ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 6/06 7-9 පි.
  • සැබෑ සාමයක්! ලොව පුරා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැබෑ සාමයක්! ලොව පුරා
  • 2006 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • විසඳුම ප්‍රචණ්ඩත්වය නොවෙයි
  • දෙවිව විශ්වාස කිරීමට හේතු
  • ලොව පුරා සැබෑ සාමයක්!
  • ත්‍රස්තවාදය නැති කාලයක් එයිද?
    තවත් ලිපි
  • “භය නොවන්න. ත්‍රස්ත නොවන්න”
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලෙයින් නැහැවුණු ඉතිහාසයක්
    2006 පිබිදෙව්!
  • සාහසිකකමට නිත්‍ය අවසානයක්—කෙසේද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2006 පිබිදෙව්!
g 6/06 7-9 පි.

සැබෑ සාමයක්! ලොව පුරා

සියලුදෙනාගේ පැතුම සාමයයි. එහෙත් සමහරු එය අත්කරගන්න උත්සාහ කරන්නේ හොඳින් නෙවෙයි නරකින්. දේශපාලනික නිදහස ලබාගැනීමටත් ආගමක් රැකගැනීමටත් හැකි වන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා මගින් පමණයි කියා සමහරු විශ්වාස කරනවා. ඇතැම් පාලකයන් රටවැසියන්ව පාලනය කරන්නෙත් නීතිය රැකගන්නෙත් මැර බලයෙනුයි. එහෙත් ත්‍රස්තවාදයෙන් සමාජයට යහපතක් වේ නම් එමගින් ගෙනෙන සාමය, සමෘද්ධිය හා සාර්ථකත්වය වැනි යහපත් ප්‍රතිඵල තවමත් අප අද්දකින්නේ නැත්තේ ඇයි?

ත්‍රස්තවාදයෙන් නම් කාටවත් හොඳක් සිදු වන්නේ නැහැ. එවැනි දරුණු ක්‍රියාවලින් පෙන්වන්නේ මිනිස් ජීවිතයට ගරු නොකරන බවයි. ත්‍රස්තවාදයට ගොදුරු වෙන අය තමන්ගේ වේදනාව නැති කරගන්නේ පළිගැනීමේ ක්‍රියාවලින්. එමනිසා වෛරය තවත් වැඩි වෙනවා මිසක අඩු වන්නේ නැහැ.

විසඳුම ප්‍රචණ්ඩත්වය නොවෙයි

වසර දහස් ගණනක් පුරා මිනිසා තම දේශපාලනික, ආගමික හා සමාජීය ගැටලු විසඳන්න උත්සාහ කළත් එය සාර්ථක වී නැහැ. ඇත්තෙන්ම එය බයිබල් අනාවැකියක ඉටුවීමක්. “යෙහෝවා, මනුෂ්‍යයාගේ මාර්ගය ඔහු තුළෙහිම නැති බව දනිමි; තමාගේ පාද යොමු කිරීම ගමන් යන මනුෂ්‍යයාට අයිති නැත” කියා එහි පවසනවා. (යෙරෙමියා 10:23) යේසුස්ද මෙයට යමක් එකතු කරමින් පැවසුවේ “ප්‍රඥාව ධර්මිෂ්ඨ බව එහි ක්‍රියාවලින් ඔප්පු වේ” කියායි. (මතෙව් 11:19) මෙයින් අපට පැහැදිලි වන්නේ ත්‍රස්තවාදය සැබෑ විසඳුමක් නොවන බවයි. එයට හේතුව ත්‍රස්තවාදී ක්‍රියාවලින් සැබෑ නිදහස හා සතුට ගෙන දෙනවා වෙනුවට මරණය, දුක් වේදනා හා විනාශය ළඟා කිරීමයි. විසිවෙනි සියවස පුරා මේ දේවල් අද්දැක්ක අතර 21වන සියවසේදීත් මේවායින් අඩුවක් නැහැ. ඇත්තෙන්ම දැන් බොහෝදෙනාට පෙනීයන්නේ ත්‍රස්තවාදය තවත් ගැටලුවක් මිස විසඳුමක් නොවන බවයි.

