දෙමාපිය සෙනෙහස නොලැබුණත් දෙවිගේ සෙනෙහස ලැබී
බ’නඩෙට් ෆින්ගේ කතාව
මට වයස අවුරුදු හතර පිරෙන්නත් කලින් අක්කලා තුන්දෙනා එක්ක මාවත් කන්‍යාරාමයකට දැම්මා. එතකොට බර්ඩිට 12යි; ෆිලිස්ට 8යි; අනමේට 7යි. අම්මවයි තාත්තවයි ඕනෙ කියලා සති ගණනක්ම මම ඇඬුව එක ඒගොල්ලන්ට තාම මතකයි. ඇයි අපිව එතැනට දැම්මේ?
මම ඉපදුණේ 1036 මැයි 28වෙනිදා කතෝලික ලොකු පවුලකයි. පුංචි අපි අපේ දෙමාපියන් එක්ක අයර්ලන්තයේ කවුන්ටි වෙක්ස්ෆෝඩ්හි ඩන්කොමික් නගරයේ කුඩා නිවසකයි හිටියේ. අටවෙනි දරුවා වුණු මට නිදාගන්න සිද්ධ වුණේ අක්කලා අයියලා හත්දෙනා නිදාගත්ත ලොකු ඇඳේමයි. ටික කලකට පස්සේ ඉපදුණ මල්ලියි, නංගියි නිදාගත්තේ කණ්ණාඩි මේසේ ලාච්චුවලයි.
අපේ තාත්තා හුඟක් මහන්සි වෙලා ගොවිපොළක වැඩ කෙරුව කෙනෙක්. ඔහුට හම්බ වුණේ සුළු පඩියක් නිසා අපිට හරිහමන් කෑමක්වත් ලැබුණේ නැහැ. මගේ අයියලා අක්කලාට ඉස්කෝලෙට ගෙනියන්න දවල් කෑම ටිකක් දෙන්න අම්මට පුළුවන් වුණේ කලාතුරකින්. අයර්ලන්තය පුරා තිබුණු දිළිඳු තත්වයත්, ඒ කාලයේ කතෝලික පල්ලියේ තිබුණ දැඩි නීති රීතිත් අපිට ගොඩක් බලපෑවා.
අපි නිතරම පල්ලි ගියත් අම්මා ආත්මික දේවලට වැඩි උනන්දුවක් දැක්වුවේ නැහැ. කොහොමනමුත්, ඈ ගිනි උදුන ළඟ ඉඳගෙන ආගමේ පොත් වගයක් කියෙව්ව එක නම් මගේ සහෝදරියන්ට මතකයි. ඈ කියෙව්වායින් පස්සේ තමන් කියවපු දෙයින් යමක් අපට පැහැදිලි කරන්න ඈ උත්සාහ කළ බව ඒගොල්ලෝ කියනවා.
“මගේ අම්මා කෝ?”
මාව කන්‍යාරාමයට ගෙනිච්ච දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ අම්මයි තාත්තයි කන්‍යා සොහොයුරිය එක්ක ලොකු කතාවක යෙදිලා ඉන්දැද්දී මම අනිත් පුංචි ගැහැනු ළමයි එක්ක සෙල්ලම් කරන්න පටන්ගත්ත නිසා ඒගොල්ලන් කතා කරන්නේ මොනවා ගැනද කියලා මම දැනගෙන හිටියේ නැහැ. පස්සේ එකපාරටම මට වටපිට බැලුණා. අම්මයි තාත්තයි පේන්න හිටියේ නැති නිසා මට දරාගන්න බැරි දුකක් ඇති වුණා. “මගේ අම්මා කෝ?” මම පුළුවන් තරම් හයියෙන් කෑගහලා ඇඬුවා. මුලදී සඳහන් කළා වගේ මම සති ගණනාවක්ම ඒ විදිහට ඇඬුවා.
