන එක ගැන මම හුඟක් සතුටු වෙලා තියෙන්නේ ඒ නිසයි. ඒකෙ පළල්, පැහැදිලිව රැළි වැටුණු කොළ තියෙනවා.
දකුණු පැසිෆික්හි මුහුදෙන් එතෙර ප්‍රංශ ප්‍රදේශයක් වන නියූ කැලිඩෝනියාවෙන් බුර්රෙටියෝකෙන්ටියා හැපාලා පාම් පැළය මෑතකදී ගෙනාවා. මේ වෙන තෙක්ම ඒක හොඳින් වැඩෙනවා. ප්රිචාර්ඩියා හිල්ඩෙබ්රැන්ඩි හෝ හවායිවල අවානක හැඩැති කහ පාටට හුරු කොළ පාට කොළ තියෙන ලොඋලු පාම් වැනි ඒවාත් මේ වෙනත් ගස් අතරට එක් කරන්න මට පුළුවන්. ඒවාට හොඳට හිරු එළිය ඕනෙ; ඇත්තෙන්ම අලංකාරයි.
ට්රිත්රිනැක්ස් ඇකැන්තොකෝමා නැතහොත් කටු වැනි කෙඳි සහිත පාම් ගස තැතිගන්වනසුලු එකක්. “ළඟට ආවොත් බලාගෙනයි!” කියන්නාක් මෙන් එහි කඳේ උල් කටු තියෙනවා.
මම මෑතකදී ඉඳලා සයිකැඩ් නම් ගස් වර්ගය වවන්න පටන්ගෙන තියෙනවා. පාම්වලට සම්බන්ධකමක් නැති වුණත්, ඒ වගේ පෙනුමක් තියෙන ඒක ඊට වඩා කුඩායි. එළියට පනින්න සැරසෙනවාක් මෙන් පුදුමාකාර අත්තක් තියෙන එන්සෙෆලාටෝස් ග්රේටුස් (මඩු කුලයට අයත්) මගේ ප්‍රියතම ඒවාවලින් එකක්. මේක හැමදෙනාගේම ඇහැ යන ගසක්. කරල් හෝ ගෙඩි අසාමාන්‍ය ලෙස විශාල වන අතර මතු වෙන්නේ ගහේ පැත්තකින්. ඒවා හරියට අන්නාසි හෝ පයින් ගෙඩියක් වගෙයි.
මගේ පාම් ගස්වලට මිනිස්සුන්ගේ සිත ඇදී යනවාද? ඔව් කියලා කියන්න මම කැමතියි! මිනිස්සු නැවතී මගේ පැළ අගය කරනවා මම නිතර දැකලා තියෙනවා. ගෙයි ඉස්සරහ පාරෙන් ආවහම ඔවුන්ට කඳු බෑවුම දක්වා විහිදී ගිය අලංකාර නිවර්තන වත්තක් බලාගන්න පුළුවන්. වර්ෂ 1997 මාර්තුවලදී විවෘත කළ මගේ වත්ත ජාත්‍යන්තර පාම් සමාගමේ දකුණු කැලිෆෝනියා ශාඛාවේ අමුත්තන් සඳහා විවෘත කළ වතු තුනෙන් එකක්. “නානාප්‍රකාර, විසිතුරු පාම් ගස් ගැන අධ්‍යාපනයක් ලබාගත හැකි මතකයේ රැඳෙන තැනක්” හැටියට එය විස්තර කර තිබුණා. මේ වත්ත මටත් අනික් අයටත් ආශීර්වාදයක් වෙලා තියෙන්නේ මොන ක්‍රමවලින්ද?
මගේ වත්ත සාක්ෂියක් දෙයි
යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මම 1991දී බව්තීස්ම වුණා. දැන් මම ඉගැන්වීමේ වෘත්තියෙන් විශ්‍රාම ගෙන සිටින නමුත් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් හා පුරෝගාමී සේවකයෙක් හැටියට සෑහෙන කාර්ය බහුලවයි ඉන්නේ. මගේ විවිධ ගස් හා පැළවල පැහැදිලිව පෙනෙන්න තියෙන පුදුමය දනවන නිර්මාණය විස්තර කරන විට මැවුම්කරු ගැන ජනයාට කතා කිරීමට පදනමක් හැටියට මගේ වත්ත යොදාගැනීමට ලැබීම සතුටක්. ඇතැම් අවස්ථාවලදී, බයිබලයේ පාම් ගස් ගැන සඳහන් කරලා තියෙන බව සඳහන් කරමිනුත් මම කතා කරන්න විෂයක් ආරම්භ කරනවා. (විනිශ්චයකාරයන් 4:5; ගීතාවලිය 92:12) කීකරු මනුෂ්‍යවර්ගයාව පාරාදීසයක ජීවත් කරවීමට වූ දෙවිගේ චමත්කාරජනක අරමුණ තේරුම්ගැනීමටත්, දෙවිට කිට්ටු වීමටත් ඇත්තෙන්ම මේ වත්ත මට උපකාර වෙලා තියෙනවා. ඒ විතරක් නොවෙයි, ඒදන්හි මුල් පාරාදීසය විශිෂ්ට වත්තක් නැත්නම් උද්‍යානයක්.—උත්පත්ති 2:8.
බයිබල් අනාවැකිවලට අනුව, දැනට පොළොව විනාශ කරමින් සිටින්නන්ව යෙහෝවා විනාශ කළ විට නැවතත් පාරාදීස තත්වයක් ඇති වෙන්න යනවා. (එළිදරව් 11:18; 16:14, 16) එවිට පොළොව අලංකාර වත්තක් කිරීමට හවුල් වෙන්න අපි සියලුදෙනාටම හැකි වෙයි. මේ අතරතුරේදී, මගේ පුංචි බිම් කැබැල්ල දිගටම මැවුම්කරුට ප්‍රශංසා කරමින් ඉන්නවා.—සපයන ලද්දක්.
[16වන පිටුවේ පින්තූරය]
අවානක හැඩැති මෙක්සිකානු නිල් පාම්
[16වන පිටුවේ පින්තූරය]
මාළු වලිගේ හැඩැති පාම්
[16, 17 වන පිටුවේ පින්තූරය]
වමේ සිට දකුණට: රතු පැන්ඩනස්, රොයල් පාම්, ට්‍රැවල’ස් පාම් (සැබෑ ප්‍රමාණය නොවේ)
[17වන පිටුවේ පින්තූරය]
එන්සෙෆලාටෝස් ෆෙරොක්ස් (මඩු කුලයට අයත්)
[17වන පිටුවේ පින්තූරය]
ෂේවිං බ්‍රෂ් පාම් මලක්
[18වන පිටුවේ පින්තූරය]
වත්තේ මම භාවිත කරන ආයුධ