ඔබේ දරුවාට හඬ නඟා කියවිය යුත්තේ ඇයි?
“කිලුටු වූ නැමුණු පිටු ඇති පොතක් බිම දිගේ ඇදගෙන ආ දුව අමාරුවෙන් එල්ලිලා මගේ උකුළේ වාඩි වුණා. ‘මට කියවන්න උදව් කරන්න, තාත්තේ මට කියවන්න උදව් කරන්න’ කියලා දූ මට කිව්වා.”—අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ක්ලිෆර්ඩ් ෂිම්මෙල්ස්.
දරුවන් ඉතා ඉක්මනින් ඉගෙනගනියි. වයස අවුරුදු තුනකට වඩා අඩු දරුවන්ගේ මොළය ශීඝ්‍රයෙන් වර්ධනය වන බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. පොත් කියවීම, සිංදු කීම වැනි ක්‍රියාකාරකම්වල යෙදෙමින් දෙමව්පියන් දරුවන් සමඟ කාලය ගත කරනවා නම් හා සෙනෙහස පෙන්වනවා නම් මෙය ඔවුන්ගේ හිතකර වර්ධනයට හේතු වෙනවා. කෙසේවෙතත්, අවුරුදු දෙකත් අටත් අතර දරුවන් සිටින දෙමව්පියන්ගෙන් තම දරුවන්ට හඬ නඟා පොත් කියවන්නේ හරි අඩක් පමණයි කියා එක් සමීක්ෂණයකින් හෙළි වුණා. ‘ඇත්තටම මගේ දරුවාට හඬ නඟා කියවීම තුළින් යම් යහපතක් වෙයිද’ කියා ඔබ කල්පනා කරනවා විය හැකියි.
කියවීමට ආශාවක් උපදවීම
කියවීම මගින් දරුවාට යහපතක් වන බව විද්වතුන් පිළිගන්නවා. එක් පොතක (Becoming a Nation of Readers) මෙසේ වාර්තා වෙනවා. “දරුවෙකුට හොඳ කියවන්නෙකු වීම සඳහා අවශ්‍ය දැනුම වර්ධනය කරගැනීමට උපකාරවත් වන වැදගත්ම දේ වන්නේ කියවීමයි. එනම් හඬ නඟා කියවීමයි. මෙය විශේෂයෙන්ම කළ යුත්තේ දරුවාගේ පෙර පාසැල් අවධියේදීය.”
පොත්වලින් කතන්දර කියවන විට කුඩා කාලයේදීම දරුවාට යමක් තේරුම්ගැනීමට අප උපකාර කරනවා. එනම් පිටු අතරේ ඇති අකුරුවලින් සෑදෙන වචන අප එදිනෙදා කතා බහේදී භාවිතා කරන වචන බව දරුවා තේරුම්ගන්නවා. ඒ වගේම පොත්වල තිබෙන භාෂාවටත් ඔවුන් හුරු වෙනවා. හඬ නඟා කියවීම පිළිබඳව අත්පොතක සඳහන් වුණේ මෙයයි. “අපි දරුවෙකුට පොතකින් කියවන හැම වාරයකදීම ඔහුගේ මනසට ‘ප්‍රිය උපදවන’ පණිවිඩයක් යවන්නෙමු. මෙය හරියට පෙලඹීමක් ඇති කරවන වෙළඳ දැන්වීමක් වාගේය. පොත් පත් ප්‍රිය උපදවන යමක් බව සැලකීමට දරුවාගේ මනස එමගින් සැකසේ.” දෙමව්පියන් තම දරුවන් තුළ පොත් පත් සම්බන්ධව ආශාවක් වර්ධනය කරන විට එම ආශාව ජීවිත කාලය පුරාම දිගටම ඔවුන් තුළ පවතිනවා.
අවට ලෝකය තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කිරීම
දෙමව්පියන් හඬ නඟා කියවීමෙන් තම දරුවන්ට පරිසරය, මිනිසුන් හා වෙනත් දේවල් සම්බන්ධව මනා දැනුමක් ලබා දිය හැකියි. පොතේ පිටු අතරින් දරුවන්ට ලෝකය පුරා “ගමන්” කළ හැකියි. මෙයට එතරම් වියදමක් දරන්න අවශ්‍ය නැහැ. අවුරුදු දෙකක් වයසැති ඇන්තනිගේ අද්දැකීම සලකා බලන්න. ඔහු ඉපදුණු දා පටන් මව ඔහුට පොත් කියෙව්වා. “ඔහු මුලින්ම සත්ව උද්‍යානය බලන්න ගිය වේලේ ඔහුට දැනුණේ කලින් එම සත්තු දැක තිබුණු බවයි” කියා ඔහුගේ මව පවසනවා. ඒකට හේතුව සීබ්රා, සිංහයා, ජිරාෆ් වැනි සත්තු ඒ වේලාවේ පණපිටින් දැක්කත් ඊට කලින් මේ හැම සතෙක්ම පොත් පත්වලින් ඔහු දැක තිබීමයි.
