ආතරයිටිස් රෝගීන්ට බලාපොරොත්තුවක්!
“ආතරයිටිස්, හෘද රෝගයක් නැත්නම් පිළිකාවක් වගේ නෙවෙයි. එයින් කෙනෙක් මරණයට පත් වෙන්නේ කලාතුරකින්. ඒ කොහොම වුණත් එය ජීවිතයේ ගුණාත්මකභාවයට නම් ලොකු පහරක් එල්ල කරන්න පුළුවන්” කියා වෛද්‍ය ෆාටිමා මිලි පවසනවා. ආතරයිටිස් යමෙකුගේ ජීවිතයේ සෑම අංගයකටම බලපෑ හැකියි. එයින් පීඩා විඳින අය අද්දකින ගැටලු සමහරක් මොනවාද? ඒවාට සාර්ථක ලෙස මුහුණ දිය හැකිද?
ඉතාලියේ වෙසෙන 28 හැවිරිදි කාටියාa ඇගේ තත්වය විස්තර කරන්නේ මෙලෙසයි. “මට අවුරුදු 20දී ආතරයිටිස් තියෙනවා කියලා සොයාගත්තා. ඊට පස්සේ මගේ මුළු ජීවිතයම වෙනස් වුණා. කැක්කුම හින්දා මට මගේ රැකියාව අත්හරින්න සිද්ධ වුණා. මම දිගටම කරන්න බලාපොරොත්තු වුණ පූර්ණ කාලීන සේවයත් අත්හරින්න වුණා.” ඇත්තෙන්ම, ආතරයිටිස් රෝගීන් සියලුදෙනාම වාගේ වේදනා විඳිනවා. එංගලන්තයේ වෙසෙන වයස අවුරුදු 63ක් වන ඇලන් කියන්නේ, “ශරීරයේ කොහේ හරි තැනක සුළු වශයෙන් හරි කැක්කුමක් තියෙනවා” කියායි. සැමවිටම වෙහෙස දැනෙන එකත් තවත් අභියෝගයක්. “වේදනාව හා ඉදිමීම දරාගන්න පුළුවන්. හැබැයි තෙහෙට්ටු ගතිය නම් මට දරාගන්න බැහැ” කියා 21 හැවිරිදි සාරා පවසනවා.
සිත් වේදනාව
ජපානයේ වෙසෙන වයස අවුරුදු 61ක් වන සෙට්සුකෝ පවසන ආකාරයට, දීර්ඝ කාලයක් පුරා දවසක් නෑර වේදනා විඳීමට සිදුවීම කෙනෙකුව “චිත්තවේගීයව හා මානසිකව වට්ටන්න පුළුවන්.” ඒ ඇයි? පැන්සලක් නැත්නම් දුරකථනයක් ඇල්ලීම තරම් සුළු වැඩක් කිරීම පවා අභියෝගයක් විය හැකි නිසයි. හතලිස්හත් හැවිරිදි කට්සුමි මෙසේ මැසිවිලි නඟනවා. “පොඩි දරුවෙකුට වුණත් කරන්න පුළුවන් දේවල් මට දැන් කරන්න බැහැ.” අවුරුදු 60ක් වන ජැනිස්ට වැඩි වේලාවක් සිටගෙන සිටින්න බැහැ. ඇය කියන්නේ, “කලින් කරපු දේවල් දැන් මට කරගන්න බැරි හින්දා මං අධෛර්යයට පත් වෙනවා” කියායි.
එවන් සීමාවන් රෝගියාව කලකිරීමට පත් කළ හැකි අතර තමා ගැන අශුභවාදී හැඟීම් ඇතිවීමටද ඒවා හේතු වෙන්න පුළුවන්. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වන 27 හැවිරිදි ගාකූ පවසන්නේ මෙලෙසයි. “එවැන්ජලිස්ත සේවයේ හරියට සහභාගි වීමටත් සභාවේ පැවරුම් ඉටු කිරීමටත් බැරි වෙන කොට මම වැඩකට නැති පුද්ගලයෙක් කියලා මටම හැඟෙනවා.” වයස අවුරුදු දෙකේ සිටම ආතරයිටිස් සමඟ පොරබදමින් සිටින ෆ්‍රැන්චෙස්කා කියන්නේ “දවසින් දවස මගේ බලාපොරොත්තු සුන් වෙනවා කියලා මට හැඟෙනවා” කියායි. මෙලෙස බලාපොරොත්තු සුන්වීම ආත්මිකත්වයට ඉතා හානිකර ලෙස බලපෑ හැකියි. දකුණු අප්‍රිකාවේ වෙසෙන ජොයිස් කියන්නේ ඇය ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම නතර කළා කියායි. “මට කිසිම කෙනෙකුට මුහුණ දෙන්න බැරිව ගියා” කියා ඇය පැහැදිලි කරනවා.
