ආතරයිටිස් රෝගය අවබෝධ කරගැනීම
“මම හැමදාම රෑ නිදාගන්න යන කොට මගේ විකෘති වෙච්ච අත පය දිහා බලාගෙන අඬනවා.”—ජපානයේ මිඩෝරි.
ආතරයිටිස් රෝගය සියවස් ගණනාවක සිට මිනිසාව පීඩාවට පත් කර තිබෙනවා. ඊජිප්තුවේ මමීවරුන්ගෙන් ලැබී ඇති තොරතුරුවලින්ද මෙය සනාථ වෙයි. දේශ ගවේෂක ක්‍රිස්ටෝෆ’ කොලම්බස්ද එයින් පීඩා විඳි බවක් පෙනෙන්ට තිබෙනවා. අදදිනත් මිලියන ගණනක් එයින් වේදනා විඳිමින් සිටිනවා. ඇත්තෙන්ම මොකක්ද මේ ශරීරය දුබල කරවන රෝගය?
“ආතරයිටිස්” යන වචනය පැමිණ ඇත්තේ, “ඉදිමුණු සන්ධි” යන තේරුම ඇති ග්‍රීක් වචනයකිනි. එය රූමැටික රෝග 100කට අධික සංඛ්‍යාවක් හා සම්බන්ධයි.a මෙම රෝග, සන්ධිවලට පමණක් නෙවෙයි ඒවා සවිමත් කරන පේශි, අස්ථි, කණ්ඩරා සහ බන්ධනිවලටද බලපෑ හැකියි. සම, අභ්‍යන්තර ඉන්ද්‍රියයන් හා ඇස් පවා අනතුරට ලක් කරන ආතරයිටිස් වර්ගද තිබෙනවා. දැන් අපි වඩාත්ම සුලභව දක්නට ලැබෙන ආතරයිටිස් හා සම්බන්ධ රෝග දෙකකට අවධානය යොමු කරමු. එනම්, රූමැටොයිඩ් ආතරයිටිස් (RA) සහ ඔස්ටියෝ ආතරයිටිස් (OA).
සන්ධි සැකැස්ම
සන්ධියක් කියන්නේ අස්ථි දෙකක් එකිනෙකට සවි වන තැනටයි. ලසිකා සන්ධිය (synovial joint) සාමාන්‍යයෙන් ඝන කොපුවකින් ආවරණය වී ඇති අතර එම කොපුව සන්ධිය ආරක්ෂා කිරීමටත් සවිමත් කිරීමටත් මහෝපකාරි වෙයි. (16වන පිටුවේ රූප සටහන බලන්න.) සන්ධි කොපුව ලසිකා පටලයෙන් ආවරණය වී තිබෙනවා. මෙම පටලය මගින් සන්ධියේ සුමුදු ක්‍රියාකාරිත්වයට දායක වන ලිහිසි තෙල් වැනි තරලයක් නිපදවනවා. සන්ධි කොපුව තුළ තිබෙන අස්ථි දෙකේ කෙළවරවල්, සුමට මතුපිටක් ඇති ඇදෙනසුලු දැඩි පටකයක් වන කාටිලේජය මගින් ආවරණය වී තිබෙනවා. කාටිලේජය මගින් අස්ථි එකිනෙක ගැටීම වළක්වනවා. එය සිරුරේ ඇති වන කම්පනය දරාගනිමින් මෙට්ටයක් සේ ක්‍රියා කරන අතර ඔබේ අස්ථි කෙළවර ආරක්ෂා කරමින් සිරුර මත ඇති වන පීඩනය අස්ථි පුරාම සම සේ බෙදාහරිනවා.