ඔහුගේ මව තවදුරටත් මෙසේ කියා සිටියා. “ඇන්තනි ඔහුගේ මුල් අවුරුදු දෙක තුළ පොත් පත් මාර්ගයෙන් බොහෝ මනුෂ්‍යයන්, සතුන්, වටපිටාව සහ අදහස් ගැන අවබෝධයක් ලබා තිබුණා. එය ඔහුට ප්‍රීතිමත් අත්දැකීමක්.” කුඩා කාලයේදීම දරුවන්ට හඬ නඟා කියවන විට ඔවුන්ට තමන් ජීවත් වන පරිසරය ගැන පුළුල් දැනුමක් ලබාගැනීමට හැකි වෙනවා.
සමීප බැඳීමක් ඇති කරගැනීම
දරුවන් වැඩෙන වයසේ ලබාගන්නා තොරතුරු, ඔවුන්ගේ ඉදිරි ජීවිත කාලයේදී ගන්නා තීරණ හා දරන ආකල්පවලට බලපෑම් කළ හැකියි. ඒ නිසා දෙමව්පියන් තම දරුවන් සමඟ අන්‍යොන්‍ය විශ්වාසයක්, ගෞරවයක් හා එකිනෙකා වටහාගැනීමේ හැකියාවකින් යුත් සමීප සබඳතාවක් ගොඩනඟා ගත යුතුයි. කියවීම මේ සඳහා මහත් රුකුලක් විය හැකියි.
දරුවන්ව තම උකුළට ගෙන සෙනෙහසින් පොත් කියවීමට කාලය ගන්න දෙමව්පියන් නිහඬව දරුවාට කියන පණිවිඩය නම් “මම ඔයාට ආදරෙයි” යන්නයි. කැනඩාවේ අවුරුදු අටක දරුවෙකුගේ මවක් වන ෆීබේ තම දරුවාට පොත් කියවීම ගැන කිව්වේ මෙයයි. “මගේ පුරුෂයාට හා මට නේතන්ව ළං කරගැනීමට හැකි වී ඇති අතර විවෘත අදහස් හුවමාරුවට එය මඟ පාදා තිබෙනවා. ඒ විතරක් නොවෙයි අප අතර කිට්ටු බැඳීමකුත් තිබෙනවා.”
සින්ඩි ඇගේ දුවට අවුරුද්දක කාලේ පටන් හඬ නඟා කියවීම පුරුද්දක් කරගෙන තිබුණා. මුලදී දුවට අවධානය දිය හැකි වූයේ මිනිත්තුවකට හෝ දෙකකට පමණයි. මේ මව වැය කළ කාලය හා වෑයම ප්‍රයෝජනවත් වූවාද? සින්ඩි අදහස් පළ කළේ මෙහෙමයි. “කියවීම නිසා අබිගේල් සමඟ ගොඩනඟා ගත් මිත්‍රශීලී උණුසුම් වාතාවරණය නිසා, ඇගේ සිතුවිලි දැනගන්නත්, ඇය පාසැලේදී මුහුණ පාන තත්වයන් හා යහළුවන් අතර ඇති වන ගැටලු ගැන දැනගැනීමටත් හැකි වෙලා තියෙනවා. දෙමව්පියන්ට දරුවන් සමඟ එවන් සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට හැකිවීම තරම් ප්‍රීතියක් තවත් නැහැ.” හඬ නඟා කියවීම මෙවැනි කිට්ටු සම්බන්ධතාවයකට මඟ පාදයි.