“අද දවසේ මගේ පවුලේ කෙනෙක්වත්, මිතුරෙක්වත් මැරෙන්න හොඳ නෑ කියලා මම හැමදාම හිතනවා. . . . දෙවියන්වත් පිහිට වෙනවා නම්!” කියා යෞවනියක් ලිව්වේ ඇගේ මුළු ගමම ත්‍රස්තවාදීන් පුලුස්සා දැමූ පසුවයි. ඈ ලියූ වදන් බොහෝදෙනෙකුගේ සිත් තුළ පැළපදියම් වී තිබෙන නිසා ඔවුනුත් සිතන්නේ මිනිසුන්ට වඩා උතුම් කෙනෙකුගේ පිහිට අවශ්‍ය බවයි. ත්‍රස්තවාදය ඇතුළු සෑම ගැටලුවකටම විසඳුමක් ගේන්න පුළුවන් වෙන්නේ මිනිසාගේ මැවුම්කරු වන දෙවිට පමණයි. ඒත් දෙවි එය කරයි කියා විශ්වාස කළ හැකිද?

දෙවිව විශ්වාස කිරීමට හේතු

මුල්ම හේතුව යෙහෝවා අපගේ මැවුම්කරු වීමයි. දෙවි කැමති ඔහු අපට දුන් ජීවිතය අපි සාමයෙන් හා ප්‍රීතියෙන් භුක්ති විඳිනවා දකින්නයි. අනාගතවක්තෘවරයෙක් වන යෙසායා දෙවි ගැන මෙසේ ලිව්වා. “එහෙත් දැන් යෙහෝවා, ඔබ අපේ පියාණෝය. අපි මැටිය. ඔබ අපේ කුම්භකාරයාය. අපි සියල්ලෝ ඔබගේ හස්ත කර්මාන්තයෝය.” (යෙසායා 64:8) යෙහෝවා දෙවි මුළු මිනිස්වර්ගයාගේ පියාණන් නිසා සියලු ජාතීන්ට අයත් ජනයා ඔහුට අනර්ඝයි. ත්‍රස්තවාදයට තුඩු දෙන අයුක්තිය හා වෛරය දෙවිගේ වරදක් නෙවෙයි. “දෙවි මනුෂ්‍යයා ඇද නැතුව මැවුවේය; නමුත් ඔවුහු බොහෝ අමුතු දේ සොයා ගත්තෝය” කියා නැණවත් සාලමොන් රජද පැවසුවා. (දේශනාකාරයා 7:29) සැබෑව නම් මෙයයි. ත්‍රස්තවාදය මිනිසාගේ දුෂ්ටකම හා භූත බලපෑම නිසා ඇති වූවක් මිස දෙවිගේ අඩුපාඩුවක් නිසා ඇති වූවක් නෙවෙයි.—එෆීස 6:11, 12.

දෙවන හේතුව මිනිසාගේ ආරම්භයේ පටන් මිනිස් වර්ගයාගේ ගැටලුවලට හේතුව හා ඒවා විසඳන ආකාරය ගැන වෙන කාටත් වඩා හොඳින් දන්නේ දෙවියි. මේ සත්‍යය ගැන බයිබලයේ හිතෝපදේශ 3:19හි මෙසේ පවසනවා. “යෙහෝවා ප්‍රඥාවෙන් පොළොවේ අත්තිවාරම් ලූවේය. තේරුමෙන් ස්වර්ගයන් පිහිටෙව්වේය.” දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබූ අතීතයේ සිටි කෙනෙක් මෙවැන්නක් ලිව්වා. “මට උපකාර ලැබෙන්නේ කොතැනින්ද? මට උපකාර ලැබෙන්නේ අහස පොළොව මැවූ යෙහෝවාගෙන්ය.”—ගීතාවලිය 121:1, 2.

තුන්වන හේතුව හැටියට දෙවිගේ බලය ගැන අපි සලකා බලමු. කෲර මෙන්ම දරුණු ඝාතන නැවැත්වීමට බලය තිබෙන්නේ දෙවිටයි. නෝවාගේ කාලයේ “පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණා.” (උත්පත්ති 6:11) දෙවි වහාම ඔහුගේ විනිශ්චය ගෙනාවා. “පුරාණ ලෝකයකට ඔහු දඬුවම් කිරීමෙන් නොවැළකී අභක්තිකයන්ගෙන් යුත් ලෝකයක් පිට ජලගැල්මක්” ගෙන ඒමෙන් ඔවුන්ව විනාශ කළා.—2 පේතෘස් 2:5.

නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්ම ගැන බයිබලයෙන් කියවද්දී අපටද ඉන් පාඩමක් ගත හැකියි. “දේවභක්තික ජනයාව පරීක්ෂාවලින් ගලවාගන්නේ කෙසේද කියාත්, අධර්මිෂ්ඨයන්ව කපාහරින පිණිස විනිශ්චයේ දවස සඳහා වෙන් කර තබන්නේ කෙසේද කියාත් යෙහෝවා දන්නේය.” (2 පේතෘස් 2:9) කෙනෙකුගේ ඇතුළාන්ත සිතුවිලි දැනගන්න හැකියාව තිබෙන්නේ දෙවිට පමණයි. දෙවි නියම කර තිබෙන්නේ අනුන්ට හිරිහැර කරන අයව ‘අභක්තික මිනිසුන්ගේ විනාශයේදී’ විනාශ කිරීමටයි. නමුත් වඩාත් හොඳ සාමකාමී ජීවිතයක් ගත කිරීමට කැමති අයට ධර්මිෂ්ඨකමින් පිරි අලුත් පොළොවක් සූදානම් කරමින් සිටිනවා.—2 පේතෘස් 3:7, 13.

ලොව පුරා සැබෑ සාමයක්!

මිනිසාව නැත්නම් මිනිස් වර්ගයාව හැඳින් වීමට බයිබල් ලේඛකයන් බොහෝවිට “පොළොව” යන වචනය යොදාගෙන තිබෙනවා. උදාහරණයකට උත්පත්ති 11:1 පවසන්නේ “මුළු පොළොවෙහි” එනම් එවකට පොළොවේ විසූ සියලු ජනයා එක භාෂාවක් කතා කළ බවයි. “අලුත් පොළොවක්” කියා සඳහන් කරද්දී පේතෘස් අදහස් කළේත් ඊට සමාන දෙයක්. යෙහෝවා දෙවි මිනිස් සමාජය පවිත්‍ර කරමින් එය අලුත් කරන අතර ඒ කාලසේදී සැහැසිකකම හා වෛරය වෙනුවට ධර්මිෂ්ඨකම හා යුක්තිය ලොව පුරා “වාසය” කරයි. බයිබලයේ මීකා 4:3හි එය මේ විදිහට පුරෝකථනය කර තිබෙනවා. “ඔහු බොහෝ වර්ගයන් අතරේ විනිශ්චය කරන්නේය; දුර සිටින බලවත් ජාතීන්ට තරවටු කරන්නේය. ඔවුහු තමන් කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් කැතිද තළා ගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව නොඔසවන්නේය. ඔවුහු තවත් යුද්ධය ඉගෙන නොගන්නෝය.”

මෙය ඉටු වන දාට ඇති වන තත්වය ගැන මීකා 4:4 තවදුරටත් පවසන්නේ “ඔවුහු එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද හිඳින්නෝය; කිසිවෙක් ඔවුන්ව භය නොගන්වන්නේය.” මෙම පාරාදීස පොළොවේ සිටින කිසිවෙකුට ඊළඟ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ගැන නම් බියවීමට අවශ්‍ය වන්නේ නැහැ. මෙය විශ්වාස කළ හැකි පොරොන්දුවක්ද? කිසිම සැකයක් නැහැ “මක්නිසාද සේනාවන්ගේ යෙහෝවාගේ මුඛයෙන් ඒක කියන ලද්දේය.”—මීකා 4:4.

