බයිබලය ලිවීමේ අරමුණ කුමක්ද?
අතීතයේදී දෙවි මිනිසුන් සමඟ සියවස් ගණනාවක් කටයුතු කළ ආකාරය බයිබලයේ සඳහන් වී තිබෙනවා. මේ නිසා සමහරුන් සිතන්නේ එය ඉතිහාස පොතක් කියායි. තවත් අය එය හොඳ නරක කියා දෙන පොතක් කියාත් හඳුන්වනවා. ඊට හේතුව දෙවි පුරාණ ඊශ්‍රායෙල් සෙනඟට දුන් නීති 600කට වඩා වැඩි ගණනක් එහි සඳහන් වී තිබීමයි. ඒ නීති අතරට පවුල් තුළ තිබිය යුතු නීති, සදාචාරමය නීති සහ නමස්කාරය හා සම්බන්ධ නීති රීතිද ඇතුළත්. එමෙන්ම බයිබලය උපදෙස් සපයන පොතක් කියාද තවත් සමහරුන් හඳුන්වනවා.
ඉහත සඳහන් සියලුම අදහස් නිවැරදියි කියා කියන්න පුළුවන්. ඊට හේතුව බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය. එය ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්ය. එමගින් දෙවිගේ මිනිසා පූර්ණ සමර්ථකමක් ඇතිව, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම අවශ්‍ය සියලු දෙයින් පූර්ණව සිටිනු ඇත.” (2 තිමෝති 3:16, 17) ඇත්තෙන්ම බයිබලය තුළ අපට ප්‍රයෝජනවත් වන ඓතිහාසික වාර්තා, නීති හා දෙවිගේ උපදෙස් යන මේ සෑම දෙයක්ම අන්තර්ගත වී තිබෙනවා.
කෙසේවෙතත් බයිබලය කියන්නේ නිකම්ම තොරතුරු සපයන පොතක් පමණක් නොවෙයි. එමගින් දෙවි තම අදහස් හෙළි කර තිබෙන නිසා එය වෙනත් කිසිම පොතකට වඩා අද්විතීය පොතක් වෙනවා. එමගින් අපට එදිනෙදා ජීවිතයට අවශ්‍ය ප්‍රායෝගික මඟ පෙන්වීම් සපයනවා. ඒ වගේම පොළොව හා මිනිස් වර්ගයා උදෙසා දෙවිගේ අරමුණ කුමක්ද කියාත් එහි පවසා තිබෙනවා. මිනිසුන් අත්විඳින දුක්ඛිත තත්වයෙන් දෙවි ඔවුන්ව ගලවාගන්නේ කෙසේද කියාත් එහි පැහැදිලි කරනවා. වැදගත්ම දෙය නම් දෙවිගේ සතුරා වන සාතන් විසින් දෙවිට කර තිබෙන චෝදනාවත් එමගින් දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළල ඉවත් කරන්නේ කෙසේද කියාත් බයිබලයේ පැහැදිලි කර තිබීමයි. ඒ චෝදනාව කුමක්ද කියා දැන් අපි සලකා බලමු.
දෙවිට කර තිබෙන චෝදනාව
දෙවි මුල් මිනිස් යුවළ වන ආදම් සහ ඒවව මානසිකව හා ශාරීරිකව කිසිම අඩු පාඩුවක් නැති පරිපූර්ණ අය ලෙස නිර්මාණය කර අලංකාර උයනක පදිංචි කළ බව බයිබලයේ වාර්තා වෙනවා. පොළොව හා එහි සතුන්ව රැක බලාගැනීම ඔවුන්ගේ වගකීම වුණා. (උත්පත්ති 1:28) දෙවිට කීකරු වන තාක් කල් ඔවුන්ට පොළොව මත සදාකල් ජීවත් වීමේ හැකියාව තිබුණා. නමුත් දෙවි ඔවුන්ට එක ආඥාවක් දුන්නා. එනම් “ඔබට උයනේ සියලු ගස්වලින් ඇති තරම් කන්නට පුළුවන. නමුත් ඔබ යහපත සහ අයහපත දැනගැන්මේ ගසෙන් නොකෑ යුතුය. මන්ද ඔබ එයින් කෑ දවසේදී අනිවාර්යයෙන්ම ඔබ මැරෙන්නෙහිය.”—උත්පත්ති 2:16, 17, නව ලොව පරිවර්තනය, NW.
