යෞවන අය අසති . . .
මේ පුරුද්ද අත්හරින්න මට පුළුවන් වෙයිද?
“මම ස්වයං වින්දනයට පුරුදු වුණේ අවුරුදු අටේ ඉඳලයි. මේ කාරණය ගැන දෙවිගේ අදහස මම දැනගත්තේ පහු වෙලා. මේ නරක පුරුද්දට වැටෙන හැම අවස්ථාවෙම මට මාවම එපා වුණා. ‘මං වගේ කෙනෙක්ට දෙවි ප්‍රේම කරන්නේ කොහොමද’ කියලා මට හිතුණා. දෙවිගේ නව ලොවට ඇතුල් වෙන්න කොහොමටවත් මට බැරි වෙයි කියලත් හිතුණා.”—ලූයීස්.a
සමහරවිට ලූයීස් වගේ ඔබත් ස්වයං වින්දනයේ පුරුද්දට වැටී ඇති. එම පුරුද්දෙන් මිදීමට දෙවිගේ ගුණාංගයක් වන ආත්ම-දමනය ඇතුව ඔබ සිටිනවා නම් යෙහෝවා දෙවි සතුටු වෙයි. (ගලාති 5:22, 23; 2 පේතෘස් 1:5, 6) නමුත් ආපහු ඒ පුරුද්දට වැටෙන අවස්ථා තිබෙයි. ඒ හැම අවස්ථාවකදීම තමාට වෙනස් වෙන්නවත්, දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති අනුව ජීවත් වෙන්නවත් බැහැයි කියා ඔබ සිතයි.
යෞවනයෙකු වූ පේඩ්රෝටත් හැඟුණේ එලෙසයි. “පුරුද්දට වැටෙනකොට මට බය හිතෙනවා. මගේ වරදට කවදාවත් සමාවක් නම් ලැබෙන එකක් නැහැ. යාච්ඤා කරගන්නත් බැරි වෙනවා. යාච්ඤා කරද්දී ‘යෙහෝවා දෙවියනි, ඔබ මගේ යාච්ඤාවට ඇහුම්කන් දෙයිද දන්නෙත් නැහැ. . . . ’ කියලායි මම පටන්ගන්නේ.” ඔන්ඩ්‍රේ නම් තරුණයාත් මෙසේ පැවසුවා. “මම මහ බොරුකාරයෙක් වගෙයි මට මං ගැන දැනුණේ. උදේට චකිතයක් නැතුව ඇඳෙන් නැඟිටින්නත් හිතේ හයියෙන් දවසේ වැඩ ටික කරගන්නත් බැරි වුණා. ක්‍රිස්තියානි රැස්වීම්වලදීත්, දේවසේවයේ යෙදෙද්දීත් හිත වද දුන්නා.”
ඔබට හැඟෙන්නෙත් ලූයීස්, පේඩ්‍රෝ හෝ ඔන්ඩ්‍රේ මෙන් නම් අධෛර්ය නොවන්න. මේ ප්රශ්නය තිබෙන්නේ ඔබට විතරක් නෙවෙයි. මේ පුරුද්දට වැටී සිටි යෞවනයන් හා වැඩිහිටි බොහෝදෙනෙකුට එය අත්හැරීමට හැකි වී තිබෙනවා. ඒ වගේම ඔබටත් මේ පුරුද්ද අත්හරින්න පුළුවන්.b
හිත වද දෙනවා නම් . . .
කලින් සඳහන් කළ පරිදි මේ පුරුද්ද ඇති අයට නිතරම වරදසහිතබවක් හැඟෙනවා. ඔබ ‘දෙවි කැමති හැටියට දුක් වෙනවා’ නම් එම පුරුද්දෙන් ජයගැනීමට හැකි බවයි ඇඟවෙන්නේ. (2 කොරින්ති 7:11) නමුත් ඕනෑවට වඩා දුක් වෙවී සිටීමෙන් කිසි පලක් වෙන්නේ නැහැ. මොකද එයින් සිදු වන්නේ ඔබ තව තවත් කලකිරීමට පත් වී පුරුද්ද අත්හැරීමට දරන වෑයම නතර කිරීමයි.—හිතෝපදේශ 24:10.
