කලින් සාපරාධි ජීවිතයක්—දැන් බලාපොරොත්තුවක් ඇති ජීවිතයක්
කෝස්ට කූලාපිස්ගේ කතාව
මගේ සිර කුටියේ කිලුටු බිත්ති දිහා බලාගෙන කල්පනා කර කර හිටිය මං තීරණය කළා ගත කරමින් හිටිය සාපරාධී ක්‍රියාවලින් මිදිලා, අලුත් ජීවිතයක් පටන්ගන්න කොහොම හරි ලොකු මුදලක් හම්බ කරන මාර්ගයක් හොයාගන්න ඕනෙ කියලා.
මම කලකිරිලා ඔහේ ඉඳගෙන ඉන්නකොට මට මතක් වුණා කලින් අවුරුද්දේ මගේ යාළුවන් 11දෙනෙක් මැරුණ හැටි. මිනීමැරුමක් කළ නිසා එක්කෙනෙක්ව එල්ලුවා; තවත් කෙනෙක් මිනීමැරුම් නඩුවකට පෙනී ඉන්න කලින් සිය දිවි හානි කරගත්තා; මත්ද්‍රව්‍ය අධික ලෙස ගැනීම නිසා තුන්දෙනෙක් මැරුණා; වීදියේ ආරවුලකට පැටලීම නිසා තවත් දෙන්නෙකුත්, ඒ වගේම රිය අනතුරුවලින් තවත් හතරදෙනෙකුත් මැරුණා. ඒ විතරක් නෙවෙයි, මගේ තවත් යාළුවෝ කීපදෙනෙක්ම දරුණු අපරාධ නිසා හිරේ හිටියා.
ඉතින් මම දුකෙන් හිරේ ඉන්නකොට, දෙවියන්ට පුළුවන් තරම් යාච්ඤා කළා; ඒ දෙවියන් කවුරු වුණත් කමක් නැහැ මේ සාපරාධී ලෝකයෙන් මිදෙන්න මාර්ගය පෙන්වන්න කියලා මම ඔහුගෙන් ඉල්ලුවා. ඒ යාච්ඤාවට මට ටික කාලයක් යන තුරු පිළිතුරු ලැබුණේ නැහැ. මේ අතරතුරේදී, වේදනාකාරි ශාරීරික හානි ඇති කිරීමේ අභිප්‍රායෙන් කරන පහර දීම් සම්බන්ධව දරුණු චෝදනාවලින් මිදෙන්න මට පුළුවන්කම ලැබුණා. දඬුවම ලිහිල් කිරීමට කළ අභියාචනය නිසා චෝදනා අඩු කරගෙන, දඬුවම් කාල සීමාව අඩු කරගන්නත් මට පුළුවන් වුණා. නමුත් මම මේ අසීරු තත්වයට වැටුණ විදිහ මං ඉස්සෙල්ලම පැහැදිලි කරන්නම්.
වර්ෂ 1944දී, දකුණු අප්‍රිකාවේ ප්රිටෝරියාවල ඉපදුණ මම හැදුණේ වැඩුණෙත් එහෙදිමයි. මගේ කුඩා කාලය හරිම දුක් සහිත එකක්. තාත්තට හරියට කේන්ති යනවා; ඉතින් බීලා ආපුවහම ඊටත් වඩා දරුණු වෙන නිසා අපේ පවුලේ අය හුඟක් වෙලාවට කලකිරිලයි හිටියේ. ඔහු සූදුවටත් හොඳටම ඇබ්බැහි වෙලා හිටියා; ඔහුගේ ස්වභාවය නිතරම වෙනස් වෙනසුලු එකක් වූ නිසා අපි හැමෝටම, විශේෂයෙන්ම අම්මට නරක විදිහට බැණ වැදුණා; පහර දුන්නා. නිතර ඇති වෙන මේ දබරවලින් මිදෙන්න මම පාරට බැස්සා.
