ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g01 7/8 19-22 පි.
  • ලෝකය ජල හිඟයකට මුහුණ පා ඇද්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකය ජල හිඟයකට මුහුණ පා ඇද්ද?
  • 2001 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ජල සැපයුම හිඟ වෙයි
  • සෞඛ්‍ය සහ ආහාර මත ඇති කරන බලපෑම
  • ලෝකයේ මෙතරම් ජල හිඟයක් පවතින්නේ මන්ද?
    2001 පිබිදෙව්!
  • අර්බුදය වඩාත් උත්සන්න වන ස්ථාන
    1997 පිබිදෙව්!
  • දිවි සුරකින ජලය සොයා
    2001 පිබිදෙව්!
  • සදාකාල ජීවනය ලබා දෙන දිය උල්පත
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2001 පිබිදෙව්!
g01 7/8 19-22 පි.

ලෝකය ජල හිඟයකට මුහුණ පා ඇද්ද?

“සමස්ත මානව සංහතියේ පැවැත්ම, යහපත් සෞඛ්‍යය හා සමාජ ආර්ථික වර්ධනය සඳහා තිබිය යුතු මූලික අවශ්‍යතාවලින් එකක් වන්නේ, බියක් සැකක් නැතිව පානය කළ හැකි ප්‍රමාණවත් පිරිසිදු ජල සැපයුමක් තිබීමය. අප ජලය පාවිච්චි කරන්නේ එය කිසිදා හිඟ නොවන දෙයක් කියා සිතාගෙනය. එහෙත් එය සැබෑවක් නොවේ.”—කෝෆි අන්නන්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්.

විශේෂ විනිසුරු මඩුල්ලක් ආරවුලක් විසඳීම සඳහා සෑම බ්‍රහස්පතින්දා දවසකම මධ්‍යාහ්නයේදී ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයට එක්රැස් වෙයි. මෙය පසුගිය අවුරුදු දහස පුරාම සිදු වෙමින් පවතී. එම ආරවුලට හේතුව ජලයයි.

සරුසාර භූමිභාගයක් වන වැලෙන්සියා තැනිතලාවේ වෙසෙන ගොවීන්ට ජලය ලැබෙන්නේ වාරිමාර්ගවලිනි. කවදත් මේ ප්‍රදේශයේ ප්‍රමාණවත් ජල සැපයුමක් නොතිබිණ. මුළු ජල සැපයුමෙන් තමන්ට හිමි විය යුතු ප්‍රමාණය නොලැබෙන විට, ඒ ගැන විනිසුරු මඩුල්ලට පැමිණිලි කිරීමට ගොවීන්ට පුළුවන. ජලය මුල් කරගෙන ආරවුල් ඇති වෙන්න පටන් ගත්තේ අද ඊයේ නොවේ. වැලෙන්සියාවේ සිදු වන්නාක් මෙන් මෙම ගැටලුවට සාධාරණ විසඳුම් ලැබෙන්නේ කලාතුරකිනි

මීට අවුරුදු 4,000කට පමණ පෙර ඉශ්‍රායෙලයේ බෙයර්-ෂෙබාහි තිබූ ළිඳකින් වතුර ගැනීමේදී එඬේරුන් අතර මහත් ආරවුලක් ඇති විය. (උත්පත්ති 21:25) අතීතයේ සිට මැද පෙරදිග රටවල පවතින ජල අර්බුදය අද වන විට උග්‍ර අතට හැරී තිබේ. මෙම රටවල නායකයන් දෙදෙනෙක් පවසන්නේ තම අසල්වැසි රටවල් සමඟ යුද්ධ ඇතිවීමට පවා ජලය බලපාන බවයි.

අර්ධ-ශුෂ්ක දේශගුණයක් පවතින රටවල මිනිසුන් අතර ගැටුම් ඇතිවීමට බොහෝ අවස්ථාවලදී හේතු වී තිබෙන්නේ ජලයයි. එයට හේතුව පැහැදිලියි. ජලය නොමැතිව ජීවිතයක් නොමැත. කෝෆි අන්නන් පැවසූ පරිදි, “ජලය වටිනා වස්තුවකි. ජලය නොමැතිව අපට ජීවත් විය නොහැක. ජලය වෙනුවට භාවිත කළ හැකි වෙනත් දෙයක්ද නැත. එය පහසුවෙන්ම අපිරිසිදු විය හැකි දෙයකි. පිරිසිදු ජලය සපයාගත හැකි ප්‍රමාණය මෙන්ම එහි ගුණාත්මකභාවයද මිනිස් ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි සේ බලපායි.”

