යෞවන අය අසති . . .
විවාහයට පෙර ලිංගික ඇසුරක් පැවැත්වීමේ ඇති වරද කුමක්ද?
“ඇයි තාමත් මම කිසිම ආකාරයක ලිංගික ඇසුරක් පවත්වා නැත්තේ කියලා හිතෙනකොට, විවාහ වෙන්න කලින් ලිංගික ඇසුරක් පැවැත්වීම ඔය කියන තරම්ම නරක දෙයක්ද කියලා මට හිතෙනවා.”—ජෝර්ඩන්.a
“ලිංගික දේවල් අත්හදා බලන්න මට ලොකු පෙලඹීමක් ඇති වෙනවා. මං හිතන විදිහට අපි හැමෝටම ස්වභාවයෙන්ම ඒ වගේ නැඹුරුවාවක් තියෙනවා” කියා පවසන කෙලී මෙසේද පවසයි. “කොහේ ගියත් අහන්න දකින්න ලැබෙන්නේ ලිංගික දේවල් ගැනමයි!”
ඔබටත් හැඟෙන්නේ ජෝර්ඩන් හා කෙලීට හැඟුණ විදිහටමද? පූර්ව විවාහ ලිංගික ඇසුරට දිරි නොදුන් පාරම්පරික සිරිත් විරිත් හා සාරධර්ම අද දක්නට නැති තරම්ය. (හෙබ්‍රෙව් 13:4) එක් ආසියාතික රටක සමීක්ෂණයකින් හෙළි වූයේ, වයස අවුරුදු 15 සිට 24 දක්වා පිරිමින්ගෙන් වැඩිදෙනෙකුට හැඟුණේ පූර්ව විවාහ ලිංගික එක්වීම පිළිගත හැකි දෙයක් පමණක් නොව තමන්ගෙන් අපේක්ෂා කළ දෙයක්ද වූ බවය. එසේනම් ලොව පුරා සිටින යෞවනයන්ගෙන් වැඩිදෙනෙකු වයස අවුරුදු 19ක් වීමට පෙර ලිංගික ඇසුරේ යෙදී තිබීම පුදුමයක් නොවේ.
එමෙන්ම ස්වාභාවික ලිංගික එක්වීමකින් වැළකී එකිනෙකාගේ ලිංගේන්ද්‍රියන් පිරිමැදීම වැනි වෙනත් ලිංගික ක්‍රියාවන්වල නියැලෙන යෞවනයෝද සිටිති. ද නිව් යෝක් ටයිම්ස්හි පළ වූ සැලකිල්ලට භාජනය කළ යුතු වාර්තාවක හෙළි කරන්නේ මෙයයි. “මුඛ සංවාසය, ලිංගික එක්වීමක් සඳහා අඩිතාලමක් දැමෙන පොදු දෙයක් වී ඇත. මෙය ලිංගික එක්වීමක් මෙන් වැඩි සමීපත්වයක් ඇති කරන ක්‍රමයක් නොවන අතර එතරම් අවදානමක්ද නැති ක්‍රමයක් බවත් . . . [එමෙන්ම] මෙය ගර්භිණීභාවය පවා වළක්වන, තමන්ගේ කන්‍යාභාවය නැතහොත් නොඉඳුල් බවද රැකෙන ක්‍රමයක් බවත් යෞවනයන් වැඩිදෙනෙකුගේ අදහස වේ.”
එහෙත් ක්‍රිස්තියානියෙකු විවාහයට පෙර ලිංගික ඇසුර සැලකිය යුත්තේ කෙසේද? එමෙන්ම ලිංගික එක්වීම සඳහා යොදාගැනෙන මෙවැනි විකල්ප ක්‍රම ගැන කුමක් කිව හැකිද? ඒවා දෙවිගේ ඇස් හමුවේ හරි දේවල්ද? සුරක්ෂිත ක්‍රමද? ඇත්තෙන්ම ඒවායින් කෙනෙකුගේ කන්‍යාභාවයට නැතහොත් නොඉඳුල් බවට හානියක් සිදු නොවේද?