අපරාධවලට යොමුවීම
ප්‍රතිඵලයක් වශයෙන්, පුංචි සන්දියේදීම මම ලෞකික පැත්තෙන් ඥානවන්ත වුණා. උදාහරණයක් හැටියට, මට අවුරුදු අටේදී මම පාඩම් දෙකක් ඉගෙනගත්තා. අසල්වැසි ගෙයකින් හොරකම් කරපු සෙල්ලම් බඩුත් එක්ක මාව අහු වුණ අවස්ථාවයි මුල් වතාව. එතකොට තාත්තා මට හොඳටම ගැහැව්වා. මට ඔහු කෝපයෙන් කළ තර්ජනය දැනුත් ඇහෙනවා ඇහෙනවා වගෙයි: “ආයි හොරකම් කරලා අහු වුණොත්, ඉතුරු කරන්නේ නැහැ!” ඒ නිසා මම සොරකම් නොකර ඉන්න නෙවෙයි නමුත් ආපහු අහු වෙන්නේ නම් නෑ කියලා තීරණයක් ගත්තා. ‘ඊළඟ වතාවේ අහු වෙන්නෙ නැති විදිහට මම බඩු හංගනවා’ කියලා හිතාගත්තා.
මම කුඩා කාලේදීම ඉගෙනගත්ත අනිත් පාඩම අපරාධවලට සම්බන්ධ දෙයක් නම් නෙවෙයි. ඉස්කෝලෙ ආගම පංතියේදී, දෙවිට පෞද්ගලික නමක් තියෙනවා කියලා අපේ ගුරුවරිය අපිට ඉගැන්නුවා. “දෙවිගේ නම යෙහෝවායි; ඒ වගේම ඔහුගේ පුත්‍ර වූ යේසුස්ගේ නමින් ඕගොල්ලෝ කරන ඕනෑම යාච්ඤාවකට ඔහු සවන් දෙනවා” කියලා අපව පුදුමයට පත් කරමින් ඇය පැවසුවා. ඒකෙන් මගේ පුංචි මනසේ අමුතු හැඟීමක් ඇති වුණා. ඒත් ඒකෙන් සාපරාධී ජීවිතයකට මාව වැටීම නතර වුණේ නැහැ. ඇත්තෙන්ම උසස් පාසැලට යනකොට සාප්පු හොරකම සහ ගෙවල් බිඳීම සම්බන්ධයෙන් මම අතිදක්ෂයෙක් වෙලා හිටියා. ඒ වන විටත් මගේ යාළුවන්ගෙන් වැඩිදෙනෙක් විවිධ අපරාධ නිසා පුනරුත්ථාපන කඳවුරුවල ගත කරලා තිබුණ හින්දා ඔවුන්ගෙන් උපකාරයක් ලැබුණේ නැහැ.
කල් ගත වෙද්දී, අපරාධ කරන එක නතර කරන්නම බැරි පුරුද්දක් බවට පත් වුණා. මගේ නහඹර වයස පන්නන්නත් කලින් මම මංකොල්ලකෑම්, ගෙවල් බිඳීම්, වාහන හොරකම් කිරීම් සහ දරුණු පහර දීම් ගණනාවකටම සම්බන්ධ වුණා. බිලියඩ් සෙල්ලම් කරන තැන්වල හා බාර්වල නිතර කාලය ගත කරමින්, පිම්පියන්, ගණිකාවන් හා අපරාධකරුවන්ට අත් උදව් දෙමින් කාලය ගත කළ නිසා තාක්ෂණික විදුහලේ මුල් වසරවත් මට සම්පූර්ණ කරන්න බැරුව ගියා.