මගේ අක්කලා තුන්දෙනා හිටිය නිසා පුංචි සහනයක් තිබුණා. ඒත් ඒගොල්ලො හිටියේ කන්‍යාරාමයේ වෙන පැත්තක නිසා මට වැඩිය ඒගොල්ලො ළඟට යන්න ලැබුණේ නැහැ. ඒගොල්ලන්ට නිදාගන්න තිබුණේ අපිට වඩා පැය දෙකකට පස්සේ නිසා මම ඇඳට වෙලා ඒගොල්ලො නිදාගන්න යන වෙලාව එනකම් ඇහැරිලා ඉන්නවා. ඊට පස්සේ, හිමිං සීරුවේ ඇඳෙන් බැහැලා තරප්පු පේළියේ උඩටම නඟිනවා. එතන ඉඳන් මට මගේ අක්කලාට අත වනන්න පුළුවන්. මම හැම දවසකම ඒ වටිනා මොහොත එනකම් බලාගෙන හිටියා.
කන්‍යාරාමය පාලනය කරන අය, දෙමාපියන් එනවට වැඩි කැමැත්තක් දැක්වුවේ නැති නිසා අපේ දෙමාපියන්ව දකින්න ලැබුණේ කලාතුරකින්. ඒ වෙන්වීම මට තදින් බලපෑවා. ඇත්තෙන්ම, මගේ දෙමාපියන් අපිව බලන්න ආව එක වතාවයි මට මතක. ඒ ආව වෙලාවේ මම ඒගොල්ලෝ ළඟට ගියේවත්, ඒගොල්ලෝ මා ළඟට ආවෙවත් නැහැ. කොහොමවුණත්, මගේ අක්කලාට නම් තව වතාවල් කීපයක්ම මතකයි.
කාලයක් යද්දී, කන්‍යාරාමය මගේම ගෙදර වුණා. එහෙ හිටිය අයව මං සැලකුවේ මගේම පවුලේ අය හැටියටයි. කන්‍යාරාමයෙන් එහා මට වෙන ලෝකයක් තිබුණේ නැහැ. මම එහෙ හිටිය අවුරුදු 12 ඇතුළත දෙවතාවයි පිට තැනකට ගියේ. කිට්ටුව තිබුණ නගරයට ගිය ඒ ගමන් දෙකේදිම අපිට ගස්කොළං, සත්තු දකින්න ලැබුණ නිසා අපි වින්දේ පුදුම ප්‍රීතියක්. ඒ ඇරෙන්න, අපිට කවදාවත් කාර්, බස්, කඩ සාප්පු දකින්න ලැබිලා තිබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි පූජකයා ඇරෙන්න වෙන පිරිමියෙකුව අපි දැක්කේ කලාතුරකින්.
කන්‍යාරාමයේ ජීවිතය
කන්‍යාරාම ජීවිතයේ හොඳ පැති තිබුණා වගේම හුඟක් නරක පැතිත් තිබුණා. හරිම ගුණ යහපත් තරුණ කන්‍යා සොහොයුරියක් දෙවි ගැන ඇය දැනගෙන හිටිය දේවල් පුළුවන් තරම් උපරිමයෙන් අපට ඉගැන්නුවා. දෙවි, ප්‍රේමනීය දෙවි කෙනෙක් කියලා ඇය අපට කියලා දුන්නා. ඒක මගේ සතුටට කාරණයක් වුණා. මගේම තාත්තාට වඩා දෙවි ප්‍රේමනීය හා කරුණාවන්ත කෙනෙක් හින්දා එදා පටන් දෙවිව මගේ තාත්තා හැටියට සලකන්න මම පටන්ගත්තා. ඊට පස්සේ දිගටම මම සරල භාෂාවෙන් පුංචි යාච්ඤාවලින් දෙවි එක්ක කතා කළා. ඒ කන්‍යා සොහොයුරිය කන්‍යාරාමයෙන් අස් වෙලා ගියහම මට ඈ නැති පාළුව හුඟක් දැනුණා.
