ප්‍රතිසංස්කරණයන් සඳහා කරන උද්ඝෝෂණ
ජර්මනියේ පිබිදෙව්! ලේඛක විසිනි
“මම ඉන්නේ තරුණ වයසේ නම්, ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් දියත් කරනවා!” කියා ජර්මනියේ වෙසෙන 80 හැවිරිදි ඇනා පැවසුවේ මහත් උද්වේගයකිනි. “ඔයා කරන වෙනස්කම් මොනවාද?” කියා රොබට් ඇසුවේය. “හැම දෙයක්ම!” කියා ඇය පිළිතුරු දුන්නාය.
බොහෝදෙනෙකු ඇනා පැවසූ දෙයට එකඟ වනු ඇත. එක්දහස් නවසිය අනූ ගණන්වල මැදභාගයේදී ජර්මනියේ කළ එක් මහජන සමීක්ෂණයකින් අනාවරණය වූයේ ‘මහා පරිමාණයේ ප්‍රතිසංස්කරණ හා වැදගත් සමාජීය වෙනස්කම්’ අවශ්‍යයි කියා එම සමීක්ෂණයට ලක් වූ අයගෙන් තුනෙන් දෙකකට හැඟී ගිය බවයි. ඇතැම්විට ඔබ ජීවත් වන රටේ තත්වයද මේ හා සමාන විය හැකියි.
වෙනස්කම් කරන්න කියා මහජනයා උද්ඝෝෂණ කරන විට, සාමාන්‍යයෙන් කෙරෙන්නේ ප්‍රතිසංස්කරණයන් කරන බවට පොරොන්දු දීමයි. අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අධ්‍යාපනික හා රාජ්‍ය කටයුතු පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වන ෆ්රෙඩ්රික් හෙස් මෙසේ ලීවේය. “මූලිකව ගත් කල ප්‍රතිසංස්කරණ යනු නොඉවසිලිමත් ජන පිරිස් සන්සුන් කිරීම සඳහා කියනු ලබන වචනවලට සීමා වූ වෑයමකි.” මූල්‍ය ප්‍රතිසංස්කරණ, සෞඛ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ, කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ හා නීති පද්ධතියේ ප්‍රතිසංස්කරණ සඳහා කරන සැලසුම් ගැන පුවත්පත් සිරස්තලවල අපට කියවීමට තිබේ. අධ්‍යාපනික, ශුභ සාධන හා දඬුවම් නියම කිරීම යන ක්ෂේත්‍ර සඳහා යෝජිත ප්‍රතිසංස්කරණ ගැන අපට අසන්නට ලැබේ.a ඇතැම් ආගම්වල සාමාජිකයන් තම ආගමේ ඉගැන්වීම් ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට කරන ඉල්ලීම් ගැනද අපට කියවීමට තිබේ.
ප්‍රතිසංස්කරණ හා පවතින තත්වය
වෙනස්කම් සඳහා කරන එවන් ඉල්ලීම්වලට හේතුව කුමක්ද? මිනිසා නිරතුරුව වෑයම් කරන්නේ තමන් අවට තිබෙන ලෝකය දියුණු කිරීමටයි. ඔහු මෙය කිරීමට තැත් කරන්නේ තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කිරීමෙන් හෝ මුදල් වියදම් කිරීමෙන් හෝ නීති සම්පාදනය කිරීමෙන් හෝ කුරිරු ලෙස බලය යෙදවීමෙන්ය. මෙවන් දේවල් සිදු කරනු ලබන්නේ තමන්ගේ ජීවන තත්වය දියුණු කරගැනීම, තමන්ගේ දූදරුවන්ට වඩාත් සුරක්ෂිත අනාගතයක් ඇති කර දීම, ශුභ සාධනය, සාරධර්ම හා යුක්තිය පිළිබඳව තමන්ගේ පරමාදර්ශී අදහස්වලට සමාජය අනුගත කිරීම යනාදිය සම්බන්ධයෙන් මිනිසාගේ සිත්වල මුල් බැසගෙන තිබෙන ආශාව නිසයි. නූගත්කම, ලෙඩ රෝග, දිලිඳුකම හා කුසගින්න යනාදියේ විනාශකාරී ප්රතිවිපාකවලින් පලා යෑමට මිනිසා සටන් කරන තාක් කල් ප්‍රතිසංස්කරණ සඳහා උද්ඝෝෂණ පවතිනු ඇත.
බහුතරයක් ප්‍රතිසංස්කරණ මහත් උනන්දුවෙන් වැලඳගත්තද සමහරුන් ප්‍රතිසංස්කරණවාදීන් ගැනත් ඔවුන් අත් කරගැනීමට වෑයම් කරන දේවල් ගැනත් සිතන්නේ වෙනස් ආකාරයකටයි. ඇතමුන් වැඩි කැමැත්තක් දක්වන්නේ සමාජයේ පවතින තත්වය එලෙසම පවතිනවා දැකීමටයි. මොවුන් ප්රතිසංස්කරණවාදීන්ව සලකන්නේ ලෝකය වෙනස් කිරීමට කැමැත්තෙන් සිටියද යථාර්ථයෙන් බැහැරව සිහින ලෝකයක ජීවත් වන ප්‍රායෝගික නොවන අදහස් දරන්නන් ලෙසයි. ප්‍රතිසංස්කරණවාදීන් ‘විවේචනවලට හා උපහාසයට ලක්වීම සුලබ දෙයක් වන අතර ඔවුන් දේශපාලන කාටූන්වල හා විකට චිත්රවල බහුලව දක්නට ඇත’ කියා ජර්මනියේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාර පිළිබඳ අත්පොත 1880-1933 (සිංහලෙන් නැත) නමැති ප්රකාශනයේ සඳහන් වේ. ප්‍රංශ ජාතික නාට්‍ය රචකයෙකු වූ මෝල්යේර් වරක් මෙසේ සඳහන් කළේය. “වඩාත් හොඳ ලෝකයක් බිහි කිරීමට තැත් කිරීම තරම් මහත් මෝඩකමක් තවත් නැත.”
ඔබ සිතන්නේ කුමක්ද? ප්‍රතිසංස්කරණ මගින් යහපත් ලෝකයක් බිහි කළ හැකිද? ප්‍රතිසංස්කරණවාදීන් කියන්නේ යථාර්ථයක් විය නොහැකි දේවල් ගැන සිහින මවන්නෝද? අතීතයේ හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ ගැන කුමක් කිව හැකිද? ඒවා ඇති කළ අයට අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීමට හැකි වී තිබේද? මේ ප්‍රශ්න ඊළඟ ලිපියේදී සලකා බලනු ලැබේ.
[පාදසටහන]
a පිබිදෙව්! එහි අරමුණට එකඟව “සැමවිටම දේශපාලනමය වශයෙන් මධ්‍යස්ථව සිටියි.” ප්‍රතිසංස්කරණය නමැති විෂය ගැන කරනු ලබන මෙම සාකච්ඡාවේ අරමුණ වන්නේ අපේ පාඨකයන්ව දැනුවත් කිරීම හා මිනිසාගේ ගැටලුවලට එකම සැබෑ විසඳුම කුමක්දැයි කියා පෙන්වා දීමයි.