තමන්ට ද්‍රෝහි වෙන ඕනෑම කෙනෙකුව දරුණු විදිහට තුවාල කරන්න පොඩ්ඩක්වත් පසු නොබසින හිතක් පපුවක් නැති අපරාධකරුවන් එක්ක මම නිතරම ඇසුරු කළා. මගේ කට පරිස්සම් කරගත්තේ නැත්නම් වන්දි ගෙවන්න සිද්ධ වෙන නිසා මගේ හපන්කම් ගැන හෝ හදිසියෙන් පහළ වූ මුදල් ගැන මම කවදාවත් පුරසාරම් දෙඩුවේ නැහැ. එහෙම කළොත් සිද්ධ වෙන්නේ අපරාධයක් කරලා තියෙන බව දැනුම් දීමක් විතරයි; අන්තිමේදී වෙන්නේ පොලිසියට ආරංචිය ගිහින්, දුෂ්කර ප්‍රශ්න වැළකට උත්තර දෙන්න සිද්ධ වීමයි. අපරාධකරුවන්, මංකොල්ලකෑ දේවලින් කොටසක් ඉල්ලගෙන හදිසියේ කඩාපාත් වෙන එක ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක්.
ඒත්, මෙච්චර පරිස්සම් වෙලත්, සමහර අවස්ථාවලදී නීතියට පටහැනි ක්‍රියාවලට සම්බන්ධ වී තිබෙනවාය යන සැකය පිට පොලිසියේ විමසිල්ලට ලක් වුණා. නමුත් මාව අපරාධකරුවෙකු හැටියට අහු වෙන්න කිසිම බඩුවක් ළඟ තබා නොගැනීමටත්, එවැන්නකට සහභාගි වී තිබෙන බවට ඇඟවීමක් නොදීමටත් මම වගබලා ගත්තා. වතාවක, පාන්දර තුනට විතර පොලිසිය අපේ ගෙට කඩාවැදුණා. ඔවුන් දෙපාරක් මුළු ගේම සෝදිසි කරලා, විදුලි භාණ්ඩ තොග වෙළඳ ගබඩාවකින් හොරකම් කළ විදුලි භාණ්ඩ තියෙනවද කියලා සෝදිසි කළා. ඔවුන්ට කිසිවක් හොයාගන්න ලැබුණේ නැහැ. ඇඟිලි සලකුණු ගැනීමට මාව පොලිසියට ගෙන ගියත් මට කිසිම දඬුවමක් නියම කළේ නැහැ.
මත්ද්‍රව්‍යවලට යොමුවීම
වයස 12 ඉඳලම මම නිතරම සිහි විකල් කරවන මත්ද්‍රව්‍ය ගත්තා. ඒවාට ඇබ්බැහි වීමෙන් මගේ සෞඛ්‍යය දුර්වල වෙන්න පටන්ගත් අතර කීපවිටකම ප්‍රමාණය ඉක්මවා මත්ද්‍රව්‍ය ගත්තා. වැඩි කල් යන්න කලින් පාතාල ලෝකයේ ප්‍රබල සම්බන්ධයක් තියෙන වෛද්‍යවරයෙකුට මාව හඳුන්වලා දුන්නා. මෙයින් මට මත්ද්‍රව්‍ය වෙළඳාම්කරුවෙක් වීමට මඟ පෑදුණ අතර, ඒවා බෙදාහැරීමට ටිකදෙනෙකුව පමණක් යෙදවීමෙන්, ඒ අය අවදානමේ සිටිද්දී මට බේරිලා ඉන්න පුළුවන් බව මම ඉක්මනින්ම ඉගෙනගත්තා.
මාත් එක්ක මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ අයගෙන් සමහරෙක් ප්‍රමාණයට වැඩියෙන් ඒවා පාවිච්චි කර මියයෑම හෝ එහි බලපෑම යටතේ දරුණු අපරාධ කර තිබීම කනගාටුවට කරුණක්. එක “යාළුවෙක්” ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකුව මරා දැමුවා. මේක රට පුරාම පුවත් සිරස්තලවල පළ වුණා. ඒකට ඔහු මාවත් අහු කරගන්න බැලුවත් පොලිසිය මගේ නිවසට එන තුරුම මම මේ සිද්ධිය ගැන අහලවත් තිබුණේ නැහැ. ඇත්තෙන්ම, පොලිසිය නිතරම ඇවිත්, සිදු කර ඇති විවිධ අපරාධ ගැන මගෙන් ප්‍රශ්න කරනවා.