වේශ්‍යාකමට ඇතුළත් වන දේ
මෙම ප්‍රශ්නවලට විශ්වසනීය පිළිතුරක් ලබාගත හැක්කේ අපේ මැවුම්කරු වන යෙහෝවා දෙවිගෙන් පමණි. තවද ඔහුගේ වචනයෙහි ඔහු අපට පවසන්නේ “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” කියාය. (1 කොරින්ති 6:18, NW) ඇත්තටම ඉන් අදහස් කරන්නේ කුමක්ද? “වේශ්‍යාකම” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයේ අදහස සීමා වන්නේ ලිංගික එක්වීමකට පමණක් නොව නොයෙක් ආකාරයේ අසංවර ලිංගික ක්‍රියා රාශියකටත්ය. එබැවින් අවිවාහක දෙදෙනෙකු මුඛ සංවාසයෙහි යෙදෙනවා නම් හෝ එකිනෙකාගේ ප්‍රජනන ඉන්ද්‍රියන් පිරිමදිමින් ලිංගික හැඟීම් අවුස්සනවා නම් ඔවුහු වේශ්‍යාකමේ වරදට වැටී සිටිති.
මොවුන් එලෙස ක්‍රියා කිරීමෙන් පසු තවදුරටත් දෙවිගේ ඇස් ඉදිරියේ කන්‍යාවෝ නැතහොත් නොඉඳුල් බව රැකගත් අය වෙත්ද? බයිබලයෙහි “කන්‍යාව” යන වචනය යොදා තිබෙන්නේ සදාචාරමය නිර්මලත්වය දැක්වීමේ සංකේතයක් වශයෙනි. (2 කොරින්ති 11:2-6) කෙසේවෙතත් ශරීරය ගැන කතා කරන විටද එම වචනය යොදා තිබේ. බයිබලයෙහි රෙබෙකා නම් තරුණ ස්ත්‍රියක් ගැන කතා කරයි. ඈ “කන්‍යාවක්ය, ඈ පුරුෂයෙකු සමඟ සංවාසයේ යෙදී නැත” කියා එහි පවසයි. (උත්පත්ති 24:16, NW) උනන්දුවට කරුණක් වන්නේ, “සංවාසය” සඳහා යොදා ඇති මුල් හෙබ්‍රෙව් වචනයෙහි මිනිසෙකු හා ස්ත්‍රියක අතර සිදු වන සාමාන්‍ය සංවාසයට අමතරව සිදු කෙරෙන වෙනත් ක්‍රියාද පැහැදිලිවම ඇතුළත්ව තිබීමය. (උත්පත්ති 19:5, NW) එබැවින් බයිබලයට අනුව යෞවනයෙකු නොහොත් යෞවනියක කුමනාකාරයකින් හෝ වේශ්‍යාකමෙහි යෙදුණොත් ඔහුට හෝ ඇයට නොඉඳුල් කෙනෙකු හෝ කන්‍යාවක කියා පැවසිය නොහැක.
බයිබලයෙහි ක්‍රිස්තියානීන්ට බලවත් ලෙස උනන්දු කරන්නේ වේශ්‍යාකමෙන් පමණක් නොව එයට මඟ පෑදිය හැකි අපවිත්‍ර හැසිරීම් සියල්ලෙන්ම පලා දුවන්න කියාය.b (කොලොස්සි 3:5) ඔබ මෙවැනි ස්ථාවරයක සිටින විට අන් අය ඔබට උසුළු විසුළු කළ හැකියි. ක්‍රිස්තියානි යෞවනියක වූ කෙලී මෙසේ පවසයි. “මම විද්‍යාලයේ ඉහළ පන්තිවල හිටිය මුළු කාලයේදීම මට අහන්න ලැබුණෙ ‘ඔයා නියම චාන්ස් එකක්නේ නැති කරගන්නේ!’ කියන වචන ටික විතරයි.” කෙසේවෙතත්, විවාහයට පෙර ලිංගික ඇසුර “තාවකාලික වූ පාපයේ සැප භුක්ති” විඳීමක් පමණි. (හෙබ්‍රෙව් 11:25, NW) ඉන් කෙනෙකුට දිගු කාලීනව ශාරීරික හානි සිදු විය හැකි අතර, ඔහුගේ හෝ ඇගේ හැඟීම්වලට හා ආත්මිකත්වයට දිගු කාලීනව බලපෑ හැක.