නමුත් දෙවිගේ විරුද්ධකාරයා වන සාතන් නමැති යක්ෂයා පැවසුවේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඔහු පැවසුවේ “ඔබ ඒකාන්තයෙන් නොනසින්නහුය” කියායි. (උත්පත්ති 3:1-5) සාතන් එසේ පැවසීමෙන් ඔහු ඇඟවූයේ දෙවි බොරුකාරයෙක් බවයි. එමෙන්ම දෙවි පාලනය කරන ආකාරය වැරදි බවත් මිනිසුන්ට දෙවිගේ මඟ පෙන්වීම්වලින් තොරව යහපත් ජීවිතයක් ගත කළ හැකි බවත් ඔහු එමගින් අඟවනු ලැබුවා. එමෙන්ම දෙවිට අකීකරු වීමෙන් තමන්ට නිදහස් ජීවිතයක් ගත කළ හැකි බවත් හරි වැරද්ද කුමක්ද කියා තමන්ටම තීරණය කළ හැකි බවත් සාතන් ඒවට ඒත්තුගැන්වූවා. ඔහු පැවසුවේ ඒව “දෙවිට සමාන” වන බවයි. එසේ කීමෙන් සාතන් දෙවිගේ නාමය නින්දාවට පත් කළ අතර ඔහුගේ අරමුණට විරුද්ධව ක්‍රියා කළා. මොවුන් අතර ඇති වූ ඒ සංවාදය විශාල ප්‍රශ්නයකට හේතු වුණා.
ඇත්තටම බයිබලයේ ප්‍රධාන තේමාව වී ඇත්තේ දෙවිගේ නමට ඇති වී තිබෙන එම කැළල ඉවත් කිරීමයි. මෙය යේසුස් තම ගෝලයන්ට ඉගැන්වූ ආදර්ශ යාච්ඤාවේ (පරමණ්ඩල යාච්ඤාව) මුල් පදවල සඳහන් කර තිබෙනවා. එනම් “ඔබගේ නාමය විශුද්ධ වේවා. ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” යන්නයි.—මතෙව් 6:9, 10.
චෝදනාවලට පිළිතුරක්
සාතන් කළ චෝදනාව නිසා මෙවැනි ප්‍රශ්න මතු වුණා. ඇත්තටම බොරු කිව්වේ සාතන්ද නැත්නම් දෙවිද? දෙවි යහපත් මෙන්ම යුක්තිසහගත පාලකයෙක්ද? මිනිසුන්ගෙන් කීකරුකම බලාපොරොත්තු වීමට දෙවිට අයිතියක් තිබෙනවාද? දෙවිගේ පාලනයෙන් තොරව මිනිසුන්ට යහපත් දිවියක් ගත කළ හැකිද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම සඳහා දෙවි ටික කාලයකට මිනිසුන්ට තමන්වම පාලනය කරගැනීමට ඉඩහැර තිබෙනවා.
මෙහි ප්‍රතිඵලය කුමක්ද? එදා පටන් අද දක්වා මිනිසුන් මහත් දුක් වේදනාවලට මුහුණ දී තිබෙනවා. සාතන් බොරුකාරයෙක් බවත් දෙවිගේ මඟ පෙන්වීම්වලින් තොරව මිනිසුන් ගත කරන ජීවිතය මහත් විනාශයකට මඟ පාදා තිබෙන බවත් ඔප්පු වී තිබෙනවා. නමුත් දෙවිගේ අසීමිත ප්‍රඥාව හා ප්‍රේමය නිසා ඔහු මිනිසුන් අත්විඳින සෑම වේදනාවක්ම තුරන් කරන්න යනවා. එය ඔහු කරන්න යන්නේ ඔහුගේ රාජ්‍යය මගිනුයි. ඔහුගේ රාජ්‍ය යනු කුමක්ද?
