යෞවන අය අසති . . .
වෙනත් රටකට හුරු වෙන්න මට පුළුවන්ද?
“අපි ඉතාලි ජාතිකයන්. අපි එංගලන්තයට පදිංචියට ඇවිල්ලා ටිකක් කල් වෙනවා. ඒත් මේ රටට හුරු වෙන එක එතරම්ම ලෙහෙසි නැහැ. මෙහේ අයයි ඉතාලි අයයි අතර ලොකු වෙනසක් තියෙනවා. මට දැනෙන්නේ මම දෙලොවක් අතර හිර වෙලා කියලයි.”—එංගලන්තයේ, ෂෝස්වේ.
“මගේ පන්තියේ සර් මට කියලා තියෙන්නේ මුහුණ බලලා කතා කරන්න කියලයි. ඒත් ගෙදරදී තාත්තා දිහා බලලා කතා කරන කොට මම තාත්තාට කිසිම ගෞරවයක් දක්වන්නේ නැහැ කියලා තාත්තා මට කියනවා. මට හිතෙන්නේ මම අතරමං වෙලා කියලයි.”—පැට්රික්, ප්‍රංශයේ ජීවත් වන ඇල්ජීරියානු ජාතිකයෙක්.
ඔබේ මව හෝ පියා විදේශිකයෙක්ද?
◻ ඔව් ◻ නැහැ
පාසැලේ කතා කරන භාෂාවත් ගෙදර කතා කරන භාෂාවත් වෙනස්ද?
◻ ඔව් ◻ නැහැ
සෑම අවුරුද්දකම මිලියන ගණන් අය මව්රට අත්හැර වෙනත් රටකට පදිංචියට යනවා. එවැනි බොහෝ අය විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. මොවුන්ගේ භාෂාව, සංස්කෘතිය හා අඳින පළඳින විදිහ වෙනස් නිසා මෙවැනි අයව සමච්චලයට ලක් වෙනවා. යොර්දානයේ සිට උතුරු අමෙරිකාවට ඇගේ පවුලේ අයත් සමඟ පදිංචියට ගිය නූර් නම් යෞවනිය මෙවැනිම දෙයක් අද්දැක්කා. ඇය පවසන්නේ “අපි අඳින විදිහ මෙහේ ඒවාට වඩා වෙනස්. ඒ නිසා මෙහේ අය අපිව විහිළුවකට ගත්තා. අපිට මේ සංස්කෘතියට හුරුවෙන්න කොච්චර අමාරු වුණාද කියනවා නම් ඒ අයගේ විහිළුවත් අපිට තේරුණේ නැහැ” කියායි.
නාඩියා නම් යෞවනිය ඊට වෙනස් ආකාරයක අභියෝගයකට මුහුණ දුන්නා. ඇය මෙහෙම කියනවා. “මම ඉපදුණේ ජර්මනියේ වුණත් මගේ අම්මායි තාත්තායි ඉතාලි ජාතිකයන්. ඒ නිසා මම ජර්මන් භාෂාව කතා කරද්දී ඉතාලි හුරුවටයි කතා කළේ. ඒනිසා ඔවුන් මට නමක් දාලා තිබුණා ‘මෝඩ විදේශිකයා’ කියලා. මට ඉතාලි භාෂාවත් හරියට කතා කරන්න බැහැ. ඒක කතා කරන්නේ ජර්මන් හුරුවටයි. මම කොහේ ගියත් විදේශිකයෙක් කියලයි මට හිතෙන්නේ.”
පවුලක් හැටියට වෙනත් රටකට පදිංචියට යන අය මුහුණ දෙන වෙනත් අභියෝග මොනවාද? එමෙන්ම එවන් අභියෝගවලට ඔවුන්ට සාර්ථකව මුහුණ දීමට හැක්කේ කෙසේද?