දරුණු තර්ජන
විවාහයට පෙර ලිංගික ඇසුරේ යෙදීමට තරුණයෙකුව පොලඹවනු ලැබූ ආකාරය පිළිබඳව සලමොන් රජ වරක් නිරීක්ෂණය කළ බව බයිබලයෙහි අපට පවසා ඇත. සලමොන් එම තරුණයාව “මරන්ට ගෙන යන ගොනෙකු” සමඟ සන්සන්දනය කළේය. ඝාතනයට ලක්වීමට සිටින ගොනෙකු තමන්ට සිද්ධ වෙන්න යන්නේ කුමක්ද කියා දන්නේ නැත. එසේම විවාහයට පෙර ලිංගික ඇසුරේ යෙදෙන යෞවනයන්ද බොහෝවිට ක්‍රියා කරන්නේ තමන්ගේ ක්‍රියාවල ප්‍රතිඵල දරුණු බව නොදැනුවත්ව සිටින්නාක් මෙනි. සලමොන් එම තරුණයා ගැන පැවසුවේ “හානියක් වෙන්නේ තමාගේම ප්‍රාණයට බව ඔහු නොදැන” සිටි බවයි. (හිතෝපදේශ 7:22, 23, NW) ඒ නිසා ඇත්තෙන්ම ඔබේ ‘ප්‍රාණය,’ එනම් ඔබේ ජීවිතය තිබෙන්නේ අනතුරේය.
උදාහරණයකට සෑම වසරකම යෞවන යෞවනියෝ දස දහස් ගණනක් ලිංගික සම්ප්‍රේෂණ රෝග (එනම් සමාජ රෝග) බෝ කරගනිති. “මට හර්පීස් වැලඳිලා කියලා දැනගත්තහම කොහේ හරි පැනලා යන්න මට හිතුණා” කියා ලිඩියා පවසන්නීය. ඇය පසුතැවෙමින් “ඒක කවදාවත් හොඳ වෙන්නේ නැති වේදනාකාරී රෝගයක්” කියා පවසන්නීය. ලොව පුරා අලුතෙන් HIVවලට ගොදුරුවන්නන්ගෙන් අඩකට වඩා (දිනකට 6,000ක්) වයස අවුරුදු 15 සහ 24 අතරේ සිටින්නන්ය.
විවාහයට පෙර ලිංගික ඇසුර ආශ්රිත ගැටලු රාශියකට ගොදුරු විය හැකි තත්වයක සිටින්නේ විශේෂයෙන්ම ස්ත්රීන්ය. ඇත්තෙන්ම සමාජ රෝගවල (HIVද ඇතුළත්) තර්ජනයට මුහුණ දීමට සිදු වන්නේ පිරිමින්ට වඩා ස්ත්රීන්ටය. එමෙන්ම යොවුන් දැරියක් ගර්භිණී වුවහොත් තමාව මෙන්ම තම නූපන් දරුවාවද ඇය වැඩි අවදානමක හෙළන්නීය. මන්ද? හානියක් නොවී දරු උපතක් සිදු කිරීමට තරම් යොවුන් දැරියගේ ශරීරය වැඩී නොතිබිය හැකි නිසාය.
නව යොවුන් වියේ පසු වන මවක් දරුණු සෞඛ්‍ය ගැටලු අත් නොදැක්කත් ඇය මවක සතු බැරෑරුම් වගකීම් ඉසිලිය යුතුය. තමන්ටත් තම කිරිකැටියාටත් ජීවත් වෙන්න අවශ්‍ය දේ ලබාගැනීම තමන් සිතුවාට වඩා බෙහෙවින් අසීරු කාර්යයක් බව බොහෝ දැරියෝ වටහාගනිති.
ආත්මිකත්වයට හා හැඟීම්වලට බලපාන අන්දම ගැනත් සිතා බලන්න. වැරදි ලිංගික හැසිරීමක යෙදීමෙන් දාවිත් රජ කළ පාපය හේතුවෙන් දෙවි හා ඔහු අතර තිබූ මිත්‍රත්වය පලුදු වී ගිය අතර ආත්මිකවද විනාශ නොවී ඔහු බේරුණේ අනූනවයෙනි. (ගීතාවලිය 51) දාවිත් ආත්මිකව සුවය ලැබුවත් ඔහුගේ ජීවිතයේ මුළු ඉතිරි කාලයේදීම ඔහුගේ පාපයේ ප්‍රතිඵල නිසා දුක් වින්දේය.
