සලබයෙකු නෙත ගැටුණු දා
එක් සොඳුරු සැඳෑවක සලබයෙක් ලොකු හෝටලයක් ඇතුළට පියාඹගෙන ගියා. ඌ කෑම මේසයක් ළඟට ගිහින් තටු සලමින් සිටිද්දී එතැන සිටි කාන්තාවක් ඌව දැක හොඳටම බය වුණා. ඇය කොච්චර බය වුණාද කිව්වොත් විස සහිත මදුරුවෙක්ව එළවන ආකාරයට ඌව එතැනින් එළවා දැම්මා! ඉතිං මේ සලබයා වෙනත් මේසයක් ගාවට ගිහින් අන්තිමට මනුෂ්‍යයෙකුගේ පපුව උඩ වැහුවා. මේ මනුෂ්‍යයා නම් බය වුණේ නැහැ. ඔහු සහ ඔහුගේ බිරිඳ සලබයා දිහා හොඳට බලමින් උගේ සියුමැලි තටුවල ඇති කලාත්මකභාවය වර්ණනා කරන්න පටන්ගත්තා. ඊට පස්සේ, සලබයන් කොච්චර අහිංසකද කියන එක ගැන ඔවුන් දෙදෙනා සාකච්ඡා කළා.
කනෙක්ටිකට්හි සමනල ආයතනයේ සහයක නිර්මාතෘ ජෝන් හිමල්මාන් සලබයන්ව විස්තර කරන්නේ මේ ආකාරයටයි. “සලබයා තරම් අහිංසක කෘමියෙක් නම් තවත් නැහැ. දත් නැති නිසා ඌට අපිව හපා කන්න බැහැ. ඇත්තෙන්ම, වැඩිහිටි අවධියට එද්දී ලූනා සලබයා (ඇක්ටියස් ලූනා) වගේ සමහර සලබයන් මිනිසුන්ව තියා කෑමවත් කන්නේ නැහැ. අනෙක සලබයන් ජල භීතිකාව වගේ භයානක රෝග පතුරවන කෘමීන් නෙවෙයි. උන් අපිට දෂ්ට කරන්නේ නැහැ. . . . ඇත්තෙන්ම කියනවා නම්, සලබයන් කියලා හඳුන්වන්නේ රෑට පියාඹන සමනලයන්වයි.”
සමනලයන් වෙත බොහෝදෙනෙකුගේ සිත ඇදී ගියත්, වර්ග ගණනාවකින් යුත් ලස්සන සලබයන් වෙත ආකර්ෂණය වන්නේ සුළු පිරිසක් පමණයි. ‘සලබයන්ගේ ඇති ලස්සන මොකක්ද’ කියා ඔබ සිතනවා ඇති. ඔව්, බොහෝදෙනෙක් සිතන්නේ සලබයා කියන්නේ සමනලයාට නෑකම් කියන, නමුත් ඌ තරම් ලස්සන නැති කෘමි විශේෂයක් කියායි. ඒත් සලබයන්ව හඳුන්වන්නේ සමනලයාව හඳුන්වන විද්‍යාත්මක නමින්මයි කියා ඔබ දැනගෙන සිටියාද? උන්ව හඳුන්වන්නේ, “ශල්කවලින් වැසුණු තටු” යන අදහස දෙන ලෙපිඩොප්ටරා යන නමින්. මේ දැකුම්කලු කෘමීන් අතර පුදුමයට පත් කරවන විවිධත්වයක් දක්නට තිබෙනවා. දැනට සොයාගෙන ඇති ආකාරයට, ලෙපිඩොප්ටරා කුලයට අයත් කෘමීන් 1,50,000ත් 2,00,000ත් අතර සංඛ්‍යාවක් සිටින බව කෘමීන් පිළිබඳ එක් විශ්වකෝෂයක සඳහන් වේ. මේ අතරින් සියයට 90ක්ම සලබයන්ලු! සමනලයන් සිටින්නේ සියයට 10ක් පමණයි.