මට ලැබුණ කදිම මූලික අධ්‍යාපනය ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒත්, “දිවා ශිෂ්‍යාවන්” (කන්‍යාරාමයේ අධ්‍යාපනය ලැබීමට නිවසේ සිට පැමිණි ළමයි) වශයෙන් හැඳින්වූ දැරිවියන් පාසැලට පැමිණි විට, ඔවුන්ට වැඩි සැලකිලි ලැබුණු ආකාරය මට මතකයි. ඔවුන් පෝසත් පවුල්වල ළමයි නිසා ඔවුන් ආවහම අපිට පන්ති කාමරවලින් පිට වෙන්න සිද්ධ වුණා. අපි අනාථ දරුවන් බවත්, අපේ පහත් තත්වය කල්පනාවේ තබාගත යුතු බවත් කන්‍යා සොහොයුරියන් නිතරම අපිට සිහිගැන්නුවා.
කන්‍යාරාමයේ හුඟක් නීති රීති තිබුණා. ඒවායින් සමහර නීති සාධාරණ ඒවා වුණ නිසා, ඒවා අවශ්‍යව තිබුණේ ඇයි කියන එක වටහාගන්න අපෙන් වැඩිදෙනෙකුට පුළුවන් වුණා. හැසිරීම, ආචාර ධර්ම වැනි දේ සම්බන්ධයෙන් ඉගෙනගන්න පුළුවන් ප්‍රයෝජනවත් පාඩම් ගණනාවක් ඒ අතර තිබුණා. මට මේවා කවදාවත් අමතක වුණේ නැහැ. ඒවා අද වෙනකම් මගේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. ඒත් සමහර නීති වැදගත්කමක් නැති අසාධාරණ ඒවා බවත්, අනිත් ඒවා කිසිම පදනමක් නැති, කලකිරවන ඒවා බවත් පෙනෙන්න තිබුණා. ඒවායින් එක නීතියක් තමයි රාත්රියේදී ඇඳ තෙමුවහම දඬුවමක් දෙන එක; රෑජාමේ වැසිකිළියට යන්න වුවමනා වුණොත් දඬුවම් දීම තවත් ඒ වගේ නීතියක්.
දවසක් දා තරප්පු පේළිය නඟිනකොට මා ළඟ හිටිය අනිත් ගෑනු ළමයා එක්ක මම කතා කරන්න පටන්ගත්තා. එතකොට කන්‍යා සොහොයුරියක් මට අඬගහලා, මං කතා කෙරුව එකට මට දඬුවම් කළා. මොකක්ද දන්නවද දඬුවම? අයර්ලන්තයේ ශීත ඍතුව පුරාම මට ග්‍රීෂ්ම ඍතුවේදී අඳින ඇඳුම් අඳින්න සිද්ධ වුණා. විටින් විට ඇදුම සහ සෙම්ගෙඩි හැදෙන නිසා මම නිතරම ලෙඩිනුයි හිටියේ. මට හුඟක් අසනීප වෙලා කන්‍යාරාමයේ හුඟක් දැරිවියන්ට වගේ මටත් ක්ෂය රෝගය වැළඳුණා. වෙනම නිදන ශාලාවකට දැම්මත්, අපිට වෛද්‍ය ප්‍රතිකාර ලැබුණේ නැහැ. ඒ හින්දා මගේ හොඳම යාළුවත්, තවත් ළමයි කීපදෙනෙකුත් මැරුණා.
සුළු වශයෙන්වත් අපි නීතියක් කැඩුවොත් අපෙන් සමහරුන්ට හොඳටම ගුටි කන්න සිද්ධ වුණා. ප්‍රසිද්ධ රැස්වීමකදී, කන්‍යා සොහොයුරියක් පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ එක ළමයෙකුට ගැහුවා. අපි හැමෝම ඇඬුවා. හැබැයි, කන්‍යා සොහොයුරියන් හැමෝම ඒ වගේ නපුරු නැහැයි කියන එක නම් කියන්නම ඕනෙ. ඒත්, අසරණ දරුවන්ට ඒ තරම්ම කෲර විදිහට කෙනෙක් සලකන්නේ කොහොමද කියන එක අද වෙනකම්ම මට හිතාගන්න අමාරුයි. මට කොහොමටවත් ඒක තේරුම්ගන්න බැහැ.