උදාහරණයකට, ඔබ ඇවිදින විට, දුවන විට හෝ පනින විට ඔබේ උකුලට හා දණිස්වලට විශාල පීඩනයක් ඇති වෙනවා. එය ඔබේ ශරීරයේ බර මෙන් 4 සිට 8 ගුණයක් දක්වා වැඩි විය හැකියි! එවිට, ඒ ආශ්‍රිතව ඇති මාංශ පේශි හා කණ්ඩරා මගින් කම්පනය බොහෝදුරට දරාගන්නා අතර අස්ථිවලට පීඩනය දරාගත හැකි වන ලෙස කාටිලේජය ස්පන්ජියක් සේ හැකිළෙනවා.
රූමැටොයිඩ් ආතරයිටිස්
රූමැටොයිඩ් ආතරයිටිස් (RA) වැළඳෙන්නේ, ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියෙන් සන්ධිවලට දැඩි ප්‍රහාරයක් එල්ල වන විටයි. නොදන්නා හේතුවක් නිසා (ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියේ ප්‍රධාන කාර්යයක් ඉටු කරන T සෛල ඇතුළුව) රුධිර සෛල විශාල පරිමාණයක් වේගවත් ලෙස සන්ධි කුහරවලට ගලා එනවා. මෙයින් රසායනික ප්‍රතික්‍රියා රැසක් වැල නොකැඩී සිදු වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් සන්ධි ඉදිමීමට පටන්ගන්නවා. ලසිකා සෛල පාලනයකින් තොරව වර්ධනය වන අතර පටක සමූහයක් එකට එක් වී පන්නස (pannus) නමින් හැඳින්වෙන ගෙඩියක් හටගන්නවා. පන්නසෙන් කාටිලේජය විනාශ කරවන එන්සයිමයක් නිපදවෙන අතර අස්ථි කෙළවර එකිනෙක ගැටීම නිසා සන්ධිය චලනය කිරීම අපහසු වී දරාගත නොහැකි වේදනාවක් හටගනියි. අස්ථි මෙලෙස දිරා යෑමෙන් බන්ධනි, කණ්ඩරා හා මාංශ පේශිද දුර්වල වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සන්ධිය දුර්වල වී අස්ථිය මදක් පනින්න පවා පුළුවන්. බොහෝවිට සන්ධි විකෘති වෙයි. සාමාන්‍යයෙන් RA මැණික් කටුව, දණිස් හා පාද රෝගාතුර තත්වයකට පත් කරවමින් සන්ධි හරහා පැතිර යන්නේ සමමිතික රටාවකටයි. RA රෝගීන්ගෙන් සියයට පනහකට ඉහළ සංඛ්‍යාවකගේ සම යටින් ගැටිති ඇති වෙනවා නැත්නම් සන්ධිය ඉදිමෙනවා. ඇතමෙකුට රක්තහීනතාවය, ඇස්වල හා උගුරේ වේදනාව මෙන්ම ඒවායේ වියළි ගතියක් ඇති වෙන්න පුළුවන්. වෛරස් ආසාදනයකදී ඇති වන උණ, ඇඟපත වේදනාව හා විඩාව වැනි රෝග ලක්ෂණද හටගනී.
රෝගය බලපාන අන්දම, පටන්ගන්නා ආකාරය හා පවතින කාල සීමාව රෝගියාගෙන් රෝගියාට වෙනස් වෙනවා. සමහර රෝගීන්ට සන්ධිවල වේදනාව හා දරදඬු බව ඇති වෙන්නේ ක්‍රමක්‍රමයෙන්. ඇතැම්විට ඒ සඳහා සති ගණනාවක් හෝ අවුරුදු කිහිපයක්ම ගත වෙන්න පුළුවන්. තවත් අයෙකුට වේදනාව සැනෙකින් හටගත හැකියි. සමහර අයට RAවලින් වැඩි අනතුරක් සිදු නොවන අතර එය මාස කිහිපයකින් අතුරුදහන් වී යයි. ඇතමෙකුට කාලයකදී රෝග ලක්ෂණ ඉතා උත්සන්න වන අතර ඉන්පසු රෝග ලක්ෂණ අඩුවීමට හෝ නැති වී යෑමටද ඉඩ තිබෙයි. අවුරුදු ගණනාවක් පුරා රෝගයෙන් වේදනා විඳිමින් අන්ත දුබල තත්වයකට පත් වෙන රෝගීන්ද සිටිනවා.