මමත් කලින් සලබයන්ව ඒ තරම්ම ගණන් ගත්තේ නැහැ. උන් ගැන ටිකක් හරි සිතන්න පෙලඹුණේ මගේ ඇඳුම්වලට කපුරු බෝල දාන්න යද්දී. මොකද මං සිතාගෙන සිටියේ සලබයන් කියන්නේ ඇඳුම් කන කෘමි විශේෂයක් වන කාවෝ කියායි. වැඩුණු සලබයන් රෙදි පිළිවලට හානි සිදු කරන්නේ නැහැයි කියලත් එහෙම කරන්නේ කීට අවස්ථාවේ සිටිද්දී පමණයි කියලත් මම එතකොට දැනගෙන සිටියේ නැහැ.a
සලබයන් ගැන මගේ ආකල්පය වෙනස් වුණේ කොහොමද කියලා මම විස්තර කරන්නම්. දැන් ටික කාලයකට උඩදී, මමයි මගේ මහත්තයයි අපේ මිතුරන් දෙදෙනෙක් වන බොබ් සහ රොන්ඩාව බලන්න ගියා. බොබ්ට සලබයන් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඔහු මට පොඩි පෙට්ටියක් ඇතුළේ සිටිය සලබයෙක්ව පෙන්නුවා. සලබයාව දැක්ක ගමන්ම මම සිතුවේ ඌ ලස්සන සමනලයෙක් කියලයි. ඒත් ඌ සික්රෝපියා නැත්නම් රොබින් වශයෙන් හඳුන්වන උතුරු අමෙරිකාවේ සිටින ලොකුම සලබ විශේෂයක් කියලා බොබ් මට කිව්වා. සික්රෝපියා සලබයන් අතර සෙන්ටිමීටර් 15ක් දක්වා විහිදෙන විශාල තටු තිබෙන එවුන්ද සිටිනවා. උන්ගේ ජීවන චක්‍රය අවුරුද්දක් පුරා පැවතියත් වැඩිහිටි අවධියට පැමිණියාම ඌ ජීවත් වන්නේ දින 7ත් 14ත් අතර කෙටි කාල සීමාවක් පමණයි! ඇත්තෙන්ම, සලබයන් වෙත මගේ සිත ඇදී ගියේ මනබඳනීය සික්රෝපියාව අධ්‍යයනය කළාට පසුවයි.
පෙට්ටිය ඇතුළේ කුඩු වගේ පේන්න තිබූ යමක් බොබ් මට පෙන්නුවා. “මේ කුඩු වගේ පේන්න තියෙන්නේ උගේ බිත්තරයි. මං පුළුවන් නම්, මේ බිත්තරවලින් එළියට එන කීටයන්ව වැඩිහිටි සලබයන් වෙනකම් හදාගන්නවා” කියා බොබ් පැවසුවා. සලබයෙක්ව හදාගන්නවා කිව්වාම මම පුදුම වුණා. මම කවදාවත් ඒ වගේ දෙයක් ගැන නම් අහලා තිබුණේ නැහැ. කොහොම වුණත්, බොබ් ඒ සඳහා කටයුතු පිළියෙළ කරන්න පටන්ගත්තා. ඒක ඔහු සිතුව තරම් ලෙහෙසි දෙයක් වුණේ නැහැ. බොබ් ගාව සලබ බිත්තර 29ක් තිබුණා. ඔහු සති දෙකක් පුරාම කීටයන්ව මේ බිත්තරවලින් එළියට ගන්න මහන්සි වුණා. ඒත් කිසිම ඵලක් වුණේ නැහැ. ඊට පස්සේ බොබ් බිත්තරවලට හුමාලය අල්ලන්න තීරණය කළා. සතියක් යන්න කලින්, මදුරුවන් තරම් චූටි කීටයන් බිත්තරවලින් එළියට එන්න පටන්ගත්තා. එක දවසක් ඇතුළත බිත්තර 26කින්ම කීටයන් එළියට ආවා. උන්ට එහෙ මෙහෙ යන්න බැරි වෙන විදිහට බොබ් උන්ව රවුම් හැඩැති පැතලි දීසියක් ඇතුළට දැම්මා.