කාලයක් යද්දී අනමේයි, මමයි කන්‍යාරාමයේ ඉන්දැද්දී, බර්ඩියි, ෆිලිසුයි කන්‍යාරාමයෙන් පිට වෙලා ගියා. ඒ නිසා අනමේටයි මටයි, අපි දෙන්නට දෙන්නව නැතුවම බැරි වුණා. කවදාහරි දවසක අපේ දෙමාපියන් ඇවිත් අපිව ආයි කවදාවත් කන්‍යා සොහොයුරියන්ට සොයාගන්න බැරි තැනකට ගෙනිහිං දාන විදිහ වගේ කතන්දර කියමින් අනමේ මාව සැනසුවා. අනමේ කන්‍යාරාමයෙන් පිට වෙලා ගියහම මගේ පපුව පැළෙන්න තරම් වේදනාවක් දැනුණා. මට තවත් අවුරුදු තුනක් ඉන්න සිද්ධ වුණා.
පිට ජීවිතයට හුරුවීම
වයස අවුරුදු 16දී කන්‍යාරාමයෙන් පිට වුණු අද්දැකීම තැතිගන්වන එකක් වුණා. කන්‍යාරාමයෙන් පිට ලෝකය ගැන මම කිසි දෙයක් දැනගෙන හිටියේ නැති නිසා ඇත්තෙන්ම මම අන්දමන්ද වුණා. බස් රථයකට නැග්ගහම මගෙන් ගාස්තුව ඉල්ලද්දී, බස් ගාස්තුව කියන්නේ මොකක්ද කියලවත් මට තේරුමක් තිබුණේ නැහැ. කොහොමවුණත්, මා ළඟ සල්ලි තිබුණෙ නැති නිසා මාව බස් එකෙන් බැස්සුවා. අන්තිමේදී යන්න ඕන තැනට ඇවිදගෙන යන්න මට සිද්ධ වුණා. තවත් දවසක මම බස් එකේ යන්න බලාගෙන හිටියත් බස් එකක් ආවේ නැහැ. බස් එකට නඟින්න බස් නැවතුම්පොළට යන්න ඕන කියලා මම දැනගෙන හිටියේ නැහැ.
ඒත්, ටිකෙන් ටික ධෛර්යය, ශක්තිය උපදවාගත්ත නිසා මම මොනවද කරන්න ඕනෙ කියන එක මම තේරුම්ගත්තා. පුංචි රස්සාවක් හොයාගන්න මට පුළුවන් වුණත්, මාස කීපයක් වැඩ කළාට පස්සේ මගේ අම්මව බලන්න ගෙදර යන්න මම තීරණය කළා. ගෙදර ගියහම මට මුල් වතාවට මගේ නංගිලා මල්ලිලා සමහරදෙනෙකුව දැකගන්න පුළුවන් වුණා. ඒ වෙනකොට මට සහෝදර සහෝදරියන් 14දෙනෙක් හිටියා. ඒගොල්ලෝ එක්ක මටත් ඉන්න ඉඩ නැති නිසා අනමේ අක්කා එක්ක නවතින්න මාව වේල්ස්වලට යවන්න දෙමාපියන් තීරණය කළා. තාත්තා මාත් එක්ක ඇවිත්, මාව ඇරලපු ගමන් ආපහු යන්න ගියා.
අතේ සතයක්වත් තිබුණේ නැති නිසා මම හරිම අසරණ තත්වයකටයි වැටුණේ. ඒත් මම කොහොමහරි ඒ තත්වයෙන් ගොඩ ආවා. ඊට පස්සේ, 1953දී මම එංගලන්තයේ ලන්ඩන්වල පදිංචියට ගිහින් රෝමානු කතෝලික ශුභසාධන සංවිධානයක් වූ මරිය හමුදාවට බැඳුණා. මේ වගේ අය එක්ක වැඩ කළොත් ආත්මික දේවල් ලැබෙයි කියලා හිතාගෙන වැඩ කළත්, ආත්මික දේවල් නොලැබුණ නිසා මට ඇත්තටම කලකිරීමක් ඇති වුණා. මම ආත්මික දේවල් ගැන කතා කරන්න හුඟක් කැමති වුණත් මරිය හමුදාවේ වැඩ කරද්දී වැඩිය කතා කරන්න ලැබුණේ ලෞකික දේවල් ගැනයි; ආත්මික දේවල් ගැන කතා කරන්න ඉඩක් ලැබුණෙම නැහැ.