RA වැළඳීමේ අවදානම තිබෙන්නේ කාටද? “එය සුලභව දක්නට ලැබෙන්නේ මැදි වියේ කාන්තාවන් අතරෙයි” කියා වෛද්‍ය මයිකල් ශිෆ් පවසනවා. “හැබැයි එය දරුවන් හා පුරුෂයන් ඇතුළු ඕනෑම වයසක සිටින කෙනෙකුට හැදෙන්න පුළුවන්” කියා ඔහු තවදුරටත් පැහැදිලි කරනවා. ඥාතියෙකුට රූමැටොයිඩ් ආතරයිටිස් වැළඳී ඇත්නම් අවදානම තවත් වැඩියි. ඒ වගේම දුම්පානය, තරබාරුකම සහ කලින් රුධිර ප්‍රවේශනය කර තිබීම ආදිය අවදානම වැඩි කරන බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.
ඔස්ටියෝ ආතරයිටිස්
එක්තරා ජ’නලයක (Western Journal of Medicine) පවසා තිබෙන පරිදි “ඔස්ටියෝ ආතරයිටිස් හරියට කාලගුණය වගේ. එය හැම තැනකටම බලපානවා. හුඟක් වේලාවට ඒක දැනෙන්නෙවත් නැහැ. ඒත් සමහර වේලාවට එයින් ඇති වන ප්‍රතිඵල හුඟක් දරුණුයි.” RAවලට වඩා වෙනස්ව ඔස්ටියෝ ආතරයිටිස් (OA) සන්ධියක් හෝ සන්ධි කිහිපයක් පමණක් දිරායෑමට ලක් කරවන අතර ශරීරයේ වෙනත් කොටස් දක්වා එය පැතිර යන්නේ කලාතුරකින්. කාටිලේජය ක්‍රමක්‍රමයෙන් දිරායෑමට ලක් වෙනවාත් සමඟම අස්ථි එකිනෙක ගැටෙන්න පටන්ගනී. ඒත් එක්කම අස්ථිවල ඔස්ටියොෆයිට් (අස්ථිමය බහිවර්ධක) නමින් හැඳින්වෙන අසාමාන්‍ය නෙරු හටගනියි. තුවාල හටගත හැකි අතර යටින් ඇති අස්ථිය ඝන වී විකෘති වෙන්න පටන්ගන්නවා. ඇඟිලි පුරුක්වල ගැටිති මතුවීම, රෝගී වූ සන්ධිවලින් ශබ්ද නිකුත් වීම, මාංශ පේශි ගැස්සීම, සන්ධි වේදනාව, සන්ධි දරදඬු වීම හා චලන අපහසුතා රෝගයේ තවත් ලක්ෂණයි.