ඕනෑවට වඩා ඒ ගැන සිතමින් ලත වෙන්න එපා. ඇත්තයි ස්වයං වින්දනය යම් ආකාරයකින් අපවිත්‍රකමක්. ඔබව ‘විවිධාකාර ආශාවලටද සැප සෙල්ලම්වලටද වහල්’ කිරීමටත්, දූෂිත අදහස්වලින් මනස පුරවන්නත් එයට හැකියි. (තීතස් 3:3) කෙසේනමුත් ස්වයං වින්දනය වේශ්‍යාකම වැනි බරපතළ ලිංගික දුරාචාර ක්‍රියාවක් නොවෙයි. (එෆීස 4:19) එමනිසා ඔබට ස්වයං වින්දනයේ ගැටලුව ඇත්නම් සමාව නොලැබිය හැකි පාපයක් කර ඇතැයි යන නිගමනයට එළඹෙන්න එපා. අත්‍යවශ්‍ය දේ වන්නේ ඒ සඳහා ඇති වන පෙලඹීම නවත්වාගැනීම හා ඔබේ වෑයම අත් නොහැරීමයි!
ස්වයං වින්දනය යන පුරුද්ද අත්හරින්න වෑයම් කළත්, යළි එම වරද සිදු වන විට කලකිරීමක් ඇති විය හැකියි. නමුත් එවැනි අවස්ථාවකදී හිතෝපදේශ 24:16හි තිබෙන මේ වදන් මතකයට නඟාගන්න. “ධර්මිෂ්ඨයා හත් වරක් වැටී නැවත නැඟිටින්නේය; එහෙත් දුෂ්ටයෝ විපත්තියෙන් පෙරළනු ලබති.” ඉඳ හිට යළි ඒ වරද කළොත් ඔබ දුෂ්ටයෙක් වන්නේ නැහැ. එමනිසා නතර කිරීමට දරන වෑයම අත් නොහරින්න. වරදට පෙලඹීමට ඇති හේතු සොයා බලා එම හේතු මඟහැරීමට වෑයම් කරන්න.
ඔබේ ගැටලුව ගැන නිතර නිතර ඔබටම දොස් පවරා නොගනිමින් දෙවිගේ ප්‍රේමය හා දයාව ගැන මෙනෙහි කිරීමට කාලය සොයාගන්න. ගීතිකාකරුවෙකු වූ දාවිත් පවා වැරදි කළ අවස්ථාවලදී මෙසේ පැවසුවා. “පියෙකු දරුවන්ට අනුකම්පා කරන්නාක් මෙන් යෙහෝවා තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරන්නේය. මක්නිසාද ඔහු අපේ ස්වභාවය දන්නේය. අප ධූලි බව සිහි කරන්නේය.” (ගීතාවලිය 103:13, 14) පව් කිරීමට ඇති අපේ නැඹුරුවාව ගැන දන්නා යෙහෝවා දෙවි අපි වැරදි කරන විට “කමා වන්ට සූදානම්ව” සිටින බව ඇත්තයි. නමුත් අපි හරි දේ කරන්න වෑයම් කරනවා දකින්නත් ඔහු කැමතියි. (ගීතාවලිය 86:5)
ඔබේ පුරුද්ද නතර කිරීමට හා යම් අවස්ථාවලදී යළි ඊට නැඹුරු වීමෙන් වැළකීමට කුමන පියවර ගත හැකිද?
විශ්වාසවන්ත කෙනෙකුට කියන්න
බොහෝ රටවල ලිංගිකත්වයට ප්‍රසිද්ධියක් දී ඇතත් සැහැල්ලුවට නොඟෙන ගෞරවනීයව ලිංගික කාරණා ගැන කතා කිරීම හුඟක් අයට අමාරු කාර්යයක්. සමහරවිට ඔබත් ලැජ්ජාව නිසා විශ්වාසවන්ත කෙනෙකු සමඟ පවා ඔබේ පුරුද්ද ගැන කතා නොකර සිටිය හැකියි. වසර ගණනාවක් පුරා ස්වයං වින්දනයේ පුරුද්දට වැටී සිටි එක් ක්‍රිස්තියානියෙක් මෙසේ පැවසුවා. “අවුරුදු ගණනාවක්ම ඒ ගැන හිත වද දුන්න නිසා අනිත් අය එක්ක, විශේෂයෙන්ම යෙහෝවා දෙවි එක්ක හොඳ සබඳතාවක් තියාගන්න මට අමාරු වුණා. මගේ යෞවන කාලේම ඒ ගැන තව කෙනෙකුට කියන්න මා තුළ ධෛර්යයක් තිබුණා නම්!”