කීටයන් බිත්තරවලින් එළියට ආපු ගමන්ම උන් කෑවේ උන්ගේම බිත්තර කටු. ඊට පස්සේ නම් උන්ට එක දිගටම කෑම සොයා දෙන්න බොබ්ට සිද්ධ වුණා. උන්ට හරි යන කෑම සොයන එකත් පහසු දෙයක් වුණේ නැහැ. බොබ් ඒ ගැන තොරතුරු ටිකක් සොයා බැලුවට පස්සේ මේපල් ගහේ කොළ කන්න දුන්නා. ඒත් උන් ඒවා කෑවේ නැහැ. අන්තිමට බොබ් චෙරි හා බර්ච් කොළ කන්න දුන්නා. එතකොට නම් උන් එක දිගටම ඒවා කන්න පටන්ගත්තා!
කීටයන් ක්‍රමක්‍රමයෙන් දළඹුවන් දක්වා වර්ධනය වුණා. එතකොට බොබ් උන්ව අරගෙන ටැංකියක් ඇතුළට දාලා ඒක දැලකින් ආවරණය කළා. ටැංකිය ඇතුලේ දළඹුවන්ටයි කොළවලටයි සුදුසු ප්‍රමාණයෙන් යුත් තෙතමනයක් තිබුණා. ඒ වගේම ටැංකිය දළඹුවන්ට අවශ්‍ය ආරක්ෂාව සපයා දුන්නා. බඩ ගා යන්න පුළුවන් වුණ ගමන්ම උන් හැම තැනම යන්න පටන්ගත්තත් ටැංකියෙන් එළියට නම් උන්ට යන්න බැරි වුණා.
බඩගින්නේ ඉන්න දළඹුවන් 26කට කෑම සොයා දෙන එක නම් පහසු කාර්යයක් නෙවෙයි! ටැංකිය ඇතුළට බොබ් කොළ ගෙනල්ලා දැම්මහම දළඹුවන් ඒවා දවසකින් දෙකකින් කාලා ඉවර කළා. ඒ හින්දා අත් උදව්වට කාවහරි ගන්න එක නුවණට හුරුයි කියා බොබ්ට තේරුණා. ඊට පස්සේ දළඹුවන්ට කන්න දෙන්නත් උන්ව රැකබලා ගන්නත් බොබ්ට උදව් වෙන්න ඔහුගේ නංගි හා තවත් තරුණ මිතුරන් දෙදෙනෙක් ඉදිරිපත් වුණා.
සික්රෝපියා දළඹුවන් මේ තරම් කෑම කන්නේ උන්ගේ ශරීරයේ වර්ධනය සඳහා විතරක්ම නෙවෙයි. වැඩිහිටිභාවයට පත් වුණාම උන්ට කෑම කන්න බැහැ, මොකද උන්ට කටක් නැහැ! ඒ කියන්නේ වැඩිහිටි අවධියේදී ජීවත් වෙන්න නම් උන් දළඹු අවස්ථාවේ සිටිද්දී හොඳට බඩ පිරෙන්න කන්න ඕනේ!
සම් පටලය ඉවතලෑම
දළඹුවන් වර්ධනය වෙද්දී කිහිප වතාවක්ම උන්ගේ සම් පටලය අලුත් කරගන්නවා. ඒ කියන්නේ පරණ සම් පටලය හැලී අලුත් එකක් වැඩෙනවා. මේ ක්‍රියාවලිය සිදු වන එක් එක් අවස්ථාවල අතරමැදි අවස්ථාව හඳුන්වන්නේ අතුරුරුව කියායි.