අතීතයේදී, OA වයස්ගත වීම හේතුවෙන් ඇති වෙන රෝගයක් හැටියටයි සැලකුවේ. ඒත් සෑහෙන කාලයක් පුරා පැවති එම විශ්වාසය දැන් ප්‍රවීණයන් විසින් අත්හැර දමා තිබෙනවා. එක්තරා වෛද්‍ය ජ’නලයක (The American Journal of Medicine) පවසන ආකාරයට, “දෛනික ජීවිතයේදී කම්පනයට ලක් වන සාමාන්‍ය සන්ධියක් කාලයාගේ ඇවෑමෙන් අක්‍රියාශීලී තත්වයකට පත් වෙයි කියා පැවසීමට කිසිදු සාක්ෂියක් නැහැ.” එසේ නම්, ඔස්ටියෝ ආතරයිටිස් ඇතිවීමට හේතුව කුමක්ද? එම ප්‍රශ්නයට පිළිතුරක් සෙවීම “බොහෝ මතභේදවලට මඟ පාදා තිබෙනවා” කියා ද ලාන්සට් නම් බ්‍රිතාන්‍ය සඟරාවක සඳහන් වුණා. ඇතැම් පර්යේෂකයන්ගේ මතයට අනුව, මුලදී අස්ථියක සියුම් පිපිරීමක් (භග්නයක්) වැනි අනතුරක් සිදු විය හැකියි. මෙය, අස්ථියේ නෙරු හටගැනීමට හා කාටිලේජය පිරිහීමට හේතු වෙන්න පුළුවන්. තවත් සමහරුන් කියා සිටින්නේ OA හටගන්නේ කාටිලේජය තුළදීම කියායි. කාටිලේජය තුනී වී එහි මතුපිට රළු වෙන්න පටන්ගන්න නිසා ඊට යටින් පිහිටි අස්ථිය මත වැඩි කම්පනයක් ඇති වන බව ඔවුන් සිතනවා. හානියට පත් වූ කාටිලේජය අලුත්වැඩියා කිරීමට ශරීරය වෑයම් කරත්ම ශරීර සැකැස්මේ හා ක්‍රියාකාරිත්වයේ යම් වෙනස්කම් ඇති වෙයි.
OA වැළඳීමේ අවදානම ඇත්තේ කාටද? වයස්ගත වීම නිසාම එය සිදු නොවුවත් වයස්ගත වීමත් සමඟම සන්ධිවල කාටිලේජය ක්ෂය වී යෑම වඩාත් සුලභව දක්නට ලැබෙනවා. සන්ධි කෙළවරවල් සවි වී ඇති ආකාරයේ යම් අසාමාන්‍යතා ඇති අය හෝ කකුල් හා කලව පේශිවල දුර්වලතා ඇති අය මෙන්ම පාදවල දිග එකිනෙකට වෙනස් වී හෝ කොන්දේ පිහිටීම වෙනස් වී ඇති අයටද අවදානමක් තිබෙනවා. සන්ධියකට අනතුරක් සිදුවීම හෝ එය නිතර නිතර එකම ආකාරයට චලනය කිරීමට සිදුවීම ඔස්ටියෝ ආතරයිටිස්වලට මඟ පෑදීමට ඉඩ තිබෙනවා. තරබාරුකම නිසා OAහි සිදු වන අස්ථි දිරා යෑම වඩාත් දරුණු අතට හැරෙන්න පුළුවන්.
වෛද්‍ය ටිම් ස්පෙක්ටර් මෙසේ පවසනවා. “ඔස්ටියෝ ආතරයිටිස් කියන්නේ හරිම සංකීර්ණ රෝගයක්. පාරිසරික සාධක අවදානම වැඩි කරන බව ඇත්තයි. ඒත් ප්‍රවේණියද තදබල ලෙස බලපෑ හැකියි.” පවුලේ සාමාජිකයෙකුට OA වැළඳී ඇති පවුල්වල සිටින මැදිවියේ හා වැඩිහිටි කාන්තාවන්ට රෝගය හටගැනීමේ ප්‍රවණතාව වැඩියි. ඔස්ටියෝපොරෝසිස් රෝගය මෙන් නොව, OA සෑදීමට පෙර අස්ථි ඝනත්වය වැඩි වෙයි. ඔක්සිජන් රහිත පරමාණු මගින් සිදු කරන හානියද C හා D විටමින්වල ඌනතාවයද හේතුකාරක විය හැකි බව ඇතැම් පර්යේෂකයන් සඳහන් කරනවා.