කෙසේවෙතත්, එක දවසක්, මම මහ මෝඩ වැඩක් කළා. සතියක් පුරාම මත්ද්‍රව්‍ය හා මත්පැන් අරං හිටිය මම වරදවා තේරුම්ගැනීමක් හේතුවෙන් දෙදෙනෙකුට කෝපයෙන් පහර දී ඔවුන්ට දරුණු ලෙස තුවාල කළා. පහුවෙනිදා උදෑසන ඔවුන් මාව අඳුනගත් අතර, දරුණු ශාරීරික හානි සිදු කිරීමේ අභිප්‍රායෙන් පහර දීමේ චෝදනාව පිට මාව අත්අඩංගුවට ගත්තා. මම හිරේට ආවේ ඒ නිසයි.
ධනවත් වෙන්න, පසුව හරි මාර්ගයේ යන්න
හිරෙන් නිදහස් වුණාට පස්සේ, ඖෂධ සමාගමක ගබඩා පාලකයෙක් සඳහා රැකියා ඇබෑර්තුවක් තිබෙන බව මට දැනගන්න ලැබුණා. මම ඒ රැකියාවට ඉල්ලුම් පත්‍රයක් යවමින් ඒ සඳහා මට සුදුසුකම් තිබෙන බව ස්වාමියාට ඒත්තුගැන්නුවා. එහි සේවයේ නියැලෙන යාළුවෙක් මාර්ගයෙන් මට රැකියාව ලැබුණා. ලොකු මුදලක් හොයාගෙන වෙන පළාතකට ගිහින් පිරිසිදු ජීවිතයක් පටන්ගන්න මාර්ගය මෙයයි කියලා මම හිතාගත්තා. එනිසා හැකි ඉක්මනින් වැඩයේ හැම පැත්තක්ම ඉගෙනගැනීමට උනන්දු වුණ මම ඔක්කොම ඖෂධවල නම් ඉගෙනගන්න රෑ බෝ වෙන තුරුම ඇහැරගෙන හිටියා. කිසි සැකයක් නැහැ මේක නම් අලුත් ජීවිතයකට පාර කපනවා කියලා මට හැඟුණා.
මගේ අදහස වුණේ මගේ වෙලාව එන තුරු ස්වාමියාගේ විශ්වාසය දිනාගෙන සිටීමටයි. ඊට පස්සේ, අවස්ථාව ආවහම, නීති විරෝධී ලෙස වැඩි ගානකට විකුණන්න පුළුවන් විශේෂ ඖෂධ විශාල ප්‍රමාණයක් හොරකම් කරලා, ඒවා විකුණලා එක දවසකින් පෝසතෙක් වෙන්න කල්පනා කළා. මගේ නිදහස සහ අලුත් ජීවිතය සහතික කරගැනීම සඳහා අහු නොවී වැඩේ කිරීමට පුළුවන් වෙයි කියලා හිතුව උපක්‍රමයක් මම යොදලා තිබුණා.
අදහස ක්‍රියාවට නැංවීමට වෙලාව ආවා. එක් රාත්‍රියක, ගබඩාවට උපායශීලීව ඇතුල් වුණාට පස්සේ, ඩොලර් සිය දහස් ගණනක් වටින ඖෂධ අහුරලා තියෙන තට්ටු දිහා බැලුවා. එහිදී අපරාධ හා ප්‍රචණ්ඩත්වයෙන් මිදුණු ජීවිතයක් ඇරඹීමට මට තිබෙන ප්‍රස්තාව මම දැක්කා. නමුත්, ජීවිතයේ පළමු වතාවට මගේ හෘදසාක්ෂිය වද දෙන්න පටන්ගත්තා. මට හෘදසාක්ෂිය කියලා දෙයක් තිබුණද කියලවත් මට මතක නැතුව තිබෙද්දී, මේ විදිහට හදිසියේම හෘදසාක්ෂිය වද දෙන්න සැලැස්සුවේ මොකක්ද? මෙහෙම වුණේ ඇයි කියලා ඔබට පවසන්න මට අවසර.