අද දින යෞවනයන්ද එසේම දුක් විඳිය හැක. උදාහරණයකට, ෂෙරී පිරිමි ළමයෙකු සමඟ ලිංගික ඇසුරක් පටන්ගත්තේ ඇගේ වයස අවුරුදු 17දීය. ඇය සිතුවේ ඔහු ඇයට ආදරය කළා කියාය. ඉන් වසර ගණනාවක් ගත වී ඇතත් ඇය තවමත් ඇගේ ක්‍රියා ගැන තැවෙයි. ඈ පසුතැවෙන්නේ මෙසේ පවසමිනි. “මම බයිබල් සත්‍යයන් ඒ තරම් ගානකට ගත්තේ නැති නිසා නරක ප්‍රතිඵලවලින් වේදනා වින්දා. මට යෙහෝවාගේ අනුග්‍රහය නැතුව ගිය එක තමයි උහුලන්නම බැරි වුණ දේ.” ට්‍රිෂ් නම් යෞවනියද මෙවැන්නක් පවසයි. “මගේ ජීවිතයේ කරපු ලොකුම මෝඩකම තමයි විවාහ වෙන්න කලින් ලිංගික ඇසුරක යෙදුණ එක. ආපහු කන්‍යාවක් වෙන්න ලැබෙනවා නම් ඕනෑම දෙයක් පරිත්‍යාග කරන්න මම කැමතියි.” මෙලෙස මානසික පීඩනය හා සිත් වේදනාව ඇති කරන සිතේ තුවාල වසර ගණනාවක් පුරා සුව නොවී තිබිය හැකිය.
ආත්ම-දමනය ඉගෙනගැනීම
“යෞවන අයට ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්න සුදුසු වෙන්නේ ඔවුන් විවාහ වුණාට පස්සේ බව දැන දැනම ඇයි දෙවි ඔවුන්ට එවැනි ආශාවක් දුන්නේ?” කියා යෞවනියක වූ ශාන්ඩා වැදගත් ප්‍රශ්නයක් අසන්නීය. විශේෂයෙන්ම ‘හැඟීම් උත්සන්න වන යොවුන් වියේදී’ ලිංගික ආශාවන් බලවත් විය හැකි බව සැබෑවකි. (1 කොරින්ති 7:36, NW) පැහැදිලි හේතුවක් නැති විට පවා හදිසියෙන්ම නහඹරයන්ට ලිංගික උත්තේජනයන් දැනිය හැකිය. එහෙත් මෙය නරක දෙයක් නොවේ. එය ප්‍රජනන පද්ධතිය වර්ධනය වන විට සිදු වන සාමාන්‍ය දෙයකි.c
ලිංගික සබඳතාවලින් සතුටක් ලැබීමට යෙහෝවා සැලසුම් කළ බව සැබෑය. ජනයාගෙන් පොළොව පිරවීම සම්බන්ධයෙන් වූ ඔහුගේ මුල් අරමුණට මෙය එකඟව තිබිණ. (උත්පත්ති 1:28) කෙසේවෙතත් අපේ ප්‍රජනන හැකියාවන් අනිසි ලෙස යොදාගත හැකි බවක් දෙවි කිසිවිටකත් අදහස් කළේ නැත. “එකිනෙකා තම තමාගේ ශරීරය ශුද්ධව, ගෞරවයෙන් යුක්තව පාලනය කරගන්නේ කෙසේදැයි දැනගත යුතුය” කියා බයිබලයේ පවසයි. (1 තෙසලෝනික 4:4, NW) ඔබට කේන්ති යන සෑම අවස්ථාවකම කෙනෙකුට පහර දීම මෝඩකමක් වගේම ලිංගික ආශාවක් ඇති වන සෑම අවස්ථාවකදීම එය තෘප්තිමත් කරගැනීමද මෝඩකමකි.
ලිංගික ආශාවන් දෙවිගෙන් ලද තෑග්ගක් වන අතර ඉන් සතුටක් ලැබිය යුත්තේ නිසි කාලයේදී එනම් කෙනෙකු විවාහ වූ විටය. විවාහ නොවී ලිංගික ඇසුරක් පැවැත්වීම සඳහා අප වෑයම් කරන විට දෙවිට හැඟෙන්නේ කෙලෙසද? මෙසේ සිතමු. ඔබ මිතුරෙකුට හෝ මිතුරියකට තෑග්ගක් මිල දී ගනියි. ඔබ එය දීමට පෙර ඔහු හෝ ඇය එය සොරකම් කරයි! එවිට ඔබේ සිතේ වේදනාවක් ඇති වන්නේ නැද්ද? එසේනම්, දෙවි දී ඇති ත්‍යාගය අනිසි ලෙස යොදාගනිමින් කෙනෙකු විවාහයට පෙර ලිංගික ඇසුරේ යෙදෙන විට දෙවිට කෙසේ හැඟෙයිද කියා සිතා බලන්න.