ජීවිතයට අත්‍යවශ්‍ය පුරුදු ඉගැන්වීම
ශක්තිමත් පවුලකට පියවර තුනක් (සිංහලෙන් නොමැත) නමැති පොතේ පෙන්නුම් කරන්නේ “අද අපේ දරුවන් රූපවාහිනියෙන් හා වෙනත් මාධ්‍යවලින් උකහාගන්නේ මනස දූෂිත කරවන තොරතුරුයි. එම නිසා සාරධර්ම අනුව ජීවත් වීමටත් ජීවිතයේ යථාර්ථය තේරුම්ගැනීමටත් දරුවන්ට වෙන කවරදාටත් වඩා දැන් උපකාරය අවශ්‍ය වේ. ඒ සඳහා ඔවුන් මනස හිතකර දේවලින් පෝෂණය කිරීම මෙන්ම පැහැදිලිව සිතීමේ හැකියාව හා ප්‍රඥාව වර්ධනය කරගැනීමද අවශ්‍යයි.” මේ සම්බන්ධව යහපත් බලපෑමක් කළ හැකි හොඳම අය වන්නේ දෙමව්පියන්.
භාෂා දැනුම ප්‍රගුණ කරන පොත් පත් දරුවන්ට හඳුන්වා දීමෙන් ඔවුන්ගේ කථික හා ලිඛිත හැකියාව වැඩිදියුණු කිරීමට හැකි වෙනවා. ළදරුවන්ට පොත් අවශ්‍යයි (සිංහලෙන් නොමැත) යන පොතෙහි කර්තෘවරිය වන ඩොරති බට්ලර් කියන්නේ “කෙනෙකුගේ භාෂාමය හැකියාව ඔහුගේ සිතුවිලිවලට බලපාන බවත් අධ්‍යයනය කටයුතු කිරීමට හා ඥානය වඩවාගැනීමටත් භාෂාමය හැකියාව අවශ්‍ය බවත්ය.” තවද හොඳින් අදහස් හුවමාරු කිරීමේ හැකියාව අන්‍යයන් සමඟ යහපත් ඇසුරක් පැවැත්වීමට මඟ පාදයි.
අගනා පොත් කියවීම යහපත් සදාචාර ගතිපැවතුම් හා ගුණධර්ම වගා කිරීමට උපකාරවත් වෙනවා. දෙමව්පියන් තම දරුවන් සමඟ පොත් කියවා කරුණු පැහැදිලි කර දෙන විට දරුවන්ට තම ප්‍රශ්න නිරාකරණය කරගැනීමට ඇති හැකියාව දියුණු වෙනවා. සින්ඩි ඇයගේ දුව අබිගේල් සමඟ කතන්දර කියවන විට කතන්දරයේ විවිධ පසුබිම් අනුව අබිගේල්ගේ මුහුණේ ඇති වූ වෙනස්කම් ගැන සින්ඩි අවධානයෙන් සිටියා. “දෙමව්පියන් වශයෙන් ඇගේ සැඟවුණු ගුණාංග අපට දැනගැනීමටත් ඒ වගේම ඇයගේ වැරදි සිතුවිලි කුඩා කාලයේදීම නිවැරදි කිරීමටත් ඒ තුළින් හැකි වෙනවා.” හඬ නඟා කියවීම දරුවාගේ මනස මෙන්ම හෘදයද පෝෂණය කරයි.
කියවීම රසවත් අද්දැකීමක් කරන්න
කියවීම වින්දනයක් ලැබිය හැකි, විවේකීව හා මිත්රශීලීව කරන සාමාන්‍ය යමක් බවට පත් කරගන්න. දරුවන් ගැන අවබෝධයක් ඇති දෙමව්පියන් ඔවුන්ට කියවීමට කොපමණ කාලයක් ගත කළ යුතුදැයි දන්නවා. ලීනා මෙසේ කියනවා. “ඇන්ඩෘගේ වයස අවුරුදු දෙකයි. ඔහුට ගොඩාක් වෙලා එක තැන ඉඳගෙන අවධානය දෙන්න බැහැ. ඒ නිසා ඔහුගේ තත්වය අනුව අපි කියවීමට ගන්න කාලය අඩු කර තියෙනවා. අපි ආස නැහැ ඇන්ඩෘට කියවීම එපා වෙනවා දකින්න. ඒ නිසා ඔහුට හැකි ප්‍රමාණයට වඩා වැඩි වේලාවක් කියවීම සඳහා යොදවන්න අපි ඔහුට බල කරන්නේ නැහැ.”