මීට සති කීපයකට පෙර, මගේ කළමනාකාරවරයා හා මම ජීවිතයේ අර්ථය ගැන සාකච්ඡා කළා. ඔහු පැවසූ දෙයකට පිළිතුරු වශයෙන්, වෙන මොනම දෙයක්වත් කරන්න බැරි නම් අඩු ගානේ යාච්ඤාවත් කරන්න පුළුවන් කියලා මම කිව්වා. “කාටද?” කියලා ඔහු ඇහැව්වා. “දෙවියන්ට” කියලා මම කිව්වා. “ඒත් දෙවිවරු ගොඩක් ඉන්නවනේ යාච්ඤා කරන්න. ඉතින් ඔයා යාච්ඤා කරන්නේ කාටද?” කියලා ඔහු ඇහැව්වා. “සර්වබලධාරි දෙවියන්ට” කියලා මම කිව්වා. “ඇත්තටම, එයාගේ නම මොකක්ද?” “ඔයා අදහස් කරන්නේ මොකක්ද?” කියලා මම ඇහැව්වා. “හොඳයි, ඔයාටයි, මටයි, අනිත් හැමෝටමයි තියෙනවා වගේ සර්වබලධාරි දෙවිටත් පෞද්ගලික නමක් තියෙනවා” කියන එක ඔහුගේ පිළිතුර වුණා. ඔහු කියපු දේ තර්කානුකූලයි කියලා තේරුණත්, ඒක මට කරදරයක් වගේ දැනුණා. එනිසා මම ටිකක් කේන්තියෙන් වගේ මෙහෙම ඇහැව්වා: “හරි හරි එහෙම නම් මොකක්ද ඔය දෙයියන්ගේ නම?” “සර්වබලධාරි දෙවිගේ නම යෙහෝවා!” කියලා ඔහු පිළිතුරු දුන්නා.
හදිසියේම අතීත සිදුවීමක් මගේ මනසේ ඇඳුණා; අවුරුදු අටේදී පංති කාමරයේදී මම ඉගෙනගත්ත පාඩම මට එකපාරටම මතක් වුණා. කළමනාකරු සමඟ සිදු කළ සාකච්ඡාවෙන් මා තුළ ඇති වුණ හැඟීම ගැන මටම පුදුමයි. අපි පැය ගානක් තිස්සේ ලොකු උනන්දුවකින් වැදගත් කාරණා සාකච්ඡා කළා. ඊළඟ දවසේදී ඔහු සදා ජීවනයට මඟ පෙන්වන සත්‍යය නම් පොත මට ගෙනත් දුන්නා.a ඒ රාත්‍රියේදීම මම මුළු පොතම කියෙවූ අතර, මට සත්‍යය හා ජීවිතයේ සැබෑ අරමුණ ලැබිලා තියෙන බව ඒ මොහොතේදීම වැටහුණා. ඊළඟ සති දෙකේදී, ඒ පුදුමාකාර නිල් පොතෙන් අපි නොයෙකුත් දේවල් ගැන සෑහෙන වෙලාවක් සාකච්ඡා කළා.
ඉතින් මම කළුවරේ නිශ්ශබ්දව ගබඩා කාමරයේ ඉන්නකොට මගේ හෘදසාක්ෂිය මට කියන්න පටන්ගත්තා හොරකම් කරලා ඖෂධ විකුණගන්න එක සම්පූර්ණයෙන්ම වැරදියි කියලා. මම හෙමින් සීරුවේ එළියට ඇවිත් ගෙදර ගියේ මීට පස්සේ කවදාවත් හොරකම් කරන්නේ නැහැ කියන අධිෂ්ඨානයෙනුයි.