තවද, රෝගියා අනාගතය ගැන කරදර වෙන්නත් ඉඩ තිබෙනවා. තමා අක්‍රියාශීලී තත්වයකට පත්වීම නිසා නිතර අන්‍යයන් මත රඳා සිටීමට සිදු වෙයිදෝ කියාත්, තමාව බලාගැනීමට කිසිවෙකු නොමැති වෙයිදෝ කියාත්, බිම වැටී අත පය කැඩී යයිදෝ කියාත්, තම පවුලේ අයගේ අවශ්‍යතා සපුරාලන්න බැරි වෙයිදෝ කියාත් රෝගියා තුළ බියක් හටගන්න පුළුවන්. පනස් දෙහැවිරිදි යෝකෝ කියා සිටියේ මෙසේයි. “මගේ අත් පා විකෘති වෙනවා දැක්කාම ඒක එන්න එන්න වැඩි වෙයි කියලා මට ලොකු බයක් දැනුණා.”
රෝගියා දිනපතාම දුක් විඳිනවා දකින විට පවුලේ අයද සිත්තැවුලට පත් විය හැකියි. ඇතැම් විවාහ යුවළයන් තම විවාහ ජීවිතය තුළ බරපතළ ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවා විය හැකියි. එංගලන්තයේ ඩෙනීස් නම් කාන්තාවකගේ අද්දැකීම සලකා බලන්න. ඇය මෙසේ විස්තර කරනවා. “විවාහ වෙලා අවුරුදු 15ක් ගත වුණාට පස්සේ, ‘ඔයාගේ ඔය ආතරයිටිස් ලෙඩේ එක්ක නම් මට ජීවත් වෙන්න බැහැ’ කියලා මගේ මහත්තයා මට කිව්වා. ඊට පස්සේ එයා මාවයි අවුරුදු 5ක අපේ දුවවයි දාලා ගියා.”
මින් පැහැදිලි වන්නේ රෝගියාටද ඔහුගේ පවුලේ අයටද අභියෝග රැසකට මුහුණු දෙන්න සිදු වෙන බවයි. ඒ කොහොම වුණත්, බොහෝදෙනෙක් මෙම රෝගයට සාර්ථකව මුහුණ දෙමින් සිටිනවා. ඒ කෙසේද කියා අපි දැන් සලකා බලමු.
ඔබේ සීමාවන් හඳුනාගැනීම
ඔබ අතරයිටිස්වලින් පීඩා විඳිනවා නම් ප්‍රමාණවත් විවේකයක් ගැනීම ඉතාමත් වැදගත්. මෙයින් විඩාබර ගතිය අඩු කරගත හැකියි. කෙසේවෙතත්, ඔබ සම්පූර්ණයෙන්ම දෛනික වැඩ කටයුතුවලින් ඈත් වී සිටිය යුතුයි කියා මින් අදහස් වන්නේ නැහැ. ටිමති මෙසේ පැහැදිලි කරනවා. “ක්‍රියාශීලීව සිටිය යුතුයි. නැත්නම් ආතරයිටිස් ඔබව පාලනය කරාවි. එහෙම වුණොත් ඔබට වෙන්නේ එක තැනකට වී ඉඳගෙන වේදනා විඳින එක විතරයි.” මෙයෝ සායනයේ රූමැටික් රෝග සම්බන්ධ විශේෂඥයෙක් වන විලියම් ගින්ස්බර්ග් මෙසේ නිරීක්ෂණය කළා. “ඕනෑවට වඩා වෙහෙසීමේ හා ඕනෑවට වඩා වෙහෙස නොවී සිටීමේ සීමාව හඳුනාගැනීම අසීරුයි. සමහරවිට තමන් ඕනෑවට වඩා වෙහෙසෙනවා කියාත්, තමන්ගේ සිරුර නිකුත් කරන සංඥාවන්ට සවන් දෙන්න කියාත් රෝගියාට මතක් කරන්න අවශ්‍යයි.”
