චර්නොබිල් බලා ගිය චාරිකාවක්
යුක්රේනයේ පිබිදෙව්! ලේඛක විසින්
වසර 20කට පෙර චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ අනතුර තරම් ඛේදජනක අනතුරක් මීට පෙර සිදු වී නැහැ. වර්ෂ 1986 අප්‍රියෙල් මස 26වන දින එම ස්ථානයේ තිබූ ප්‍රතික්‍රියාකාරක හතරෙන් එකක් අනතුරකට ලක් වුණ අතර ඉන් විකිරණ පිට වුණා. සාමාන්‍යයෙන් මිනිසාගේ දායකත්වයෙන් හෝ ස්වාභාවිකව සිදු වන ව්‍යසනයන් මගින් ඇති වන දූෂණ හා විනාශයන් බොහොමයක් නැවත යථා තත්වයට ගෙනා හැකියි. ඒත් මෙම ව්‍යසනයෙන් සිදු වූ දූෂණයේ අතුරු ප්‍රතිඵල දීර්ඝ කාලයක් තිබුණා.
මෙම බලාගාරය අසල කලින් පදිංචිව සිටි අය තම නෑහිතවතුන් සමඟ මෑතක සිට සෑම අවුරුද්දකම මැයි මාසයේ නවවන දා ඔවුන්ගේ ගෙවල් දොරවල් බැලීමට පැමිණ තිබෙනවා. ඒ වගේම භූමදාන කටයුතු සඳහාත් එම ස්ථානයට ගොස් තිබෙනවා. විකිරණ මගින් සිදු වී තිබෙන බලපෑම් ගැන සොයා බැලීමට විද්‍යාඥයන්ද එම ස්ථානයට ගොස් තිබෙන අතර යුක්රේනයේ චාරිකා සැලසුම් කරන සමාගම් මෑතක සිට මෙම ප්‍රදේශයට දවසේ චාරිකා සැලසුම් කර තිබෙනවා.
වර්ෂ 2005 ජූනි මස පළ වූ නිව් යෝර්ක් ටයිම්ස් සඟරාවේ මුල් පිටුවේ කියා සිටියේ “මාර්ග උපදේශකයෙක් සමඟ” ප්‍රිපෙට් නගරයට සංචාරයක් යෑම “සෞඛ්‍යයට අහිතකර නොවන” බවයි.a එක්දාස් නවසිය හැත්තෑ ගණන්වලදී පිහිටුවනු ලැබූ ප්‍රිපෙට් නගරයේ සිට බලාගාරයට තිබෙන්නේ කිලෝමීටර් 3ක පමණ දුරක්. එම නගරයේ වැසියන් 45,000ක් පමණ සිටියා. සිදු වූ න්‍යෂ්ටික අනතුර නිසා අනෙකුත් නගර මෙන් මෙම නගරයත් මිනිස් වාසයක් නැති පාළු ප්‍රදේශයක් බවට පත් වුණා. විකිරණ නිසා මෙම ප්‍රදේශවලට යෑම තහනම් කළා. අනතුර සිදු වන අවස්ථාවේදී ඇනා සහ වික්ටර් රුඩ්නික් ජීවත් වුණේ ප්‍රිපෙට් නගරයේ.b ඔවුන් එහි පදිංචියට ගියේ අනතුර සිදුවීමට අවුරුද්දකට පෙරයි.
චර්නොබිල් නගරයෙන් කිලෝමීටර් 15ක පමණ දුරකින් තමයි චර්නොබිල් බලාගාරය තිබෙන්නේ. එය ප්රිපෙට්වලට වඩා කුඩා නගරයක්. මෑතක සිට, කලින් එහි පදිංචිව සිටි වැසියන්ට අවුරුද්දකට වතාවක් එම නගරය බැලීමට අවසර දී තිබෙන නිසා පසුගිය අවුරුදු කිහිපය පුරා එම නගරය බැලීමට ඔවුන් පැමිණුණා. මමයි මගේ භාර්යාවයි රුඩ්නික් පවුල සමඟ අවුරුදු කිහිපයකට පෙර චර්නොබිල් නගරය නැරඹීමට ගිය හැටි මම විස්තර කරන්නම්.