කාටද පැවසිය යුත්තේ? දෙවිගේ ප්‍රමිති ගැන දැනුම් තේරුම් ඇති කෙනෙක්ට පැවසීමයි සුදුසුම දෙය. මව හෝ පියා නම් වඩාත් හොඳයි. ඔබට හැකියි මෙසේ මුලපුරන්න. “මගේ හිතට හුඟක් වද දෙන කාරණයක් ගැන කතා කරන්න මට පුළුවන්ද?”
ලොකු අනුකම්පාවක් දක්වන වටහාගැනීමෙන් කටයුතු කරන තම පියා සමඟ ඒ ගැන කතා කරන්න මාරියෝ තීරණය කළා. මාරියෝගේ පියා පැවසුවේ ඔහුත් යෞවන කාලයේදී මේ පුරුද්දට වැටී සිටිය බවයි. “මගේ තාත්තගේ අවංකකම නිසා මට ධෛර්යයක් ආවා. ඔහුට ඒ පුරුද්දෙන් මිදෙන්න පුළුවන් වුණා නම් මටත් පුළුවන් බව තේරුම්ගත්තා. තාත්තා කතා කරගෙන යද්දී මට ඉබේටම ඇඬුණා.”
ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකුට කතා කරන්න ඔන්ඩ්‍රේ ධෛර්යය උපදවාගත්තා.c “මං කිව්ව දේ අහගෙන ඉද්දී ඔහුගේ ඇස්වල කඳුලු පිරුණා. ඊට පස්සේ යෙහෝවා දෙවි මට මොන තරම් ආදරේද කියලා පෙන්නලා මේ ගැටලුව තියෙන්නේ මට විතරක් නෙවෙයි කියලාත් ඔහු කිව්වා. පුරුද්දෙන් මිදෙන්න මට උදව් කරන බවටත් බයිබල් ප්‍රමිති අඩංගු ප්‍රකාශනවලින් තව කරුණු හොයලා දෙන බවටත් පොරොන්දු වුණා. ඔහු එක්ක කතා කළාට පස්සේ ආයි ඉඳ හිට ඒ දේට පෙලඹුණත් වෑයම නම් අත්හරින්නේ නැහැයි කියලා මම හිතාගත්තා.”
මාරියෝ හා ඔන්ඩ්‍රේ මෙන් ඔබටත් හැකියි ස්වයං වින්දනය යන පුරුද්දෙන් ජයගැනීමට දරන වෑයමේදී උපකාර ගන්න. “ජයගැනීමට සටන් කරන්න!” යන කොටුවේ උපදෙස් පිළිපදින්න. අනිවාර්යයෙන්ම ඔබට හැකියි මේ සටනෙන් ජයගන්න!
[පාදසටහන්වල]
a මේ ලිපියේ තිබෙන්නේ සැබෑ නම් නොවෙයි.
b මේ ලිපියේ තියෙන්නේ පුරුෂයන්ගේ අදහස් පමණක් වුවත් බොහෝ ස්ත්‍රීන්ටත් ස්වයං වින්දනය යන පුරුද්ද තිබෙනවා. එමනිසා මේ උපදෙස් දෙපක්ෂයටම අදාළයි. මේ ලිපියේ සාකච්ඡා කරන්නේ තමන්ගේම රහස් අවයවවලින් වින්දනයක් ලැබීම ගැනයි. විවාහයෙන් පිටත කෙනෙකු සමඟ එවැනි ක්‍රියාවක යෙදීම බයිබලයේ හඳුන්වන්නේ වේශ්‍යාකම කියායි. දෙවි ඉදිරියේ එය බරපතළ පාපයක්.—මේ ගැන 2004 අගෝස්තු 8 කලාපයේ, 26-28වන පිටුවල ඇති “යෞවන අය අසති . . . විවාහයට පෙර ලිංගික ඇසුරක් පැවැත්වීමේ ඇති වරද කුමක්ද?” යන ලිපිය බලන්න.
c යෞවනියක් කැමති වෙයි තම මව සමඟ හෝ සභාවේ සිටින දැනුම් තේරුම් ඇති සහෝදරියක් සමඟ කතා කරන්න.