මේ සඳහා ඔබේ සීමාවන් දෙස ඔබ බලන ආකාරය වෙනස් කිරීමට සිදු විය හැකියි. දකුණු අප්‍රිකාවේ ඩැෆ්නි මෙසේ පැහැදිලි කරනවා. “මගේ ඇත්ත තත්වය මට පිළිගන්න වුණා. ඉස්සර කරපු සමහර දේවල් මට දැනුත් කරන්න පුළුවන්, හැබැයි ඒවා දැන් ඉස්සරට වඩා හෙමින් කරන්න වෙනවා. ඒ ගැන කරදර වෙලා කලකිරෙන්නේ නැතුව මම ඒ වැඩ ටික පුළුවන් විදිහට, ටිකෙන් ටික කරගෙන යනවා.”
ඔබට උපකාරවත් විය හැකි විවිධ උපකරණ ගැන දැනුවත් වීමත් හොඳ දෙයක්. මේ සම්බන්ධයෙන් ඔබේ වෛද්‍යවරයා හෝ භෞත චිකිත්සක සමඟ සාකච්ඡා කිරීමට පුළුවන්. කෙයිකෝ මෙසේ විස්තර කරනවා. “අපේ ගෙදර පඩිපෙළ ළඟ විදුලි සෝපානයක් හයි කරලා තියෙනවා. ඒ වගේම දොර අගුල් කරකවද්දී මට වේදනාව දැනෙන නිසා අපි දොර අගුල් වෙනස් කළා. දැන් මට පුළුවන් ගෙදර තියෙන හැම දොරක්ම ඔළුවෙන් තල්ලු කරලා අරින්න. වතුර පයිප්පවලට කරාම වෙනුවට ලීවර හයි කළ නිසා මට දැන් ගෙදර දොර වැඩ ටිකක් හරි කරගන්න පුළුවන්.” ආතරයිටිස්වලින් පීඩා විඳින ගේල් මෙසේ පවසනවා. “ගෙදර යතුරයි කාර් එකේ යතුරයි දිග මිටකට හයි කරලා තියෙන හින්දා මට ඒවා පහසුවෙන්ම කරකවන්න පුළුවන්. කොණ්ඩෙ පීරද්දී මගේ පනාවයි බුරුසුවයි එක එක පැතිවලට නවන්නත් ඒවායේ දිග ප්‍රමාණය වෙනස් කරගන්නත් පුළුවන් විදිහට ඒවා සකස් කරගෙන තියෙනවා.”
පවුල් සාමාජිකයන්ගෙන් ලද උපකාරය “ශක්තියේ උල්පතක්”
බ්‍රසීලයේ වෙසෙන කාර්ලා කියන්නේ මෙහෙමයි. “මගේ මහත්තයා මට උදව් කළේ නැත්නම් මම අද කොහේ ඉඳීද දන්නේ නෑ. දොස්තර ළඟට ගිය හැම අවස්ථාවකම එයා මාත් එක්ක ගිය එක මට ලොකු දිරිගැන්වීමක් වුණා. මේ ලෙඩේ මගේ ශරීරයට බලපාන්නේ කොහොමද, රෝග ලක්ෂණ මොනවද හා අවශ්‍ය ප්‍රතිකාර මොනවද කියලා අපි දෙන්න ටිකෙන් ටික වටහාගත්තා. එයා මගේ තත්වය තේරුම්ගත්ත එක මට ලොකු හයියක් වුණා.” ඔව්, කලත්‍රයෙකුගේ සීමාවන් තේරුම්ගන්න හා අසනීප තත්වය ගැන හොඳින් දැනුවත් වීමට කැමැත්තක් දක්වන සැමියෙක් හෝ බිරිඳක් රෝගියාට මහත් උපකාරයක් හා ශක්තියේ උල්පතක් විය හැකියි.