ගමන දුකයි
අපි යුක්රේනයේ අගනගරය වන කීව් සිට උතුර බලා පිටත් වුණා. මඟ දෙපස නිවාස තිබෙන කුඩා සුන්දර නගර පසු කරමින් අපි ගියා. එම නිවෙස් ඉදිරිපිට අලංකාර ටියුලිප් මල් පාත්ති තිබූ අතර අපි එළවළු වගාවන්ද දැක්කා. නගර අතර ඉරිඟු, තිරිඟු සහ සූර්යකාන්ත මල් යායවල් එක දිගටම දකින්න තිබුණා.
මෙසේ සුන්දර දසුන් නරඹමින් යන අතරතුරේ එක විගසම අපිට වෙනසක් දැනුණා. අපි පාළු කාන්තාරයකට ඇතුල් වුණා වගේ දැනුණා. එහි තිබුණේ පුදුමාකාර නිහැඬියාවක්. ගරා වැටෙමින් තිබූ ගෙවල්වල ජනේල කඩා වැටිලා. දොරවල්වල අගුලු දාලා. ගෙවතුවල වල් බිහි වෙලා.
අපි දැන් ඉන්නේ බලාගාරයේ සිට කිලෝමීටර් 30ක් පමණ දුරකින්. එය තහනම් ප්‍රදේශයක්. “මෙම ප්‍රදේශයේ අවට නගර විකිරණවලින් පිරී තිබෙන නිසා එම නගරවලින් පුද්ගලයන් 1,50,000කට විතර නිවෙස් අත්හැර වෙනත් ප්‍රදේශවලට යන්න සිදු වුණා” කියා ඇනා අපට පැවසුවා.
යන ගමන් අපි තවත් කලාපයකට ඇතුල් වුණා. ඒ කලාපය අනෙකුත් නගරවලින් වෙන් කිරීමට අහස උසට කටු කම්බි ගසා තිබුණා. ඒ අසල තිබූ ලෑලි කාමරයක සිටි ආරක්ෂක නිලධාරීන් සියලුම වාහන පරීක්ෂා කළා. එක්කෙනෙක් අපගේ ගමන් බලපත්‍රය පරීක්ෂා කර වාහනයේ අංකය ලියාගත් පසු අපට යෑමට ගේට්ටුව විවෘත කළා.
අපි දැන් ඉන්නේ තවත් තහනම් කලාපයකයි. මම හිතාගෙන හිටියේ මෙහේ ගස් වැල් පිච්චිලා කොළ අතු මැළවිලා තියෙයි කියලා. ඒත් දුටුවේ හාත්පසින්ම වෙනස් දෙයක්. අලුතින් දළු දමා වැඩුණු ගස් මඟ දෙපස වියනක් වගේ තිබුණා. සරුසාර පඳුරු පොළොව වසාගෙන. ඉදිරියේ සුදු පාට ගඩොල් බිත්තියක නිල් පාට අකුරින් චර්නොබිල් නගරය කියා ලියා තිබුණා.
නගරයේ මායිමේ ඖෂධහලක් තිබුණා. වික්ටර්ගේ අම්මා කලින් එහේ වැඩ කළා. එය විවෘත කරන වේලාව සඳහන් පුවරුවේ අකුරු මැකී ගොස් කැඩී බිඳී ඇති ජනේලය මත තවමත් එල්ලෙමින් තිබෙනවා. නගරය මැද තිබෙන උද්‍යානය අසල කලාගාරයක් පිහිටා තිබුණා. කාර්යාලයේ වැඩවලින් පසු ඇනාත් වෙනත් අයත් මෙම ස්ථානයට පැමිණ කලාකරුවන්ගේ ක්‍රියාකාරකම් නරඹමින් නිදහසේ කාලය ගත කළ ආකාරය ඇය මතකයට නඟනවා. ඒ දවස්වල උණුසුම් කාලයේදී ඉන් මිදීමට දරුවන් ළඟපාත පිහිටි වායු සමනය කළ යුක්රෙයිනා චිත්‍රපට ශාලාවට ගොස් අලුත්ම චිත්‍රපටියක් නැරඹුවා. එදා ඇසුණු සිනා හඬවල් අද ඇහෙන්නේ නැහැ. දැන් ශාලාව පාළුවට ගිහින්. ඇනා සහ වික්ටර් අපව ඔවුන්ගේ නිවසට රැගෙන ගියා. නිවස තිබුණේ නගරයෙන් ටික දුරක් ඇතුළට වෙන්න. ගස් වැවී තිබුණ නිසා ඉස්සරහ දොරින් ඇතුල් වෙන්න බැරුව ගියා. ඒ නිසා අපි කටු පඳුරු වැවිලා තිබුණු පිටි පස්ස දොරින් ඇතුල් වෙන්න ගියා. හැබැයි එතැන දොරක් නෙමෙයි තිබුණේ, ලොකු විවරයක්.