ප්‍රතිකාරය
ඖෂධ භාවිතය, ව්‍යායාමය හා ජීවන රටාවේ සකස් කිරීම් ආතරයිටිස් සඳහා කරන ප්‍රතිකාරයට අයත් වෙයි. භෞත චිකිත්සකයෙක් (physiotherapist) සහනය ගෙන දෙන ව්‍යායාම් වැඩසටහනක් නිර්දේශ කරන්න පුළුවන්. සන්ධි හැකි තාක් දුරට දිගහැර චලනය කිරීම (range of motion), සවි ගන්වන ව්‍යායාම (isometric), ස්වායු ව්‍යායාම (aerobics) හා බර දැරීමේ ව්‍යායාම (isotonic) මෙයට ඇතුළත් විය හැකියි. මෙම ව්‍යායාමවල යෙදීමෙන් සන්ධි වේදනාව, සන්ධි ඉදිමීම, විඩාව, ඈලි මෑලි ගතිය හා අවපීඩනය වැනි රෝග ලක්ෂණ බොහෝදුරට අඩු වන බව පෙනී ගොස් තිබෙනවා. මහලු අයට පවා ව්‍යායාමයෙන් ප්‍රයෝජන අත් වෙයි. අස්ථි ඝනත්වය අඩු වී යෑමද ව්‍යායාමය තුළින් අඩු කරගත හැකියි. උණුසුම් හා සිසිල් ඇසුරුම් යොදාගෙන කරන ප්‍රතිකාර මෙන්ම කටු චිකිත්සාව මගින් වේදනාව යම් දුරකට මර්දනය කළ හැකි බව ඇතමෙක් පවසනවා.b
සිරුරේ බර අඩු කරගැනීමෙන් සන්ධි වේදනාව සෑහෙන දුරට අඩු කරගත හැකි නිසා ආතරයිටිස් පාලනය කිරීමේදී ආහාර රටාවට විශේෂ තැනක් හිමි වෙනවා. තද කොළ පැහැති පලා වර්ග, නැවුම් පලතුරු වැනි කැල්සියම් අනූන ආහාර, සිසිල් ජලයේ වැඩෙන ඔමේගා-3 වර්ගයේ මේද අම්ල සහිත මසුන් වර්ග ආහාරයට ගැනීමෙන් හා කෘත්‍රිම ලෙස සකස් කරගත් සන්තෘප්ත මේද සහිත ආහාර අඩු කිරීමෙන් සිරුරේ බර මෙන්ම වේදනාවද අඩු කරගත හැකියි. ඒ කෙසේද? එවැනි ආහාර රටාවක් ප්‍රදාහක (ඉදිමීමේ) ක්‍රියාවලිය අඩු කිරීමට දායක වන බව ඇතමෙක් පවසනවා. මස්, කිරිවලින් සාදන ලද ආහාර වර්ග, තිරිඟු සහ තක්කාලි, අල, මිරිස් වර්ග හා වම්බටු වැනි නයිට්ශේඩ් විශේෂයට අයත් එළවළු වර්ග ආහාර රටාවෙන් ඉවත් කිරීමෙන්ද ඇතමෙක් සහනයක් ලබා තිබෙනවා.
ඇතැම් අවස්ථාවලදී ශල්‍ය ප්‍රතිකර්මයක් (arthroscopy) නිර්දේශ කරයි. මෙහිදී, යම් උපකරණයක් සන්ධිය තුළට යවා අස්ථි කා දමන එන්සයිමය නිපදවන ලසිකා පටලය අයින් කිරීමට ශල්‍ය වෛද්‍යවරයෙකුට ඉඩ දීමට සිදු වෙයි. කෙසේවෙතත්, ඉදිමීම නැවතත් සිදු වන නිසා මෙයින් ලැබෙන සහනය තාවකාලිකයි. තත්වය හුඟක් දරුණු අතට හැරේ නම් සැත්කමක් මාර්ගයෙන් (joint arthroplasty) සම්පූර්ණ සන්ධිය (සාමාන්‍යයෙන් ශ්‍රෝණිය හෝ දණහිස) අයින් කර කෘත්‍රිම එකක් සවි කළ හැකියි. මෙම සැත්කමෙන් ලැබෙන ප්‍රයෝජන අවුරුදු 10 සිට 15 දක්වා කාලයක් පුරා පවතින අතර එයින් ඉතා සාර්ථක ලෙස වේදනාවද මර්දනය වෙයි.