දිනෙන් දින ත්‍රස්තවාද ක්‍රියා වැඩි වෙමින් තිබුණත්, බොහෝ අය බියෙන් ජීවත් වුණත් සැබෑ සාමයට ලැදි අයට තිබෙන එකම විසඳුම යෙහෝවා මත රඳා සිටීමයි. දෙවිට විසඳන්න බැරි කිසිම ගැටලුවක් නැහැ. ඔහු අනතුරු හා දුක් වේදනා පමණක් නොව මරණය පවා නැති කර දමනවා. බයිබලයේ අපට කියන්නේ මෙයයි. “ඔහු මරණය සදාකාලයටම ගිල්ලේය; ස්වාමි වූ යෙහෝවා සියලු මුහුණුවලින් කඳුළු පිස දමන්නේය.” (යෙසායා 25:8) අද බොහෝ අලංකාර රටවල් හා අනර්ඝ මිනිසුන් ත්‍රස්තවාදයෙන් පීඩා විඳිනවා. එහෙත් නොබෝ කලකින් සාමය පිරී ඉතිරී යන බවට පොරොන්දුව දී තිබෙන්නේ “බොරු කීමට නොහැකි” දෙවියි. මිනිසාට අවශ්‍ය වී තිබෙන්නේ එයම නොවෙයිද!—තීතස් 1:2; හෙබ්‍රෙව් 6:17, 18.

අවි වෙනුවට සාර්ථක විසඳුමක්

දේශපාලනයේ වෙනසක් ඇති කිරීමට එකම මඟ ප්‍රචණ්ඩත්වය කියා විශ්වාස කළ අය පැවසූ අදහස් මතු දැක්වෙනවා.

  • “ඉතිහාස පොත් කියවද්දී මම දැනගත්තේ රජවරුන් හා උසස් නිලධාරීන් දුප්පත් ජනයාව සැමවිටම පාලනය කර තිබෙන බවයි. දුප්පත් ජනයාගේ වේදනාව මට දැනුණා. මේ අසාධාරණය නැති කරන්න පුළුවන් වෙන්නේ තුවක්කුවලින් පමණයි.”—රමෝන්.a

  • “හමුදාවේ දරුණු සටන්වලට මම සහභාගි වුණා. මට ඕන වුණේ කාලයක් තිස්සේ පවතින රජයන් පෙරළා දමා ජනයා අතර පවතින අසමානතාව නැති කරන අලුත් සමාජ ක්‍රමයක් බිහි කරන්නයි.”—ලූෂන්.

  • “පුංචි සන්ධියේ ඉඳලම මට අයුක්තිය අසාධාරණය පෙන්නන්න බැහැ. දිලිඳුකම, අපරාධ, අධ්‍යාපනය සහ වෛද්‍ය ප්‍රතිකාර හිඟකම අසාධාරණයන් ලෙසයි මම දැක්කේ. අපිට මූලික අයිතිවාසිකම් ලැබෙන්නේ සටන් කළොත් විතරයි. හොඳින් නොහැසිරෙන, තමන්ගේ අසල්වැසියාට හිරිහැර කරන අයට දඬුවම් කළ යුතුයි කියලත් මම හිතුවා.”—පීටර්.

  • “මගේ සැමියයි, මමයි විප්ලවවාදී රහස් සංවිධානයකට බැඳුණා. අපේ අරමුණ වුණේ අයුක්තිය අසාධාරණය නැති කරලා සාමකාමී සමාජයක් ගොඩ නඟා හැමදෙනාටම සම තත්වයක් ලබා දෙන්නයි. අපේ රට තුළ එවැනි තත්වයක් ගෙනෙන්න නම් හොඳම ක්‍රමය ත්‍රස්තවාදී ක්‍රියා කියලයි අපි හිතුවේ.”—ලූඩ්ස්.

මේ අයගේ පරමාර්ථය වුණේ බලෙන් හෝ සමාජයට උපකාරයක් කරන්නයි. එහෙත් ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත් පසු ඔවුන්ට වැටහුණා වඩාත් හොඳ ක්‍රමයක් තිබෙන බව. බයිබලයේ යාකොබ් 1:20 මෙසේ පවසනවා. “මිනිසාගේ උදහසින් දෙවිගේ ධර්මිෂ්ඨකම ඉටු වන්නේ නැත.”

දේවපාලනයකින් පමණයි මිනිස් සමාජයට යහපතක් වෙන්නේ. මතෙව් 24වන පරිච්ඡේදය හා 2 තිමෝති 3:1-5හි සඳහන් බයිබල් අනාවැකිවලින් පෙන්වන්නේ දේවරාජ්‍ය මගින් ළඟදීම ඉටු කරන දේ ගැනයි. අපි ඔබටත් ආරාධනා කරන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කර මේ සත්‍යයන් ඉගෙනගන්න කියායි.

a සැබෑ නම් නොවෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න