වෙන කවරදාටත් වඩා අද පෘථිවියේ තිබෙන පිරිසිදු ජල සැපයුම හා එහි ඇති ගුණාත්මකභාවය කෙරෙහි තර්ජන එල්ල වෙමින් තිබේ. ලෝකයේ ඇතැම් ප්‍රදේශවල ඕනෑතරම් ජලය තිබෙන බව පෙනෙන්න තිබුණත්, එයින් අප මුළා නොවිය යුතුයි.

ජල සැපයුම හිඟ වෙයි

“මිනිසුන් යමක් වටිනා දෙයක් ලෙස සලකන්නේ ඒ දෙය හිඟව තිබෙන විටයි. මෙය මිනිසුන් අතින් සිදු වන ලොකු වරදක්. අප ජලය වටිනා දෙයක් ලෙස සලකන්නේ ළිඳේ වතුර සිඳී ගිය විටය. ජලය හිඟ වෙමින් පවතින්නේ වියළි ප්‍රදේශවල පමණක් නොවේ. සාමාන්‍යයෙන් ජල හිඟයකට මුහුණ නොදුන් ප්‍රදේශවල පවා දැන් ජල හිඟයන් පවතී” කියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිපාලන අංශයේ නිලධාරිනියක වන එලිසබෙත් ඩව්ඩ්ස්වෙල් පවසයි.

මෙම ගැටලුව හොඳින් අවබෝධ කරගෙන සිටින්නේ ජල හිඟය නිසා දිනපතා පීඩා විඳින අයයි. ඉන්දියාවේ ජීවත් වන අශෝකන් රැකියාව කරන්නේ මදුරාසියේ පිහිටි කාර්යාලයකය. උදෑසන හිරුරැස් විහිදෙන්න පැය දෙකකට පමණ කලින් අවදි වීමට ඔහුට සිදු වී තිබේ. ඔහු බාල්දි පහක් රැගෙන පොදු ජල කරාමය ළඟට පයින් ගමන් කරයි. ඒ සඳහා ඔහුට විනාඩි පහක් ගත වෙයි. මෙම ස්ථානයෙන් ජලය සැපයෙන්නේ පාන්දර හතරේ සිට උදෑසන හය දක්වා පමණි. එනිසා තමාගේ බාල්දිවලට වතුර පුරවා ගන්න නම්, හැකි තරම් වේලාසනින් ගොස් පෝළිමේ සිටිය යුතුය. මෙසේ ඔහු ගෙදර රැගෙන එන බාල්දි පහේ වතුර දවසේ වැඩකටයුතු සඳහා අරපිරිමැස්මෙන් පාවිච්චි කළ යුතුයි. ඉන්දියානු වැසියන් බොහෝදෙනෙකු ඇතුළුව ලොව පුරා සිටින කෝටි සියයකට ආසන්න ජන පිරිසකට අශෝකන්ට ලැබෙන වතුර ප්‍රමාණයවත් නොලැබේ. ඔවුන්ගේ නිවෙස් අසල ජල කරාම නැත. අඩුම තරමින් ගඟක්වත් ළිඳක්වත් නැත.

අප්‍රිකාවේ සහරා කාන්තාරයට දකුණින් පිහිටි සාහෙල් නමැති ප්‍රදේශයේ ජීවත් වන අබ්දුල්ලා නමැති පිරිමි ළමයා එවන් අයගෙන් කෙනෙකි. ඔහු වෙසෙන ගම්මානය ක්ෂේම භූමියක් බව මහ මාර්ගය දෙපස තිබෙන දැන්වීම් පුවරුවල සඳහන් වී තිබුණත්, එහි ජල හිඟයක් පවතින්නේ මීට බොහෝ කලකට පෙර සිටය. එමෙන්ම මෙම ගමේ පෙනෙන තෙක් මානයක ගසක්වත් නැත. තම පවුලේ අවශ්‍යතාවයන් සඳහා කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ළිඳකින් වතුර ගෙන ඒමේ කාර්යය පැවරී තිබෙන්නේ අබ්දුල්ලාටය.