ඇති විය හැකි බාධා
වෙනත් රටකට පදිංචියට ගිය පසු සාමාන්‍යයෙන් දරුවන් දෙමව්පියන්ට වඩා ඉක්මනින් අලුත් රටට හා එහි සංස්කෘතියට හුරුවෙනවා. මේ නිසා ඔවුන් අතර යම් බාධක ඇති වෙන්න පුළුවන්. නිදසුනකට ආනා නම් යෞවනිය සහ ඇගේ පවුලේ අය එංගලන්තයට පදිංචියට ගියේ ඇයට වයස අවුරුදු අටේදීයි. ඇය පවසන්නේ මෙයයි. “මමත් මල්ලීත් ඉබේම මෙහෙට හුරු වුණා. ඒත් අපේ අම්මාටයි තාත්තාටයි නම් ඒක එච්චර ලෙහෙසි වුණේ නැහැ. සමහරවිට ඒ අය ජීවිතේ වැඩි හරියක් මැඩීරා දූපතේ හිටපු නිසා වෙන්න ඇති.” කාම්බෝජියානු ජාතික වොයෙන් නම් යෞවනිය ඇගේ දෙමව්පියන් සමඟ ඕස්ට්‍රේලියාවට පැමිණියේ ඇයට වයස අවුරුදු තුනේදීයි. ඇය ඒ රටේ සංස්කෘතියට ඉක්මනින් හුරු වුණත් ඇගේ දෙමව්පියන්ට නම් ඒක ඒ තරම්ම ලෙහෙසි දෙයක් වුණේ නැහැ. ඇය ඒ ගැන මෙසේ පවසනවා. “මගේ අම්මාටයි තාත්තාටයි මෙහෙට එච්චර හොඳට හුරු වෙන්න බැරි වුණා. ඒ නිසා තාත්තා හැම වෙලාවෙම හිතුවේ මම එයාව හොඳින් තේරුම්ගන්නේ නැහැ කියලයි.”
වෙනත් රටකට හුරුවීමේදී ඒ රටේ සංස්කෘතිය හා භාෂාව දරුවන් හා දෙමව්පියන් අතර තිබෙන බැඳීම ශක්තිමත් කරනවා වෙනුවට ඔවුන් අතර දුරස් බවක් ඇති කරන්න පුළුවන්. දරුවන් දෙමව්පියන්ට වඩා ඉක්මනින් නුහුරු සංස්කෘතියකට හා භාෂාවකට හුරුවීම නිසා මේ දුරස් බව තව තවත් වැඩි වෙන්න පුළුවන්. දරුවන්ට තමන්ගේ මව්බස ටිකෙන් ටික අමතක වී යෑමෙන් පවුල තුළ අදහස් හුවමාරුව දුෂ්කර දෙයක් බවට පත් වීමටද ඉඩ තිබෙනවා.
වයස අවුරුදු 14ක් වූ ඉයන් නම් යෞවනයාගේ අද්දැකීම සලකා බලන්න. ඔහු හා ඔහුගේ පවුලේ අය ඉක්වදෝරයේ සිට නිව් යෝක් නගරයට ගිය පසු දෙමව්පියන් හා ඔහු අතර තිබුණු බැඳීම කෙමෙන් කෙමෙන් අඩු වුණා කියා ඔහුට දැනුණා. ඔහු මෙසේ පවසනවා. “මම දැන් වැඩිපුර කතා කරන්නේ ස්පාඤ්ඤ භාෂාවට වඩා ඉංග්‍රීසි භාෂාවයි. මගේ මල්ලී එක්කත්, පාසැලේදීත්, මගේ යාළුවන් එක්කත් මම කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. ස්පාඤ්ඤ භාෂාව දැන් මට ටික ටික අමතක වේගෙන යනවා.”
ඔබේ තත්වයත් ඉයන්ගේ තත්වයට සමානද? ඔබේ පවුලේ අය, පවුලක් හැටියට වෙනත් රටකට පදිංචියට යද්දී ඔබ කුඩා දරුවෙක් නම් ඔබේ මව්බස කතා කිරීමට ඉගෙනගැනීමෙන් පලක් නැහැ කියා සිතන්න ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබ එම භාෂාව කතා කරන්න එතරම් වෑයමක් නොදරනවා වෙන්න පුළුවන්. කලින් අදහස් දැක්වූ නූර් ඒ ගැන පවසන්නේ මෙසේයි. “අපේ මව් භාෂාව අරාබි භාෂාවයි. අපේ තාත්තා ඒ භාෂාව අපිට පුරුදු කරන්න හුඟක් උත්සාහ කළා. ඒත් අපි ඒක එතරම් ගණන් ගත්තේ නැහැ. අපිට ඒක අමතර බරක් වුණා. අපි බලන හැම රූපවාහිනි වැඩසටහනක්ම යන්නේ ඉංග්‍රීසියෙන්. අපේ යාළුවෝ අපි එක්ක කතා කළෙත් ඉංග්‍රීසියෙන්. ඉතිං අරාබි භාෂාව ඉගෙනගෙන ඇති වැඩේ මොකක්ද?”