මේ ගැනත් සිතන්න
◼ යෙහෝවා “සමාව දීමට කැමැත්තෙන් සිටින” බව මතක තබාගැනීම වැදගත් වන්නේ මන්ද?—ගීතාවලිය 86:5.
◼ ස්වයං වින්දනය යන පුරුද්ද නැති කරගැනීමට ඔබ ගන්නේ කුමන පියවරද?
◼ උපකාර පැතීමට ලජ්ජා නොවිය යුත්තේ මන්ද?
◼ නිර්මල දේ සිතීමට ඔබට හැක්කේ කෙසේද?
[19වන පිටුවේ කොටුව⁄පින්තූරය]
යළි පෙලඹීම පරාජයක් නොවෙයි!
‘මට බැරි වුණා හිත පාලනය කරගන්න. වැඩක් නැහැ මම උත්සාහ කළාට’ කියා සිතීම ඇත්තෙන්ම පහසුයි. එසේ සිතීම වැරදියි. ඊට හේතුව ඉඳ හිට පෙලඹීම හෝ කීප වතාවක්ම පෙලඹීම පරාජය වීමක් නොවීමයි.
මේ උදාහරණය ගැන ටිකක් හිතන්න. “ඔබ පඩි පෙළක් දිගේ නඟිද්දී පඩියක් දෙකක් ලිස්සලා ගියොත්, ‘ආපහු පහළටම ගිහින් මුල පඩියේ ඉඳන්ම උඩට එන්න ඕන’ කියා ඔබ සිතනවාද? නැහැ නේද? එසේනම් නරක පුරුද්දට යළි පෙලඹීමේදී මේ ප්රතිපත්තියම අදාළ කර නොගන්නේ ඇයි?
පසුබෑමක් ඇති වුණොත් හිත වද දෙන හැඟීම් බොහෝවිට මතු වෙයි. නමුත් තමන් කිසි වැඩකට නැති නරක කෙනෙක්, අනිත් අයගේ සැලකිල්ල නොලැබිය යුතු කෙනෙක් කියා තීරණය කිරීම අන්තයකට යෑමක්. ඒ නිසා එහෙම හිතන්න එපා. මොකද එවිට ඔබේ සටනෙන් ජයගන්න ඔබට ශක්තිය නැති වෙයි. මෙයත් මතක තබාගන්න. මිහිපිට ජීවත් වී ඇති උතුම්ම මිනිසා වන යේසුස් ක්‍රිස්තුස් පැමිණියේ වැරදි කරන අයව වරදෙන් මුදවගන්නයි. වැරදි නොකරන කිසි කෙනෙක් මිහිපිට නැහැ.—1991 ජූලි 8 පිබිදෙව්! 24-5වන පිටුවලින්.
[20වන පිටුවේ කොටුව/පින්තූරය]
ජයගැනීමට සටන් කරන්න!
◼ වෙනත් දේවල් කෙරෙහි ඔබේ මනස යොමු කරන්න.—ෆිලිප්පි 4:8.
◼ නුසුදුසු ආශාවන් ඇති කරන දේවල් බැලීමෙන් වළකින්න.—ගීතාවලිය 119:37.
◼ සාමාන්‍යය ඉක්මවූ බලය ඉල්ලා යාච්ඤා කරන්න.—2 කොරින්ති 4:7.
◼ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල නිතරම නියැලී සිටින්න.—1 කොරින්ති 15:58.
[20වන පිටුවේ කොටුව/පින්තූරය]
තවත් විස්තර
ස්වයං වින්දනයේ පුරුද්දෙන් මිදීමට තවත් තොරතුරු සඳහා යෞවනයන් අසන ප්‍රශ්න . . . ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු පොතේ 25වන සහ 26වන පරිච්ඡේද බලන්න. මෙය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක්.