ලන්ඩන්වල ඉන්දැද්දී මගේ සහෝදරයන්ගේ යාළුවෙකු වූ පැට්රික්ව මට මුණගැහුණා. අපි ආදරයෙන් බැඳුණු අතර 1961දී විවාහ වුණා. අපේ වැඩිමල් දරුවන් වූ ඇන්ජෙලා සහ ස්ටීවන් ඉපදුණේ එහෙදියි. ඊට පස්සේ, 1967දී අපි ඕස්ට්‍රේලියාවට ගියා. එහෙදී අපේ තුන්වෙනි දරුවා වූ ඇන්ඩෘව හම්බ වුණා. අපි නිව් සවුත් වේල්ස්හි පිටිසරබද නගරයක් වූ බොම්බාලාවල පදිංචි වුණා.
කොහොමහරි ආත්මික ආහාර ලැබුණා!
අපි ඕස්ට්‍රේලියාවේ බොම්බාලාවලට ආව අලුතම, තරුණයෙකු වූ බිල් ලොයිඩ් ආවා අපිත් එක්ක බයිබලය ගැන කතා කරන්න. මගේ ප්‍රශ්නවලට බයිබලයෙන් කෙළින්ම උත්තර ලැබෙද්දී මගේ සතුට ඉහ වහා ගියා. බිල් කිව්ව දේවල් සත්‍යය බව මට වැටහුණත්, ඔහු බයිබලයෙන් පැහැදිලි කරන තවත් හුඟක් දේට ඇහුම්කන් දෙන්න තිබුණ ආසාව නිසා ඔහුව වැඩි වෙලාවක් තියාගන්න මට ඕන වුණා. ඒ නිසා මම ඔහු එක්ක ගොඩක් වාද කළා. ඊට පස්සේ, බිල් මට බයිබලයකුත්, සඟරා කීපයකුත් ගෙනත් දුන්නා.
සඟරා කියවීමෙන් මම සෑහෙන ප්‍රීතියක් ලැබුවත්, ඒවා පළ කරපු අය ත්‍රිත්වය විශ්වාස කරන්නේ නැහැ කියලා දැනගත්තහම මම පුදුම වුණා. හදිසියෙවත් පැට්රික් ඒවා කියෙව්වොත් එයාගේ ඇදහිල්ල පලුදු වෙයි කියලා හිතාගෙන මම ඒ සඟරාවල් හැංගුවා. ඊළඟ වතාවේ බිල් ආවහම ඒවා එයාටම දෙනවා කියලා මම තීරණය කළා. ඒත් ඔහු ඇවිත් තුන්දෙනාම එකම දෙවි කියන ත්‍රිත්ව ධර්මය බයිබලයේ ඉගැන්වීම්වලට සම්පූර්ණයෙන්ම පටහැනි බව මට පෙන්නලා දුන්නා. යේසුස් දෙවිගේ පුත්‍රයා බවත්, ඔහුව මැව්වේ ඔහුගේ පියා වූ යෙහෝවා දෙවි බවත්, ඒ නිසා යේසුස්ට පටන්ගැන්මක් තිබුණ බවත්, පියා ඔහුට වඩා උසස් බවත් වැඩි වෙලාවක් යන්න කලින් මට පැහැදිලි වුණා.—මතෙව් 16:16; යොහන් 14:28; කොලොස්සි 1:15; එළිදරව් 3:14.