ලෝකයේ ඇතැම් ප්‍රදේශවල පිරිසිදු ජලය සඳහා තිබෙන ඉල්ලුම, සැපයුම ඉක්මවා ගොස් තිබේ. මෙයට හේතුව මිහිතලය මත වෙසෙන මිනිසුන්ගෙන් බහුතරයක් දිගු කලක සිට ජල හිඟයක් පවතින ශුෂ්ක හෝ අර්ධ-ශුෂ්ක ප්‍රදේශවල ජීවත් වීමයි. (දහනවවන පිටුවේ තිබෙන සිතියම බලන්න.) ස්ටොක්හෝම් පාරිසරික ආයතනය සඳහන් කරන පරිදි ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් ජීවත් වන්නේ සාමාන්‍ය ජල හිඟයක් හෝ උග්‍ර ජල හිඟයක් පවතින ප්‍රදේශවලය. ජල ඉල්ලුම වැඩි වන වේගය, ජනගහනය වැඩි වන වේගය මෙන් දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ.

එහෙත් සාමාන්‍යයෙන් ජල සැපයුම ස්ථාවර මට්ටමක පවතී. ජල හිඟයට තාවකාලික විසඳුමක් වශයෙන් ගැඹුරු ළිං හා අලුත් ජලාශ ඉදි කළත් පොළොවට ලැබෙන වර්ෂාව හා භූගත ජල මට්ටම සාමාන්‍යයෙන් නොවෙනස්ව පවතී. මේ නිසා, කාලගුණ විද්‍යාඥයන්ගේ ගණන් බැලීම්වලට අනුව ඊළඟ වසර 25 ඇතුළත එක් පුද්ගලයෙකුට ලැබෙන ජලය ප්‍රමාණය සියයට පනහකින් අඩු වනු ඇත.

සෞඛ්‍ය සහ ආහාර මත ඇති කරන බලපෑම

ජල හිඟය මිනිසුන්ට බලපාන්නේ කෙසේද? මූලිකවම එය මිනිසුන්ගේ සෞඛ්‍යයට හානි පමුණුවයි. ඔවුන් පිපාසයෙන් මිය යන්නේ නැත. එහෙත් මෙහිදී සිදු වන්නේ ආහාර පිසීමට හා පානය කිරීමට තිබෙන ජලයට විවිධ හානිකර ද්‍රව්‍ය එක්වීම නිසා මිනිසුන් ලෙඩවීමයි. “සංවර්ධනය වෙමින් පවතින රටවල වෙසෙන මිනිසුන්ට වැළඳෙන ලෙඩ රෝගවලින් සියයට 80කට පමණ හේතුව අපවිත්‍ර ජලයයි. මරණවලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකට හේතුවද අපවිත්‍ර ජලයයි” කියා එලිසබෙත් ඩව්ඩ්ස්වෙල් පෙන්වා දෙයි. ලෝකයේ අර්ධ-ශුෂ්ක ප්‍රදේශවල පිහිටා ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල ජලය මිනිස් හා සත්ව මළපහ, කෘමි නාශක, පොහොර හා කර්මාන්ත ශාලාවලින් පිට වන රසායනික ද්‍රව්‍ය යනාදියෙන් අපවිත්‍ර වේ. දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වලට එසේ අපවිත්‍ර වූ ජලය පාවිච්චි කරනවා හැර වෙනත් විකල්පයක් නොතිබිය හැක.