දේවරාජ්‍යය තුළින් ගෙනෙන විසඳුම
මිලියන ගණන් මිනිසුන් යේසුස් ඉගැන්වූ යාච්ඤාව නිතිපතාම කටපාඩමින් කියනවා. නමුත් එයින් අර්ථවත් වන දේ ගැන ටිකක් කල්පනා කර බලන්න. එහි මෙවැනි දෙයක් සඳහන් වෙනවා. එනම් “ඔබගේ රාජ්‍යය පැමිණේවා.” (මතෙව් 6:10) යේසුස් කතා කළ මෙම රාජ්‍යය සමහර මිනිසුන් සිතන ආකාරයට නිකම්ම මනසේ තිබෙන සිතුවිල්ලක් නොවෙයි. නමුත් “රාජ්‍යය” කියා පවසද්දී එහි රජෙක් සිටිය යුතු බවත් එය ආණ්ඩුවක් බවත් පැහැදිලියි. බයිබලයේ පවසන ආකාරයට මෙම රාජ්‍යයේ රජු වන්නේ “රජවරුන්ගේ රජු” ලෙස හඳුන්වන යේසුස් වන අතර එය ස්වර්ගික ආණ්ඩුවක්ද වෙනවා. (එළිදරව් 19:13, 16; දානියෙල් 2:44; 7:13, 14) බයිබලයේ උගන්වන ආකාරයට යේසුස් මුළු පොළොවම පාලනය කරන අතර එමගින් මුළු මිනිස් වර්ගයාටම සාමය හා සුරක්ෂිතභාවය ගෙනෙනු ලබනවා. එමෙන්ම එමගින් සෑම දුෂ්ට ක්‍රියාවක්ම ඉවත් කිරීමටද නියමිතයි. (යෙසායා 9:6, 7; 2 තෙසලෝනික 1:6-10) මේ ආකාරයට දෙවිගේ රාජ්‍යය මගින් යේසුස් පැවසූ මෙම වදන් ඉටු වෙනවා. එනම් “ඔබගේ කැමැත්ත . . . පොළොවෙහිද සිදු වේවා.”
ඉහත වදන් ඉටුවීම සඳහා යේසුස් තම ජීවිතය පූජාවක් හැටියට ඔප්පු කළා. එසේ කළේ ආදම් කළ පාපය නිසා ඔහුගෙන් පැවත එන සෑම කෙනෙකුටම උරුම වන පාපයෙන් හා මරණයෙන් ඔවුන්ව මුදවාගැනීමටයි. (යොහන් 3:16; රෝම 6:23) යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබන සියලුදෙනාටම අනගි වරප්‍රසාදයක් හිමි වෙනවා. එනම් දෙවිගේ රාජ්‍යය මගින් ආදම්ගේ පාපය නිසා උරුම වී ඇති සෑම අහිතකර බලපෑමක්ම ඉවත් වී ආදම් සහ ඒව මුලින් සිටි තත්වය හා සමාන පරිපූර්ණ තත්වයකට පත් වන ආකාරය දැකගැනීමට ඔවුන්ට හැකිවීමයි. (ගීතාවලිය 37:11, 29) ඒ කාලයේදී විශේෂයෙන්ම මහලු වියේදී අද්දකින දුෂ්කරතා ඇතුළු අපි අද්දකින කටුක තත්වයන් තවදුරටත් තිබෙන්න යන්නේ නැහැ. ඒ වගේම මිනිසුන්ට මහත් වේදනාවක් ගෙනෙන මරණය හා අසනීප සම්පූර්ණයෙන්ම ‘පහව යනවා.’—එළිදරව් 21:4.
දෙවි ඔහුගේ පොරොන්දු ඉටු කරන බවට අපට සහතික වෙන්න පුළුවන් කොහොමද? එක් හේතුවක් නම් බයිබලයේ සඳහන් වී තිබෙන සිය ගණන් අනාවැකි ඉටු වී තිබීමයි. (9වන පිටුව බලන්න.) එසේනම් බයිබලයේ සඳහන් දේවල් කෙරෙහි විශ්වාස කිරීම අන්ධ විශ්වාසයක් නොවෙයි. නමුත් ඒ කෙරෙහි විශ්වාස කිරීමට පදනම වන්නේ එහි සපයන සාක්ෂි හා තොරතුරුයි.—හෙබ්‍රෙව් 11:1.
එදිනෙදා ජීවිතයට උපදෙස්
අපගේ අනාගතයට හොඳ බලාපොරොත්තුවක් සපයනවා වගේම දැන් පවා සන්තෝෂවත් ජීවිතයක් ගත කරන්න බයිබලය අපට උපකාර කරනවා. නිදසුනකට එය විවාහය, පවුල් ජීවිතය, මිනිස් සබඳතා, සතුට අත් කරගැනීම වැනි බොහෝ කාරණාවලදී අපට අවශ්‍ය මඟ පෙන්වීම් සපයනවා. ඒ සඳහා පහත උදාහරණ කිහිපය සලකා බලන්න.
◼ කතා කරන්න පෙර සිතන්න. “කඩුවකින් අනින්නාක් මෙන් නොසැලකිලි ලෙස කතා කරන්නෙක් ඇත. එහෙත් ඥානවන්තයාගේ දිවෙන් සුවය වේ.”—හිතෝපදේශ 12:18.
◼ ඊර්ෂ්‍යා නොකරන්න. “නිරෝගි සිතක් ශරීරයට ජීවනය වේ. එහෙත් ඊර්ෂ්‍යාව ඇටවලට කුණු වීමය.”—හිතෝපදේශ 14:30.