ඔබේ ලිංගික හැඟීම් සම්බන්ධයෙන් ඔබ කළ යුත්තේ කුමක්ද? කොටින්ම කියනවා නම් ඒවා පාලනය කරගැනීමට ඉගෙනගන්න. “යෙහෝවා . . . අවංක ලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවළක්වන” බව ඔබටම සිහිගන්වාගන්න. (ගීතාවලිය 84:11) “විවාහයට පෙර ලිංගික ඇසුර ඔය කියන තරම් නරක නැහැයි කියලා මට හිතෙන කොටම, ඒකෙන් ඇති වෙන නරක ආත්මික ඵලවිපාක ගැන මම කල්පනා කරනවා. කොච්චර වින්දනයක් ලබා දුන්නත් යෙහෝවා එක්ක තියෙන මගේ සබඳතාව බිඳ දමන පාපයක් කොහෙත්ම වටින්නේ නැති බව මම අවබෝධ කරගන්නවා” කියා ගෝර්ඩන් නම් යෞවනයෙක් පවසයි. ආත්ම දමනය ඇතුව සිටීම පහසු දෙයක් නොවන්න පුළුවනි. එහෙත් යෞවන ඒඩ්‍රියන් අපේ මතකය මෙසේ අවදි කරයි. “එහෙම ඉන්නවා නම් පිරිසිදු හෘදය සාක්ෂියක් සහ යෙහෝවා සමඟ හොඳ සබඳතාවක් තබාගන්න කෙනෙකුට පුළුවන්. කලින් කළ ක්‍රියාවන් ගැන වරදකාරී හැඟීම් ඇතුව පසුතැවි තැවී ඉන්න වෙන්නේ නැති නිසා වඩාත් වැදගත් දේවල් කෙරෙහි සිත යොමු කර තබාගන්නත් පුළුවන් වෙනවා.”—ගීතාවලිය 16:11.
සියලු ආකාරයේ ‘වේශ්‍යාකම්වලින් වැළකී’ සිටීමට ඔබට හොඳ හේතු රැසක් තිබේ. (1 තෙසලෝනික 4:3, NW) මෙය සැමවිටම පහසු දෙයක් නොවන බව සැබෑවකි. ඔබට ‘ඔබේ නිර්මලකම රැකගත’ හැකි ප්‍රායෝගික ක්‍රම ගැන ඉදිරි ලිපියක විස්තර කෙරෙනු ඇත.—1 තිමෝති 5:22, NW.
[පාදසටහන්වල]
a සමහරුන්ගේ නම් වෙනස් කර ඇත.
b වේශ්‍යාකම, අපවිත්‍රකම හා නින්දිත හැසිරීම පිළිබඳ විස්තරයක් සඳහා 1994 ඔක්තෝබර් 8 පිබිදෙව්! කලාපයේ පළ වූ “යෞවන අය අසති . . . සීමාව ඉක්මවා නොයෑමට සීමාව කුමක්ද?” යන ලිපිය බලන්න.
c අපේ 1990 පෙබරවාරි 8 කලාපයේ පළ වූ “යෞවන අය අසති . . . මගේ ශරීරයට මේ මොකක්ද වෙන්නේ?” යන ලිපිය බලන්න.—සිංහලෙන් නැත.
[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
යෞවනයෙකු මොනයම් ආකාරයකින් හෝ වේශ්‍යාකමේ යෙදේ නම් දෙවිගේ ඇස් හමුවේ ඔහු හෝ ඇය තම නොඉඳුල් බව රැකගත්තෙකු හෝ කන්යාවකයයි සැලකිය හැකිද?
[27වන පිටුවේ පින්තූරය]
විවාහයට පෙර ලිංගික ඇසුරේ යෙදීමෙන් දේවබියැති යෞවනයෙකුගේ හෘදය සාක්ෂිය පලුදු විය හැක
[28වන පිටුවේ පින්තූරය]
විවාහයට පෙර ලිංගික ඇසුරේ යෙදෙන්නන් සිටින්නේ සමාජ රෝග බෝ වීමේ අවදානමෙහිය