තමන්ගේ මව් භාෂාව කතා කරන්න ඉගෙනගැනීමෙන් කොතරම් ප්‍රයෝජන ලැබෙනවාද කියා කාලයක් ගත වන විට ඔබට වැටහෙයි. එය භාවිත නොකර සිටියොත් කාලයක් යනකොට ලෙහෙසියෙන්ම කියන්න පුළුවන් වචන පවා කියාගන්න අමාරු වෙන්න පුළුවන්. චීනයේ සිට එංගලන්තයට පදිංචියට ගිය 13-හැවිරිදි මයිකල් පවසන්නේ මෙයයි. “භාෂා දෙකම එකකට එකක් පැටලිලා වගේ මට දැනුණා.” වයස අවුරුදු 15ක් වූ ඔනෙල් කොංගෝ සිට එංගලන්තයට පදිංචියට ගියේ ඇයට අවුරුදු තුනේදීයි. ඇය පවසන්නේ “මම හුඟක් කතා කරන්න හුරු වෙලා තිබුණේ ඉංග්‍රීසි නිසා මම අම්මාට ලිංගාල භාෂාවෙන් මොනවා හරි කියන්න හැදුවත් මට කියාගන්න බැහැ” කියායි. ලී නමැති යෞවනිය ඉපදුණේ ඕස්ට්‍රේලියාවේ වුණත් ඇගේ දෙමව්පියන් කාම්බෝජියානු ජාතිකයන්. ඇය මුහුණ දෙන තත්වය මෙයයි. “මොනවා හරි දෙයක් ගැන මට අම්මාටයි තාත්තාටයි හොඳට තේරුම් කරලා දෙන්න ඕනේ වුණාම මට ඒක හරියට කරගන්න බැහැ. මොකද මට මගේ මව් භාෂාව හරියට කතා කරන්න දන්නේ නැහැ.”
බාධා ජය ගැනීමට හේතු
ඔබට ඔබේ මව් භාෂාව ටිකක් අමතක වී ඇත්නම් අධෛර්ය වෙන්න එපා. නැවතත් ඒ භාෂාව කතා කිරීමේ හැකියාව දියුණු කරගන්න ඔබට පුළුවන්. මව්බස ඉගෙනගැනීමෙන් ලැබෙන වාසි ගැන මුලින්ම කල්පනා කර බලන්න. කලින් අදහස් දැක්වූ ෂෝස්වේ පවසන්නේ “මගේ මව් භාෂාව ඉගෙනගැනීමෙන් මට හුඟක් ප්‍රයෝජන ලැබුණා. අම්මාගේ තාත්තාගේ හැඟීම් හොඳින් තේරුම් අරගෙන ඒ අයට තවත් ළං වෙන්නත් ආගමික කටයුතු ඔවුන් එක්ක එකට කරන්නත් මට පුළුවන් වුණා. ඒ වගේම මාව හොඳින් තේරුම්ගන්න මගේ අම්මාටයි තාත්තාටයි පුළුවන් වුණා.”