කතෝලිකයෙකු වශයෙන් මම ඉගෙනගෙන තිබුණ අනිත් දේවලුත් වැරදි බව වැඩි කල් යන්න කලින් මම දැනගත්තා. නිරය කියලා වධ විඳින තැනක් තියෙනවා කියලවත්, මිනිසුන්ට අමරණීය ආත්මයක් තියනවා කියලවත් බයිබලයේ උගන්වන්නේ නැහැ. (දේශනාකාරයා 9:5, 10; එසකියෙල් 18:4) ඒ ගැන ඉගෙනගැනීමෙන් මට පුදුම සහනයක් දැනුණා! මම නිතරම ආදරය කළත් හරිහැටි දැනගෙන හිටියේ නැති පියාව මට කොහොමහරි දැනගන්න ලැබුණ නිසා මට ඇති වුණ සතුට මොනතරම්ද කියනවා නම් දවසක් මම කුස්සියේදී හිතේ හැටියට නැටුවා. මගේ ආත්මික පිපාසය සංසිඳුණා. මේ අලුත ලැබුණ විශ්වාසයන් ගැන පැට්රිකුත් මම වගේම උනන්දුවක් දැක්වුව නිසා මගේ ප්‍රීතිය තව තවත් වැඩි වුණා.
පිටිසරබද නගරයක් වූ ටමොරාහි පවත්වපු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකට එන්න කියලා බිල් අපිට ආරාධනා කළා. සෑහෙන දුරක් යන්න තිබුණත් අපි සතුටින් ආරාධනය පිළිගත් අතර සිකුරාදා හවස් වේගන එනකොට ටමොරාවලට යන්න පුළුවන් වුණා. සෙනසුරාදා උදේ ගෙයින් ගෙට දේශනා සේවයේ යන්න සමුළු ශාලාවේදී කණ්ඩායම් වශයෙන් එක්රැස් වුණා. කාලයක් තිස්සේ බලාගෙන හිටපු මොහොත උදා වෙලා තිබුණ නිසා පැට්රික්ට සහ මට කුතුහලයක් වගේම සතුටකුත් ඇති වුණා. ඒත් ඒ වෙනකොට අපි දෙන්නම දුම්පානය කරමින් හිටිය නිසා අපිට දේශනා සේවයේ හවුල් වෙන්න බැහැ කියලා බිල් කිව්වා. ඒ වුණත්, බිල් ගියාට පස්සේ පැට්රිකුයි මමයි කණ්ඩායමකට එකතු වුණා. අපි සාක්ෂිකරුවන් කියලා හිතාගෙන ඔවුන් අපිව දේශනා සේවයට හවුල් කරගත්තා.
ශුභාරංචිය දේශනා කිරීමේ හවුල් වීමට තිබිය යුතු ශුද්ධ ලියවිලිමය සුදුසුකම් මොනවද කියලා අපි ඉක්මනින්ම ඉගෙනගත්තා. (මතෙව් 24:14) ඒ නිසා පැට්රිකුයි, මමයි දුම්පානය නවත්වලා 1968 ඔක්තෝබර්වලදී වතුර බව්තීස්මය තුළින් යෙහෝවා දෙවිට අප කැප වෙලා ඉන්න බව පෙන්නුම් කළා.
අපේ ඇදහිල්ල පරීක්ෂණයට ලක් වී
අපේ බයිබල් දැනුම හා යෙහෝවා සමඟ ඇති අපේ සබඳතාව වැඩිවර්ධනය වුණහම දෙවිගේ පොරොන්දු කෙරෙහි තිබුණ අපේ විශ්වාසය නොසැලෙන එකක් බවට පත් වුණා. ටික කාලෙකට පස්සේ ඕස්ට්‍රේලියාවේ අගනුවර වූ කැන්බරාවල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක වැඩිමහල්ලෙක් හැටියට පැට්රික්ව පත් කළා. දරුවන්ගේ නහඹර කාලයේදී ඔවුන්ව ඇති දැඩි කරද්දී අපිට අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණත්, යෙහෝවාගේ ප්‍රමිතිවලට අනුව අපේ දරුවන්ව ලොකු මහත් කරන්න අපි අපේ උපරිම වෑයම දැරුවා.—එපීස 6:4.
