සටන්කාමීන් දැන් සාමකාමී වී
දෙවන ලෝක මහ යුධ සමයේ කැමිකාසී මෙහෙයුම සඳහා පුහුණුවක් ලැබූ ගුවන් නියමුවෙක් වූ ටෝෂිආකි නීවාගේ අද්දැකීම වර්ෂ 2002 දෙසැම්බර් 8 පිබිදෙව්! කලාපයේ පළ වුණා. නීවා සඳහන් කරන්නේ ඔහු 1945 අගෝස්තු මාසයේදී කයෝටෝ නගරය අසල කඳවුරක සිට එක්සත් ජනපදයේ යුධ නෞකාවලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට අණ ලැබෙන තෙක් බලාගෙන සිටියා කියායි. නමුත් එම අණ ලැබුණේ නැහැ. මන්ද දින කිහිපයකට පසු යුද්ධය නිමා වූ නිසයි. ඉන් අවුරුදු කිහිපයකට පසු නීවා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත්තා. දෙවිව සතුටු කරන්න කැමති අය යුද්ධයට හවුල් වෙන්නේ නැති බව ඔහු ඉගෙනගත්තා. සෙසු ජනයා කුමන ජාතියකට අයිති වුණත් කොහේ ජීවත් වුණත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඒ අයට සැබෑ ගෞරවයක් දක්වනවා. (1 පේතෘස් 2:17) කලින් සටන්කාමියෙක් වූ නීවා දැන් සාමකාමී කෙනෙක් වෙලා. ඔහු දැන් දෙවිගේ වචනයේ සඳහන් එකමුතුකමට දායක වන පණිවිඩය අන් අයට කියා දෙනවා.
නීවාගේ අද්දැකීම එක්සත් ජනපදයේ වෙසෙන රසල් වර්ට්ස්ගේ සිතට බලපෑවා. මන්දයත් ඔහු එම යුද්ධයේදී සතුරු පාර්ශ්වයේ සිටි අයෙක්. වර්ට්ස්, නීවාට ලිපියක් ලීවා. “වර්ෂ 1945දී කයෝටෝ නගරයේ සිට ආක්‍රමණය කරන්න පැමිණෙන තුරු බලාගෙන සිටියා කියා ඔබ සඳහන් කර තිබුණා. ඒ කාලයේදීම මම එම ආක්‍රමණය සඳහා පුහුණුව අවසන් කරමින් හිටියා. ඒ කාලයේදී යුද්ධය අවසන් වුණේ නැත්නම් එම සටනේදී එකිනෙකාට විරුද්ධව සටන් කරපු අපි දෙන්නම මෙලහකට මැරිලත් ඇති. ඔබත් ඔබගේ පවුලේ අයත් වගේ මමත් මගේ භාර්යාවත් පසුව යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වුණා. කාලයක් සතුරන් මෙන් මරන්න බලාගෙන හිටිය අපි දැන් මිතුරන් විතරක් නෙමෙයි සහෝදරයනුත් වෙලා කියා දැනගන්න ලැබීම මොන තරම් සතුටක්ද!”
ටෝෂිආකි නීවා සහ රසල් වර්ට්ස් මෙන් කලක් බද්ධ වෛරයෙන් සිටි බොහෝදෙනෙක් දෙවිගේ වචනය අධ්‍යයනය කර එම උපදෙස් ජීවිතයට අදාළ කරගත් නිසා දැන් සාමයෙන් එකමුතුව ජීවත් වෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර යුදෙව්වන් සහ අරාබිවරු, ආමේනියානුවන් සහ තුර්කිවරු, ජර්මානුවන් සහ රුසියානුවන්, හුටු සහ ටුට්සිවරු සිටින අතර ඔවුන් තමන් සැබෑ ක්‍රිස්තියානීන් බව ඔප්පු කරමින් සිටිනවා. ඇත්තෙන්ම යේසුස් පැවසූ වදන් වන “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත” යන්න වචනවලට පමණක් සීමා වී නැහැ.—යොහන් 13:35.
[31වන පිටුවේ පින්තූර]
ටෝෂිආකි නීවා සහ රසල් වර්ට්ස් දෙවන ලෝක යුධ සමයේදී