බොහෝ ක්‍රිස්තියානි යෞවනයන් තමන්ගේ මව් භාෂාව ඉගෙනගන්න උත්සාහ දරන්නේ තමන්ගේ මව්බස කතා කරන අනික් අයට දෙවිගේ රාජ්‍ය ගැන ශුභාරංචිය දැනුම් දීම සඳහායි. (මතෙව් 24:14; 28:19, 20) සාලමාවූ නම් යෞවනයා එංගලන්තයට පදිංචියට ගියේ ඔහුට අවුරුදු පහේදීයි. ඔහුගේ අදහස මෙයයි. “භාෂා දෙකකින් බයිබලයේ තියෙන දේවල් කියලා දෙන්න පුළුවන් නම් නියමයි! මට මගේ මව් භාෂාව සම්පූර්ණයෙන්ම අමතක වෙලයි තිබුණේ. ඒත් දැන් මම පෘතුගීසි භාෂාව කතා කරන සභාවක ඉන්න නිසා මම පෘතුගීසි භාෂාවත් ඉංග්‍රීසි භාෂාවත් වතුර වගේ කතා කරනවා.” දැන් ප්‍රංශයේ ජීවත් වන 15-හැවිරිදි ඕලෙග් මෙසේ අදහස් දක්වනවා. “අනික් අයට රුසියානු, ප්‍රංශ සහ මෝල්ඩෝවන් කියන භාෂාවලින් බයිබලය ගැන කියලා දෙන්න දැන් මට පුළුවන්. ඒ ගැන මට හරිම සතුටුයි.” නූර් අරාබි භාෂාව කතා කරන අයට ශුභාරංචිය ගැන පැවසීමේ ඇති අවශ්‍යතාව දුටුවා. ඇය පවසන්නේ “කලින් මම හිතුව විදිහ වැරදියි. මම දැන් අරාබි ඉගෙනගන්න පන්තිවලට යනවා. අරාබි කතා කරන්න පුළුවන් වෙන එකේ වටිනාකම දැනුයි මට තේරෙන්නේ.”
නැවතත් තමන්ගේ මව් භාෂාවට හුරු වෙන්න පුළුවන් කොහොමද? නිවසේදී මව් භාෂාව පමණක් කතා කිරීම මගින් දරුවන් භාෂා දෙකටම හොඳින් හුරු වෙන බව සමහර දෙමව්පියන් අද්දැක තිබෙනවා.a දරුවන්ට මව් භාෂාව කතා කරන්න වගේම ලියන්නත් පුහුණු කරන්න. ස්ටෙලිස් නම් යෞවනයා පවසන දේ බලන්න. ඔහු හැදුණේ වැඩුණේ ජර්මනියේ වුණත් ඔහුගේ මව් භාෂාව ග්‍රීක්. ඔහු පවසන්නේ මෙයයි. “මගේ අම්මායි තාත්තායි හැමදාම බයිබල් පදයක් මා එක්ක සාකච්ඡා කරනවා. ඒගොල්ලන් ඒක මට ඇහෙන්න කියවන කොට මම ඒක ලියනවා. මේ විදිහට කරපු නිසා දැන් මට ග්‍රීක් සහ ජර්මන් භාෂා දෙකම කතා කරන්නත් ලියන්නත් පුළුවන්.”
ඔබට භාෂා කිහිපයක් කතා කරන්න පුළුවන් නම් හා ඔබ සංස්කෘතීන් කිහිපයකට හොඳින් හුරු වෙලා ඉන්නවා නම් ඇත්තෙන්ම එය විශිෂ්ට දෙයක්. එවැනි හැකියාවක් තිබෙනවා නම් විවිධ භාෂාවලට අයත් අය දෙවි ගැන අසන ප්‍රශ්නවලට ඔවුන්ගේම භාෂාවෙන් පිළිතුරු දෙන්නත් ඔවුන්ව හොඳින් දැන හඳුනා ගන්නත් ඔබට පුළුවන්. බයිබලයේ මෙවැන්නක් පවසනවා. “තමා දෙන පිළිතුරුවලින් යමෙකු ප්‍රීති වෙයි. අවස්ථාවට සුදුසු වචනය කොතරම් වටින්නේද!” (හිතෝපදේශ 15:23, නව ලොව පරිවර්තනය) ඉන්දියානු ජාතික ප්‍රීටි නම් යෞවනිය ඉපදුණේ එංගලන්තයේයි. ඇය පවසන්නේ මෙයයි. “මම රටවල් දෙකේ සංස්කෘතීන් දෙකටම හුරු නිසා මිනිසුන්ව හොඳින් තේරුම්ගන්න මට ලෙහෙසියි. ශුභාරංචිය මිනිසුන් එක්ක බෙදාගන්නත් ඒක මට ලොකු උදව්වක්. ඒ අය හිතන විදිහ මට හොඳින් වටහාගන්නත් පුළුවන්.”