සික්රෝපියා දළඹුවෙකුගේ සම වැඩෙන්නේ නැහැ. ඒ නිසා උගේ ශරීරය වර්ධනය වෙත්ම සම් පටලය ක්‍රමක්‍රමයෙන් ඇදෙනවා. සම් පටලය සීමාව ඉක්මවා ඇදෙන විට දළඹුවා එය ඉවතලා අලුත් එකක් හදාගන්නවා. දළඹුවන් එක පාරටම කන්නේ නැතුව ගියාම සම් පටලය ඉවතලන්න කාලය ඇවිත් කියා බොබ්ට තේරුණා. දළඹුවන් උන්ගේ සම් පටලය ඉවතලන්නේ මෙහෙමයි. මුලින්ම උන් සියුම් කෙඳිවලින් කොට්ටයක් වැනි යමක් ගොතනවා. ඊට පස්සේ අලුත් සම් පටලය වර්ධනය වන තෙක් කකුල්වලින් කොට්ටයේ එල්ලී ඉන්නවා. දවස් කිහිපයක්ම උන් ඉන්නේ ඒ ඉරියව්වෙන්මයි. අලුත් සම් පටලය වර්ධනය වුණාම උන් කොට්ටයට සවි වී ඇති උන්ගේ පරණ සම් පටලය අත්හැර දානවා. බොබ්ගේ දළඹුවන් උන්ගේ අන්තිම අතුරුරුවේ සිටිද්දී සෑහෙන්න වර්ධනය වෙලා තිබුණා. මම ඇත්තෙන්ම පුදුම වුණා උන්ව දැකලා. උන් ඒ වෙනකොට සෙන්ටිමීටර් දොළහක් පමණ දිග, මගේ දබරැඟිල්ලටත් වඩා මහත දළඹුවන් බවට පත් වෙලා හිටියා!
පිලා කෝෂය ගෙතීම
අන්තිම අතුරුරුව පහු වුණාම සෑම දළඹුවෙක්ම කුඩා වියළුණු අතු වටා අළු පාටට හුරු කෙඳිවලින් පිලා කෝෂ ගොතන්න පටන්ගත්තා. සික්රෝපියා සලබයන් පිලා කෝෂ වර්ග දෙකක් ගොතනවා. එක් පිලා කෝෂ වර්ගයක් විශාලයි. ඒ තරම් තදට ගොතා නැහැ. ඒකේ පතුල රවුම් හැඩයක් ගන්නා අතර කට හරියට යද්දී ක්‍රමක්‍රමයෙන් හීන් හැඩයක් ගන්නවා. අනිත් පිලා කෝෂය ඊට වඩා කුඩයි, ඒ වගේම ඒක අනිත් වර්ගයට වඩා තදින් ගොතා තිබෙනවා. එය දිගටි හැඩයක් ගන්නා අතර කට හා පතුල දක්වා යද්දී ක්‍රමක්‍රමයෙන් හීන් හැඩයක් ගන්නවා. මෙම පිලා කෝෂ වර්ග දෙකටම ඇතුල් කෝෂයකුත් තිබෙන අතර එහි කෙඳි සෑහෙන තදට ගොතා තිබෙනවා. සික්රෝපියාගේ පිලා කෝෂ සාමාන්‍යයෙන් දුඹුරු, රතට හුරු දුඹුරු, ගොම පාට හෝ අළු පාටක් ගන්නවා. සික්රෝපියා, උතුරු අමෙරිකාවේ අනිත් සලබයන්ට වඩා විශාල පිලා කෝෂයක් ගොතනවා. උන්ගේ කෝෂ අතරින් සෙන්ටිමීටර් දහයක් දිග හා සෙන්ටිමීටර් පහක් හෝ හයක් පළල කෝෂද සොයාගෙන තිබෙනවා. සෙල්සියස් අංශක -34ක් තරම් අඩු උෂ්ණත්වයකදී පවා ආරක්ෂා වී සිටීමට මේ අපූරු නිර්මාණය දළඹුවන්ට උපකාර වෙනවා.
දළඹුවන් උන්ගේ පිලා කෝෂ තුළට ගියාට පස්සේ අපිට ඉවසිලිවන්තව බලා සිටින්න සිදු වුණා. සලබයන් පිලා කෝෂවලින් ක්‍රමක්‍රමයෙන් එළියට එන්න පටන්ගත්තේ වසන්ත සමයේදී. ඒ කියන්නේ බොබ් මට මව් සලබයාව පෙන්නා අවුරුද්දක් ගත වුණාට පස්සෙයි. බොබ්, පිලා කෝෂ සවි වී තිබුණ වියළුණු අතු උඩු අතට සිටෙව්වා. ටික වේලාවක් යද්දී එක පිලා කෝෂයකින් ඇර අනිත් සෑම එකකින්ම සලබයන් එළියට ආවා. ඇත්තෙන්ම බොබ් ඉවසිලිවන්තව දැරූ වෑයම අපතේ ගියේ නැහැ.