වඩා මෑතකදී වෛද්‍යවරුන් සන්ධිය තුළට හයලුරොනික් අම්ලය විදීමෙන් (viscosupplementation) ලසිකා තරලයේ ඇදෙනසුලු ලිහිසි ගතිය යළි ඇති කර දීමට වෑයම් කර තිබෙනවා. මෙම ප්‍රතිකර්මය වැඩියෙන්ම කරන්නේ දණිස්වලටයි. කාටිලේජය ප්‍රකෘතිමත් කරන ද්‍රව්‍ය (chondroprotective agents) සන්ධි තුළට විදීමෙන්ද යම් සහනයක් ලබාගත හැකි බව යුරෝපයේ කර ඇති පර්යේෂණ මගින් හෙළි වී තිබෙනවා.
ආතරයිටිස් සුව කළ හැකි ඖෂධයක් තවමත් සොයාගෙන නැතත්, වේදනාව හා ඉදිමීම අඩු කරන බොහෝ ඖෂධ වර්ග තිබෙනවා. ඉන් සමහරකින් රෝගය පැතිරීම ප්‍රමාද කරන බවත් පැවසෙයි. වේදනා නාශක, කෝර්ටිකෝ ස්ටෙරොයිඩ් ඖෂධ, ස්ටෙරොයිඩමය නොවන ප්‍රතිප්‍රදාහක ඖෂධ (NSAIDs), රූමැටික් රෝග මර්දක ඖෂධ (DMARDs), ප්‍රතිශක්ති මර්දක ඖෂධ (immunosuppressants), ජෛව ප්‍රතිචාරය සකසන හා ප්‍රතිශක්ති පද්ධතියේ ප්‍රතිචාරය වෙනස් කිරීම සඳහා ජානමය වශයෙන් සකස් කළ ඖෂධ ආතරයිටිස්හි දුබල කරවන රෝග ලක්ෂණ මර්දනය කරන අවි අතර වෙයි. මෙම ඖෂධවලින් සහනයක් ලැබුණද දරුණු ප්‍රතිඵලද අත් විය හැකියි. මන්ද මේ සෑම ඖෂධයකින්ම බරපතළ අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඖෂධවලින් සිදු විය හැකි යහපත හා අයහපත කිරා මැන බැලීම රෝගියාට මෙන්ම වෛද්‍යවරයාටද ලොකු අභියෝගයක්.
මෙම වේදනාකාරි රෝගයෙන් පීඩා විඳින සමහරෙක් ඒ සමඟ කටයුතු කරමින් සිටින්නේ කෙසේද?
[පාදසටහන්වල]
a ඔස්ටියෝ ආතරයිටිස්, රූමැටොයිඩ් ආතරයිටිස්, සංස්ථානික රක්තිමා ලියුපසය, (systematic lupus erythematosus), බාලයන්ට සෑදෙන රූමැටොයිඩ් ආතරයිටිස්, ගෞට්, භස්ත්‍රා ප්‍රදාහය (bursitis), රූමැටික් උණ, ලයිම් රෝගය, කාපල් ටනල් සහලක්ෂණය, ෆයිබ්‍රෝමයැල්ජියා, රයිටර්ස් සහලක්ෂණය, කශේරුවේ සන්ධි ආබාධය (ankylosing spondylitis) වැනි රෝගද මීට ඇතුළත් වේ.
b පිබිදෙව්! කිසියම් ප්‍රතිකාරයක්, ඖෂධයක් හෝ සැත්කමක් නිර්දේශ නොකරයි. යම් ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳව හොඳින් සොයා බලා දන්නා තොරතුරු සමඟ කාරණා නිශ්චය කිරීම සෑම රෝගියෙකුගේම පෞද්ගලික වගකීමයි.