ගෙයි ඇතුළත සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. පුස් කාපු මෙට්ට මලකඩ කාපු ඇඳන්වලටම දිරාපත් වෙලා. බිත්ති ජරා වෙලා. ඇනා කාමරයේ විසි වෙලා තිබුණ පින්තූරයක් ගන්න ටිකක් නතර වුණා. “මම හිතුවේ අපි ආයෙත් එද්දී අපේ ගෙදර හැම දෙයක්ම ඒ විදිහටම තියෙයි කියලා. අපේ ගේ කුණු ගොඩක් වෙලා, බඩුත් හොරකම් කරලා. මේවා දකිනකොට මට හරි දුකයි” කියා දුක්මුසු හඬින් ඇනා පැවසුවා.
අපි රුඩ්නික්ලාගේ නිවසින් පිටත් වෙලා පාර දිගේ ඇවිදගෙන ගියා. පාරේ කොනක මිනිස්සු කට්ටියක් අතින් පයින් ලොකු කතාවක්. කිලෝමීටර් භාගයක් විතර ඇවිදගෙන යනකොට ලස්සන ගඟක් අසල තිබෙන උද්‍යානයකට අපි ආවා. චෙස්ට්නට් ගසේ සුදු පැහැති මල් සුළඟට ලෙල දෙමින් තිබුණා. ඉතාමත් නිස්කලංක දර්ශනයක්. ඒත් 1986දී මිනිසුන් සිය ගණන් මෙතැනින් පිටත් වීමට බෝට්ටු එනතුරු බලා ඉන්න ඇති.
ගිය අවුරුද්දේ රුඩ්නික් පවුල ප්රිපෙට්වල තිබූ ඔවුන්ගේ නිවස බැලීමට ගියේ පළමු වතාවටයි. ඔවුන් එම පළාතෙන් පිටව තිබෙන්නේ අවුරුදු 19කට පෙර සිදු වූ න්‍යෂ්ටික පිපිරීම නිසයි.
සිතා බැලීමට කාලය දැන්
වර්ෂ 2006 අප්‍රියෙල් මාසයට න්‍යෂ්ටික පිපිරීම සිදු වී වසර 20ක් ගත වී අවසන්. එය සිහි කිරීමට විවිධ වැඩ කටයුතු සංවිධානය කර තිබෙනවා. දෙවිගේ මඟ පෙන්වීමක් නොමැතිව පොළොවේ කටයුතු පාලනය කිරීමට මිනිසාට හැකියාවක් නැහැයි යන්නට මෙම සිද්ධිය බොහෝදෙනෙකුට කදිම සාක්ෂියක් සපයනවා.—යෙරෙමියා 10:23.
මුලින්ම වාර්තා වුණේ මෙම සිද්ධියෙන් 15,000ත් 30,000ත් අතර සංඛ්‍යාවක් මිය යන්න ඉඩ තිබෙනවා කියායි. නමුත් පසුගිය සැප්තැම්බර් මාසයේ මෙම සිද්ධිය පිළිබඳව විද්‍යාඥයන් නැවතත් සොයා බලා වාර්තාවක් සැකසුවා. එම වාර්තාව සකසන ලද්දේ එක්සත් ජාතීන්ගේ අනුදැනුම යටතේයි. එහි මෙසේ වාර්තා වෙනවා. මෙම අනතුරෙන් 56දෙනෙක් ඒ අවස්ථාවේම මරණයට පත් වුණා. නමුත් විකිරණ හා වෙනත් රෝගවලින් මිය යන සංඛ්‍යාව 4,000 ඉක්මවා නොයාවී. එක්සත් ජාතීන්ගේ මෙම වාර්තාව ගැන 2005 සැප්තැම්බර් 8වෙනිදා නිව් යෝර්ක් ටයිම්ස් සඟරාව මෙසේ පවසනවා. “පරිසරය ආරක්ෂා කරන ආයතන කියන්නේ න්‍යෂ්ටික බලාගාරයෙන් සිදු වෙන අනතුරු එතරම් දරුණු නැහැයි කියා එම වාර්තාවලින් පෙන්වන්න තැත් කරන බවයි.”