උදාහරණයකට, ඉදි කිරීම් ක්ෂේත්රයේ වැඩ කරන තම පුරුෂයාට ආතරයිටිස් හේතුවෙන් ඔහුගේ වැඩ සීමා කරන්න සිදු වුණ නිසා බෙට් පොඩි රස්සාවක් සොයාගත්තා. කට්සුමිගේ පුරුෂයා ඇයට සාත්තු කළා විතරක් නෙවෙයි, ඇයට කළ නොහැකිව තිබූ ගෙදර දොර වැඩ ටිකත් කර දුන්නා. ඒ වගේම පුළු පුළුවන් වැඩ ටිකක් කරවගන්න ඔහු දරුවන්වද පුහුණු කළා. කට්සුමි ඒ පිළිබඳව මෙසේ කියනවා. “මගේ පුරුෂයා ශක්තියේ උල්පතක්. එයා මට උදව් කළේ නැත්නම් මං අද අන්ත අසරණ තත්වයක ඉඳීවි.”
ඕස්ට්‍රේලියාවේ කැරල් මෙසේ අනතුරු අඟවනවා. “ඕනෑවට වඩා දේවල් කරන්න යන්න එපා. පවුලේ අය කරන හැම දෙයක්ම මට කරන්න බැරි වුණාම මට මං ගැනම කලකිරෙනවා.” පවුලේ අය ඇත්තෙන්ම රෝගියා ගැන සැලකිලිමත් වෙමින් ඔහුගේ තත්වය තේරුම්ගන්න වෑයම් කරනවා නම් ඔවුන් ඇත්තෙන්ම ශක්තියේ උල්පතක් වෙනවා.
ආත්මික උපකාරය
කාටියා මෙසේ පවසනවා. “කෙනෙක් මේ වගේ රෝගයකට මුහුණ දෙද්දී එයා හිතන්නේ එයා අද්දකින දේ කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැයි කියලා. අපේ ශාරීරික තත්වය ගැනත් අපේ හැඟීම් ගැනත් යෙහෝවා දන්නවා. ඒ හින්දා යාච්ඤාවෙන් දෙවි වෙතට හැරීම හරිම වැදගත්. (ගීතාවලිය 31:7) යෙහෝවා එක්ක හොඳ සම්බන්ධයක් තියෙන හින්දා මට සන්සුන් මනසක් තියෙනවා. ඒ හින්දා මගේ ලෙඩේට කලබල නොවී හොඳින් මුහුණු දෙන්න මට පුළුවන් වෙලා තියෙනවා.” ‘අපේ සියලු පීඩාවලදී සැනසීම ලබා දෙන සෑම සැනසිල්ලේ දෙවි’ වශයෙන් බයිබලයේ යෙහෝවාව හඳුන්වා ඇත්තේ හොඳ හේතු ඇතුවයි.—2 කොරින්ති 1:3, 4.
දිගු කාලීනව වේදනා විඳින කෙනෙකුට සැනසීම ලබාගත හැකි ප්‍රධානතම ක්‍රමයක් වන්නේ යාච්ඤාවයි. කට්සුමි මෙසේ විස්තර කරනවා. “වේදනාව හින්දා මට රෑට නින්ද යන්නේ නැති අවස්ථාවලදී, වේදනාව දරාගන්න අවශ්‍ය ශක්තිය හා මගේ අසීරුතාවලට මුහුණ දෙන්න අවශ්‍ය ප්‍රඥාව මම යෙහෝවාගෙන් අඬ අඬ ඉල්ලනවා. යෙහෝවා ඇත්තෙන්ම මගේ යාච්ඤාවලට උත්තර දීලා තියෙනවා.” ෆ්රැන්චෙස්කාද යෙහෝවාගේ ප්‍රේමනීය උපකාරය අද්දැක තිබෙනවා. “ ‘මා බලවත් කරන තැනැත්තා තුළ මට සියලු දේ කරන්න පුළුවන්’ කියලා පිලිප්පි 4:13 පවසා තිබෙන වචන මම අද්දැකලා තියෙනවා” කියා ඇය පවසනවා.
යෙහෝවා දෙවි බොහෝ අවස්ථාවලදී ක්‍රිස්තියානි සභාව මගින් අවශ්‍ය උපකාරය සපයනවා. උදාහරණයකට, ගේල් තම ප්‍රදේශයේ තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ ආත්මික සහෝදර සහෝදරියන්ගෙන් ලැබූ උපකාරය ගැන මෙසේ විස්තර කරනවා. “මම අන්ත කලකිරීමට පත් වුණේ නැත්තේ ඒගොල්ලන් මට දැක්වූ ප්‍රේමය නිසයි.” කෙයිකෝ ඊට සමාන අදහසක් පළ කරනවා. “ඔයාගේ ජීවිතයේ ඔයා කවදා හරි යහපත් දේවල් අද්දැකලා තියෙනවාද” කියා කෙනෙක් ඇගෙන් විමසූ විට ඇය උත්තර දුන්නේ මෙලෙසයි. “ඔව්, සභාවේ ඉන්න හැමෝම මට දක්වන ප්‍රේමය, අනුකම්පාව!”