[18වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
තරබාරුකම, දුම්පානය හා කලින් සිදු කළ රුධිර ප්‍රවේශන මගින් රූමැටොයිඩ් ආතරයිටිස් වැළඳීමේ අවදානම වැඩි විය හැකියි
[20වන පිටුවේ කොටුව⁄පින්තූරය]
විකල්ප ප්‍රතිකාර ක්‍රම
සම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රමවලට වඩා සහනය ගෙන දෙන ස්වාභාවික ද්‍රව්‍ය ආරක්ෂා සහිත බවටත් ඒවායින් ඇති වන අතුරු ආබාධ අඩු බවටත් විශ්වාසයක් තිබෙනවා. මුඛයෙන් ගන්නා II වර්ගයේ කොලජන් මෙයට එක් උදාහරණයක්. එමගින් සන්ධි ඉදිමුම අඩු කිරීමටත් රූමැටොයිඩ් ආතරයිටිස්වලින් ඇති වන වේදනාව මර්දනය කිරීමටත් හැකි බව ඇතැම් පර්යේෂකයන් කියා සිටිනවා. ඒ කෙසේද? ප්‍රදාහක කාරකයන් හා විනාශකාරි සයිටොකයින් (interleukin-1 හා tumor necrosis factor α) මර්දනය කිරීමෙන්. මෙම විනාශකාරි සාධකයන් මර්දනය කිරීමට ස්වාභාවික පෝෂ්‍ය පදාර්ථ කිහිපයකට හැකියාවක් ඇති බව පැවසෙනවා. විටමින් E, විටමින් C, නයසිනමයිඩ්, EPA හා GLA අම්ලවලින් අනූන මත්ස්‍ය තෙල්, බොරෙජ් ශාකයේ ඇටවල හා ඊව්නිං ප්‍රිම්රෝස් ශාකයේ තෙල් මෙයට අයත් වෙයි. චීනයේ, ට්‍රිප්ටරිජියම් විල්ෆෝඩී හුක් එෆ් නම් බෙහෙත් පැළෑටි ඖෂධය වසර ගණනාවක් පුරා මේ සඳහා යොදාගෙන තිබෙනවා. RA රෝග ලක්ෂණ මර්දනය කිරීමට එම ඖෂධය යම් තාක් දුරකට සමත් වී ඇති බව වාර්තාවලින් හෙළි වී තිබෙයි.
[16, 17වන පිටුවේ රූප සටහන]
(මුද්‍රිත පිටපත බලන්න)
නිරෝගී සන්ධියක්
භස්ත්‍රාව
පේශිය
කාටිලේජය
කණ්ඩරාව
සන්ධි කොපුව
ලසිකා පටලය
අස්ථිය
ලසිකා තරලය
රූමැටොයිඩ් ආතරයිටිස්වලින් පීඩා විඳින සන්ධියක්
සන්ධි අතර හිඩැස ක්ෂය වීම
අස්ථිය හා කාටිලේජය දිරා යෑම
ඉදිමුණු ලසිකා පටලය
ඔස්ටියෝ ආතරයිටිස්වලින් පීඩා විඳින සන්ධියක්
කැඩී ගොස් පාවී යන කාටිලේජ කැබලි
කාටිලේජ විනාශ වීම
අස්ථිමය නෙරු වර්ධනය
[19වන පිටුවේ පින්තූර]
ආතරයිටිස් ඕනෑම වයසක සිටින කෙනෙකුට වැළඳිය හැකියි
[20වන පිටුවේ පින්තූර]
ව්‍යායාමයෙන් සහ හිතකර ආහාර ගැනීමෙන් යම් සහනයක් ලබාගන්න පුළුවන්