සම්පූර්ණ වෙනසක්
ඊළඟ දවස් කීපයේදී, මම අලුත් ජීවිතයක් ගත කරන්න තීරණය කරලා තියෙන බව මගේ පවුලේ අයට කිවූ අතර, මම ඉගෙනගෙන තිබුණ බයිබල් සත්‍යයන්ගෙන් සමහරක් ඔවුන්ට කියන්න මම පටන්ගත්තා. මගේ තාත්තා මාව ගෙදරින් පන්නලා දාන්න හැදුවා. නමුත් මගේ මල්ලි ජෝන් මගේ පැත්ත අරං තාත්තට මෙහෙම කිව්වා: “අපරාධයක් කරන්නේ නැතුව කෝස්ට ඉස්ඉස්සෙල්ලම කරන්න යන දෙයක්නෙ මේක; ඇයි එහෙම එකේ එයාව එළවලා දාන්න හදන්නේ? මං මේ ගැන වැඩි දුරට හොයලා බලනවා.” ජෝන් මට එයත් එක්ක බයිබලය පාඩම් කරන්න කිව්වහම මට අදහගන්නත් බැරුව ගියා. එදා ඉඳලා, මත්ද්‍රව්‍ය ගන්න මාව සොයාගෙන ආව හැමකෙනාටම ඒ වෙනුවට සත්‍යය පොතක් ලැබුණා! වැඩි කල් යන්න කලින් ඒ පොත ආධාරයෙන් මම බයිබල් පාඩම් 11ක් පවත්වමින් හිටියා.
පසුව, සමාගමේ කළමනාකරු සාක්ෂිකරුවෙක් නොවන බව මට දැනගන්න ලැබුණා. ඔහුගේ බිරිඳ අවුරුදු 18ක විතර කාලයක් සාක්ෂිකාරියක් වෙලා හිටියත්, “සත්‍යය සම්බන්ධයෙන් යමක් කරන්න” ඔහුට “කාලයක් තිබිලා නැහැ.” එනිසා මාත් එක්ක නිතිපතා බයිබලය පාඩම් කරන්න ඔහු අද්දැකීම් ලත් සහෝදරයෙකුව සූදානම් කළා. ජීවිතයේ වෙනත් පැති වෙනස් කිරීමේ ඇති අවශ්‍යතාව දකින්න මගේ පාඩම් විගස මට උපකාර කළ අතර, වැඩි කල් යන්න පෙර දේවවචනයේ සත්‍යය මගේ ලෞකික මාර්ගවලින් මාව නිදහස් කරන්න පටන්ගත්තා.—යොහන් 8:32.
කොහොමනමුත්, සති කීපයක කාලයක් තුළදී දේවල් ඉක්මනින්ම සිද්ධ වුණ හැටි බලද්දී, මා තුළ එකපාරටම කැලඹීමක් ඇති වුණා. මට විශාල වෙනස්කම් කරන්න සිද්ධ වෙලා තිබුණ අතර, මගේ බයිබල් පාඩම් මගින් මට පෙන්නලා දෙන උපදෙස් දිගටම අනුගමනය කරන්න නම් මට මාංසය හා ආත්මය අතර ලොකු සටනක් කරන්න වෙන බව මට වැටහෙන්න පටන්ගත්තා. අනිත් අතට, මම ගත කරමින් හිටිය විදිහට දිගටම ජීවත් වුණා නම්, මට මියයන්න හෝ අඩුම තරමින් මගේ ජීවිතයේ වැඩි කාලයක් හිරේ ගත කරන්න සිදු වෙන බව මට වැටහුණා. ඉතින් සෑහෙන දුරට කල්පනා කරලා, උනන්දුවෙන් යාච්ඤා කළාට පස්සේ, මම තීරණය කළා සත්‍යය මාර්ගය අනුගමනය කරන්න. මාස හයකට පස්සේ, 1971 අප්‍රියෙල් 4වෙනිදා මම වතුර බව්තීස්මයෙන් යෙහෝවා දෙවිට මගේ කැපවීම සංකේතවත් කළා.