හඬ නඟා කියවීම යනු මුද්‍රිත පිටු බලාගෙන කෑගැසීම නොවෙයි. අවශ්‍ය තැන්වල නවත්වමින් පැහැදිලිව හා ගලායන ස්වරූපයකින් කියවන්න. කියවීම කුතුහලය දනවන යමක් බවට පත් කිරීමට පින්තූරු යොදාගන්න. කියවීමේදී කටහඬ පාලනය කරන විට හා අර්ථය අවධාරණය වන විදියට කියවන විට කතන්දරය චිත්‍රයට නඟාගැනීමට දරුවාට හැකි වෙනවා. ඒ වගේම ඔබේ කටහඬේ ස්වභාවය මගින් ඔබට දරුවා තුළ උණුසුම් හා ආරක්ෂාකාරි හැඟීමක් ඇති කළ හැකියි.
වඩාත් ඵලදායක වන්නේ ඔබ කියවද්දී දරුවාත් ක්‍රියාශීලීව සහභාගි වෙනවා නම් පමණයි. මේ සඳහා වරින් වර කියවීම නවත්වා අදහස් විමසන ප්‍රශ්න අසන්න. දරුවාට තම පිළිතුරට වෙනත් තොරතුරුද ඇතුළත් කරමින් එය පුළුල් කළ හැකි ක්‍රම ගැන කියා දෙන්න.
පොත් පත් තෝරා බේරා කියවන්න
කියවීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතු කාරණයක් නම් සුදුසු පොත් තෝරා කියවීමයි. ඒ සඳහා යම් ගවේෂණයක් කිරීම අවශ්‍යයි. මනස දූෂිත නොකරන, ගොඩනංවනසුලු, යහපත් පණිවිඩයක් දෙන හා ප්‍රායෝගික පාඩමක් උගන්වන පොත් කියවීම සුදුසුයි. පොතක කවරය හා එහි ඇති චිත්‍ර, පෙරවදන හා භාෂා ශෛලිය කෙරෙහි කිට්ටු අවධානයක් යොමු කරන්න. දරුවන්ට හා දෙමව්පියන්ට එක සේ ආස්වාදයක් ලැබිය හැකි පොත් තෝරන්න. බොහෝ අවස්ථාවලදී දරුවන් එකම කතාව නැවත නැවත කියවීමට ඉල්ලා සිටින්නත් පුළුවන්.
ලොව පුරා බොහෝ දෙමව්පියෝ මගේ බයිබල් කතන්දර පොත බෙහෙවින් අගය කරනවා.a මෙම පොත සකස් කර තිබෙන්නේ දෙමව්පියන්ට තම දරුවන් සමඟ කියවීමටයි. මේ මගින් දරුවන්ගේ කියවීමේ හැකියාව දියුණු වෙනවා පමණක් නොව බයිබලය කෙරෙහි උනන්දුවක් හා ආශාවක්ද ඇති වෙනවා.
හඬ නඟා කියවීමෙන් දෙමව්පියන්ට තම දරුවන් තුළ කියවීමට ආශාවක් ඇති කළ හැකියි. මෙය ජීවිත කාලය පුරාම ප්‍රයෝජනවත් ප්‍රතිඵල අත් කර දිය හැකියි. ජෝඈනා ඇගේ දුව ගැන කිව්වේ මෙයයි. “මගේ දුව ජෙනිෆර් ඉස්කෝලේට ඇතුල් වෙන්නත් කලින් ලියන්න කියවන්න ඉගෙනගෙන තිබුණා. ඒ විතරක් නෙවෙයි ඇය මැවුම්කාර දෙවි යෙහෝවා කෙරෙහි ප්‍රේමයකුත් වර්ධනය කරගෙන තිබුණා. දෙවිගේ වචනය වන බයිබලය විශ්වාස කිරීමටත් ඒ වචනයට අනුව තීරණ ගැනීමටත් ජෙනිෆර් පුරුදු වී සිටිනවා.” ඇත්තවශයෙන්ම දරුවෙකුට ප්‍රේමය වර්ධනය කරගැනීමට උපකාර කිරීම යම් දේවල් උගන්වනවාට වඩා වැදගත්.
[පාදසටහන]
a ප්‍රකාශයට පත් කළේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්.
[14වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ඔබ දරුවාට කියවන විට
• ළදරු කාලයේ සිටම පටන්ගන්න.
• කියවීම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා දරුවාට අවශ්‍ය කාලය දෙන්න.
• ඔබ දෙදෙනාම කැමති පොත් කියවන්න.
• හැඟීමෙන් යුතුව හැකි සෑම අවස්ථාවකම කියවන්න.
• ප්‍රශ්න ඇසීමෙන් දරුවාව කියවීමට හවුල් කරගන්න.
[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඡායාරූපය: Wildlife Conservation Society’s Bronx Zoo