◼ දරුවන්ව පුහුණු කරන්න. “ළදරුවෙකු යා යුතු මාර්ගයේ ඔහු පුහුණු කරන්න. එවිට වයස්ගත වූ කල ඔහු එයින් අහක්ව නොයන්නේය.” “තමාගේ කැමැත්තට ඇරිය දරුවෙක් මවට ලජ්ජා උපදවයි.”—හිතෝපදේශ 22:6; 29:15.
◼ සමාව දෙන්න. “දයාවන්ත අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට දයාව පෙන්වනු ලබන්නේය.” (මතෙව් 5:7) ප්‍රඥාවන්ත සලමොන් රජ පැවසුවේ ‘ප්‍රේමය සියලු වැරදි වසා දමන’ බවයි. (හිතෝපදේශ 10:12, NW) ඔබට විරුද්ධව කෙනෙකු වරදක් කර ඇත්නම් ඔහුට සමාව දී එය අමතක කිරීම ඔබට අපහසුයි කියා හැඟෙනවා නම් බයිබලය මෙසේ අවවාද කරනවා. එනම් “ගොස් තනිව ඔහුව හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න.”—මතෙව් 18:15.
◼ මුදලට ප්‍රේම නොකරන්න. “මුදලට ප්‍රේම කිරීම සියලු ආකාර හානිකර දේවල්වල මුලක්ය. සමහරුන් මේ ප්‍රේමය ලුහුබැඳීම නිසා . . . බොහෝ වේදනාවලින් තමන්ටම ඇනගත්තෝය.” (1 තිමෝති 6:10) බයිබලයේ හෙළාදකින්නේ “මුදලට ප්‍රේම කිරීම” හෙවත් මුදලට තිබෙන අධික ආශාව මිස මුදල් නොවෙයි.
දෙවිගෙන් ලද ලිපියක්
අපි සලකා බැලූ ආකාරයට බයිබලයේ බොහෝ කාරණා අඩංගු වෙනවා. එහි මූලිකව දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් සඳහන් වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි එහි අපි ගැනත් සඳහන් වෙනවා. එනම් අපි සියලුදෙනාටම මේ කාලයේ මෙන්ම අනාගතයේදී සදහටම දෙවිගේ රාජ්‍යය යටතේ සතුට භුක්ති විඳිය හැක්කේ කෙසේද කියාත් එහි පවසනවා. බයිබලය හරියට ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණන්ගෙන්’ අපට ලැබුණු ලිපියක් වගෙයි. (මතෙව් 6:9) ඒ තුළින් යෙහෝවා දෙවි ඔහුගේ කැමැත්ත සහ ඔහු මොන වගේ කෙනෙක්ද යන්න ගැන අපට හෙළි කර තිබෙනවා.
බයිබලය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කර බැලීම තුළින් දෙවි සැබෑ පුද්ගලයෙක් බවත් ඔහුට තවත් ළං වෙන්නේ කෙසේද කියාත් දැනගන්න අපට හැකි වෙනවා. (යාකොබ් 4:8) එසේනම් බයිබලය කියන්නේ ඉතිහාසය, අනාවැකි හා නීති ඇතුළත් පොතක් පමණක්ම නොවෙයි. එය දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගන්න අපට උපකාරවත් වන පොතක්. මේ නිසා බයිබලය වෙන කිසිම පොතකට වඩා වටිනා අද්විතීය පොතක් කියා කිව හැකියි!—1 යොහන් 4:8, 16.
[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
යේසුස් ගෝලයන්ට ඉගැන්වූ යාච්ඤාවේ මුල් පද කිහිපයෙහි බයිබලයේ තේමාව මනාව කැටි කොට තිබෙනවා
[21වන පිටුවේ කොටුව/පින්තූරය]
බයිබලය කියවිය හැකි අයුරු
බයිබලය කියවීම හරිම රසවත් අද්දැකීමක්. ඒ වගේම බොහෝ පොත් පත් ලිවීමේදී එහි ඇති වාර්තා හා උපදෙස්ද යොදාගෙන තිබෙනවා. මෙම පොත අපට අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිව හොඳින් හඳුනාගැනීමට උපකාරවත් වෙනවා. එමෙන්ම එය ප්‍රඥාව ලබා දෙන වටිනා පොතක්. ඒ ගැන බයිබලයේම මෙවැනි දෙයක් පවසනවා. “ප්‍රධානතම දේ නම් ප්‍රඥාවය. ප්‍රඥාව ලබාගන්න. ඔබ ලබාගන්නා සියල්ල යොදාගෙන තේරුම්ගැනීමේ ශක්තිය අත් කරගන්න.” (හිතෝපදේශ 4:7, NW) බයිබලය කියවීම තුළින් ඔබට ප්‍රයෝජන නෙළාගත හැකිද?