අපේ සිරුරේ අපද්‍රව්‍ය බැහැර කිරීමට ජලය අවශ්‍ය වන්නාක් මෙන්ම අපේ නිවෙස්වල තිබෙන අපද්‍රව්‍ය බැහැර කර පිරිසිදු කිරීම සඳහා ජලය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. එහෙත් සනීපාරක්ෂාව සඳහා ප්‍රමාණවත් ජලය බොහෝදෙනෙකුට නොලැබේ. ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් නොමැතිව සිටි අයගේ ගණන 1990දී බිලියන 2.6ක් වූ අතර, 1997දී එය බිලියන 2.9ක් දක්වා ඉහළ ගියේය. මෙය ලෝක ජනගහනයෙන් අඩකට ආසන්නය. සනීපාරක්ෂාව නොලැබීමෙන් මිනිසුන් මිය යා හැකි නිසා ඒ සඳහා සැලසුම් යෙදීමට අප්‍රමාදව පියවර ගත යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන කැරල් බෙලමි හා නිටින් දේසයි ඒ ගැන මෙසේ අනතුරු ඇඟවූහ. “පානය කිරීමට හා සනීපාරක්ෂක කටයුතු සඳහා පිරිසිදු ජලය දරුවන්ට නොලැබීම ඔවුන්ගේ සෞඛ්‍යයට හා වර්ධනයට සෑම පැත්තකින්ම අහිතකර ලෙස බලපායි.”

ජලය නොමැතිව ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කළ නොහැක. ධාන්‍ය වර්ග බොහොමයක් වගා කිරීමේදී, ඒ සඳහා අවශ්‍ය කරන ජලය සපයා ගනු ලබන්නේ වැසි ජලයෙනි. එහෙත් වේගයෙන් වර්ධනය වන ලෝක ජනගහනයට ආහාර සැපයීම සඳහා වාරිමාර්ග තුළින් ජලය සැපයීම මෑතක සිට අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වී ඇත. අද ලෝක අස්වැන්නෙන් සියයට 36ක් ලැබෙන්නේ වාරි ජලය උපයෝගි කරගනිමින් කරන වගාවන්වලිනි. මීට අවුරුදු 20කට පමණ පෙර, වාරි ජලය යොදාගනිමින් ලොව පුරා වගා කළ හැකි භූමි ප්‍රමාණය වාර්තාගත ලෙස වැඩි විය. එහෙත් එදා සිට අද දක්වා එය වේගයෙන් පහත බසිමින් පවතී.

අපේ නිවසේ තිබෙන ඕනෑම වතුර කරාමයක් විවෘත කළ විට වේගයෙන් වතුර ගලා යනවා නම් හෝ නවීන පන්නයේ සනීපාරක්ෂක පහසුකම් සහිත වැසිකිළියක් පාවිච්චි කිරීමේදී අපද්‍රව්‍ය සෝදා හැරීම සඳහා ඕනෑ තරම් ජලය තිබෙනවා නම්, ලෝකයේ ජල හිඟයක් පවතිනවා කියා විශ්වාස කිරීම අපට අමාරු දෙයක් විය හැක. කෙසේවෙතත්, එවැනි සුඛෝපභෝගි සනීපාරක්ෂක උපාංග භාවිත කිරීමේ හැකියාව තිබෙන්නේ, ලෝක ජනගහනයෙන් සියයට 20කට පමණක් බව අප අමතක නොකළ යුතුය. අප්‍රිකාවේ වෙසෙන ස්ත්‍රීන් බොහෝදෙනෙකුට තම නිවෙස්වලට වතුර ගෙන ඒම සඳහා දිනකට පැය හයක් වැය කිරීමට සිදු වේ. බොහෝ අවස්ථාවලදී එම ජලයත් අපවිත්‍රය. පිරිසිදු, සෞඛ්‍යයට හානිකර නොවන ජලය හිඟ බවටත්, එය දවසින් දවස අඩුවේගන යන බවටත් වූ යථාර්ථය වඩාත් හොඳින් තේරුම්ගන්නේ මේ ස්ත්‍රීන්ය.

මේ ගැටලුව විසඳීමට තාක්ෂණයට හැකිද? විවිධ මාර්ගයන්ගෙන් ලබාගන්න ජලය අරපිරිමැස්මෙන් භාවිත කළ හැකිද? ලෝකයේ මෙතරම් ජල හිඟයක් පවතින්නේ මන්ද? ඊළඟ ලිපිවලින් මෙම ප්‍රශ්නවලට උත්තර සොයාගත හැක.

[20වන පිටුවේ කොටුව/රූප සටහන]

අපට ජලය ලැබෙන්නේ කොහෙන්ද?