යහමඟට හැරීමෙන් ලද ආශීර්වාද
අතීතය දිහා හැරිලා බලද්දී, සාපරාධී මාර්ගය අත්හැරීමට මම තීරණය කළ දා පටන් භුක්ති වින්ද ආශීර්වාද ගැන හිතනකොට සමහරවිට මට සතුටක් ඇති වෙනවා. කැලඹීමක් තිබුණ මුල් සති කීපයේදී මම පාඩම් පැවැත්වූ 11දෙනාගෙන්, 5දෙනෙක් දැනුත් සත්‍ය මාර්ගයේ ගමන් කරමින් ඉන්නවා. මගේ අම්මත් බයිබල් පාඩමක් කරලා බව්තීස්ම වුණ අතර, 1991දී මියයන තුරුම දිගටම ඇය විශ්වාසවන්තව දෙවිට සේවය කළා. මගේ මල්ලිලා දෙන්නා, ඔවුන්ගේ ජීවිත යෙහෝවාට කැප කර, වැඩිමහල්ලන් හැටියට දැන් සේවය කරමින් ඉන්නවා. සත්‍යය ඉගෙනගන්න මගේ පුංචි අම්මට උපකාර කරන්නත් මට පුළුවන් වුණා; පහුගිය අවුරුදු 15 පුරාම ඇය පූර්ණ-කාලීනව දේවසේවයේ යෙදිලා තියෙනවා.
මගේ ජීවිතයේ වෙනස් වීම් දැක්ක ඖෂධ සමාගමේ කළමනාකරු මොනතරම් දිරිගැන්වුණාද කියනවා නම්, ඔහු වඩාත් ගැඹුරින් බයිබල් සත්‍යය ගැන හිතන්න පටන්ගත්තා. මම බව්තීස්ම වෙලා අවුරුද්දකට පස්සේ, ඔහුත් ජලයේ බව්තීස්ම වීමෙන් දෙවිට ඔහුගේ කැපවීම සංකේතවත් කළා. ඊට පස්සේ ඔහු ප්‍රිටෝරියාවේ තිබුණු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක වැඩිමහල්ලෙක් හැටියට අවුරුදු ගණනාවක් සේවය කළා.
දැන් මම කැප වූ ක්‍රිස්තියානි සහෝදරියක් සමඟ විවාහ වෙලා ඉන්නවා. ලියෝනියි මමයි 1978දී ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. එහිදී ඉලයිජා සහ පෝල් යන අපේ පුතාලා දෙන්නා ඉපදුණා. මගේ පවුලේ අයගෙන් ලැබිලා තියෙන දිරිගැන්වීම මට ශක්තියේ සැබෑ උල්පතක් වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරාවල වැඩිමහල්ලෙක් හැටියට සේවය කිරීමේ වරප්‍රසාදය මට ලැබිලා තියෙනවා. කාලකණ්ණිකමට හා මරණයට මඟ පෑදූ හිස් සාපරාධි ජීවිතයෙන් මාව ගළවාගත් යෙහෝවාට මගේ ස්තුතිය හැම දවසකම මම පුද කරනවා. ඒ විතරක් නෙවෙයි, මටත්, මගේ ප්‍රියයන්ටත් සැබෑ බලාපොරොත්තුවක් සපයමින් ඔහු මගේ ජීවිතයට අර්ථයකුත් ලබා දුන්නා.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.
[18වන පිටුවේ පින්තූරය]
මට වයස 12දී
[18වන පිටුවේ පින්තූරය]
අද මගේ බිරිඳ හා පුතාලා දෙන්නත් එක්ක