මෙම ව්‍යසනයෙන් පසුවයි වික්ටර් තම මැවුම්කරු වන යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පටන්ගත්තේ. ඔහු මෙසේ පැවසුවා. “අපිට සහනයක් දැනෙනවා. මොකද අපි දන්නවා දෙවිගේ රාජ්‍යය පාලනය කරනකොට මේ වගේ අනතුරු වෙන්නේ නැහැ කියලා. චර්නොබිල් අසල අපේ ගේ තිබුණ සුන්දර ගම් පළාත මුළු පොළොවම පාරාදීසයක් වුණ දාට නැවතත් යථා තත්වයට පත් වෙයි. අපි ඒ කාලය එනතුරු බලා සිටිනවා.”
පොළොවේ මුලින් තිබූ පාරාදීසය නැවත ඇති කර එය පොළොව පුරා ව්‍යාප්ත කරන බවට බයිබලයේ පොරොන්දු වෙනවා. එම පොරොන්දුව ගැන හුඟදෙනෙකු තුළ සම්පූර්ණ නිසැකකමක් තියෙනවා. (උත්පත්ති 2:8, 9; එළිදරව් 21:3, 4) පසුගිය අවුරුදු 20 ඇතුළත යුක්රේනයේ පමණක් 1,00,000කට වැඩි පිරිසක් මෙම පොරොන්දුව කෙරෙහි විශ්වාසය තැබුවා! දෙවිගේ අරමුණු ඉගෙනීමට කැමති අයට උරුම වෙන දීප්තිමත් අනාගතය පිළිබඳව ඔබටත් සොයා බැලිය හැකියි.
[පාදසටහන්වල]
a මෙම නගරවලට එක්දින චාරිකාවක් යෑම ආරක්ෂාකාරියි කියා යම් ආයතන පැවසුවත් පිබිදෙව්! සඟරාව එය අනුමත කරන්නේ නැහැ. එය පෞද්ගලික තීරණයක්.
b 1997 අප්‍රියෙල් 22 පිබිදෙව්! සඟරාවේ 12-15 පිටු බලන්න. (සිංහලෙන් නැහැ.)
[16වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ස්මාරකය
මෙම මීටර් හතරක් පමණ උස ස්මාරකය තනා තිබෙන්නේ චර්නොබිල් ව්‍යසනයෙන් පසු පිරිසිදු කිරීමේ කාර්යයේ නියැලුණු සේවකයන් වෙනුවෙන්. ඔවුන් ගින්න නිවා, ස්ථානය සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට්වලින් වසා දමා විෂ ද්‍රව්‍ය අහක් කර තිබෙනවා. මේ සඳහා සේවකයන් දහස් ගණනක් වෙහෙස මහන්සිය නොබලා වැඩ කර තිබෙනවා. මෙම අනතුරෙන් 4,000ක් පමණ මිය යා හැකි බවට අනාවැකි පළ කළ අතර පිරිසිදු කිරීමට පැමිණි සේවකයන් වැඩිදෙනෙක් එම සංඛ්‍යාවට ඇතුළත් විය හැකියි.
[15වන පිටුවේ පින්තූර]
චර්නොබිල් නාම පුවරුව සහ සිනමා හල
[15වන පිටුවේ පින්තූර]
රුඩ්නික් පවුල හා චර්නොබිල්හි ඔවුන්ගේ නිවස
[16වන පිටුවේ පින්තූර]
පිපිරීම සිදු වූ බලාගාරය පිහිටා තිබෙන්නේ ප්රිපෙට්වල රුඩ්නික්ලාගේ නිවසෙන් කිලෝමීටර් තුනක් පමණ දුරින්