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල මූලිකව මෙවන් උපකාර පිරිනමන්නේ අවේක්ෂකයන්. සෙට්සුකෝ කියන්නේ “රෝගයක් සමඟ පොරබදමින් ඉන්න කෙනෙකුට වැඩිමහල්ලන් සවන් දෙන්නත් සනසන්නත් කාලය ගත්තාම දැනෙන සැහැල්ලුව වචනයෙන් විස්තර කරන්න බැහැ” කියායි. කොහොම වුණත්, ආතරයිටිස්වලින් පීඩා විඳින ඩැනියල් මෙසේ මතක් කර දෙනවා. “අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් අපට උපකාර කරන්න නම් අපි එයාලට ඉඩ දෙන්න ඕනේ අපිට උදව් කරන්න.” සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කිරීමටත් සභා රැස්වීම්වලට යෑමටත් ආතරයිටිස් රෝගීන් උපරිම වෑයමක් දැරීම වැදගත්. (හෙබ්‍රෙව් 10:24, 25) එයින් ඔවුන්ට විඳදරාගැනීමට අවශ්‍ය දිරිගැන්වීම ලැබෙනවා.
වේදනාවේ අවසානය
මෙම රෝගය සම්බන්ධයෙන් වෛද්‍ය ක්ෂේත්රය අත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ආතරයිටිස් රෝගීන් කෘතඥ වෙනවා. ඒත් හොඳම ප්රතිකාරවලින් පවා සම්පූර්ණ සුවයක් ලබාගත නොහැකි බව නොකිවමනායි. සියලු දේ සලකා බැලූ කල, අන්තිමේදී ආතරයිටිස් රෝගීන්ට සැනසීම ලබාගත හැකි හොඳම ක්‍රමය වන්නේ නව ලෝකය පිළිබඳව වූ දෙවිගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තැබීමයි.b (යෙසායා 33:24; එළිදරව් 21:3, 4) නව ලෝකයේදී ‘කොරා මුවෙකු මෙන් පැන යන්නේය.’ (යෙසායා 35:6) ආතරයිටිස් ඇතුළු මනුෂ්‍යවර්ගයාව පීඩාවට පත් කරන අන් සෑම රෝගයක්ම සදාකාලයටම නැති වී යන බව නියතයි. කශේරුවේ ආතරයිටිස් වැළඳී ඇති පීටර් කියන්නේ “මං දැන් කොච්චර දුක් වින්දත් අනාගතය දෙස සතුටෙන් හා බලාපොරොත්තු සහගතව බැලීමට හොඳ හේතු තියෙනවා කියලා මං දන්නවා” කියායි. ක්‍රිස්තියානි කාන්තාවක් වන ජූලියැනා කියන්නේ මෙසේයි. “ගත වෙන හැම දවසක් අවසානයේ මට හැඟෙන්නේ මං සටනකින් ජයගත්තා කියලයි. අවසානය දක්වා විඳදරාගෙන සිටින්න තව එක දවසක් අඩු වුණා කියලා මට හිතෙනවා.” ඔව්, ආතරයිටිස් විතරක් නෙවෙයි, අනිත් සෑම දුක් වේදනාවක්ම අවසන් වන කාලය අත ළඟයි!
[පාදසටහන්වල]
a සමහර අයගේ සැබෑ නම් සඳහන් කර නොමැත.
b බයිබලයේ දී තිබෙන පොරොන්දු පැහැදිලි කරගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් උපකාරය ලබාගැනීමට කැමති නම් ඔබේ ප්‍රදේශයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවට හෝ මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට දැනුම් දෙන්න.
[22වන පිටුවේ පින්තූර]
රෝගීන්ට ඵලදායී ජීවිත ගත කිරීමට උදව් කරන උපකරණ බොහෝමයක් තිබෙනවා
[24වන පිටුවේ පින්තූර]
ක්‍රිස්තියානි රැස්වීම්වලදී ප්‍රේමනීය උපකාරය ලබාගත හැකියි