කියන්නත් දුකයි, අපේ ස්ටීවන් පුතා වයස අවුරුදු 18දී මෝටර් රථ අනතුරකින් මියගියා. ඒත්, ස්ටීවන් යෙහෝවාගේ නමස්කාරකයෙක් වෙලා හිටිය නිසා දුක අතරින් අපට ලොකු සැනසීමකුත් ලැබුණා. අපි ආසාවෙන් බලාගෙන ඉන්නේ, සොහොන් ගෙවල්වල ඉන්න අයව යෙහෝවා නැවත නැඟිටුවන විට ස්ටීවන්වත් ආපහු දැකගන්නයි. (යොහන් 5:28, 29) ඊළඟ අවුරුද්දේ, ඒ කියන්නේ 1983දී මම අපේ ඇන්ජෙලා දුව එක්ක පූර්ණ කාලීන දේවසේවයේ හවුල් වෙන්න පටන්ගත්තා. එදා ඉඳලා මේ දක්වාම මම ඒ සේවයේ යෙදිලා ඉන්නවා. අනිත් අය එක්ක බයිබලය මත පදනම් අපේ බලාපොරොත්තුව බෙදාගනිද්දී, ජීවිතය දිහා ශුභවාදී හැඟීමකින් බලන්නත්, මගේ හිතේ තිබෙන වේදනාව සැහැල්ලු කරගන්නත් මට පුළුවන් වෙලා තියෙනවා. මගේ අනමේ අක්කා වේල්ස්හි ඉන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්ත බව මෑතකදී ආරංචි වුණහම මට දැනුණ ප්‍රීතිය වචනෙන් විස්තර කරන්න බැහැ.
වර්ෂ 1984දී, අමුතු ලෙඩක් හැටියට සැලකුව රෝගයක් පැට්රික්ට වැළඳුණා. එය නිදන්ගත විඩාවේ සහලක්ෂණය (chronic fatigue syndrome) බව අපි පසුව දැනගත්තා. අන්තිමේදී බාහිර රැකියාවෙනුත්, ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් හැටියට කළ සේවයෙනුත් ඔහුට අයින් වෙන්න සිද්ධ වුණා. ඔහුට දැන් තරමක් දුරට සුවයක් ලැබිලා තියෙන නිසා ආපහු සභා සේවකයෙකු හැටියට සේවය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක සතුටට කරුණක්.
මගේ කුඩා අවදියේදීම හික්මවීම සහ ආත්ම පරිත්‍යාගය කියන්නේ මොකක්ද කියලා මම ඉගෙනගත්තා. ඒ වගේම සරල ජීවිතයක් ගත කරන ආකාරයත්, තියෙන ටිකෙන් සෑහීමට පත් වෙන්නේ කොහොමද කියන එකත් මට ඉගෙනගන්න පුළුවන් වුණා. ඒත්, අනිත් දරුවන් 11දෙනාවම ගෙදර තියාගෙන අපි හතරදෙනාව විතරක් කන්‍යාරාමයට දැම්මේ ඇයි කියන එක තාමත් මට ප්‍රශ්නයක්. නමුත්, මට සම්පූර්ණ පින්තූරයම තේරුම්ගන්න බැරි වුණ අවදියේදී, අවුරුදු ගානකට ඉස්සෙල්ලා මියගිය මගේ දෙමාපියන් ඔවුන්ගේ උපරිමය කරන්න ඇති කියලා හිතාගෙන මම මාවම සනසවාගන්නවා. ඒ දුෂ්කර කාලයේදී දෙමව්පියන්ට අමාරු තීරණ ගන්න සිදු වෙන්න ඇති. කොහොමවුණත්, මම මගේ දෙමාපියන්ට ස්තුතිවන්ත වෙනවා මට ජීවිතය දුන්න එකටත්, ඔවුන්ට හැකි හොඳම විදිහට මාව බලාගත්ත එකටත්. ඒ සියල්ලටම වඩා මට පියෙකු බඳු සැලකිල්ලක් දැක්වුව එක ගැන මම යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා.
[14වන පිටුවේ පින්තූරය]
අපි බැන්ද අලුත
[15වන පිටුවේ පින්තූරය]
අපේ දරුවන් කුඩා කාලයේදී
[15වන පිටුවේ පින්තූරය]
අද පැට්රික් එක්ක