පොළොව මත තිබෙන ජලයෙන් සියයට 97ක්ම තිබෙන්නේ සාගරවලය. පානය කිරීමට, ගොවිතැන් කිරීමට හා නිෂ්පාදන කටයුතුවලදී යොදාගැනීමට නොහැකි වන තරමටම එම ජලය අධික ලවණ ගතියෙන් යුක්තය.

පෘථිවිය මත මිරිදිය තිබෙන්නේ සියයට 3ක් පමණි. එහෙත්, එයිනුත් වැඩි ප්‍රමාණයක් මිනිසාගේ පාවිච්චිය සඳහා යොදාගැනීම දුෂ්කරය (මේ සමඟ තිබෙන රූප සටහන බලන්න).

[රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

නිත්‍ය අයිස් කුටි හා හිම 68.7%

භූගත ජලය 30.1%

නිත්‍ය තුහිනය, භූගත අයිස් 0.9%

ගංගා, ඇළ දොළ, විල් හා වගුරු බිම් 0.3%

[21වන පිටුවේ කොටුව]

ජල අර්බුදය

◼ අපවිත්‍ර වීම පෝලන්තයේ ගංගාවල ජලයෙන් පානය කිරීමට සුදුසු තත්වයේ තිබෙන්නේ සියයට 5ක් පමණි. එයිනුත් සියයට 75ක්ම කාර්මික කටයුතු සඳහාවත් පාවිච්චි කිරීමට නොහැකි වන තරමටම අපවිත්‍ර වී තිබේ.

◼ නාගරික සැපයුම් ලෝකයේ දෙවන විශාලතම නගරය ලෙස සැලකෙන මෙක්සිකෝ නගරයේ ජල අවශ්‍යතාවයෙන් සියයට 80ක්ම සපයන භූ ජල මට්ටම වේගයෙන් සිඳීයමින් පවතී. ජල නළ මගින් ඇදගන්නා ජල ප්‍රමාණය ස්වාභාවිකව නැවත උනන භූගත ජල ප්‍රමාණයට වඩා සියයට පනහකින් පමණ වැඩිය. චීනයේ අගනුවර වන බීජිං නගරයේද එවන් ගැටලුවක් පවතී. එහි ජලධරයෙන් අවුරුද්දකට ලැබෙන ජල ප්‍රමාණය මීටර් 3කින් අඩු වී තිබෙන අතර, ළිංවලින් තුනෙන් එකක් සිඳී ගොස් ඇත.

◼ වාරිමාර්ග අමෙරිකා එක්සත් ජනපදයේ ඕගෙලාලා නම් ජලධරයෙන් ලැබෙන ජල ප්‍රමාණය මොනතරම් අඩු වී තිබෙනවාද කියනවා නම්, වයඹ දිග ටෙක්සාස්හි වාරිමාර්ග මගින් සැපයෙන ජලයෙන් වගා කරන භූමි ප්‍රමාණය තුනෙන් එකකින් අඩු වී ඇත. ආහාර නිෂ්පාදනය අතින් ලෝකයේ දෙවන හා තුන්වන ස්ථාන හිමි කරගෙන සිටින චීනය හා ඉන්දියාව යන රටවල්ද ඒ හා සමාන අර්බුදයකට මුහුණ පා සිටී. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වාරිමාර්ග නිසා වසර දහයක් ඇතුළත එහි භූගත ජලය මීටර් 23කින් අඩු වී තිබේ.

◼ සිඳී යන ගංගා වියළි කාලයේදී ලෝකයේ විශාලතම ගංගාවලින් එකක් වන ගංගා නම් ගඟ මුහුද හමු වන තෙක් ගලා බසින්නේ නැත. ඊට කලින් එහි ජලය විවිධ ප්‍රදේශවලට හරවාගනු ලැබේ. වියළි කාලයේදී උතුරු අමෙරිකාවේ පිහිටි කොලරාඩෝ ගංගාවට සිදු වන්නේද ඒ දෙයමයි.

[19වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ජල සැපයුම හිඟ ප්‍රදේශ

ජල හිඟයක් පවතින ප්‍රදේශ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න