දෙවිට හැඟෙන්නේ කොහොමද?
වෙනත් රටකට පදිංචියට යෑමෙන් සංස්කෘතීන් දෙකකට හුරුවීමට ඔබට සිදු වන නිසා අධෛර්ය වෙන්න එපා. බයිබලයේ සඳහන් සමහර අය මෙවැනිම තත්වයන්ට මුහුණ දී තිබෙනවා. නිදසුනකට යෝසෙප් නම් යෞවනයා වැඩුණේ හෙබ්‍රෙව් සංස්කෘතියට අනුවයි. නමුත් ජීවිතේ වැඩි කාලයක් ඊජිප්තුවේ ජීවත් වුණු නිසා ඔහුට ඒ සංස්කෘතියට හුරු වෙන්න සිදු වුණා. බයිබලයේ වාර්තා කරන්නේ ඔහු ඊජිප්තුවේ සිටියත් ඔහුගේ මව්බස ඔහු කිසි දිනක අමතක නොකළ බවයි. (උත්පත්ති 45:1-4) මේ නිසා පසු කාලයකදී ඔහුගේ පවුලේ අයට උපකාර කිරීමටත් ඔහුට හැකි වුණා.—උත්පත්ති 39:1; 45:5.
තිමෝති නම් යෞවනයා පාවුල් නම් දෙවිගේ සේවකයා සමඟ හුඟක් වෙහෙස වී සේවය කළ කෙනෙක්. ඔහුගේ පියා ග්‍රීක ජාතිකයෙක්. මව යුදෙව් ජාතිකයෙක්. (ක්‍රියා 16:1-3) මිශ්‍ර සංස්කෘතියක් ඇති පවුලක හැදී වැඩුණත් ඔහුට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු එය සැලකුවේ අනිත් අය සමඟ ශුභාරංචිය ගැන කතා කරන්න ලැබුණු මහඟු උපකාරයක් ලෙසයි.—ෆිලිප්පි 2:19-22.
නුහුරු සංස්කෘතියක් හා නුහුරු භාෂාවක් ගැටලුවක් ලෙස සලකනවා වෙනුවට ඉන් ප්‍රයෝජන ගැනීමට ඔබටත් පුළුවන්ද? බයිබලයේ දෙවි ගැන පවසන්නේ මෙයයි. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට ස්ථිරවම වැටහේ. මන්ද සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇති, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය.” (ක්‍රියා 10:34, 35) දෙවිට ඔබ ඉපදෙන රට හෝ ඔබේ භාෂාව වැදගත් නැහැ. ඔහු බලන්නේ ඔබ මොන වගේ කෙනෙක්ද යන්න ගැන පමණයි. මෙම ලිපියෙහි සඳහන් කළ යෞවන යෞවනියන් මෙන් ඔබ මුහුණ දෙන අභියෝගය යහපත් අතකට හරවාගන්න ඔබටත් පුළුවන්. සෑමදෙනාටම එක හා සමානව සලකන යෙහෝවා දෙවි ගැන අනික් අයට කතා කරන්න මෙය හොඳ ප්‍රස්තාවක් කරගන්න ඔබට පුළුවන්ද? එසේ කිරීමෙන් ඔබට මහත් සන්තෝෂයක් අද්දැකිය හැකි වන බව නොඅනුමානයි.—ක්‍රියා 20:35.
[පාදසටහන]
a යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත 2002 ඔක්තෝබර් 15 මුරටැඹ කලාපයේ “පිටරටකදී දරු දැරියන් ඇති දැඩි කිරීමේ අභියෝගය හා ආශීර්වාද” යන ලිපිය බලන්න.
සිතා බලන්න
◼ වෙනස් සංස්කෘතියක් හෝ භාෂාවක් නිසා ඔබ මුහුණ දෙන අභියෝග මොනවාද?
◼ මෙවැනි අභියෝග ඔබට ජය ගත හැක්කේ කෙසේද?
[20වන පිටුවේ පින්තූරය]
මව්බස කතා කිරීමෙන් පවුල් බැඳීම් ශක්තිමත් වෙයි