බයිබලය කියවීම සඳහා නිදහස් වේලාවක් තෝරාගන්න. බයිබලය ඉක්මනින් කියවා අවසන් කිරීමට උත්සාහ කරන්න එපා. ඔබේ අරමුණ විය යුත්තේ යෙහෝවා දෙවි පිළිබඳව පූර්ණ දැනුමක් ලබාගෙන එහි ඇති තොරතුරු හොඳින් අවබෝධ කරගැනීමයි. ඔබ කොටසක් කියවීමෙන් පසු කියවූ දේ ගැන ගැඹුරින් සිතා බලන්න. එමෙන්ම දැනටමත් ඔබ දන්නා දේ සමඟ ඒවා සසඳා බලන්න. එසේ කිරීමෙන් ඔබේ අවබෝධය හා ඒ කෙරෙහි වූ ඔබේ අගය තව තවත් වැඩි වෙයි.—ගීතාවලිය 143:5.
‘බයිබලය කියවීමට පටන්ගන්නේ කොතැනින්ද’ කියා සමහරුන් කල්පනා කරන්න පුළුවන්. එහි පළමු පොතෙන්ම කියවීම ආරම්භ කරන්න ඔබට පුළුවන්. කොහොමවුණත් පළමු වතාවට බයිබලය කියවන අය යේසුස්ගේ ජීවිතය හා ඔහු කළ සේවය ගැන වාර්තා වන සුවිශේෂ පොත් හතරෙන් (මතෙව්, මාක්, ලූක් හා යොහන් යන පොත්) කියවීම ආරම්භ කිරීම පහසු බව සොයාගෙන තිබෙනවා. තවත් අය ආශා කරන්නේ කාව්‍යමය ආකාරයකින් ලියවී තිබෙන ගීතාවලිය, හිතෝපදේශ හා දේශනාකාරයා යන පොත්වලින් ආරම්භ කිරීමටයි. මෙවැනි ක්‍රම භාවිත කිරීමෙන් බයිබලයේ අනික් පොත් කියවීමටත් ඔබට ආශාවක් ඇති වෙයි. (කොටුව බලන්න.) ඔබ කියවිය යුත්තේ අලුත් ගිවිසුම පමණක්ය යන වැරදි මතයේ ඉන්න එපා. මන්ද “දේවානුභාවයෙන් දුන් මුළු ශුද්ධ ලියවිල්ල . . . ප්‍රයෝජනවත්” බව අමතක කරන්න එපා.—2 තිමෝති 3:16, පැරණි අනුවාදය.
බයිබලය ඉගෙනගැනීමට හොඳම ක්‍රමය වන්නේ විවිධ විෂයන්ට අනුව අධ්‍යයනය කිරීමයි. නිදසුනකට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අන් අය සමඟ සාකච්ඡා කිරීමට යොදාගනු ලබන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත විවිධ මාතෘකාවලින් යුක්තයි. ඒවා අතරට “ඔබේ පවුල් ජීවිතය ප්‍රීතියෙන් ගත කළ හැකි අයුරු” “දෙවි පිළිගන්නා නමස්කාරය” සහ “මරණයේදී සිදු වන්නේ කුමක්ද?” වැනි මාතෘකාද අයත් වෙනවා.—18වන පිටුවේ ඇති කොටුව බලන්න.
[21වන පිටුවේ කොටුව]
විවිධ විෂයන්ට අනුව බයිබලය කියවීම
ජීවයේ ආරම්භය හා මිනිසා පාපයට හසු වූ ආකාරය උත්පත්ති
පුරාණ ඊශ්‍රායෙල් ජාතියේ ආරම්භය නික්මයාම සිට ද්විතීය කතාව
උනන්දුව දනවන වාර්තා යෝෂුවා සිට එස්තර්
කාව්‍යමය කෘති යෝබ්, ගීතාවලිය හා සලමොන්ගේ ගීතිකාව
ජීවිතයට ප්‍රඥාවන්ත උපදෙස් හිතෝපදේශ, දේශනාකාරයා
අනාවැකි හා මඟ පෙන්වීම් යෙසායා සිට මලාකි සහ එළිදරව්
යේසුස්ගේ ජීවිතය හා ඔහුගේ ඉගැන්වීම් මතෙව් සිට යොහන්
ක්‍රිස්තියානීන්ගේ ආරම්භය හා වර්ධනය ක්‍රියා
සභාවලට යැවූ ලිපි රෝම සිට යූද්