සලබයන්ව අගය කරමු
සික්රෝපියා සලබයාගේ ජීවන චක්‍රය දැක්කාට පස්සේ මගේ ගේ වටේ එහෙ මෙහෙ පියාඹන සලබයන්ට මම වැඩි අවධානයක් දෙන්න පටන්ගත්තා. ඒ වගේම මම සලබයන් ගැන වැඩියෙන් තොරතුරු සොයන්න වෑයම් කළා. සමනලයන්ටයි සලබයන්ටයි ඉතා දක්ෂ ලෙස පියාඹන්න පුළුවන් කියලා මම දැනගත්තා. ඒ විතරක් නෙවෙයි, උන්ගෙන් සමහරක් සෑහෙන දුර ප්‍රදේශවලට ඇදී යනවා. මෙයට හොඳ උදාහරණයක් වන්නේ කුඩා ඩයමන්ඩ් බැක් සලබයායි. උගේ පියාපත් විහිදෙන්නේ සෙන්ටිමීටර් විසි පහක් දක්වා පමණයි. ඒත් ඌ විටින් විට යුරෝපයේ සිට බ්‍රිතාන්‍යය දක්වා සැඩ සුළං පවතින උතුරු මුහුද හරහා පියාඹනවා. ඒ වගේම ස්ෆින්ක්ස් සලබයා, ගුමන කුරුල්ලා වගේම මල්වලට වහන්න කලින් ඒවාට ඉහළින් තටු සලමින් සිටින බව කියැවෙනවා.
සික්රෝපියාගේ ජීවන චක්‍රය නිරීක්ෂණය කළාට පස්සේ මම දවසක් රෑ පඳුරක් උඩ වහලා ඉන්න එකෙක්ව විදුලි එළියෙන් දැක්කා. සලබයාගේ තටු ඉතා සියුමැලි නිසා තටුවලින් අල්ලන එක හොඳ නැහැ. එහෙම කළොත් උන්ගේ තටුවල තිබෙන ශල්කවලට හානියක් වෙන්න පුළුවන්. ඒත් සලබයා දෙසට අත දිගු කළාම ඌ සමහර අවස්ථාවලදී ඉබේම අත දිගේ එනවා. මම මේක දැනගෙන හිටිය හින්දා උගේ තටුවලින් අල්ලන්නේ නැතුව ඌ දෙසට මගේ අත දිගු කළා. එතකොට ඌ මගේ මැද ඇඟිල්ලට ආවා! ටික වේලාවකට පස්සේ ඌ ගස් තියෙන පැත්තට පියාඹගෙන ගියා. ඌ පියාඹද්දී මට හිතුණේ ඌ සමනලයෙක් වගේමයි කියලා. ඔබ සමනලයෙක් දකින ඊළඟ අවස්ථාවේදී ඌ දිහා හොඳට බලන්න. සමහරවිට ඌ කිසිවෙකුට හානියක් නොකරන දැකුම්කලු සලබයෙක් විය හැකියි!—සපයන ලද්දක්.
[පාදසටහන]
a කීට අවස්ථාවේදී සමහර සලබයන් බෝග වගාවලටද සෑහෙන හානි සිදු කරනවා.
[16, 17වන පිටුවේ පින්තූර]
1. රොබින් සලබයා (සික්රෝපියා)
2. පොලිෆීමස් සලබයා (ඇන්තිරීයා පොලිතීමස්)
3. සන්සෙට් සලබයා (ක්‍රිසිරිඩියා රිෆියස්)
4. ඇට්ලස් සලබයා (සිංහලෙන් යෝධ සලබයා)
[හිමිකම් විස්තර]
Natural Selection©-Bill Welch
A. Kerstitch
[18වන පිටුවේ පින්තූර]
සික්රෝපියා සලබයාගේ ජීවන චක්‍රය:
1. බිත්තර අවස්ථාව
2. දළඹු අවස්ථාව
3. සලබ අවස්ථාව
[හිමිකම් විස්තර]
Natural Selection© - Bill Welch